ආදර සැලසුම් – 1

0
1161

මෞර්යා උදෑසන අවදි වූයේ හිරු එළිය පොළොවට පතිත වන්නටත් පෙරමය. අළුයම් කාලයේදී නිවාස සංකීර්ණය ආසන්නයේ වූ ඇවිදින මං තීරුවේ පැයක පමණ කාලයක් ඇවිදීම මෞර්යා පුරුද්දක් කර ගත්තේ දැනට මාස පහ හයක සිටය. විසිපස් වියෙහි පසු වූ මෞර්යා පවුලේ එකම දියණිය වූ අතර ඇය වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිණියක ලෙස කටයුතු කලේ වසර දෙක තුනක සිටය.

කලු පැහැ ලෙගින් කලිසමකින් සහ නිල් පැහැ සැහැල්ලු ටී ශර්ටයකින් සැරසුණු මෞර්යා නිල් පැහැයට හුරු සපත්තු ජෝඩුවක්ද පැළඳ තරප්පුව බැස්සේ ඔරලෝසුවේ උදෑසන හයයි පහළව සටහන් වන විටය.

” හැමදාම උදේට ඔහොම දුවලා ඔයා තව කොහෙ කෙට්ටු වෙන්නද මෞර්යා ? ” 

නිල්මිණි පලතුරු යුශ වීදුරුවක් ගෙන මේසය මතින් තැබුවේ එය මෞර්යාගේ පලවන උදෑසන ආහාරය නිසාය. ව්‍යායාමයට පෙර පලතුරු යුෂ වීදුරුවක් හෝ කැඳ වීදුරුවක් පානය කිරීම මෞර්යාගේ සිරිතය 

” දුවන හැම මනුස්සයම දුවන්නේ කෙට්ටු වෙන්නම නෙමෙයි අම්මා. ඔයා ඕක හැමදාම අහනවානේ මගෙන් ” 

මෞර්යා පිළිතුරු දුන්නේ එක හුස්මට පලතුරු යුෂ වීදුරුව පානය කරන අතරේය.

මනා රූ සපුවකින් හෙබි වූ මෞර්යා තද ගතිගුණ ඇති මවගේ නීති දහසක් මැද ද ඉතා සෞම්‍ය හිතක් ඇති පියාගේ ආදරය සහ රැකවරණය මැදද හැදී වැඩුණු අතර ඇය හැදෑරූ ග්‍රැෆික් නිර්මාණ කටයුතුවල නිවසේ සිටම නියැලෙමින් තරමක ආදායමක් ලැබුවේ  ඇය වෙනත් කිසිවෙකු යටතේ හෝ රැකියාවක් කිරීම මවගේ දැඩි විරුද්ධත්වයට ලක් වූ බැවිනි. 

එහෙත් තේ කර්මාන්ත ශාලාවක් ඇතුළු තවත් සුළු ව්‍යාපාර කිහිපයකම හිමිකාරයකු වූ ඇගේ පියා , චන්දික දැරුවේ ඊට හාත්පසින්ම වෙනස් වූ අදහසකි. 25 වියෙහි පසු වන මෞර්යා ලෝකය දැකිය යුතු බවත් ,සමාජය ඇසුරු කරමින් සමාජ දැනුම මැනවින් ලබා ගත යුතු බවත් ඔහුගේ අදහස විය. මෞර්යා උපත ලැබුවේ ව්‍යාපාරික පවුලක වුවත් ඇය තෝරා ගත යුත්තේ ඇයට කැමති දෙයක් බව චන්දික විසින් නිතරම පැවසූ අතර ඒ අදහසට පින් සිදු වන්නට මෞර්යා දින කිහිපයක සිටම තම වෘත්තියට අදාළ රැකියාවක සෙවීමේ කටයුත්තෙහි නියැලුණාය. තමා සන්තකයේ ව්‍යාපාර කිහිපයක්ම තිබියදී තම දියණිය වෙනත් අයෙකු යටතේ සේවය කිරීම පිළිබඳව චන්දිකගේ කිසිදු අකැමැත්තක් තිබුණේ නැත. ඔහුට උවමනා වූයේ මෞර්යා ලෝකය සහ සමාජය පිළිබඳව ඉතා හොඳ අත්දැකීම් ඇති ස්වාධීන තරුණියක් වනු දැකීමය.

පියා විසින් ගියවර උපන්දිනයට තෑගි කළ වැගන් ආර් රථයට නැගුනු මෞර්යා ඇවිදින මං තීරුවට යාම සඳහා පිටත් වූයේ එය පිහිටියේ නිවසට කිලෝ මීටර කිහිපයක් දුරින් වූ බැවිනි.

ඇවිදින මං තීරුව අසලට වන්නට වාහනය නතර කළ මෞර්යා ජංගම දුරකථනය පරීක්ෂා කර එය පසෙකින් තබා වාහනයේ වූ වතුර බෝතලයෙන් උගුරු කිහිපයක් පානය කර වාහනයෙන් බැස්සාය. අත බැඳි ස්මාට් ඔරලෝසුවේ සටහන් වූයේ උදෑසන හයයි තිහ ලෙසය. සීතල සුළං හමා යන මේ පරිසරයේ නිදහසේ හුස්ම ගනිමින් ඇවිදින්නට, දුවන්නට සහ ව්‍යායාමවල නිරත වන්නට හැකිවීම පිළිබඳව ස්තුති පූර්වක හැඟීමකින් යුතුව මෞර්යා ඇවිදින මං තීරුවට පිවිසියාය.

මීටර කිහිපයක් මන්දගාමී වේගයෙන් ඇවිද යන විට මෞර්යා දුටුවේ ඇවිදින මන්තීරුවට යාබදව වූ පඩියක වාඩිවී සිටින දේහධාරී තරුණයෙකි. වැදගත් පෙනුමැති ඔහු තැනින් තැන තඹ පැහැ ගැන්වූ කොණ්ඩය බැඳ සිටි අතර ඔහු යම් අපහසුවකින් පෙළෙන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. 

මෞර්යා ඔහු වෙත ළං වූයේ දෙවරක් නොසිතාමය.

” Hey.. are you alright ? ” 

මෞර්යා ඔහු වෙත නැඹුරු වූයේ ඔහු පඩිය මත වාඩිවී තරමක් දුරට හිස පහත් කරගෙන සිටි නිසාය.මෞර්යාගේ හඬ ඇසී ඔහු හිස ඔසවා බැලූ අතර කඩවසම් ඔහුගේ මුහුණේ පෙනෙන්නට තිබුණේ තරමක වෙහෙසකාරී බවකි.

” අ… I think I’m not. මට පොඩි chest pain එකක් වගේ ආවා ” 

තරුණයා කතා කළේ ද අපහසුවෙනි. මෞර්යා වටපිට බැලූ අතර කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. ඇය තරුණයා අසලින් වාඩි වූයේ මීළඟට කළ යුත්තේ කුමක්දැයි සිතමිනි.

” අපි හොස්පිටල් එකට යමුද ? මගේ වාහනේ තියෙනවා ? ” 

” මමත් මේ ළඟ ඉන්නේ. ඒ නිසා මං කොහොමත් මෙතනට එන්නේ පයින්. අවුලක් නැහැ ටිකක් ඉඳලා මම ගෙදර යන්නම් ” 

” එහෙම කියල බැහැනේ. මේ වගේ ජොගින් කරන වෙලාවක ඔහොම චෙස්ට් පේන් එකක් එන්නේ නිකන් වෙන්න බැහැ. යමුකෝ ” 

තරුණයා මෞර්යා දෙස බැලුවේ පුදුමයෙනි. තමා මෙතන වාඩි වී දැන් විනාඩි දහයකටත් වැඩිය. තමා පසුකර ගිය කිසිවෙකුත් තමා දෙස අවධානය යොමු නොකළත් නාදුනන තරුණියක් තමාව රෝහලකට රැගෙන යාමට පවා ඉදිරිපත්ව සිටි.

” කෝ ඉතින් නැගිටින්න. මගේ වාහනේ මෙතන ළඟමයි තියෙන්නේ ” 

මෞර්යා අණ කරන පරිද්දෙන් කියා පඩියෙන් නැගී සිටියාය.තරුණයාද ඒ අනුව නැගී සිටි අතර ඔහුගේ මුහුණේ වූ අපහසු ගතිය තවත් වැඩි වූ බවක් දක්නට ලැබුණි.

” මං හිතන්නේ ඔයාට අමාරුයි වගේ.ඔයා මෙතන ඉන්නවද මම මේ හරියට වාහනේ අරගෙන එන්න ? ” 

” නැහැ නැහැ අපි යමු මට යන්න පුළුවන් ” 

තරුණයා මෞර්යා පසු පසින් ඇගේ වාහනය දෙසට ඇවිද ගිය අතර මෞර්යා රියදුරු අසුනට අනෙක් පසින් වූ දොර ඇර බලා සිටියාය. තරුණයා වාහනයට ඇතුළු වූ පසු දොර වැසූ මෞර්යා ඉතාම කලබලයෙන් වාහනයට නැගීමට දිව එන අයුරු තරුණයා බලා සිටියේ නොසන්සිදුනු පුදුමයෙනි.

වාහනයට නැගුණු සැනින් මෞර්යා වතුර බෝතලය අතට ගෙන එය තරුණයා වෙත දිගු කළාය.

” මේකෙන් ටිකක් බොන්නකො මුලින්ම ” 

තරුණයා තප්පර කිහිපයක් රෝස පැහැ වතුර බෝතලය දෙස බලා සිට එය ගෙන ඉන් උගුරු කිහිපයක් පානය කළේය. 

” මම ඔයාගේ නමවත් දන්නෙ නෑනේ ” 

මෞර්යා කීවේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් වෙතට වේගයෙන් වාහනය ධාවනය කරන අතරේය.

” මම ආදිත්‍යය. ඔයා ? ” 

” මම මෞර්යා ” 

” ලස්සන නමක් ” කියා ආදිත්‍ය සිතෙන් සිතුවද එය වචන වලට පෙරලන්නට ගියේ නැත. ආදිත්‍ය හිස අසුනට බර කර දෑස් පියා ගත්තේ අනපේක්ෂිතව මතු වූ අසනීප තත්වය දරා ගැනීමට අපහසු වූ නිසාය.

” බහිමු ” 

ආදිත්‍ය ගැස්සුනේ මෞර්යා ගේ හඬටය. මෞර්යා ඉතා ඉක්මනින් වාහනයෙන් බැස ආදිත්‍ය සමඟ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවට ඇතුළු වූ අතර ඔහුට වාඩිවන ලෙස පවසා යුහුසුළුව ආදිත්‍යව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කිරීම සඳහා පියවර ගෙන හෙදියක් සමග කතා කර ආදිත්‍යව වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කළාය.

ආදිත්‍ය වෛද්‍යවරයා සමග කතාබහ කරන තුරු සහ පරීක්‍ෂණ කටයුතු සිදුකරන තුරු මෞර්යා හදිසි ප්‍රතිකාර ඒකකයෙන් පිටත වාඩි වී සිටි අතර විනාඩි දහයකට පමණ පසුව හෙදියක් පැමිණ වෛද්‍යවරයා මුණගැසීමට  පැමිණෙන ලෙස මෞර්යාට පැවසුවාය.

වෛද්‍යවරයා සිනාමසු මුහුණින් බලා සිටි අතර ආදිත්‍යයද තරමක් මදහසක් ඇතිව රෝහල් ඇඳේ වැතිරී බලා සිටියේය.

” බයවෙන්න දෙයක් නැහැ. මෙයාට මේ ගැස්ට්‍රයිටිස් ඇටෑක් එකක් ඇවිල්ල තියෙන්නෙ. ECG එකත් නෝමල් ” 

වෛද්‍යවරයා ඒ සිනා මුසු මුහුණින්ම පවසා සිටි අතර බෙහෙත් වර්ග කිහිපයක් ලියූ කොළය මෞර්යා වෙත දිගු කළේය.

” වෙලාවට කාලා බීලා මේ බෙහෙත් ටිකත් අරගෙන ටිකක් රෙස්ට් කරනකොට ඕක ඇරිලා යයි.අනිත් විශේෂම දේ තමයි අපිට කොච්චර වැඩ තිබුනත් අපි වෙලාවට කෑම බීම ටික ගන්න ඕනේ. ලේසියට පහසුවට කියලා එළියෙන් එක එක කෑම ජාති කනවට වඩා ගෙදර හදපු කෑම කන එකත් කරන්න. තේරුනාද ? ” 

වෛද්‍යවරයාට සමුදුන් ආදිත්‍ය සහ මෞර්යා පිටතට පැමිණි අතර දෙදෙනාම අසල වූ අසුන් පේළියේ කොනකින් වාඩි විය.මෞර්යා වෛද්‍යවරයා ලබාදුන් කොළයේ සටහන් බෙහෙත් දෙස බලා සිටි අතර ආදිත්‍යයට එකවරම යමක් සිහි විය

” ඔය ටික මේ ෆාමසි එකෙන් ගන්න වෙන්නේ නැහැ.මම වොලට් එක අරගෙන නෙමෙයි ආවේ “

” ඔයා අරගෙන ආවෙ නැති උනාට මම අරගෙන ආවා නේ.ඔයා ඔහොම වාඩිවෙලා ඉන්න “

ආදිත්‍ය තවත් යමක් කීමට මෞර්යා එසැණින් නැගිට වාහනය වෙතට ගොස් මුදල් පසුම්බිය රැගෙන විත් ආදිත්‍ය දෙස නොබලාම ආරෝග්‍ය ශාලාවේ පිහිටි ෆාමසිය වෙත ගොස් වෛද්‍යවරයා විසින් ආදිත්‍යයට නියම කර තිබූ බෙහෙත් සියල්ල මිලදී ගත්තාය.

” මාර කෙල්ලෙක් තමයි ” ආදිත්‍ය සිතින් සිතුවේ මෞර්යා මිලදීගත් බෙහෙත් සමග ඔහු වෙත පැමිණෙන අතරේය.

” යං ” 

මෞර්යා මද සිනහවකින් බෙහෙත් අඩංගු වූ බෑගය ආදිත්‍ය වෙත දිගු කළ අතර ආදිත්‍යය එය ගෙන අසුනින් නැගී සිට වාහනය වෙත ආවේ මෞර්යා පසු පසිනි.

” දැන් මට ඔයාගේ ගෙදරට යන පාර කියන්න ” 

වාහනයට නැගුණු පසු මෞර්යා එසේ කී විට ආදිත්‍ය ඇය දෙස බැලුවේ විශ්මය පිරුණු දෑසිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here