සව්මිය හා විසල් ක්‍රිකට් ගසනු වීදුරු කවුළුවෙන් ජාන්වී ට පෙනේ. සුරතල් සිනා හාත්පස සිසාරා යයි. ඔහු සිනහවෙන් ද සතුටෙන් ද තබන්නට විසල් හැම මොහොතක ම උත්සාහ කරයි. සව්මිය ලොකු පහරක් එල්ල කළ වෙලාවක විසල් ඔහු ළඟ බිම දණ ගසාගෙන පුතා වැලඳ සතුටු වන හැටි ඇයට පෙනිණ.
චමුපති මේ වෙලාවේ කුමක් කරමින් සිටිනු ඇත්දැයි හදිසියේ ම ජාන්වි ට සිහි විය. ඇතැම් විට ඔහු ගේත් සිය මිතුරිය වී වසර ගණනාවක් ළඟින් උන් සවිනි ගේත් කුඩා පුතු සුරතල් කරමින් සිටිනවා විය හැක. එහෙම සිටියදී ඔහු ට නිකමට හෝ සව්මිය සිහි වන්නේ නැත්ද? සිය කුළුඳුළ් පුතනුවන් ඔහු නැති සොවින් ආතුර ව හිඳිනා බවක් නිකමට හෝ ඔහු නො සිතනවා ඇත!
දික්කසාදය ඉල්ලා සිටින්නට හෝ චමුපති ඇයට කතා කළේ නැත. හිතේ වන කේන්තියට ඇය එය නොදී සිටිනු ඇත කියා ඔවුන් සිතන්නට ඇත. ඇතැම් විට ඇයට මුහුණ දී ගත නො හැකිව තවමත් කතා නොකර සිටිනවා වන්නට ද ඇත. ඔවුන් දෙදෙනා බිලිඳු පුතෙකු සමගින් බෙල්ලන්විල පන්සලේ දී තවත් මිතුරියකට හමු වී තිබිණ. ඔවුන් අතරට පුතෙකු පැමිණ සිටින බව ජාන්වී දැනගත්තේ එදිනයි. හිතේ සීරුම් රිදුමක් ඇති නො වුණා නොවේ. ඔවුන් දෙදෙනා එක්ව එහෙම ද්‍රෝහිකමක් කරන්නට තරම් වරදක් ඈ ඒ එක් අයෙකුට හෝ සිදුකොට ඇත්ද? ඇතැම් විට මිනිසුන් අපට ද්‍රෝහි වනුයේ අප තුළ වරදක් ඇති නිසා ම නොවේ. අප ඔවුන් ව අප තරමට ම විශ්වාස කරන නිසා යයි ජාන්වී සුසුමකින් සිතුවා ය.
‘මං වෛර කරන්නෙවත් සාප කරන්නෙවත් නෑ. ඕගොල්ලොන්ට එහෙම හොඳ නිසානෙ කළේ… දෙයියංගෙ නාමෙට මගෙ අසරණ දරුවගෙ හිත හදාගත්තොත්… මං දැන් හිතෙන් වැටෙන ගෑනියෙක් නෙවෙයි’
ඇය තමන්ට ම මුමුණාගත්තා ය.
දැන් විසල් ගේ හැන්දෑ කාලය සව්මිය වෙනුවෙන් වෙන් වී තිබේ. වැඩ නිම වී රාත්‍රී කෑම දෙන්නට වැඩ බිමට යන ගමන් සව්මිය දකින්නට යාම රාජකාරියක් බවට පත් වී ඇති සේ ය.
‘විසල්ට හැමදාම මේ වැඩේ කරන්න බෑනෙ’
තේ එකක් බොන ගමන් ජාන්වි කීවේ අවංකව ම ය. මෙය සව්මිය ගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොවන බව ඇය ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියා ය. විසල් ගේ සිනහවේ හිතුවක්කාර කමක් තැවරී තිබිණ.
‘අපි බලමු පුතා ශේප් කරගන්න පුළුවන්ද කියල. විසල් හැමදාම වැඩ පාඩු කරගෙන එන්න ඕන නෑ. පුළුවං වෙලාවක විතරක් ඇවිත් යන්න’
ජාන්වී ඒ තීරණය දැනුම් දුන්නේ විසල් ගේ පැත්තෙන් සිතා ය. අනුන්ගේ ළමයෙක් මත්තේ වද වෙන එකෙහි සීමාවක් තිබිය යුතු බව තේරුම් ගෙන ය. අනිත් අතට මේ ඇති වෙන බැඳීම විසල්ට සේ ම සව්මියට ද කොහොම බලපාවි ද කියා තීරණය කරන්නට තවම කල් වැඩි බැවිනි. රැකී රක්ෂා කටයුතුත් සමග සව්මිය වෙනුවෙන් දෙතුන් හෝරාවක් ගත කරන්නට වෙන එක ඔහු ට අනවශ්‍ය කරදරයක් හා වෙහෙසක් ද විය හැකි බැවිනි.
විසල් වදනකුදු බිනුවේ නැත. සව්මියගෙන් සමුගන්නට පෙර තදින් ඔහු වැලඳ සිපගත්තේ ය. ඉඟියකිනුදු වෙනසක් නො හඟවා ජාන්වී ගේ මැදුරෙන් පිටත් වූයේ ය.
ගෙදර යනතුරුත් ඔහු සිටියේ හිත තදකරගෙනයි. ජාන්වී පැවසූ දේවල හරි අරුත ඔහු ඉදිරියට නග්නව පැමිණෙන්නට ගත්තේ බත් පත එහෙම ම බල්ලා ට හලා විත් කාමරයේ කුඩා ඇඳට වැටුණාට පස්සේ ය. ඒ කියන්නේ ඔහු නිතර නිතර ජාන්වී ගේ මන්දිරයට නොයා යුතු බවයි. ඇය නිල වශයෙන් එය දැනුම් දී තිබේ. ඉතින් යා නො හැකි ය!
හේතුවක් සිතාගත නො හැකිව ම ඔහු ට මුළු රාත්‍රිය පුරා නින්ද නො ගියේ ය. උදේ අවදි වන විට හිත සම්පූර්ණයෙන් තෝන්තු වී ඇති බව දැනිණ. වැඩ ටික කළේ පුරුද්දට ය. නැතහොත් නො කර බැරිකමට ය. ආත්මය ම අගාධ අඳුරක ගිලී යමින් තිබේ. කවදාකවත් නො දැනුණ විදිහේ හිස්කමක් විසින් ඔහු ව ගිලගනිමින් සිටිනු දැනේ. සව්මිය බලන්නට නොයා හිඳින එක ඔහු ට මේ තරමින් බලපෑමක් කරතැයි විසල් වුව සිතුවේ නැත.
හැන්දෑ වරුව ම ඇඳට වැටීගෙන සිටි හෙතෙම කෑම රැගෙන ගියේ වෙනදා වාගේ කල් වෙලා ඇතිව නොවේ. ජේත්තුවට ලක ලැහැස්ති වී ද නොවේ. ගෙදරට හැඳ සිටි කොට කලිසම පිටින් කිසිදු උද්‍යෝගයකින් තොරවයි.
‘ඔයාට සනීප නෑ වගේද පුතා…’
කියා මේධා විමසූයේ, අත ඔසවා ඔහු ගේ නළල මත පිටි අත්ල තබමිනි.
‘ටිකක් ඇඟට හරිනෑ අම්ම’
ඔහු අම්මා ගේ දෑස් මගහැරියේ ය. හරි නැත්තේ ඇඟට නොව හිතට බව ඔහු මැනවින් දැන සිටියේ ය. මේ පාළුව සව්මියට ද හොඳින් දැනෙනවා විය යුතු ය. ඉඳහිට එහි පැමිණෙන ලෙස ජාන්වී ගෙන් අවසර ලැබුණ ද විසල් මුරංඩු ලෙස සිතුවේ යළි කිසි දිනෙක එහි නො යන බවයි. ඒ තරම් දැඩි තීරණයක් ගන්නට තරම් දෙයක් ජාන්වී නො පැවසූ බව ඇත්ත ය. නමුත් විසල් ගේ පිරිමි හිත දරුණු ලෙස පෑරී තිබිණ.
වැඩ බිමෙහි පිරිමින් රාත්‍රිය ගත කරන්නේ වාඩියේ ය. වැඩ නිමා වූ පසු ඇඟ පතේ අමාරු යන්නටත් එක්ක මී විතකින් සප්පායම් වී සින්දුවකට තාල ඇල්ලීම එහි නිතර සිදු වන දෙයකි. විසල් එහි යන විටත් ඔවුහු ටින් එකකට තට්ටු කරමින් සින්දුවක් කියමින් සිටියහ.
‘පලංචියේ ලී ඉරුවේ අපි එකට… මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට… එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට… ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට…’
කෑම මල්ල ලෑලි තට්ටුවක් මතින් තැබි විසල් එයට පැන හිඳගත්තේ ය.
‘කොල්ල අදනං කිට මරල ඇවිත් නෑ… ඒ කියන්නෙ අද කෙල්ල බලන්න යන්නෑ’
පහුගිය දින වල විසල් වාඩියට ගියේ කෑම ටික බාර දී විනාඩියෙන් දිව යන්නට බලාගෙන යි. අද ඔහු ගේ විලාශය හාත්පසින් වෙනස් නිසාවෙන් අයෙක් විහිළුවක් කළහ. විසල් ගේ මුව මත පොපියන ලද සිනහව ලැජ්ජාශීලී ය. තාරුණ්‍යයේ හිරිමල් හැඟුමන් වලින් ආතුර ය. නමුත් ඔහු පිළිතුරක් නොදී සිටියේ මන්දැයි ඔහු පවා නො දත්තේ ය. ඔහු යන්නේ එවැනි ගමනක් නොවේ කියා නො කියා සිටියේ ඇයි?
මීවිතකින් පෙඟුණු ගී හඬකට යෞවනයා තාල ඇල්ලුවේ ය.
‘හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නො නිදා මෙන්… බලා අවසර සොයා කල් දැන… වෙලා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින්…’
පපුව ගැඹුරෙන් එසවී මතුපිටට පැමිණෙන්නා වූ සන්තාප උදම් රළ කුමක්දැයි විසල් දැන සිටියේ නැත. ඒ වේදනාව තමන් පෙළන බව පමණක් ඔහු දැන සිටියේ ය.
‘ඉඳා. බියර් එකක් බිව්වට පව් පිරෙන්නෑ බං’
කියමින් කොල්ලෙක් බීර කෑනයක් ඔහු වෙතට දැම්මේ ය. විසල් එය අල්වාගත්තේ ඉසිහින් දුකක් කැළතුන මඳහසකිනි. මීට පෙර ද ඔවුන් මෙසේ බීර විතක් පිළිගන්වා තිබේ. නමුත් විසල් එය පිළිගෙන නැත. මීට පෙර මිතුරන් එක් වූ අවස්ථා දෙක තුනක දී බීර පොදක් තොල ගා තිබිණි ද ඒ ගෙදර නො පැමිණෙන බව අම්මා ට දැනුම් දී මිතුරන් වෙත ගිය දවසක ය. වාඩියේ අය සමග එවන් ඇසුරකට එක් වී නැත ද ඒ සීතල කෑන් එක ඔහු දෝතින් අල්වාගෙන සිටියේ ය. ඔහු ගේ හිත තිබුණේ අතීරණාත්මක දෙගිඩියාවකයි. වරින් වර හිත තුළින් සව්මිය ගේ කිරි සිනහව නැගී ආවේ ය. ජාන්වී ගේ දුක් ඇස් දෙක ද ඒ අතරේ නොවූවා ම නොවේ. ‘ටක්’ හඬින් පියන ගැලවී ගියේ ය. බීර උගුරක තිත්ත රසයට රිස්සක් කරන්නට ඔහු ඉඩ හැරියේ ය.
විසල් ගේ ඇස් වැඩියෙන් සිනහ වෙමින් තිබිණ. නමුත් ඒ සිනහව යට වූයේ වේදනාත්මක පාළුවකි.
ඔහු නෑවිත් සිටියේ කැමැත්තෙන් යයි ජාන්වී සිතුවා ය. ඒ පැමිණීම ඔහු ට වදයක් වී තිබෙන්නට ඇත කියා ද ඇය සිතුවා ය. නමුත් සව්මිය ගැන අනුකම්පාවෙන් නෑවිත් බැරි වන්නට ඇත. සව්මිය හවස් වන විට විසල් නොමැති වීම ගැන කන්කෙඳිරි ගාන්නට පටන් ගත්තේ ය. රෑ වන විට ඔහු හඬනා එක නතර කරගත නො හැකි විය.
‘අපි සාදු පන්සල් යන්ද… ම්… අම්මි පුතාව සාදු පන්සල් එක්කං යන්නද…’
ජාන්වී උපායක් යෙදුවා ය. එදා සව්මිය ගේ කලබලය පාලනය කොට ඔහු සන්සුන් කරගත හැකි වූයේ එමගිනි.
‘විසල් මහත්තයට එන්න කියමු නෝනා. නැත්තං බබා ආයෙ ලෙඩ වෙයි’
ජාන්වී ගේ තනි නො තනියට ඉන්නා සේවිකාව අමිතා කීවා ය. ජාන්වී වෙතින් සුසුමක් ගිලිහිණි.
‘ඒත් එහෙම හැමදාම කරදර කරන්න බෑනෙ අමිතා. තව කොච්චර කාලයක් එහෙම කරන්නද…’
නමුත් ජාන්වී විසල් ට දුරකතන ඇමතුමක් ගත්තා ය. ඒ ඔහු ට හැකි නම් සව්මිය සමගින් මඳ වෙලාවක් දුරකතනයෙන් කතා කරනා ලෙස ඉල්ලා සිටින්නටයි. ඒ ඇමතුම පැමිණෙන විට විසල් සිටියේ වාඩිය තුළ මී විතක් හා මිතුරු ව ගීයක තාලයක් අල්ලමිනි. ලෑලි තට්ටුව මත වූ දුරකතනය නාද වෙමින් තිබිණ. ‘බොන්සායි’ යන නම, විසල් ගේ පිරිමි පපුවට ආගන්තුක රිදුමක රසය අලුතෙන් කියා දෙමින් තිබිණ. නමුත් ඔහු පිළිතුරු නොදී සිටියේ ය. මේ වාගේ තැනක හිඳ ඒ ඇමතුමට පිළිතුරු දිය නො හැකියි කියා ඔහු හිත රවටාගත්තේ ය. විසල් වැඩක සිටිනවා විය හැකි යයි සිතා ජාන්වී නිහඬ වූවා ය. හැකි වූ විට ඔහු කතාකරනු ඇති බව ද ඇය විශ්වාසයෙන් සිතුවා ය. නමුත් විසල් හිතා මතා ම ඇයට කතා කිරීමෙන් වැළකී සිටියේ ය.
ඒ රැයේ විසල් ගෙදර පැමිණෙන විට මේධා දොරකඩ වූවා ය. ඔහු හැඳගෙන ගිය ඇඳුම අනුව දුරකට නො යන බවත් වාඩියෙහි මඳක් හිඳ පැමිණෙනු ඇති බවත් ඇය දැන සිටියා ය. දොර වසා කාමරයට පැමිණෙන ලෙස සේනක ගුගුරනු ඇතැයි බියෙන් ඕ කුස්සියට වී නැති වැඩ මවාගෙන කාලය ගත කළා ය. ඉස්සරහාට ආවේ ග්‍රිල් ගේට්ටුවේ කොක්ක පැන්නෙන හඬටයි.
අම්මා ව පෙරමග ට හමු වී ද විසල් බිම බලාගෙන ම කාමරය දෙසට ගියේ ය. නමුත් බීර සුවඳ හැඳිනගන්නට මේධා අසමත් වූවා නොවේ. එනමුදු ඕ වදනකුදු බිනුවේ නැත. විසල් කාමරය පැත්තට යන දෙස බලා සිටියා පමණකි. ගෙදොර වසා අගුළු ලන විට හැඟුමන් වලින් බර වූ සුසුමක් ඇගේ පපුවෙන් ගිලිහී ගියේ ය. ඇයට තවමත් පොඩි එකෙකු සේ දැනුණාට විසල් දැන් තරුණයෙකු බව අම්මා දනී. සිය පුතු ගේ හදවත සන්තුෂ්ඨියෙන් පුරවන්නට සැමදා ඈ අපොහොසත් වූ බවත් දනී. වෙනත් කිසිත් නැති වූවත් ඔහුට ගැලපෙන තරමේ රැකියාවක් ලැබෙනවා නම් විසල් ගේ ජීවිතය මීට වඩා හාත්පසින් වෙනස් වනු ඇත.
විසල් ට කුසගින්දරක් දැනුණේ නැත. හිතේ නම් ගින්දරක් තිබිණ. කොට්ටයට කඳුළු බින්දු කිහිපයක් රූටා ගියේ ය. සව්මිය බලන්නට නම් දින කිහිපයකට වතාවක් ගියත් ජාන්වීගෙන් විරෝධයක් එල්ල නොවෙන බව සහතික ය. ඉතින් මේ පපුව කීරිගසනා රිදුම කුමක් ද?
විසල් කතාකරනු ඇතැයි ජාන්වී බලා සිටියා ය. නමුත් එය එසේ නොවිණි. සව්මිය නින්දෙන් හීල්ලුවේ ය. පසු දා දවල් වන විටත් ඇය යළි ඇමතුමක් ගත්තා ය. ඒ වෙලාවේ විසල් සිටියේ පොල් ගාමිනි.
‘ඔය කෝල් එකක්නෙ පුතා’
කියා මේධා කීවා ය.
‘යාළුවෙක්. පස්සෙ ගන්නව’
එපමණි. ඔහු ඒත් කතාකළේ නැත. ජාන්වී ගෙන් තුන් වන ඇමතුම එන විට විසල් කෑම ගෙන යමින් සිටියේ ය. වැඩ බිම වෙත ගෙදර සිට යම් දුරක් ඇවිද යා යුතු වේ. දුරකතන තිරය දෙස මඳක් බලා සිටීමෙන් පසු ඔහු ඇමතුම හා සම්බන්ධ වූයේ ය.
‘හෙලොහ්’
‘අම්මෝ විසල්ව අල්ලගන්න කියන අමාරුවක්’
ජාන්වී ළදැරියක ගේ හුරතල් හඬකින් කීවා ය.


