එදා විසල් පැමිණියේ සව්මිය වෙනුවෙන් චොක්ලට් එකක් රැගෙනයි. ඉතා කුඩා දෙයක් වී ද විසල් එය මිල දී ගත්තේ ලොකු හැඟීමකිනි. සිය ළමා වියෙහි දී ඔහු වෙනුවෙන් ටොෆියක් ලබා දෙන්නටවත් මේධා ට හැකියාවක් නොවිණි. ඇය සිටියේ සේනක ගේ යෝධ සෙවනැල්ල යට මහත් භීතියකිනි. අම්මා වඩාත් බිය වූයේ සේනක ගේ කෝපය විසල් මතින් යනු ඇත කියා බව ඔහු දැන සිටියේ ය. පුංචි විසල් ගේ පපුවේ හිර වී තිබුණේ අම්මා ගැන සංවේගයකි. සන්තාපයකි. අම්මා ගේ හදවතට තවත් රිදුමක් ඇති කරවන වචනයක් හෝ ඔහුගෙන් බැහැර වූයේ නැත.
සව්මිය වෙනුවෙන් චොක්ලට් එකක් මිල දී ගන්නට තරම් හෝ වත්කමක් මේ වෙලාවේ තමන් සන්තක වීම ගැන විසල් තුළ වූයේ තෘප්තිමත් හැඟීමකි. සිය පියා කොයි වෙලාවක හෝ රසකැවිලි මල්ලක් ගෙන ඔහු ඉදිරියේ පහල වනු ඇති බවට සිහිනයක්, එදවස පුංචි විසල් ගේ පුංචි හිත තුළ විය. ඒ වූ කලී කිසි දා ඉටු නොවූ බලාපොරොත්තුවකි. පුංචි සව්මිය ගේ හිතේත් එවන් සිහිනයක් තිබිය නො හැකි යයි කිව හැකි ද? මේධා ට මෙන් නොව ජාන්වී ට සිය පුතු වෙනුවෙන් ඕනෑ ම දෙයක් මිල දී ගත හැකි බැව් සැබවි. නමුත් ඒ සියල්ලට වඩා තාත්තා කෙනෙකුගෙන් ලැබෙන ලාභ ටොෆියක් ගැන දැවෙනා ආශාවක් ඔහු තුල වනවා විය නො හැකි ද? පණ ගැහෙන්නට පටන් ගෙන වැඩි කාලයක් නොවෙන ඉතා කුඩා හදවතක එහෙම පැතුම් හැංගී තිබිය හැකි බැව් විසල් තරම් හොඳින් ජාන්වී දන්නේ නැත. එබැවින් ඇගේ සියලු වත්කම් අමතක කොට ඔහු සව්මිය වෙනුවෙන් චොක්ලට් එක මිලයට ගත්තේ ය.
විසල් වෙතින් පොඩ්ඩා එය දෝතට ගත්තේ උණුහුම් හදවතකින් නැගෙනා පිවිතුරු සිනහවකිනි. බිලිඳු ඇස් වහු පැටවෙකුගේ වාගේ දිළිසිණ. ඔහු එක අතක චොක්ලට් එක තිබියදී ම දෑතින් විසල් ගේ ගෙල වැළඳගත්තේ ය.
‘මගෙ හොඳ තාත්ති. ආදෙයි. උම්ම’
ගිනියම් ලෝහ ගුලියක් ජාන්වී ගේ උගුරෙන් පහළට බැස්සේ ය. ඒ ගින්දර උරස් කුහරයේ සිට උදර කුහරය දක්වා කිඳා බසිනු ඇයට දැනිණ. ඕ හුස්ම නතර කරගෙන බලා සිටියා ය. පසුගිය දිනවල මොන සෙල්ලම් බඩුව දුන්නත්, මොන රස කැවිල්ල දුන්නත් සව්මිය සනසවා ගන්නට ඇය අපොහොසත් වූවා ය. නමුත් විසල් ගෙන ආ චොක්ලට් පෙත්ත නිසා ඔහු රටක් රාජ්ජයක් දිනූ රජෙකු ගේ ප්‍රීතිය විදහා පෙන්වයි. වඩාගෙන සිටි සව්මිය බිම තබා නැගී හිඳිනා ගමන් විසල් මඳහසකින් ජාන්වී දෙස බැලුවේ ය. නමුත් ඇයට සිනහ වෙන්නට සිහිපත් වූයේ නැත. ඇගේ රතදර වෙව්ලා ගියේ ය. එකෙනෙහි දෑස් බොඳ වී යන්නට ගති. ඕ දෑතින් ම මුව වසාගත්තා ය. ඇස් දෙකෙන් වැස්සක් ව කඩා වැටුණේ එතෙක් දරා උන් කඳුළු මේඝයයි!
‘අනේ ඔයාට පින් සිද්ද වෙනව විසල්’
මහා වැලපුමක් අතරින් ඇය කියාගත්තා ය. මේ සංවේදී මොහොතේ කෙලෙස ඇයට ප්‍රතිචාර දක්වන්න ද කියා විසල් ට හිතාගත හැකි නො විණි.
‘අම්මි ඩෝන්ට් ක්‍රයි… මං ඔයාටත් තොකලට් දෙනව’
බිම හිඳගෙන ම සව්මිය චොක්ලට් ආවරණය ඉවත් කරන්නට පටන් ගත්තේ ය. ජාන්වී ගේ මේ කඳුළු සීතල ද උණුසුම් ද වග විසල් දනී. කුඩා විසල් තුරුලු කරගෙන ඒ කාලේ ඔහු ගේ අම්මා ද ඔය විදිහට කඳුළු සලා තිබේ. මේ මොහොතේ දී සේ ම එහැම වෙලාවකදීමත් ඔහු සිටියේ ඈ කොහොම සැනසිය යුතු ද කියා නො දැනයි. ගැහැනු කඳුළු කියන්නේ ඔහු දකින්නට නො රිසි වූ දෙයකි. ගැහැනු කඳුළු ඔහු ව සිය ළමා විය තුළ දියකොට හරී. ඔහු ගේ පිරිමි පපුව වැඩියෙන් ම රිදෙන තැන වනාහි ගැහැනු කඳුළු හැලෙනා තැන යි!
‘මැඩම් හිතන්නැති තරං ඔය කඳුළු නිසා සව්මිය බබාට රිදෙනව’
අන්තිමට විසල් උගුර යටින් එහෙම කියාගත්තේ ය. එතකොටත් ඔහු ගේ ඇස් මත තෙතමනයක් තිබිණි. ජාන්වී දෑතින් ම දෙකොපුල් පිසගත්තා ය. නමුත් කොපුල් මත කඳුළු කැළැල් ඉතිරි වී තිබිණ.
‘අනේ මට අඬන්නවත් අයිතියක් නෑ විසල්’
‘මං දන්නෑ සර්ට මොකද වුණේ කියල. වුණේ මොකක් වුණත්… බබා ළඟ මෙහෙම හයියට ඉන්න පුළුවන්කම තියන එක ගැන සතුටු වෙන්න. එහෙමවත් නැතුව… එහෙමවත් බැරුව… ගිනි ගොඩක ජීවත් වෙන එක උරුමය වෙච්ච අම්මලත් මේ ලෝකෙ ඉන්නව’
‘විසල් ඉඳගන්න’
නාසය උඩට අදිමින් ජාන්වී ගෙතුළට නො පෙනී ගියා ය. සව්මිය ඇවිත් විසල් ගේ උකුල මතින් හිඳගත්තේ ය. ඔහු චොක්ලට් කැබැල්ලක් කෑවේ ඊට පෙර ඒ තරම් රස කෑමක් හමු වී නැති කෙනෙකුගේ උද්‍යෝගයෙනි. විසල් ඔහු ගේ සිනිඳු හිස කේ පිරිමැද්දේ ය. කම්මුලක් සිපගත්තේ ය. සව්මිය ඔහු ට චොක්ලට් කැබැල්ලක් කැව්වේ ය. මොළකැටි අතැඟිලි වල සිඟිති කෙල තැවරී තිබිණ. නමුත් සව්මිය සිය මුවට ඒ අතැඟිලි වලින් චොක්ලට් කැබැල්ල දමන්නට ඉඩ දුන්නේ කිසිදු අප්‍රියතාවකින් තොරවයි. ඒ ඊට පෙර ඔහු ට දැනී නොමැති විදිහේ හැඟීමකි. සව්මිය කියන්නේ ඔහු ගේ ම කොටසක් සේ ඔහු ට දැනෙන්නේ ඇයි?
තේ එකක් සමග රසකැවිලි වර්ග කිහිපයකින් සමන්විත බන්දේසියක් ගෙන බරාඳයට පැමිණි ජාන්වී ට ද සව්මිය චොක්ලට් කැව්වේ ය. ඇය බන්දේසිය පසෙක වන කනප්පුව මතින් තබා සව්මිය ගේ හිස් මුදුන සිපගත්තේ ය. ඇගේ මුව මඬලෙහි, විසල් ට පුරුදු කඳුළු සුවඳ දැනිණ.
‘තේ එකක් බීල ඉමු විසල්. ඔයා මේ අහිංසක පැටියව තේරුං ගන්න හැටි මට හිතාගන්නත් බෑ. අපි කොහොම වන්දි ගෙවන්නද කියල මං දන්නෙම නෑ’
විසල් පීරිසි කෝප්පය අතට ගත්තේ මඳහසකිනි.
‘වන්දි ගෙවන්නෙ මං… මටම…’
රළ නගන දුක් සයුරක් සිනහ රැල්ලකින් වහන් කරන්නට හැකි හැටි!
‘විසල්…’
ජාන්වී ගේ භාෂිතය අතිශය මෘදු වූයේ ය. විසල් ගේ සිනහවට පිටුපසින් වන ආත්මීය විලාපය, සුළඟේ මිමිණුමක් සේ ඇයට දැනිණ.
‘මමත් සව්මිය වෙලා හිටිය කාලයක් තියනව. තාත්තෙක් නැති පුතෙක් වෙලා… ඊටත් පස්සෙ බාප්පෙක්ගෙ වෙනස්කම් වලින් හිත රිදෝගෙන… අම්මගෙ අසරණකම් වෙනුවෙන් කරන්න දෙයක් නැතුව ඊටත් වැඩිය අසරණ වෙලා… මාත් එහෙම කොල්ලෙක්… ඒකයි මට සව්මිය බබාව මෙච්චර දැනෙන්නෙ. එයාට රිදෙනවට ලෝබ හිතෙන්නෙ… එයාට රිදෙන්න දෙන එක පව් කියල හිතෙන්නෙ…’
විසල් ගේ පාලනයෙන් මිදුණු කඳුළක් හරි හදිස්සියේ නේත්‍ර පිල්ලම් අතරින් ගිලිහී ගියේ ය. ඔහු වහා ම අතැඟිල්ලකින් ඒ මිරිකා හැරියේ ය. කාලයක් තිස්සේ හද සන්තානයෙහි නිදන්ගත වී, දීර්ඝ වූ හේමන්ත නිද්‍රාවකට පිලිපන් ව තිබි කඳුළ මේ හදිසියේ මේ නන්නාඳුනන තරුණ අම්මා ඉදිරියෙහි දිය වූයේ කොහොමද කියා විසල් නො දත්තේ ය.
පිරිමි කඳුළ තුළ තමන් සීතලට ගල් වී ගියා සේ ජාන්වී ට දැනිණ. ඔහු වෙනුවෙන් කවරක් පැවසිය යුතු ද කියා සිතාගත නො හැකි ව ඕ මොහොතකට ගොළු වූවා ය. ඒ වූ කලී එක මොහොතකට විශ්වය කළු කුහරයක ගිලී ගිය නිමේශයකි. ජාන්වී හිම පියල්ලක් ව මිදී සිටියා ය.
‘අනේ විසල් ඔයා… ඔයා… ‘
‘එහෙම තමයි ජීවිතේ’
එවර ඔහු ඉක්මන් ලස්සන මඳහසක් නගාගත්තේ ය.
‘අනේ ඔයා මැණිකක් විසල්. දියමන්තියක්. එච්චර ලොකු පීඩනයක් දරාගෙන මෙච්චර ලස්සන හිතකින් ලෝකෙ දිහා බලන… වටිනාකමක් තක්සේරු කරන්න බැරි දියමන්තියක්’
ජාන්වී කතා කළේ හදවතින් ම ය. ඈ ඉදිරියේ හිරු මඬලක් සේ හිඳිනා මේ අපූරු යෞවනයාව අගයන්ට ඊට වැඩිය සුදුසු උපමාවක් ඇයට සිහි කරගත හැකි නො විණි.
‘මං මගෙ තාත්ත ගැන අම්මගෙන් කවදාවත් අහල නෑ. ඒත් බාප්ප රංඩු වෙන වෙලාවට අම්මට බණින දේවල් වලින්… මට හිතෙන්නෙ අම්ම මගෙ තාත්ත කියන කෙනාව බැඳල ඉඳල නෑ. මං තාත්ත කියන කෙනාට ආදරේ කළා නෙවෙයි… හැබැයි මට එහෙම කෙනෙක් හිටියනං බාප්ප නිසා අම්මයි මායි දෙන්නම එහෙම විඳවන්නෑනෙ කියන එක පොඩි කාලෙ ඉඳං මං දැනං හිටිය. දරුවෙක්ට කවදාවත් තාත්ත නැති වෙන්නනං එපා’
ඒ අන්තිම වචන ටිකෙහි කෙළවර සුසුමක බර විය. ජාන්වී ඒ සුසුමෙහි කෙළවරින් අරඹා කතා කළා ය.
‘මං හිතන්නෙ ඔයා තාම තාත්ත කෙනෙක් වෙලා නෙවෙයි එච්චර ලොකු විශ් එකක් කරන්නෙ. ඒත් විසල්… තාත්තල වෙච්ච සමහර මිනිස්සු කිසි හැඟීමක් නැතුව එයාලගෙ කිරිසප්පයො අතෑරල යනව. ඇයි එයාලට ඒ පැටව් ගැන හිතන්න බැරි… අම්ම කෙනෙක්ට පුළුවන් විසල්… ඔව් පුළුවන් තාත්තත් වෙන්න. තාත්ත කෙනෙක් වගේ එයාලව රැක බලාගන්න. ඒත් මේ කිරිසප්පයො තාත්තල හොයනකොට අම්මල හරි අසරණ වෙනව විසල්. පපුව පැලිල මැරෙයි කියල හිතෙන තරං අසරණ වෙනව. එහෙම අය කවදාවත් තාත්තල නොවී ඉන්නවනං හොඳයි. එහෙම වුණානං ඔයා වගේම මේ අහිංසකයත් තාත්තෙක් නිසා පපුවෙ තුවාලයක් ඉතුරුකරගන්න එකක් නෑ. හැබැයි මං මේ ඇත්තමයි කියන්නෙ විසල්… ඔයාගෙ කතාව දැනගත්තට පස්සෙ මං ප්‍රාර්ථනා කරනව මගෙ පුතත් ඔයා වගේ හොඳ හදවතක් තියෙන පිරිමියෙක් විදිහට ලොකු වෙන්න කියල. මොනා නැතත් ඔයාගෙ අම්මටත් ඒ සැනසීම ඇති. ඔයා වගේ පුතෙක් ලබපු ඒ අම්ම වගේම දවසක ඔයා වගේ තාත්තෙක් ලබන දරුවෙකුත් හරි වාසනාවන්ත වෙයි. ඔයා නිබ්බුත පද කියන්න වටින පිරිමියෙක් විසල්’
පපුව හිරවී, හඬ බිඳීගෙන පැමිණි හින්දා ම ජාන්වී වහා නැගිට ගෙතුළට ගියා ය. තවත් වතාවක් විසල් ඉදිරියෙහි කඳුළු ඉස්සර කරගත නො හැකි බවට හැඟීමකින් ඈ එසේ කළා වන්නට ඇත. නමුත් මහා ශුද්ධවන්ත බවක් ඇයට දැනෙමින් තිබිණ. පූජා නගරයක ශාන්ත සමාදාන සුවය දනවමින් හදවත හරහා සිහිල් සුළං රැල්ලක් හමා ගියේ ය.


