හදේ කොතැනක හෝ හිඳී – 01

0
264

“වසර හයක් පැරණි අගනා බොන්සායි බෝ පැළයක් විකිණීමට!”

සිය ෆේස් බුක් බිත්තියෙහි ඔහේ අරමුණකින් තොරව පහළට ගමන්  කරමින් සිටි ජාන්වී වාසලසූරිය, යළිත් ඒ පහු වුණ පෝස්ටුව පහළට ගෙන බැලුවා ය. මැටි පාත්තරයක සිටවූ බොන්සායි බෝ පැළය හිත මොහොතකට නතර කරගත්තේ ඇයි කියා ඇය දන්නේ නැත. ගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල වන අප්‍රමාණ වූ සිහිල ද, හිතට පමණකුදු නොව සිරුරේ රෝම කූපයකට පවා දැනෙන භක්තිමත් භාවය ද ඇය සජීවී ව අත්විඳ තිබේ. පාත්තරය මතුපිට දීප්තිමත් තද කොළ පාට පෙඳ පාසි ස්ථරයකින් ආවරණය කොට තිබි, ක්ෂුද්‍ර වූ හා අඩු පත්‍ර සංඛ්‍යාවකින් සමන්විත මේ බොන්සායි බෝ පැළය ද ඇගේ හදවතේ එකී සිහිල ම දනවන්නට සමත් විය. ජාන්වී මඳ වෙලාවක්  නතර වී බෝ පැළය දෙස ම බලා සිටින්නට වූවා ය

බොන්සායි වූ කලී ඈ රිසි වූ කලාවක් නොවේ. නිදහසේ වැඩෙන්නට තුරකට ඉඩක්   නොදී අතු ඉති බැඳ දමන, නිසි ලෙස ජලය හෝ පොහොර නොදී නිසරු කරනා ගසක් ගැන ඇයට වන්නේ රිදුම් හැඟුමෙකි. නමුත් මේ බෝ පැළය ඈ නවතාගෙන හිඳී. එය කෑ ගසා ඇගෙන් යමක් අයැද සිටිනවා මෙනි. වෝලයේ පහළට යන්නට ගොසිනුත් ඇය යළි එහි නතර වූවා ය. එහි වටිනාකම ලෙස සැලකිය යුතු මිලක් සනිටුහන් වී තිබේ. මිල ගණන් සාකච්ඡා කරගත හැක යනුවෙන් වරහන් ඇතුළේ ලියවී ද ඇත. පෝස්ටුව ගබඩා කරගත් ඕ එහි වන දුරකතන අංකයට ඇමතුමක් ගත්තා ය.

“බොන්සායි බෝ ට්‍රී එක ගැන පෝස්ට් එක දැකල කතා කරන්නෙ. ඒක තාම අවේලබල්ද…”

ඇගේ හඬේ ආඩම්බරය ද වෘත්තීමය භාවය ද මැනැවින් ගැබ් ව තිබිණ. එහා ඉමෙන් “ඔව් මැඩම්” යනුවෙන් කියවිණ.

 “ඕකේ. මං ලොකේශන් ශෙයා කරන්නං. ප්ලීස් ඩිලිවර් ඉට්”

“අ… ඕකේ මැඩම්”

දුරකතන සම්බන්ධය බිඳ වැටිණ. විසල් සිඳුරංග තවත් මොහොතක් දුරකතන තිරය දෙස නෙතු රඳවාගෙන ය. ඉතාමත් හෙමිහිට වුව ඔහු දීර්ඝ වූ හුස්මක් ගනිමින් සිටියේ ය.

මේ විකුණා දමන්නට කියා ඔහු ට තිබෙනා සන්තකයයි. වසර හයක් තිස්සේ දරුවෙකු තරම් පරිස්සමෙන් ඔහු විසින් ඇති දැඩි කරගන්නා ලද ඔහු ගේ ම ශරීරයේ කොටසක් වන් වස්තුවයි.

විසල් සිඳුරංග, මේ බෝ පැළය නුගේගොඩ තාප්පයකින් ගලවා ගන්නා විට ඔහු සාමාන්‍ය පෙළ සිසුවෙකි. නිසරු කෙසඟ බෝ පැළයක් වූ ඒ දුටු විට ඔහු  ට දැනුණේ කම්පාවකි. ඒ බෝ පැළයත් ඔහු වාගේම යයි සිතුණේ ඇයිද කියාවත් විසල් දන්නේ නැත. ගෙදර ගෙනැවිත් ටින් කබලක සිටවූ බෝ පැළය හරිහමන් පෝෂණයක් නොලද නිසා ම නිසරු හා කුරු වෙමින් පැවතිණ. එහෙන් මෙහෙන් ඇහිඳ ගත් සිහින් වයර් පොටකින් ඔහු එහි අතු හැඩයට බඳිනා විට උසස් පෙළ සිසුවෙකු වූයේ ය. ඊටත් පස්සේ කාලයක මිතුරන් කිහිප දෙනෙකු සමග බෙල්ලන්විල ගොස් එන ගමන් මැටි පාත්තර දුටු විට ඔහු ට සිය මිතුරු බෝ පැළය සිහි විය.

ගැනුම්කාරිය බොන්සායි පැළයේ මිල ගැන කිසිදු විමසීමක් කළේ නැත. මේ පෝස්ටුව දැමූ පසු ඒ ගැන විමසමින් දුරකතන ඇමතුම් ගණනාවක් ම පැමිණි අතර ඒ හැම කෙනෙකු ම කතා කළේ මිල ගණන් පිළිබඳව ය. හැම කෙනෙකුට ම එ් මිල වැඩි වූයේ ය. ඔවුන් ඉල්ලා සිටියේ කුණු කොල්ලයට යි.

විසල් ට දැනුණේ දරා ගත නො හැකි අසරණ හැඟීමකි. අඳුරු අගාධයක සීඝ්‍රයෙන් ඔහු ගිලා බහිනවා වන් සංවේදනයකි. අල්ලා ගන්නට අත දෙන්නට කිසිවෙකුත් නොමැත. ජීවත් වීමට කිසිදු අවස්ථාවක් ඉතිරි වී නැති ද? ඔහු ගේ තුරුණු පිරිමි හදවත දැන් ඇති යයි ඉල්ලා සිටිමින් තිබිණ. බරපතල ආත්මීය හෝදා පාළුවක් තුළ ඔහු නාය යමින් සිටියේ ය. මෙතෙක් හුස්ම අල්වාගෙන හිඳීමට දැරූ සියල් පරිශ්‍රමයන් අතැර දමන්නට ඔහු ට ඕනෑ වූයේ ය. ජීවිතය වූ කලී එපමණට රිදුමකි.

විසල් ට මේ බොන්සායි පැළය සිය සමීපතම මිතුරෙකු සේ ය. ප්‍රාර්ථනීය වූ කිසිවක් ඉටු වීමට අවස්ථාව නොදී ඉරණම රුදුරු සෙල්ලමක් කරත්දී, ජීවත් වූවා ඇති කියා හිතෙන බොහෝ අවස්ථා වල ඔහු සිය හදවත විවර කොට ඇත්තේ බෝ පැළයටයි. පිළිකන්නේ කොනක කාගේවත් අවධානයට ලක් නොවූ ටින් කබලක ජීවිතය ගැටගසමින් සිටි බෝ පැළය අස ඇණ තියා හිඳ ඔහු හෙළූ සුසුම් වල නිමක් නැත. අන්තිමට විසල් බොන්සායි බෝ පැළය විකුණා දමන්නට තීරණය කළේ සිය එක ම එක පරණ ඩෙනිම් කලිසමේ අඩිය දිය වී ඉරී යමින් පවතින බැවිනි. එය සම්පූර්ණයෙන් ඉරී ගිය හොත් විලිවසාගෙන ගෙයින්     එළියට බහින්නේ කොහොමද?

“අනේ අපි මොකක් හරි කරමු රත්තරනේ…”

අම්මා, මේධා එසේ කියන්නේ ටික දවසක සිට ය. නමුත් ඇයට කරන්නට කිසිත් නොවන බව විසල් දනී. ඇගේ හදවත ද සිය කලිසම මෙන් ම දිය වී ඉරී ගොසිනි. විසල් වෙනුවෙන් අලුත් කලිසමක් ගන්නට ඕනේ කීවොතින් අම්මා ට බාප්පා ගෙන් විසුමක් නොවෙන බව ඔහු නො  දන්නවා නොවේ.

සේනක රණ්ඩු කරන්නේ ම විසල් නිසාවෙනි. ඒ රණ්ඩු වල ඉතිහාසය අද ඊයේ නොවේ. විසල් කෑවත් නො කෑවත් දුටුවත් නො දුටුවත් හිටියත් නො හිටියත් සේනක ට ඒ බැණ වදින්නට හේතුවකි. ඔහු විසල් ගේ මූණට කිසිත් කියන්නේ නැත. කියන තරම් දේවල් කියන්නේ මේධා ට ය. කුළුඳුළේ සිය කුසින් වැදූ දරුවා සේනකට පේන්නට බැරි කවර කරුමයක් නිසා දැයි මේධා ට සිතා ගත නො හැකි තරමි. ඔහු කිසිවෙකුට කිසිදු වරදක් නො කරනා අහිංසකයෙකි. අඩු තරමින් අද තව වෙනතුරා සේනක ට වචනයකින්වත් දොසක් කියා නැත. අඩු තරමින් ඔහු ට මූණ දෙන්නේ හෝ නැත.

“ඉවසන්න පුතේ. එයා ඕන දෙයක් කියාගත්තදෙන්. මොනා අහගෙන හරි අපි ඉවසීමෙන් රස්සාවක් හොයාගමු. අනේ හිත නරක් කරගෙන දොට්ට බහින්නනං එපා මගෙ මැණික. එළියෙ ලෝකෙ මීට වඩා නරකයි. අම්මට ඕනෙ ඔයා දවසක ලස්සන ජීවිතයක් ගෙවනව බලන්න. ඔයා එතනට කොහොමහරි යන්න ඕනෙ. ඒ යනකල් අපි දෙන්න මේ දුක විඳ දරාගෙන ඉමු”

මේධා දවසකට වතාවක්වත් මන්තරයක් සේ මතුරන මේ  වදන් දැන් විසල් ට කටපාඩම් ය. ඔහු ගේ හදවතේ වන්නේ සුළු තුවාලයක් නොවේ. ගැඹුරු තුවාලයකි. වසර ගණනාවක් තිස්සේ පෑරෙමින්, සුව වීමට කිසිදු ඉඩක් නො ලබනා තුවාලයකි. අම්මා නො වන්නට ඔහු මේ ගෙදරින් නික්ම ගොස් බෝ කලක් වනු ඇත. නමුත් මේධා ගේ මව්වත්කමේ ප්‍රතිමූර්තියක් වන් දුක් ඇස් දෙක ඔහු ට එහෙම කරන්නට ඉඩ දෙන්නේ නැත.

“දරුවෙක් ඉන්න ගෑනියෙක් කොහොම මොන දුක විඳල හරි ඒ දරුව හදාගන්නව මිසක් තව කසාදයක් කරගන්නනං නරකයි. දෙයියනේ කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල. මගෙ අසරණයට හොඳක් වෙයි කියලනෙ මං මේ මිනිහව බැන්දෙ”

මේධා ගේ හදවත නිරන්තර කෑ ගසන්නේ එසේ ය. සේනක ගෙන් ඇගේ කුසට පැමිණි දියණිය අනගි නොවන්නට මේධා විසල් ගේ නාමයෙන්  සේනක අතැර දමා බෝ කලක් ගත වෙන්නට තිබිණ. නමුත් ඒ කාලේ එක දරුවෙකු මදිවාට දෙදෙනෙකු ම ගෙන දෙවන කසාදයෙන් ද දොට්ට බහින්නට ඇයට සවියක් වූයේ නැත. විශේෂයෙන් ම අනගි ඔටිසම් දරුවෙකු වූයේ දුක් ම උහුලන්නට උපන් මේධා ගේ  හදවතට ඉවසීම ගැන තවත්  පාඩම් කියාදෙන්නට ය.

“මං විතරද ගෑනියෙ මේ ගෙදර එවුංගෙ බඩවල් පුරවන්න නැහෙන්න ඕනෙ… හෙණ කඳය වගේ පුතෙක් උඹට ඉන්නෙ. ඌව ගෙයි තියාගෙන දුං අල්ලනවද… ඌට හෙණ ගහනවද අත පය හොලෝල කීයක් හරි හම්බ කරගෙන ආවනං…”

සේනක එසේ බෙරිහන් දෙන වෙලාවට මේධා ගේ පපුව ඇවිළෙයි. එවන් පිහි තුඩු වචන ටිකක් ඇනී හද තුවාල කරගන්නා විසල් ගැන ඇය අපමණ බිය වෙයි. උසස් පෙළ ලියා පාසලෙන් සමු ගත් දා පටන් මේ වන තුරා වසර කිහිපයක් තිස්සේ ඔහු විසින් යොමු කරන ලද ඉල්ලුම් පත් ප්‍රමාණය ගැන මේධා තරම් හොඳින් දෙවියන්වත් දන්නේ නැත. නමුත් රැකියාවක් නො ලැබෙනවාට විසල් – ඒ අහිංසකයා කුමක් කරන්න ද?

“මට මොකක් හරි කුළී වැඩක්වත් හොයාගෙන යන්න හිතෙනව අම්මෙ. කරන කරන පොඩි රස්සාව පවා නැති වෙලා යන දෙයක්මනෙ වෙන්නෙ”

“එපා රත්තරනේ. අපි තව ටිකක් බලමු. ඔයාට ඒව කරන්න බෑ. ඔයා හිතනවට වැඩිය ඒව අමාරුයි. අපි තව පොඩි රස්සාවක් හරි හොයමු”

“ජීවිතේ කියන්නෙ ලේසි දෙයක් නෙවේ කියල මං දැන් දන්නව අම්මෙ”

විසල් වූ කලී මේධා ට මාණික්‍යයකි. රජෙකි. ඔටුන්නකි. මහානර්ඝ වස්තුවකි. වැරදීමකින් සිය කුස උපන්නාට ඔහු ට හිමි තැන මෙය නොවේ කියා අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඇයට සිතී තිබේ. ඒ මැණික රැක ගැනීම වෙනුවෙන් ඔහු කුඩා සාවියෙහි පටන් ඇය සේනක සමග මහත් අරගලයක් කළා ය. අද අදට ද ඒ සටන නිමා වී නැත.

“මේ රත්තරං අත් දෙකෙන් කුළී වැඩ කරන්න බෑ පැටියො. ඔයාට හොඳ රස්සාවක් හම්බවෙයි. ඊට පස්සෙ ඔයා මේ ගෙදරින් යන්නම යන්න. ගිහින් කොහේ හරි නතර වෙලා ලස්සනට ඔයාගෙ ජීවිතේ ගෙවන්න. කවදාවත් ඔයාට සැපක් දීගන්න බැරි වුණ මේ අම්ම ඉන්න පැත්තක් හැරිල බලන්නවත් ඕන්නෑ. ඔයා ලෝකෙ කොහේ හිටියත් අම්ම එයාගෙ කොලු පැටිය ගැන ආඩම්බර වෙනව. ඒ දවස වෙනකල් අපි තව ටිකක් ඉවසගෙන ඉමු”

විසල් ට මොන දහ දුකක් විඳගෙන හෝ කුළී වැඩක් හොයාගෙන යන්නට නො දෙන්නේ මේධා ය. පුතු ට රැකියාවක් ලබා දෙන ලෙස බාර හාර වෙන්නට ඇය නො ගිය පන්සලක් දේවාලයක් නැති තරමි. ඔහු ගේ වේලපත්කඩය පිරික්සූ බොහෝ ජ්‍යෝතිශවේදීන් පැවසූයේ ඒ බලගතු හඳහනක් බවයි. විසල් දිනෙක රජෙකු සේ ජීවත් වෙනු ඇති බවයි. ඒ දවස උදා වෙන්නට ඇතැම් අකුසලයන් ගෙවී අවසන් වන තුරු බලා සිටිත යුතුව තිබේ. ඒ වෙනුවෙන් පවත්වන ලෙස විවිධ පූජා කර්ම ඔවුන් විසින් නියම කරනා ලද ද ඒවා කරන්නට තරම් මේධා ගේ අත මිටෙහි මුදලක් ගැවසෙන්නේ නැත. සේනක ගෙදර අඩුවැඩිය සපයන්නේ සංසාරයකට බැණුම් බැණ ය. එද වේල උරච්චි කරගන්නටවත් මේධා ට හැකියාවක් නැති වන ලෙසට ය. නමුත් නො පෙනෙනා සියලු දෙවියන්ගෙන් ඇය තුන් තිස් පැයේ ඉල්ලා සිටින එක ම පැතුමක් තියේ. ඒ සිය පුතුන් මේ භවය තුළදී ම මෙදුකින් එතෙර කරවනා ලෙසයි. ඇගේ මැණික කපා ඔපමට්ටම් කළ හැකි දෑතකට පත් කොට දෙන ලෙසයි.

විසල් බොන්සායි බඳුන බෑගයකට දමත්දී මේධා බලා සිටියා ය. ඔහු ඒ ගෙන යන්නට හදන්නේ කොහේ දැයි ඇය දැන සිටියේ නැත.

“මේක විකුණනව අම්මෙ”

මේධා ගේ තොල් කොනක් සිනහවකට ඇද විය.

“කවුද ඉතිං ඕක සල්ලි දීල ගන්නෙ… ඇරත් මොකටද…”

විසල් කිසිත් කීවේ නැත. කාලයක් තිස්සේ පිළිකන්නේ තිබෙන කාක බෝ පැළය මිල කළ හැක්කකැයි මේධා නම් නො දනී. එහෙව් දේවල් සොයා දැනගත නො හැකි ලෙසට ඇගේ හදවත දුක් කරදර පිරිපත විසින් වසා දමා තිබේ.

ජාන්වී දුරකතන ඇමතුම දුන්නේ රාත්‍රියේ ය. පසු දා පාන්දර ම විසල් එහි යන්නට සූදානම් වූයේ ය. සූදානම් වී, ජංගම දුරකතනයෙහි වූ ඉතා කුඩා ශේෂයෙන් ඇමතුමක් ගත්තේ ය.

“මැඩම් ලොකේශන් එකේ ඉන්නවද… මං බොන්සායි එක ගේන්නයි හදන්නෙ”

“මෙච්චර උදෙන්…” යයි ජාන්වී ට කියවෙන්නට ගියේ ය. නමුත් ඕ වචන වලට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට “ඕකේ” යි වෘත්තීය මට්ටමේ සරකින් කීවා ය. රාත්‍රී නිදන ඇඳුම පිටින් ම සඳැල්ලට විත් තේ එකක් බොමින් සිටි ඕ යළි කාමරයට ගියේ ඔහු එන්නට පෙර ඇඳුම් මාරු කරගන්නටයි. සව්මිය තවමත් කොට්ටයක් බදාගෙන නිදමින් හිඳී. යහන මත මොහොතකට හිඳගත් ජාන්වී පුංචි පුතු ගේ කිරිකැටි මුව කමල දෙස බලා සිටින්නට වූවා ය. කඳුලක කැළලක් තවමත් ඔහු ගේ රෝස කොපුලක වේ. පෙර දා පෙර පාසල් ගොස් පැමිණි වෙලාවේ පටන් ඔහු විටින් විට හැඬුවේ ය. රෑ වන විට මඳ රස්නයක් ද සිරුරෙහි දැනුණු බැවින් ඕ පැරසිටමෝල් මාත්‍රාවක් දුන්නා ය. කිරිකැටියා නින්දට වැටුණේ ද දුකෙනි.

පුතු ළඟ වැතිර ඔහු තුරුලු කොට ගත් ජාන්වී මොළකැටි කොපුලක් සිපගත්තා ය.

“දෙන්න පුළුවං ඕනම දෙයක් මං ඔයාට දෙන්නං මගෙ මැණික. ඒත් කවදාවත් දෙන්න බැරි දෙයක් ඉල්ලල අඬල අම්මිව මේ තරං අසරණ කරන්නෙපා. තාම තේරෙන්නෑ ඔයාට. ඒත් ඔයා ලොකු වුණ දවසක තේරෙයි”

ජාන්වී ගේ උගුර හිර වී ගති. අම්මා ගේ උණුහුම නිසා සව්මිය ගේ නිදි දැහැන බිඳිණ. ඔහු ජාන්වී ගේ ගෙල වැලඳ කොපුලක් මතින් කොපුලක් තියාගෙන ටික වෙලාවක් හිටියේ ය.

“අපි යං වොශ් දාල එන්න. අද බබාව ගමනක් එක්කං යනව අම්මි”

ගමනක් යනවා කී පුවත නිසා සව්මිය විගස නාන කාමරයට ගියේ ය. ඔහු සෝදා ඇඳුම් මාරු කොට ඇය ද ඇඳුමක් මාරු කොට ගත්දී ගේට්ටුවෙහි විදුලි සීනුව නාද විය.

“මේ මිනිස්සු එළි වෙනකොට වෙළඳාමෙ යනවනෙ”

තරමක නො රිස්සුමකින් ජාන්වි ට එසේ කියවිණ. සුරතල් පුතු ගේ අතින් අල්වාගෙන ම ඕ පියගැට පෙළ බැස විත්, පැති ගේට්ටුව විවර කළා ය.

“බොන්සායි ඕඩර් එක මැඩම්”

දොරකඩ හිටගෙන උන්නේ  යෞවනයෙකි. ඔහු ප්‍රියමනාප ලෙස පෙනී සිටින්නට උත්සාහ කළේ ය.

“එන්න ඇතුළට. මං සල්ලි අරං එන්නං. ඉඳගන්න”

යයි කියමින් ජාන්වී බරාඳ පුටුවක් දක්වමින් ගෙතුළට ගියේ කිසියම් පහන් හැඟීමකිනි.

“තෑන්ක් යූ මැඩම්”

යයි ඔහු  කොඳුරා කියනු ඇසිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here