සිය උකුල මත හිඳ සෙල්ලම් කාරයක් සමග සෙල්ලම් කරනා සව්මිය ගේ හිස පිරිමදිමින් විසල් මොහොතක කල්පනාවක ගිළුණේ ය. ජාන්වී රැකියාවක් දෝත මත තබාගෙන ඔහු දෙස බලා හිඳී. එය පිළිගැනීම මේ වෙලාවේ ඔහු ට අමිල වූ නිධානයකි. නමුත් වෙනකෙකුට නොදී මේ අවස්ථාව ඔහු විසින් පැහැර ගනුයේ තන්හාව නිසා යයි ඇය සිතනු ඇත් ද? පුංචි සව්මිය ගේ පාළු මකන්නට පැමිණි හිලව්වට ප්‍රත්‍යුපකාරයක් ලබා ගත්තා නොවනු ඇති ද? නමුත් කාලයක් තිස්සේ ම දෛවය ඔහු සමග සෙල්ලමක් කරමින් සිටියේ ය. සුදුසුකම් ඇති බොහෝ රැකියා අවස්ථා ඔහු ගෙන් ගිලිහී ගියේ මන්දැයි අද අදටත් ඔහු ට සිතාගත නො හැකි ය. ඒ, ඉරණමෙහි සැලැස්ම මෙය වූ නිසා විය නො හැකි ද? ඔහු ට නියමිත තැන මෙය නිසා විය නො හැකි ද? නො එසේ ව බෝ පැළයක් විකුණන්නට පැමිණි ගමන, පුංචි සව්මිය ඔහු ව මේ පවුල වෙත මේ තරම් බැඳ තබාගන්නට සාධාරණ හේතුවක් වන්නේ ද? අනිත් අතට ඉරණම තවත් අවස්ථාවක් ඔහු වෙනුවෙන් සොයා දෙනු ඇතැයි ස්ථිරව සිතිය හැකි වන්නේ ද?
‘මැඩම්ට හිතෙනවනං මට ඒක කරන්න පුළුවං කියල… මං කැමතියි ඒක බාරගන්න. මොකද… මං ජොබ් එකක් හොය හොය ඉන්නෙ’
මේ අවස්ථාව අහිමි කරගත යුතු නැතැයි යටි හිත අවදි වී එක හඬකින් කියන්නට වූයෙන් විසල් සන්සුන් ලෙස පැවසුවේ ය. රැකියා අවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් වීම ලැජ්ජාවට හේතුවක් නොවන බවත් ඒ වෙලාවේ ඔහු ට දැනෙමින් තිබිණ. කෙසේ වතුදු ඔහු ඒ ටික කියාගත්තේ පහසුවෙන් නම් නොවේ. ජාන්වී විසල් දෙස දෑස් කුඩා කරමින් බැලුවා ය.
‘ඔයා ඒක බාර ගන්නවනං මං කොච්චර කැමතිද… ඒත් ඔයාගෙ බිස්නස් එක…’
‘ඒක එච්චර ලොකු බිස්නස් එකක් නෙවෙයි. ඒක බත් පැකට් දහයක පහළවක බිස්නස් එකක්’
ඒ සිනහවේ වූ අසරණකම, ජාන්වී ගේ හදවතෙහි රිදෙන්නට හැපුණේ ය. ඔහු ගැන ඇය එහෙම සිතා තිබුණේ ම නැත.
‘හැබැයි ඒක නිසා අම්ම සතුටෙන් ඉන්නව. සමහර විට… අංකල් දෙන ගානෙන් කන්න තියා ලෙවකන්නත් බැරුව හිටිය අපිට… දැන් තුන හතරක් එක්ක බත් ටිකක් කන්නවත් පුළුවන් නිසා වෙන්නැති. ඒත් අම්ම මන්තරේ වගේ හැම තිස්සෙම කියවන්නෙ මං වෙන ජොබ් එකක් කරන්න ඕනෙ කියලයි. ජොබ් හොයපු තරමයි… ජොබ් ඉන්ටවීව්ස් වලට ගිය තරමයි… මායි අම්මයි මිසක් දෙවියොවත් දන්නැතුව ඇති’
‘අනේ ඔච්චර දේවල් කියන්නෝන් නෑ විසල්. මං ඒක ඔයාට බාරදෙන්නෙ පුදුම සැනසිල්ලකින්. අපි පිළිගත්තත් නැතත් දේවල් සිද්ධ වෙන්නෙ හොඳම විදිහට තමයි’
‘තෑන්ක් යූ. මට නෙවෙයි… අපේ අම්මට මේ සතුට දුන්නට පිං…’
‘ඔයාගෙ අම්මට පින් තමයි… ඔයා වගේ හොඳ පුතෙක් හැදුවට’
කාලෙකට පස්සේ එදා ජාන්වී ට අමුතු සැහැල්ලුවක් දැනිණ. සිය පියා විසින් ඉතා හොඳ තත්වයෙන් පවත්වාගෙන ගිය ඒ සුඛෝපභෝගී අවන්හල, ජාන්වී ගේ විවාහයේ දී ඇය නමින් පවරා දී මව් පියන් විදේශගත වූයේ ජාන්වී ගේ අනාගතය ගැන බියක් නැතිවයි. චමුපති විසින් සිය දියණිය ආදරයෙන් රැක බලාගනු ඇතැයි ඔවුහු උදක් ම බලාපොරොත්තු වූහ. ජාන්වී ගේ, ස්ථිර විදේශ පදිංචිය ලබා ඇති සොයුරා වෙතට ගොස් ජීවිතයේ දෙවන අර්ධය විවේක සුවයෙන් ගතකිරීම ඔවුන් ගේ බලාපොරොත්තුව විය. නමුත් විදේශගත වූ අලුත ම පිය පුතු දෙදෙනා එක්ව එහි අවන්හලක් ආරම්භ කළෙන් අදට ද ජාන්වී ගේ පියා ව්‍යාපාර මත කාර්ය බහුල ය. චමුපති ගේ නින්දනීය ද්‍රෝහි වීමෙන් පසු පවුලේ අය ජාන්වී හා සව්මිය එහි ගෙන්වාගන්නට උත්සාහ කළ ද විදේශයක පදිංචි වීමට ඇගේ කැමැත්තක් වූයේ ම නැත.
‘ඔය මිනිහව ඩිවෝස් කරල එන්න. ඔයා තවත් බලං ඉන්නෙ ඌ ආවොත් ආයෙ බාරගන්නද… අපි ඔයාට වෙන හොඳ කෙනෙක් හොයල දෙන්නං’
මව්පියන් එසේ සිතුව ද ඒ ද්‍රෝහී පාවාදීම කළ චමුපතිව හෝ සවනි ව යළිත් ජීවිතයේ හතර මායිමට වද්දාගන්නට ජාන්වී ගේ කිසිදු අදහසක් වූයේ නැත. ඔවුන්ට පේන්නට ම හොඳ ජීවිතයක් ගෙවීම ඇගේ අපේක්ෂාව විය. ඒ සඳහා අත්‍යවශ්‍ය ආර්ථික ශක්තිය ඇයට තිබිණ. එසේ ම පවුලේ අයට අවැසි වූ පරිදි නැවත විවාහයක් කරගන්නට ද ඇයට කොහෙත් ම ඕනෑ නො විණි. ඈ පෙම් කළ පුරුෂයා වූ චමුපති ද එසේ කළ එකේ ආයේ පිරිමි හුස්මක් වැදෙන සීමාවකට නො යන්නට ඕ ඇයට ම සපථ වීගෙන සිටියා ය. පිරිමියෙකු ගේ සෙවණැල්ල නො වැටුණාට ගැහැනියකට සිය දරුවා හදාගෙන තනිව ජීවත් වන්නට බැරි හේතුවක් නැති බව ඇය විශ්වාස ද කළා ය. පෙර පාසල් යන්න පටන් ගත්තාට පස්සේ සව්මිය තාත්තෙකු සොයනා තෙක්, තනි අම්මා කෙනෙකු ගේ භූමිකාවට ඇය සාර්ථක ලෙස පණ පොවමින් සිටියා ය. සව්මියත් බලාගෙන අවන්හලේ පාලනය කැපවීමෙන් කරගෙන යන්නට බැරි බව දැනගත්තාට පසු ය ඈ ඊට කලමණාකාරවරයෙකු බඳවාගන්නට සිතූයේ.
මනුෂ්‍යයන් කවදා කවර මොහොතක දී වෙනස් වේවිදැයි කලින් නිගමන වලට එළඹිය නො හැකි බව ඇයට අත්දැකීම් විසින් උගන්වා තිබේ. නමුත් පවතින තත්ව යටතේ මේ මොහොතේ දී විසල්ව විශ්වාස කරන්නට ඇය කැමති ය.
විසල් එදා ගෙදර ගියේ අධිරාජ්‍යයක් හිමි කරගත් සක්විති රජෙකු ගේ සතුටෙනි. ඔහු යන විට මේධා සිටියේ සේනක ට රාත්‍රී ආහාර පිළිගන්වමිනි.
‘අම්ම… ඔන්න ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න යන්නෙ’
විසල් එක්වර ම මේධාව ඔසවාගෙන වටයක් කැරකුණේ ය.
‘බබා… බිමින් තියන්න ළමයො මාව… වැටෙනව දැං’
ඇය එහෙම කීවේ එතැන සේනක සිටින නිසා තරමක බියකින් වාගේ ය. නමුත් ප්‍රථම වතාවට සේනක ගැන කිසිදු බියක් ඒ මොහොතේ විසල් ට දැනුණේ නැත.
‘ඉතිං මන්නෙ ඔයාගෙ පුතා. මං මගෙ අම්මව වඩාගත්තහම මොකද…’
අදත් වාඩියට ගොස් ඔහු මීවිතක් තොල ගා පැමිණ ඇත් ද යන සැකය පවා මේධා තුළ ඇති නො වුණා ම නොවේ. සේනකත් කෝප ගෙන අනවශ්‍ය කෑගැසීමක් සිදු වනු ඇත්ද යන බිය ඈ අසරණ කරවමින් තිබිණ. විසල් නැවත ද අම්මා බදා වැළඳගත්තේ ය. ඇගේ උරහිස මතින් මුහුණ තියාගත්තේ ය. සේනක ගැන කිසිදු බියක් ඔහු ට දැනුණේ ම නැත. නමුත් මේධා නම් ඇතුළතින් බියේ වෙව්ලූ තරම් ය.
‘අම්මගෙ හීනෙ ඇත්ත වෙනව අම්මෙ. මට ජොබ් එකක් ලැබුණ. ඒක ඔයාට මාව දකින්න ඕනවුණ විදිහෙම ජොබ් එකක්. රාජගිරියෙ තියන ලක්ශරි රෙස්ටොරන්ට් එකක මැනේජර් පෝස්ට් එකක්. ඊට පස්සෙ මගෙ අම්මව මං රැජිණක් වගේ තියනව. කොහොමත් ඔයා රැජිණක් තමයි අම්මෙ. මේ අසරණය වෙනුවෙන් හැම දුකක්ම උහුලං හිටපු මගෙ අම්ම රැජිණක්…’
විසල් ගේ නෙතින් ගිළිහුණ කඳුළක් මේධා ගේ උරහිස මත හිම කුට්ටියක සිසිල දනවන ලදී. ඇගේ උගුර රිදෙමින් ද නාසය බුරුල් වෙමින් ද ඇස් දැවෙමින් ද තිබිණ.
‘ඔය ඇත්තමද පුතේ… ජොබ් එකක් ලැබුණද…’
‘ලැබුණ අම්මෙ. හෙට අපි දෙන්න යං මට ඇඳුං දෙක තුනක් ගන්න. අම්ම ආසාවෙන්නෙ හිටියෙ මං ලස්සනට ඇඳල ඔෆිස් ජොබ් එකකට යනව බලන්න’
සේනක හඬ නැගෙන සේ පුටුව පසෙකට ඇද දමා මේසය ළඟින් නැගිටගත්තේ ය. ඊලඟට කුස්සිය පැත්තෙන් පිඟන් කෝප්ප වල හඬවල් නැගිණ. මේධා පුතුගෙන් මිදුණා ය.
‘ඇඳුම් මාරු කරල කෑම කන්න. ඔය කාල ඉවරද ඔයා…’
කියමින් ඊලඟට ඈ හඬ උස් කළේ කුස්සියට ඇසෙනා සේ ය. විසල් කාමරයට ගියේ ය. සේනක ඉක්මන් ගමනින් මේධා පසු කොට කාමරය දෙසට ගියේ ය. මේධා ගේ පපුවෙහි ප්‍රීතියේ ආලෝක පුංජයක් ද දෙගිඩියාවක ගිනි පුපුරක් ද විය. ඇය සුසුමක් හෙළමින් විසල් ගේ බත් පත බෙදුවා ය.
සේනක අවකැපෙන කතාවක් කියනු ඇතැයි මේධා බලාපොරොත්තු වූවා ය. සැබවින් ඔහු ට දැනුණ හැඟීම කුමක්දැයි ඔහු ම දන්නේ නැත. කුමක් වුණත් එහි සැලකිය යුතු මාත්‍රාවක් ඊර්ෂ්‍යාව මුහු වී තිබිණ.
‘මං හිතුව අද රැජිණ රජ පැටියට රස්සාවක් හම්බුණ ප්‍රීතිය සමරයි කියල නිදාගන්නැතුවම…’
මේධා හ්ම් කීවේ හෝ නැත. නමුත් ඇගේ පපුවෙහි ආඩම්බරයක් විය. මුහුණ මත ඒ ආඩම්බරය පේන නො පෙනෙන සිනහවක් ලෙස සනිටුහන් ව තිබිණ. ඇයට ඒ කළ හැකි විය. විසල් ට හොඳ රැකියාවක් ලැබෙන තුරු ම ඔහු හයියට අල්ලාගෙන සිටිත හැකි විය!
පසු දා නුගේගොඩ ගොස් ජාන්වී විසල් වෙනුවෙන් කලිසම් කමිස කිහිපයක් තේරුවා ය. අවන්හලෙහි නව කළමනාකාරවරයා ලෙස පත්වීම් ලබා යත්දී ඔහු ගේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් විය යුතු ම වේ. එතැන සේවක පිරිසෙහි ප්‍රධානියා ඔහු වන බැවිනි. ජාන්වී නුගේගොඩ ඇඳුම් සාප්පුවක ඔහු වෙනුවෙන් ඇඳුම් තෝරත්දී, විසල් මේධා සමගින් මහරගම සාප්පුවක ඇඳුම් තෝරමින් සිටියේ ය.
‘මගෙ ඔළුව උඩ පැටවිලා තිබුණ බර පුදුම විදිහට හෑල්ලු වෙලා වගේ දැනෙනව පුතා. ඔයාට හරියන්නෝනෙ දෙයියනේ… කිරි උතුරන්න වගේ හරියන්නෝනෙ. උපන් දා ඉඳලම වින්ද දුක් වලට හිලව්වට සතුට දෙගුණ තෙගුණ වෙලා ලැබෙන්නෝනෙ’
මේධා කඳුළක් පිසගත්තා ය.
‘කොයි දේටත් වෙලාව එන්නෝනෙ අම්මෙ. ඔයා මාව හයියෙං අල්ලං හිටියෙ නැත්තං… මං දන්නෑ මේ වෙනකොට මට මොනා වෙලා තියෙයිද කියල…’
‘ඔයා ඔයාටමයි ස්තූති කරන්නෝනෙ පැටියො… කොහොමහරි ඒ හැමදේම දැන් ඉතිං ඉවරයිනෙ. ඉස්සරහට ඔයාට හොඳ කාලයක් එනවනෙ. මට ඒ ඇති’
එදා ජාන්වී ගේ හිතේ යම් කිසි නො ඉවසිල්ලක් විය. විසල් තවමත් නො පැමිණියේ මන්දැයි සිතමින් ඕ කිහිප වරක් වෙලාව බැලුවා ය. ඔහු පැමිණි පසු ඒ ඇඳුම් බෑග් එක ඔහු ගේ දෝතෙහි තබා ‘මං තෝරපුව හරිද බලන්නකො. සෙට් නැත්තං චේන්ජ් කරගමු’ කියා පසෙකට වී බලා සිටියා ය.
‘මං ඇඳුං ගත්ත මැඩම්’
‘කොච්චර තිබුණත් වැඩි වෙන්නෑ. ඔයා ලස්සනට යන්නෝනෙ. අනිත් එක එතන වැඩකරන අයට මං කියන්නෙ ඔයා මගෙ කසීන් කෙනෙක් කියල. ඒක නිසා ඔය මැඩම් කෑල්ලනං කියන්නෙපා වැරදිලාවත්’
ඇදෙස බැලූ විසල් ගේ ඇස් මත කුතුහලයක් විය. වාචික ප්‍රශ්නයක් නො නැගුණ ද ජාන්වී පිළිතුර දුන්නා ය.
‘එතන හොරකං වෙන එක නවත්තන්න බැරි වෙනව නැත්තං. විසල් ගිහින් ඔයාගෙ විදිහට වැඩ පටංගන්නකො ඉතිං. ඔයාට බැරි වෙන එකක් නෑ’
විසල් ඒ ඇඳුම් දිගැර බැලුවේ දීප්තිමත් දෑසකිනි. උළුවස්සට හේත්තු වීගෙන, දෑත් පපුව මත බැඳගෙන ජාන්වී සිනහවකින් බලා සිටියා ය.
‘සයිස් එකනං හරියටම සිලෙක්ට් කරල’
‘දැක්කනෙ… අපි එහෙමයි’
‘මැඩම් මේ කරපු උදව්වනං… මැරෙනකල් මට අමතක වෙන්නෑ’
‘ඔය… මැඩම්ලු ආයෙත්…’
ඔවුන් දෙදෙනා ම සිනහ වූහ.
‘සව්මිය වෙනුවෙන් ඔයා කරන දේවලට හිලව් කරන්න පුළුවන් තරං දෙයක්නං නෙවෙයි මේ. විසල් රෙස්ටොරන්ට් එකත් හොඳට බලාගන්න. ඕක බංකොලොත් වුණොත් එහෙම මේව ඔක්කොම විකුණල දාල තාත්ත අපි දෙන්නව ඩුබායි වලටම අරං යයි. මට එහෙ යන්න ඕන්නෑ’
පෙර නොවූ විරූ ආකාරයේ වගකීමක් දැන් තමන් මත පැටවෙනා බවක් විසල් ට දැනෙමින් තිබිණ. ඔහු ඒ වගකීම පවරාගත්තේ කිසිදු පසුතැවීමකින් නොවේ. ඒ අභියෝගයට මුහුණ දීමේ කැමැත්තෙනි.


