ආදරේ අහඹුවක් – අවසාන  කොටස

0
2685

ඉන් පැය බාගෙකට පස්සෙ බලද්දි මං උන්නෙ ගාලු පාරෙ යන කාර් එහෙක, අරවින්දට එහා පැත්තෙන්.

හිතෙන් කී වංගියක් නං මං එයැයි කිව්ව ඒ හඳ එලිය ගැන, මූද ගැන, එයැයිගෙ ගේ ගැන හීන මැව්වද? හඳ එලිය වැටිච්ච මූදු වැල්ල දිගේ එයැයිට තුරුල් වෙලා ඇවිදන් යන මාව හිතෙන් මොනතරං නං මවාගත්තද? කියල හිතෙන් අඬ අඬ උන්නු මගේ කඳුලු දෝරෙ ගියේ කොස් ගහ මුලට වෙලා ඩිංගක් වෙලා බලාන ඉඳල, ඉන්පස්සෙ කාමරේ ජනේලේ ලී පොලු අස්සෙන් මගෙ මූණට මූණ තියාගෙන, “මට ඔයාව අමතක කරන්න බැරිවුණා ලලී, හඳ දකින හැම වෙලාකම මං දිහාව බලාන උන්නු ඔයාගේ මූණ මට මතක් වුණා” කියල කොඳුරන ගමන් මගෙ කඳුලු එයැයිගෙ තොල් වලින් ඉම්බ අරවින්ද මතුවුණාම

“ඇයි මෙච්චර පමා උනේ” කියල අහන්න හිත කිව්වත් මට හිතුණෙ පමා වෙලා හරි ආ එක මොනතරං අපූරුද කියල

ගැරෑජියෙ හද හද තිබිච්ච කාරෙහෙක, යාලුවෙක් එක්ක තකහනියෙ ආව කිව්ව හන්ද හේම, “මොනවත් අරං එන්න ඕන නෑ ලලී, ඕන කරන ලිය කියවිලි විතරක් අරගෙන ඉක්මනට එන්න” කිව්ව හන්දමයි මං අඩිය ඉස්මන් කොරේ

අවුරුදු තිහකට කිට්ටු වෙන්න හැදිච්ච වැඩිච්ච ගෙදර, මව් දෙමව්පියො, ගම දාලා යන එක ගැන හිතේ විචිකිච්චාවක් තිබ්බත් මයි හිතේ ආදරේ ඊට වැඩියෙන් ඉස්මතු වෙන්නැති.

මට සමාවෙන්න අම්මෙ කියල හිතෙන් කියන ගමන්ම, අවසාන වතාවට ගෙයි බුදු පැළට වැඳල මං ගෙයින් පිටවෙද්දිත්, හැන්දෑවෙ පත්තු කොරපු බුදු පානෙ දැල්ල හුළඟට නැලවි නැලවි තිබ්බෙ බාගදා මට දුකක් කරදරයක් නොවේවා කියල කියන්නැහේ වෙන්නැති

අහන්න කොරන්න මොන තරං දේවල් තිබ්බත්, හිතන්න තිබිච්ච අටෝරාසියක් හිතුවිලි කන්දරාවට මං ඒ ඩිංගක් එක්කාසු කොරා.

වාහනේ එලෝගෙන ගිය අරවින්දගෙ යාලුවා, නිකමටවත් පිටිපස්ස හැරිල නොබැලුවෙ බාගදා අපිට බාදා වෙයි කියල වෙන්නැති

අරවින්දගෙ ඇඟට ඇලවෙලා, උරිසට ඔලුව තියන් උන්නු මගෙ ඇස්වලින් වැටිච්ච කඳුලු වල එක්කහු වෙලා තිබ්බෙ අරවින්ද මාව කැන්දාන යන්න ආව සන්තෝසෙද, අම්මලව දාල එන්න වෙච්ච දුකද, මේ යන ගමනෙ අවදානම ගැන තිබිච්ච බයද මන්දා. ඒ විත්තිය තේරුංගිය හන්ද වෙන්නැති අරවින්ද මගෙ කර වටේ අත දාලා කම්මුල හීන් සැරේ අතගාන ගමන්, මං දිහාවට නැවිල එයැයිගෙ හීතල තොල්වලින් මගෙ නලල ඉම්බෙ.

“අපෙ අම්ම දන්නව මං ඔයාව එක්කාන එන විත්තිය, අම්මට මං කියලම ආවෙ ඔයා මනාප නං මං ඔයාව අනිවාර්යයෙන් එක්කන් එනව කියල. මට ඔයාව මතක් වෙන මතක් වෙන සැරේට මං පිස්සෙක් වගේ හැසිරුණේ ලලී. මට හිතාගන්න බැරිවුණා ඔයාලගෙ මව් දෙමව්පියො කිව්ව දෙයක් හන්ද මං ඔයාට එහෙම රිද්දුවෙ ඇයි කියල. මට නිදහස් වෙන්න බැරි තැනමයි අම්මම ඉඳන් කිව්වෙ ඔයා කැමති නං ඔයාව එක්කන් එන්න කියල. අපි ටික දවසක් අපෙ ගෙදර ඉඳල කොළඹින් ඉන්න තැනක් හොයාගමු.මං සතියකට නිවාඩුත් ගත්ත ගැරේජියෙන්. ඔයාට ගෙදර වගේ ගම වගේ අපෙ පැත්ත පුරුදු නැති වෙයි මුල් කාලෙ. අපෙ අම්ම ඔයාට උදව් වේවි හැමදේටම පුරුදු වෙන්න. මට ආයෙ පාරක් සමාවෙන්න ලලී ඔයාව එහෙම දාල ආවට එදා”

එයැයි කිව්ව කිසිම දේකට මට අනිත් අතට කියන්න මක්කවත් නොවුන උනත් මං එයැයි දිහාව බලල හීන් සැරේ හිනාවුනේ “ඒකට කාරි නෑ” කියල එයැයිගෙ හිත සනසන්නැහේ

එයැයිගෙ උරිස්සට ඇලවෙල උන්නු මං දිහාව බලාන “ටිකක් නිදාගන්න ලලී, ලංවුණාම මම ඇහැරවන්නම්” කිව්වම මම ඇහැ පියාගත්තෙ බුදියගන්න ඕනවට වඩා ඇහැ පියාගෙන මේ හැමදේම කල්පනා කොරන්න ඕන හන්දා

වාහනේ වීදුරුවෙන් මං දුටුවා අපි යන දිහාවටම හඳත් යන විත්තිය. 

වාහනේ රේඩියෝවෙන් ඇහිච්ච සිංදුව එක්කම ඇහැ පියාගෙන උන්නු මගෙ තොල්වල හීන් හිනාවක් මතුවුණා. 

“ප්‍යාර් හුආ ඉකරාර් හුආ හේ – ප්‍යාර් සෙ පිර් ක්‍යුන් ඩර්තා හේ දිල්

කෙහෙතා හේ දිල් රාස්තා මුශ්කිල් – මාලූම් නහී කහාන් හේ මන්සිල්

කහෝ කි අප්නි ප්‍රීත් කා – ගීත් නා බද්ලේගා කබී

තුම් බී කහෝ ඉස් රාහ් කා – මීත් නා බද්ලේගා කබී

ප්‍යාර් ජො ටූටා – ප්‍යාර් ජො චූටා – චාන්ද් නෙ චම්කේගා කබී”

“මේ ආදරේ බොරුවක් උනොත්, එහෙමත් නැත්තං බිඳුණොත් ආයෙමත් හඳ පායන එකක්ම නැහැ”

ඒත් මමයි මගෙ හිතයි දැනං උන්නා…

හැමදාම හද පායන විත්තිය

-උදතාරී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here