සේවරි සිම්ෆනි වූ කලී විසල් ට, ලංවිය නො හැකි දුරක වූ සිහිනයකට සමීප වූවා වන් හැඟීමක් දැනවූවකි. මේ ඔහු ගේ කුළුඳුල් රැකියාව නොවේ. මීට පෙර ඔහු සුළු සුළු රැකියා කිහිපයක ම නිරත වූයේ ය. ඒවා කෙටි කාලීන වූ අතර පරිසමාප්ත අර්ථයෙන් ම සුළු රැකියා විය. නමුත් ඔවුන් ගේ ලෝකයෙන් බෝ ඈතක ජීවත් වන මිනිසුන් වෙනුවෙන් පිහිටුවා ඇති සේවරි සිම්ෆනි හි හිමිකාරිත්වයට පසු ඉහළ ම නිලය ඔහු වෙත භාර වී තිබේ. ඒ සැබෑවක් ද නැත්නම් සිහිනයක් ද යන පැණය විසල් ඉදිරියෙහි නැගී සිටියේ ඔහු සේවරි සිම්ෆනි හි දමා ජාන්වී නික්ම ගිය පසු ය.
විසල් මුලින් ම කළේ සේවක පිරිස සමගින් අවන්හල ගැන සුහද සාකච්ඡාවක යෙදීමයි. එහි සැකසෙන ආහාර වර්ග ගැන ද ඒවායේ රසය පිළිබඳව ද ඒවාට වන ඉල්ලුම පිළිබඳව ද අවන්හලෙහි වන දුර්වලතා හා අඩුපාඩු ගැන ද ඔහු මිත්‍රශීලී ලෙස ඔවුන් ගේ අදහස් ලබාගත්තේ ය. එසේ ම සේවරි සිම්ෆනි හි කීර්ති නාමය නො වෙනස්ව පවත්වාගැනීම ගැන හා එය තවදුරටත් ඉහළට ගෙන යාම සඳහා ඔවුන් ගේ යෝජනා ගැන ද විමසා බැලුවේ ය. ඉන්පසු, පසුගිය ආසන්න කාලයෙහි ආහාර වල අළෙවිය සිදු වූ ආකාරය පිළිබඳ මුද්‍රිත වාර්තාවක් ගෙන එය පරීක්ෂා කරන්නට පටන් ගත්තේ ය.
පසුගිය කෙටි කාලය තුළ මේධා සමගින් එක්ව කෑම පිසීම තුළ දී ඔහු ආහාර පිළිබඳ ස්වයං අධ්‍යයනයක් කර තිබිණි. වඩාත් ගැලපෙන හා එක්ව පිළිගැන්විය හැකි භෝජන වර්ග ගැන නිසඟ අවබෝධයක් ඔහු වෙත වන බව, ජීවිත කාලය ම බත් තම්බන්නට කුස්සියට කල් මැරූ මේධා ට පවා දැනෙමින් තිබිණ. එබැවින් ඒ ඒ වේලට සූදානම් කළ යුතු එළවළු මාළු වර්ග ගැන ඇය විමසුවේ ඔහු වෙතිනි.
‘ඇයි අම්මෙ මගෙං අහන්නෙ… හරියට අම්ම උයන්න දන්නැති කෙනෙක් වගේනෙ’
එහෙම වෙලාවට විසල් නෝක්කාඩුවක් පෑවේ ය.
‘ඒ වුණාට ඔයා තමයි හොඳට මැච් කරන්න දන්නෙ’
මේධා කළේ අවංක ප්‍රකාශයකි. ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් කරන්නට හෝ වෘත්තියක යෙදෙන්නට හෝ කිසි දා ඔහු ට ආශාවක් තිබී නැත. නමුත් සියල්ල මෙයාකාරයෙන් සිදු වෙමින් පවතින නිසා එය දෛවෝපගත සිදුවීමක් සේ සලකන්නට දැන් ඔහු ට සිදු වී තිබේ.
රාජකාරි නිම වී හැන්දෑවේ ඔහු රාජගිරියේ සිට නාවල ජාන්වී ගේ ගෙදර පැමිණියේ සව්මිය බලා හිඳිනා බව ඉඳුරා දන්නා බැවිනි. ජාන්වී ට තවදුරටත් ස්තූතිවන්ත විය යුතු බව ද සිත ඔහු ට සිහිපත් කරමින් තිබිණ.
‘අනේ ඉතිං ඒක ඔයාට උදව්වක් වුණා වගේම මටත් උදව්වක්නෙ විසල්. කෙනෙක් හොයන්න මහන්සි නොවීම හොඳම කෙනෙක් හම්බුණානෙ. මං කෙනෙක් හෙව්වත් කොහොම හිතන්නද ඒ හොඳ කෙනෙක්ද කියල. කාල බලලවත් මිනිස්සු අඳුරගන්න බෑ කියනවනෙ විසල්’
‘මටත් එක්කද එහෙම කිව්වෙ…’
ඔහු ඒ විමසීම කළේ සිනහවක් එක්ක විහිළුවක ස්වරූපයෙනි. නමුත් ඔහු ගේ හදෙහි වූ සැබෑ ම ප්‍රශ්නය නම් ‘ මං හොඳයි කියල හිතුවෙ කොහොමද’ යන්නයි. අඩ සිනහවක් පෑවා මිස ජාන්වී වාචික පිළිතුරක් නොදී සිටියා ය. සමහර ප්‍රශ්න වලට පිළිතුරු දීම පහසු නැති බව ඇය දනී.
‘වැඩිපුර සෙනග එන්නෙ රෑට වගෙයි. ඒක නිසා රෑටත් ඒ පැත්තට විසිට් එකක් දාන්නයි මං හිතන් ඉන්නෙ. ඉඳහිට හරි එහෙම කරනකොට සිස්ටම් එක ගානට හැදෙයි’
‘එහෙම කරන්නත් අමාරුනෙ ඉතිං… ඔයා ටයිම් ශෙඩූල් එකක් හදාගන්න. ටිකක් දවල් වෙලා ගිහිං ටිකක් රෑ වෙලා එන්න වගේ…’
‘හ්ම්. බලමු’
‘පුතා සර්සරි දාපු ගමං මාත් කොහොමත් උදේම ඒ පැත්තට ගිහිං එනවනෙ. දැන්නං ඩේලි යන්න ඕනකමක් නෑ’
‘ඒක හොඳට බිස්නස් තිබුණ තැනක්’
‘මොනතරං හොඳ තත්වයෙ තිබුණ දෙයක් වුණත් හොයල බලන්න කෙනෙක් නැති වුණාම වල් වැදිල අභාවයට යනව විසල්’
‘සේවරි සිම්ෆනි එකට එහෙම වෙන එකක් නෑ’
එය පොරොන්දුවකි. විසල් ඔහු ගේ ම හදවතට දුන් පොරොන්දුවකි.
ඊට පස්සේ ජීවිතයෙහි අමුතු වෙනසක් සිදු වෙමින් තිබිණ. එය වගකීම් සහගත වෙනසකි. විසල් උදයෙන් සේවරි සිම්ෆනි වෙත ගොස් එහි හැම අංශුවක් ගැන ම අවධානයෙන් කටයුතු සොයා බැලුවේ ය. ඊට පෙර ඒ ඒ වගකීම් භාර වූ අය අත්තනෝමතික ලෙස මුදල් වංචා කිරීමට හේතු වන කාරණා ඔහු ට අනාවරණය විය. සියලු අමුද්‍රව්‍ය සැපයුම් සඳහා ගෙවීම් සිදු වීම විසල් සිය අනුමැතිය යටතට ගත්තේ ය. අවන්හලේ කැශියර භාර වූ අය ගැන විමසිලිමත් වූයේ ය. සෑම ගෙවීමක් වෙනුවෙන් ම බිල්පතක් නිකුත් කළ යුතු බවට නිර්දේශයක් ගෙනාවේ ය. ගබඩා අංශයෙන් මුළුතැන්ගෙය වෙත නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණයන් හා ඒවායෙන් නිකුත් කරන පිසූ ආහාර ප්‍රමාණ ගැන ද අළෙවි වන හා ඉතිරි වන ආහාර ප්‍රමාණයන් ගැන ද වෙන වෙන ම දත්ත රැස් කළේ ය. කිසිවෙකු ට වංචනික ලෙස රිංගිය හැකි කවුළු, ඔහු ගේ දැනීමේ උපරිමයෙන් වසාදමන්නට ඔහු ට හැකි විය.
මේ රැකියාව ඔහුව අඳුරු ලෝකයකින් පිටතට ගෙන එන්නට සමත් වූ ආලෝක කිරණයකි. එබැවින් පෙරළා ඒ වෙතට ඔහුගෙන් ලැබිය යුතු විශාල කොටසක් වන බව ඔහු ඉඳුරා විශ්වාස කළේ ය.
මේධා විසින් එතුවක් එක හිතින් උහුලා සිටි බරක් දැන් හිස මතින් නිදහස් වී තිබේ. ඇගේ මුහුණ මත දැන් නිරන්තර සරැලි නගනා මඳහසකි. විසල් ට රැකියාවක් ලැබුණ ද වාඩියේ පිරිසට කෑම පාර්සල් දෙන එක නතර නො කරන්නට ඇය වගබලා ගත්තා ය.
‘ඒ මිනිස්සු ඔතන වැඩකරනකල් විතරනෙ. මං ඔය කෑම ටික උයල දෙන්නං’
කෙටි කලකට වුව ඒ ආදායම අහිමි කරගත යුතු නැතැයි ඇගේ සිත තදින් කීවේ ය. ගෙදර වියදම් ඉන් පියවෙන නිසා සේනක නම් ඒ ගැන කිසිදු විරෝධයක් පෑවේ නැත. නමුත් විසල් මුලින් ඊට එකඟ නොවූයේ මේධාට තනිව වෙහෙසෙන්නට සිදු වන බැවිනි.
‘ත්‍රීවීල් එකකින් පොළට ගිහින් දවස් කීපෙකට අඩුවැඩිය අරං ආවහම හරිනෙ. ඒ යන වෙලාවට නංගිවත් එක්කගෙන ම යනව. උයාගන්න එකනං මට මහලොකු දෙයක් නෙවේ’
විසල් වැඩ නිම වී එන ගමන් වාඩියට ගොස්, කෑම ගෙනයන්නට කිසිවෙකුට ගෙදරට පැමිණිය හැකි දැයි විමසා සිටියේ ය. බරැති මල්ලක් ඔසවාගෙන අම්මා පයින් ඇවිද යාම ගැන ඔහු තුළ සංවේගයක් වූ බැවිනි.
‘ඒකනං මොකද්ද මල්ලි. අපි කවුරුහරි ගිහිං කෑම ටික ගේන්නං. ඒ වගේද මෙතන වැඩ කරනකල් කටට රසට කෑම ටික කන එක බං…’
වැලි සිමෙන්ති ගල් සමගින් ඔට්ටු වෙන මිනිසුන් වී ද ඔවුන් ට හදවත් තිබේ.
‘ඒ මොනා වුණත් මල්ලි මෙහෙම මහත්තයෙක් වගේ ලස්සනට ජොබ් එකකට යන එක ගැනනං මාර ආඩම්බරයි බං. උඹට හරියන්න ඕනෙ. උඹ වගේ කට්ට කාගෙන කොහොමහරි ජීවත් වෙන්න දඟලන කොල්ලෙක්ට කොහොමත් හරියන්න ඕනෙ. අපි මුල ඉඳන්ම කිව්වෙ මල්ලිට මේවයි අත්වැඩ දෙන ජොබ් හරියන්නෑ කියලනෙ’
ඒ අනුව මේධා දිගට ම සිය කුඩා ව්‍යාපාරය කරගෙන ගියා ය. එනිසා ම පුංචිවට වුව ඇගේ අත මිටෙහි නිතර ම මුදලක් ගැවසිණ. සේනක උත්සාහ කළේ විවිධ හේතු ඉදිරිපත් කොට ඇගේ අතෙහි ඉතිරි වන මුදල කඩාවඩා ගන්නටයි.
සේවරි සිම්ෆනි හි විසල් රැකියාවට යන්නට ගෙන දෙසතියක් පිරුණ දහවලක ජාන්වී ඔහු ට දුරකතන ඇමතුමක් දුන්නා ය.
‘ඔයා දැං එනවද විසල්…’
ඒ ඇය කිසි දා ඉදිරිපත් නො කළ ඉල්ලීමකි. හැන්දෑවට සව්මිය බලන්නට එහි ගොඩ වෙන එක දැන් ඔහු ගේ දෛනික ජීවිතයේ අංගයක් වී තිබේ. නමුත් මේ විදිහට අවේලාවේ ජාන්වී ඔහු කැඳවන්නට හේතුවක් විසල් ට හිතාගත හැකි වූයේ නැත. එනමුදු ඔහු ප්‍රශ්න නොකර ත්‍රීරෝද රියක නැගී ඒ කෙටි දුර පැමිණියේ ය.
විදුලි සීනුව හැඬවෙන විට මුලින් ම නැගුණේ සව්මිය ගේ සුරතල් කිකිණි සිනහ හඬයි. ඔහු ගේට්ටුව වෙත දිව ආවේ ජාන්වී සමග තරගයටයි.
‘ඇස් වහගන්න…’
ගේට්ටුව විවර කළ ගමන් ම ජාන්වී විසල් ගේ දෑස්, දෙපා තුඩු මතින් එසවී සිය දෑතින් වැසුවා ය.
‘ඇයි මේ…’
සව්මිය උඩ පනිමින් සතුටෙන් සිනහ වූයේ ය.
‘යංකො’
ඈ ඔහු ගේ දෑස් විවර කළේ ඒ අභියසදී ය. නවීන පන්නයේ හැඩකාර යතුරු පැදියක් ජාන්වී ගේ මෝටර් රථයට යාබදව නැවතී තිබිණ.
‘බයික් එකක්…’
‘තාත්තිට…’
සව්මිය ගේ කැකුළු සිනහ හා අත්පොඩි හඬ රැව් දුන්නේ ය. විසල් ජාන්වී දෙස බැලුවේ විශ්මයෙනි. ඇය සන්සුන් සිනහවකින් දෑත් ළය මත බැඳගෙන බලා සිටියා ය.
‘ඇයි මේ…’
‘ඇයි අහන්නෙ අනේ… බයික් එක ඔයාට රෙස්ටොරන්ට් එකට යන්න එන්න ලේසි වෙන්නනෙ. දැන් කොච්චර වදයක්ද ඔයා විඳින්නෙ… ගෙදර ගිහිං ආයෙ රෑ වෙලත් එතන්ට යනව. මට හිතට හරි මදි ඉතිං’
‘ඒ වුණාට…’
‘හරි හරි ඉතිං… මේක සේවරි සිම්ෆනි එකෙන්. ඔයා එතන වැඩ කරනකල් පාවිච්චි කරන්නකො. ඔයාට පහසු වෙන්න ඔෆිස් එකෙන් දීපු එකක්. එච්චරයි ඉතිං’
ජාන්වී වෙත වූයේ හිතුවක්කාර බවකි.
‘හැබැයි ඔන්න පරිස්සමෙන් පාරෙ යන්නෙ හොඳේ. ඉගිල්ලෙන්න ඔට්ටු නෑ’
ඇය තරවටුවක් ද කළා ය. මේ යතුරු පැදිය තේරුවේ ඇය ම ය. විසල් වාගේ කඩවසම් යෞවනයෙකුට එය කදිමට ගැලපෙතැයි ඇය විශ්වාස කළා ය.
කුමක් පැවසිය යුතු දැයි විසල් දැන සිටියේ නැත. මෙවන් දෙයක් ගැන බලාපොරොත්තුවක් හෝ එවැන්නක් පිළිගන්නා සූදානමක් ද ඔහු වෙත වූයේ නැත. ජාන්වී යතුරු පැදියෙහි යතුර විසල් වෙත පෑවා ය.
‘කැමති නැද්ද මේකට…’
ඒත් ඔහු ට කිසිත් කිව හැකි වූයේ නැත. විසල් ඒ යතුර තදින් මිට මොලවාගත්තේ ය. ජාන්වී දෙස බලා උන් ඔහු ගේ දෑස් හි වූයේ ද ඇයට කියවා ගත නො හැකි කතාවකි.
‘මේ වෙලාවෙ මේක ගන්න. මීට වැඩිය හුඟක් වටින වාහනයක් තමයි ඔයාට දෙන්න ඕනෙ. දැනට මේක ගන්න…’
ඒ ඍජු මන්දස්මිතයෙන් ම ඇය මෘදු ලෙස තෙපළා ය.


