ජාන්වී විසින් එවන ලද වට්සැප් පණිවිඩය, කීවෙනි වතාවට ද මන්දා විසල් යළිත් කියවූවේ ය. එ’හැම වතාවක සේ ම මේ මොහොතේත් ඔහුගෙන් සුසුමක් ගිලිහුණේ ඔහුටත් රහසෙනි.
‘අනේ වැරදියට හිතන්නෙපා. පුතා වෙනුවෙන් ඔයා දීපු පැය දෙක මට කෝටි ගාණකට වැඩිය වටිනව’
ඒ පණිවිඩය දෙස බලා සිටිය ද ඔහු ඊට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. එදා මේධා ට වැඩිය අද ජාන්වී නමැති අම්මා ශක්තිමත් ගැහැනියක වී හිඳීම ගැන විසල් ට සතුටක් දැනේ. ඔහු ට කෙසෙල් ගෙඩියක් දීම වෙනුවෙන් වුව සේනක සමගින් සටන් කරන්නට තරම් හයියක් මේධා ට තිබුණේ නැත. සේනක කෙසෙල් ගෙඩියක් වෙනුවෙන් කෑමොර දෙත්දී මේධා බයේ ගැහෙමින් පසුබෑවා ය. සේනක ගෙන ආ විශේෂිත කෑමකින් ටිකක් හෝ සිය පුතණුවන්ට දී ගත නොහී අසරණව හදවතින් විඳවූවා ය. නමුත් ජාන්වී, කුඩා සව්මිය වෙනුවෙන් පැයකට දෙකකට තාත්තෙකු සොයා දීමට තරම් ශක්තිමත් ය!
පෙර දාත් පොළේ යන්නට බැරි වූ නිසා විසල් ට වැඩ ගොඩ වී තිබිණ. අම්මාත් පුතාත් එක්ව දුව පැන, ගිනි කා දෙවේල උයා පිහා බත් මුල් ටික ගෙන ගොස් දීමෙන් පසු කඩේ පිළේ යා යුතු විය. සව්මිය ගේ මග බලා සිටින දෑස් මැවි මැවී පෙනුණ ද වැඩ ටික අම්මා මත පටවා නික්ම යන්නට විසල් ට හිත හදාගත හැකි නො විණ.
සව්මිය විටින් විට බරාඳයට දිව එමින් මග බලන්නේ විසල් වෙනුවෙන් බව ජාන්වී දැන සිටියා ය. නමුත් හැන්දෑව මඳින් මඳ ගෙවී යමින් තිබියදීත් ඔහු එන බවට සලකුණක් වූයේ නැත. සමහර විට ඊයේ ඈ මුදල් දුන් එක ගැන ඔහු හිත රිදුවාගන්නට ඇත. ආයේ මෙහි අඩිය නො තබන්නට ඔහු හිතාගත්තා වන්නටත් පිළිවන.
ඇය බරාඳයෙහි සක්මන් කරමින් සව්මිය ගේ හෙට තත්වය ගැන කම්පිත වෙමින් සිටියදී ගේට්ටුවේ විදුලි සීනුව නාද විය. නො එතැයි බලාපොරොත්තු අත්හැර සිටි වෙලාවක පැමිණෙන කෙනෙකු හෘද ස්ඵන්දනය තීව්‍ර කරයි. සව්මිය හා ජාන්වී උනුන් ගේ මුහුණු දෙස බලාගත්තේ බලාපොරොත්තු සහගතව ය. ඔවුන් දෙදෙනාගේ ම වක්ත්‍ර පේශීන් සිනහවකට ලිහිල් වූයේ ය. ඔවුන් දෙදෙනා ම ගේට්ටුව දෙසට දිව ගිය තරම ය.
ජාන්වී ගේට්ටුව විවර කරත්දී, ඇගේ වීස්කෝස් කලිසමේ එල්ලී සව්මිය පිටතට එබුණේ ය. විසල් කෙළින් ම බැලුවේ සිඟිත්තා දෙස යි. කිසි වෙනසක් නැති සිනහවකින් ඔහු වෙත පහත් වී සව්මියව වඩාගත්තේ ය. ඔහු ජාන්වී ගේ මූණ මගහැරියාවත් ද? ඈ ඒ ගැන නො හිතා ගේට්ටුව වසා දැමුවා ය.
‘මං හිතුව අද විසල් එන එකක් නෑ කියල’
ජාන්වී එසේ කීවේ විසල් ට වෙනසක් නො දනවන්නට යි.
‘වැඩ ටිකක් තිබුණ. මෙයා අඬයි කියල හිතුණ නිසයි නෑවිත් බැරිවුණේ’
ඔහු ඇදෙස නො බලා, සව්මිය ගෙන ආ බැට් එක අතට ගත්තේ ය. ජාන්වී ගෙතුළට ගියා ය. ඇගේ හදවතට සැනසීමක් දැනේ. සව්මිය මලක් සේ පිපී හිඳියි. මීට මඳ වෙලාවකට පෙර ඔහු මලානිකව යමින් සිටියේ ය. නමුත් එන්නේ නැතිදැයි විමසා විසල් ට වට්සැප් පණිවිඩයක් යවන්නට හෝ ඈ පසුබෑවා ය.
‘තියන ආඩම්බරකමට ඔහොම හරි ආපු එක ලොකු දෙයක්’
උදේ තනා ශීතකරණයට දැමූ අයිස් කෝපි ජෝගුවෙන් උස් වීදුරුවකට වත්කරනා ගමන් ඈ තනිව මඳහසක් පෑවා ය. චොක්ලට් කේක් තසිම සමගින් අයිස් කෝපි වීදුරුව සහිත බන්දේසිය රැගෙන ඈ ඉස්සරහාට එන විට විසල් සව්මිය සමග තණ පලසේ ක්‍රිකට් ගසමින් සිටියේ ය. ජැකරැන්ඩ ගස යට බංකුව මතින් ඈ බන්දේසිය තැබුවා ය.
‘බීල ඉන්න විසල්’
ඔහු වීදුරුව අතට ගත්තේ ඈ දෙවරක් ම මතක් කිරීමෙන් පසුයි.
‘කේක් කෑල්ලක් කන්න’
ඇය බන්දේසිය නැවත ද ඔහු වෙත පෑවා ය. ගන්න ද නො ගන්න ද කියා ළතැවෙමින් බලා හිඳ ඔහු කේක් කැබැල්ලක් අතට ගත්තේ සිතිවිල්ල කෙළවර ය.
‘ඔයාටත් වැඩ ඇතිනෙ ඕනතරං. මේ කාලෙ විනාඩියක් වුණත් මනුස්සයෙක්ට මිලකරන්න පුළුවන්. අනික… සව්මිය වෙනුවෙං ඔයා මේ කරන්නෙ මගෙ සන්තකේම ගෙවලවත් හිලව් කරන්න පුළුවං උදව්වක් නෙවෙයි. ඊයෙ ඔයා අතට එන්වෙලොප් එකක් දුන්නෙ ඒ හැමදේම හිතල. ඒ ගැන මිස්අන්ඩස්ටෑන්ඩ් කරන්නෙපා විසල්. වැරැද්දක්නං වුණේ… අයිම් සොරි’
ජාන්වී හිත නිදහස් කරගනු වස් කියවාගෙන ගියා ය. විසල් බිම බලාගෙන අයිස් කෝපි බිඳක් තොල ගෑවේ ය. මේ මාතෘකාව සම්බන්ධයෙන් තව දුරටත් ඇයට ප්‍රතිචාරයක් නො දක්වා ඉන්නා එක තමන්ගේ තරමට නො තරම් බවක් ඔහු ට දැනෙමින් තිබිණ.
‘සව්මිය බබාව මට හොඳට දැනෙනව මැඩම්. මට එයාව තේරෙනව. එයා වෙනුවෙන් මට මොනාහරි කරන්න පුළුවන්නං… මං ඒක කරන්නෙ මං වෙනුවෙන්මයි… සල්ලි වෙනුවෙන් නෙවෙයි…’
වචන පිටතට ආවේ විසල් ගේ උගුර යට හිරවීගෙනයි. ඒ වෙලාවේ ඔහු ට ඔහු දැනුණේ කඳුළු බින්දුවක් විලසිනි. ජාන්වී යෞවනයා ගේ මූණ දෙස ම බලාගෙන සිටියා ය. ඔහු කී වචනයක් ගානේ ඇසුණත්, ඔහු කීවේ කුමක්දැයි ඇයට හරිහැටි නො වැටහුණ තරමි. ආදරයේ ප්‍රභේදයක් මුදලට ගන්න ගිහින් ඈ අතින් සිදු වූයේ බරපතල වරදක් බව පමණක් ඇයට දැනෙමින් තිබිණ.
ගෙදර වැඩ ටික නිමවා පැමිණි බැවින් විසල් ගේ හිතේ නිදහසක් විය. ඔහු ට ඉක්මනින් ගෙදර දිවීමේ අවශ්‍යතාවයක් වූයේ නැත. එහෙයින් සවමිය හිතේ හැටියට සෙල්ලම් කළේ ය. ඒ සෙල්ලමෙන් ඔහු කෙතෙක් ප්‍රීති ප්‍රමෝදය අත්වින්දේ ද යත් විටෙක නතර කරගත නො හැකි ව සිනහ වූයේ ය. ඒ සිනහවෙන් ඔහු ගේ කොපුල් පුපුරන්නට මෙන් රතු වී ඇස් වල ඉසිහින් කඳුළු පටලයක් ද බැඳෙනු දකිත්දී, විසල් තුළ ජනිත වනුයේ නිම් හිම් නැති ස්නේහ හැඟීමකි. ඒ හැඟීමෙන් ඔහු දරුවා බදා වැලඳ සිපගනියි. සව්මිය ද ඒ ආලිංගනය දැඩි සේ ප්‍රිය කළේ ය. තාත්තා කෙනෙකු නැති කුඩා කොලුවෙකු වී සිටියදී ඔහු ව තුරුලු කරගෙන මේ විදිහට ආදරය දෙන කෙනෙකු නො සිටියේ මන්දැයි, සව්මිය ගේ දෑස් හි වන සතුට දෙස බලාගෙන විසල් සිතයි.
ජාන්වී වරින් වර සව්මිය ගෙට ගන්නට බැලුවා ය. විසල් නික්ම යා යුතු බව ඇගේ හිත මතක් කරමින් සිටි බැවිනි. නමුත් සව්මිය වෙතින් කිසිදු බුරුලක් ලැබුණේ නැත. සෝදන්නට ය කියා ඔහු ට කතා කළ අවස්ථාවේත් බිළිඳා විසල් ගේ ගෙල වැළඳගෙන අම්මා ව ප්‍රතික්ශේප කළේ ය.
‘විසල් අංකල්ට ලේට් වෙනවනෙ බබා. හැබැයි එයා ආයි දවසක එන එකක් නෑ හොඳේ’
‘විතල් අංකල් නෙවේ තාත්ති’
සව්මිය විසල් ගේ ගෙල වැළඳගෙන ම කීවේ ය. ජාන්වී විසල් කරගත් නෙතකින් යෞවනයා දෙස බැලූ මුත්, ඔහු ඒ බැල්මට හිතා මතා ම හසු නොවී සිටියේ ය. සැබවින් ජාන්වී ගේ පැත්තෙන් නො සිතා මේ වෙලාවේ සව්මිය ගේ පැත්තේ පමණක් සිටගන්නට විසල් ට ඕනෑ වන්නට ඇත. ඔහු දරුවා ගේ හිස් මුදුනේ කෙහෙ රැල් අවුල් කළේ පපුව පිරී ගිය ස්නේහයකිනි.
‘කමක්නෑ තව චුට්ටක් සෙල්ලං කරමුකො’
සිඟිත්තා පෑ සුරතල් හසරැල්ල විසල් ගේ පපුවේ රිදුමක් ඇති කළ තරමි.
අඳුර කුර ගගා ආවේ ය. ගෙතුළත් මිදුලේත් විදුලි පහන් දැල්විණි. මිදුලේ සෙල්ලම් කළ දෙදෙන බරාඳයට පැමිණියහ. ජාන්වී ස්පැගටි තැම්බෙන්නට තැබුවා ය. සව්මියගෙන් විසල් ට ගැලවීමක් නැත. කිසිදු සාධාරණ හේතුවක් නැතිව සව්මිය වෙනුවෙන් මේ තරම් කැපකිරීමක් කළ ආගන්තුක තරුණයාට කෑම ටිකක් හෝ නොදී යැවීම වරදක් සේ ජාන්වී ට දැනෙමින් තිබිණ. විසල් රෑ කෑමට සිටියත් නො සිටියත් ඇය ස්පැගටි තෙම්පරාදු කොට චිකන් කරියක් ද පිළියෙළ කළා ය.
චිකන් කරියෙහි සුවඳ විසල් ට බරාඳයට පවා දැනිණි!
‘මෙච්චර වෙලා හිටිය එකේ විසල් කෑම ටිකක් කාල යන්න’
ඇය ප්‍රධාන උළුවස්සට හේත්තු වීගෙන කියත්දී ඔහු හිස නගා බැලුවේ මඳහසකට අරාඳිමිනි. මෙහි පැමිණි වේලේ හිර වී තිබි සිත්හි යම් සැහැල්ලුවක් මේ වන විට විසල් විසින් අත්විඳිමින් සිටිනා ලදී. මෙහි පැමිණ ගෙවුණු හෝරා දෙක තුනට මේ ඔහු ජාන්වී ගේ මුහුණ දෙස එහෙම සැහැල්ලුවකින් බැලුවා ම ය.
‘අනේ ඕන නෑ මැඩම්. මට ගෙදර ගිහින් කන්න පුළුවන්’
‘බබා කන්නෙ තාත්ති එක්ක’
බලාපොරොත්තු නොවූ ලෙස එසේ පැවසූ සව්මිය, අම්මා සේ ම විසල් ද එක්වර ම ඔහු දෙස බැලූ බැල්මෙන් මඳ ලැජ්ජාවකට පත්ව සුරතල් සිනහවක් පෑවේ ය. නැගෙන්නට ආ සිනහව ගිලගෙන ජාන්වී එතැනින් හැරුණේ ‘නොකානං යන්නම හම්බවෙයි’ කියාගෙනයි. ඒ කීවා සේ ම සව්මිය විසල් ව කෑම මේසය වෙතට අතින් ඇදගෙන ම පැමිණියේ ය.
ඒ විසල් ඒ ගෙදර ඇතුළට පැමිණි ප්‍රථම වතාවයි. එය පුංචි දෙව් ලොවක් වාගේයි ඔහු ට සිතිණ. වැඩිපුර බඩු බාහිරාදිය නොමැති නිදහස් නිස්කලංක බවක් ගෙතුළ විය. බුදු පහන දැල්වෙන කුළුණ පසෙක ඔහු ට අයිතිව තිබූ බොන්සායි බෝ පැළය නිදුකින් සිටිනු ඔහු ගේ නෙත ගැටිණ. නො සිතා ම වුව එතැන පසු කරත්දී ඔහු ගේ දෙපා මන්දගාමී වී, දෑස් එහි නතර විය. ජාන්වී විසින් මල් පහන් පූජා කොට තිබූ කුඩා සුදු වීදුරු බඳුන් වලට පසෙකින්, බෝ පැළය තේජස් ව වැඩ සිටියි. ඔහු ගේ ගෙදර කුස්සිය පැත්තේ තිබුණා සේ නොව දැන් එය ගාම්භීර ය. විසල් වටිනාකමකින් යුතු පෙනුමකින් සමන්විත ය. ඕනෑ ම දෙයක වටිනාකම පෙනෙනුයේ ඊට ගැළපෙන තැනක පවතිද්දී යයි විසල් ට සිතිණ.
‘ඔයාගෙ බෝ ට්‍රී එකට සතුටු ඇති ඔයාව ආයි දකින්න ලැබුණට’
විසල් ගේ ඇස් යොමුව ඇත්තේ බෝ පැළය වෙතට බව දැනී ජාන්වී කීවා ය. ඒ අතරේ ම ඇය කඩිසර ලෙස කෑම මේසය සකසමින් සිටියා ය.
‘දැන් ඒක මගෙ නෙවෙයිනෙ… මැඩම්ගෙ…’
ඔහු ගේ මුව මත උපේක්ෂා සහගත මන්දස්මිතයක් විය. වසර ගණනක් තමන්ගේ කියා හදා වඩාගත් පැළයක් වුව අවශ්‍ය මොහොතේ දී හදවතින් අත්හළ යුතු වේ. නමුත්, බොන්සායි පැළය වෙන කෙනෙකුට හිමි නොවී මේ ගෙදරට අයිති වීම ගැන තුනී සැනසුමක් ඔහු ගේ පිරිමි හදවත තුළ පැතිර ගියේ ඇයි කියා නම් විසල් නො දත්තේ ය.
සව්මිය විසල් ට පසෙකින් මේසයෙහි හිඳගත්තේ ය. වෙනදාට ජාන්වි ඔහු ට කෑම ටිකක් කවාගන්නේ මොන තරම් වදයක් විඳගෙන ද? නමුත් අද ඔහු අම්මා ට කවන්නට නොදී සිය පතට ස්පැගටි බෙදාගත්තේ ය.
‘අනේ මැණික ඔයාට ඕව දැවිල්ලද දන්නෑ. අම්මි පුතාට වෙනම හදපු ඒවගෙන් කන්න පැටියො’
කියා ජාන්වී ඇවිටිලි කළත් සිඟිත්තා ට ඕන වුණේ විසල් සමග හරි හරියට කන්නටයි. කටක් දෙකක් මුව ලා ගෙන ඔහු දැවිල්ලට හාස් හූස් ගෑවේ ය. නමුත් ඊලඟට විසල් ගේ පතින් ම කවන ලෙස ඉල්ලා සිටියේ ය.
‘අනේ එපා බබා කරදර කරන්න. විසල් අංකල්ට එහෙම කන්න බෑනෙ’
කියමින් ජාන්වි ඔහු වළකන්නට උත්සාහ කළ ද විසල් සව්මිය ගේ ඉල්ලීම ඉටු කළේ ය. ජාන්වී ට මේ සියල්ල සතුටක් වූවා නොවේ. ඇය සිටියේ හදෙහි සුසුමක් හිර කරගෙන යි. සව්මිය ගිලන් වීම වළකනු වස් විසල්ව ගෙන්වාගත්ත ද දරුවා ආගන්තුකයෙකුට බැඳෙනා එක මොන විදිහේ ගැටළුවක් ඇති කරනු ඇත්දැයි හදවතේ එක පැත්තක් ඇයට අනතුරු අඟවමින් තිබේ.
‘ඉතිං මං මොකද්ද දෙයියනේ කරන්නෙ…’
ඇය තමන් වෙතින් ම ප්‍රශ්න කරගත්තා ය.


