අලුත් ම යතුරුපැදියෙන් විසල් ගෙදර පැමිණි සැඳෑවේ මේධා ඔහු වැළඳගෙන ඉකිබිඳ හැඬුවා ය. හැමදාමත් ඇය ඔහු දුටුවේ උස අත්තක පිපුණු මලක් ලෙසයි. හැම විට ම ඇය උත්සාහ කළේ ඔහු ව උස් තැනෙකින් තබන්නටයි. ඇතැම් විට ඇය එහෙම කරන්නට තරම් උස් තැනක නො උන්නා විය හැකි ය. ඈ සියල්ල කළේ ඇයට හැකි උපරිමයෙන් පමණක් වූවා විය හැකි ය. නමුත් සොබා දහම ඒ මුළු කාලය පුරා ඔවුන් දෙස බලා ඉන්නට ඇත. ජීවිතය වෙනුවෙන් ඔවුන් දරනා ලද දිරිය දෙස බලා හිඳින්නට ඇත. ඒ අප්‍රතිහත ධෛර්යය හා අපමණ පිරිපත අස අත් නො හළ ජීවිතය වෙනුවෙන්, ලබා දෙන්නට අවස්ථාවක් සොය සොයා ඉන්නට ඇත.
‘ඔයා දුක් වින්ද තරමට දවසක සැප විඳින්න ලැබෙන්නෝනෙ පැටියො’
මහා ඉකිබිඳුමකට යටින්, අපැහැදිලි සරින් අම්මා පුතුට නියත විවරණ දුන්නා ය.
‘මේක කම්පනි එකෙන් ලැබුණ බයික් එකක්නෙ අම්මෙ. කවදාවත් මගේ කියල ට්‍රයිසිකලයක් තිබිල නැති මට මේක බෙන්ස් එකක් තරං වටිනව තමයි. ඒත් තාම මං මහන්සි වෙලා හම්බකරපු සල්ලි වලින් වාහනයක් ගත්ත නෙවෙයිනෙ. අන්න එහෙම දවසක අඬන්න ඔය කඳුළු තියාගන්න අම්මෙ. මැඩම් මට මේ ජොබ් එක දීපු එක වෙනුවෙන්… මට කරන්න පුළුවන් උපරිමය කරල ඉන්න ඕනෙ ඔක්කෝටම කලින්’
විසල් අම්මා වැළඳගෙන, ඇයටත් වැඩිය වයස ඇති පරිනත පුරුෂයෙකු වාගේ මිමිණුවේ ය. තරුණ ජවයත් අධිෂ්ඨානයත් ඕනවටත් වැඩිය ඔහු වෙත තිබිණි. කිමිදුම් ශූරයෙකුට මහා සාගරය කියන්නේ ගවේෂණය කරන්නට අසිරිමත් ලෝකයකි. ඒ වෙනුවෙන් අත්‍යාවශ්‍ය නිදහස ද පසුබිම ද සපුරා ඔහු වෙත පිරිනැමී තිබේ!
‘ඇත්තට ඒ මැඩම් එච්චර ලොකු පෝස්ට් එකක් ඔයාට බාර දුන්නනෙ කියන එක මටත් හීනයක් වගේ. දෙවියො ඔයා දිහා බලල අහක බලාගෙන නෑ’
‘මැඩම්ගෙ පුතා මට ගොඩක් හිතවත් වුණ නිසා වෙන්නැති…’
ඒ පුතා ගේ වයස ගැන හෝ ඒ හිතවත්කමෙහි ස්වභාවය ගැන විසල් අම්මා ට නො කියා හිටියේ හිතා මතා ම ය!
එදා සැඳෑවේ ගෙදර එන්නට පෙර සව්මිය ව මෝටර් බයිසිකලයේ ඉදිරියෙහි හිඳුවාගෙන, ගේ ඉදිරිපිට පාරේ කිහිප වතාවක් ඉහළ පහළ යා යුතු විය. පසු දා උදයටත් පෙර පාසල් යාමට පෙර බයිසිකල් පද්දන පොරොන්දුව පිට ය විසල් ට ගෙදර එත හැකි වූයේ. එදා පටන් හැම හවසකමත්, ඔහු සමන් මාවතට ගිය හැම අවස්ථාවකමත් සව්මියව නංවාගෙන බයිසිකලයේ වට කිහිපයක් පැද්දිය යුතු විය.
ඒ පළමු උදයේ බයිසිකලයෙන් බහින්නට බෑ කියමින් සව්මිය අරගලයක් කරන්නට පටන් ගත්තේ ය. ‘තව එකයි’ කියමින් විසල් ද තව තවත් වාර ගණනක් ඔහු ව ගෙන යන්නට වූයේ ය. නමුත් සිඟිති සිතට ඇතිවීමක් වූයේ නැත.
‘නෑ නෑ දැන් ඔය ඇති’
එවර ජාන්වී තදින් සිටියා ය. සව්මිය මූණ බෙරි කරගෙන විසල් ගේ මූණ දෙස හැරී බැලුවේ ය.
‘එපා විසල් ඔය ඇති. එහෙම හුරතල් කරන්න බෑනෙ. දැන් නර්සරි යන්නෝනෙ. විසල් අංකල් ඔෆිස් යන්නත් ඕනෙ. කිව්වනෙ ආයෙ හවසට පදිමු කියල’
ජාන්වී සව්මිය ව බයිසිකලය මතින් ගෙන බිමින් තැබූයේ බලයෙනි. සිඟිත්තා හඬාගෙන බිම හිඳ දෙපා ගසමින් මුරණ්ඩුකම් පෑවේ ය. ජාන්වී මඳක් හඬ උස් කොට ඔහු ට සැර වූවා ය. එයින් සිදු වූයේ සව්මිය ගේ හැඬීම උත්සන්න වූ එකයි.
‘සැර කරන්නෙපා අප්ප’
කියාගෙන විසල් සව්මිය වෙත පහත් වෙන අතරමගක දී ජාන්වී ගේ නෙතු හමු විය. සව්මිය හැඬීම ගැන අම්මා වන ඇයටත් වැඩි අපහසුවක් විසල් ගේ මුහුණ මත තිබී ජාන්වී ට හැඳිනගත හැකි විය.
විසල් දෝතින් සිඟිත්තා වඩාගත්තේ ය. සව්මිය ඔහු ගේ ගෙල වැලඳ හඬන්නට වූයේ ය.
‘අම්මි හොඳ නෑ. නෝටි අම්මි’
ඔහු හඬමින් ම දුක කියවූයේ ය.
‘අම්මිට එහෙම කියන්නෑනෙ බබා. නර්සරි යන්න ලේට් වෙනව කියලනෙ අම්මි කියන්නෙ. ඉතිං ඒක ඇත්තනෙ. උදේට ඉස්සෙල්ලම කරන්නෝනෙ නර්සරි යන එක. මේ මමත් උදේම ඔෆිස්නෙ යන්නෙ. අද මෙහෙං ආවෙ ඊයෙ ඔයාට ප්‍රොමිස් වුණ නිසානෙ… මාත් දැං ඔෆිස් යන්න ඕනනෙ’
‘හැමදාම උදේත බබාව බයික් පද්දනව කීල පොමිස් වෙන්න’
විසල් ට ජාන්වී ගේ මුහුණ දෙස බැලිණි.
‘ඔයා මෙයාව හුරතල් කරනව වැඩියි විසල්’
සව්මිය විසල් ගේ මූණ දෙපසින් අල්වා ඔහු ගේ අවධානය තමන් වෙත යොමු කරගත්තේ ය.
‘තාත්ති පොමිස් වෙනව නේද…’
ඒ පුංචි ඇස් වල වූ බලාපොරොත්තුව දෙස බලාගෙන ඒ හිත රිද්දන්නට තරම් හයියක් විසල් ට වූයේ ම නැත.
‘හරි මං එන්නංකො. හැබැයි අඬන්න බෑ දැං…’
‘ඕනවට වඩා ආදරේ පෙන්නන්න එපා විසල්. මෙයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන්නෙ’
‘තාත්ති මත ආදෙයි’
සව්මිය විසල් ගේ අතින් බැස්සේ අම්මා ට නෝක්කාඩුවක් පාමිනි.
‘යං බ්‍රෙක්ෆස්ට් ගන්න. නර්සරි යන්න ලේට් වෙයි’
‘මං යන්නද එහෙනං…’
විසල් ජාන්වී දෙස බැලුවේ සමුගැනීමට සැරසෙන දෑසකිනි.
‘අනේ ඇයි ඉතිං හදිස්සියෙ දුවන්නෙ… බ්‍රෙක්ෆස්ට් අරං යන්න විසල්’
‘මං කන්නෙ තාත්ති එක්ක’
කියමින් සව්මිය විසල් ගේ අතැඟිල්ලකින් අල්වාගත්තේ ය. ජාන්වී තවමත් ආරාධනා දෑසින් බලා හිඳී.
‘මට එළියෙං මොනාහරි ගන්න පුළුවං’
‘හරි ඉතිං මෙහෙං කාල යන්නත් පුළුවන්නෙ’
ඔහු ගේ දෙඅදර අද්දර සරැලි නැගූ මඳහස නො කියා කීවේ ඇගේ ආරාධනයට එකඟ වෙන බවයි. ජාන්වී සව්මිය හා විසල් වෙනුවෙන් පාන් ටෝස්ට් කළා ය. බටර්, ජෑම්, මාමයිට් තැවරුවා ය. සව්මිය ගේ ප්‍රීතිමත් හඬ ගේ පුරා පිළිරැව් දුනි. මීට මඳ වෙලාවකට පෙර හැඬූ බවට සලකුණක් හෝ නැත.
‘දැං විසල්ව ප්‍රොමිස් කරගෙනනෙ උදේටත් එන්න. අපි එහෙනං හෙට උදේම ඉඳිආප්ප ටිකක් හදමු නේද අමිතා…’
ජාන්වී වැඩ අතරේ ම අමිතා පිලිවිසියා ය.
‘අනේ මටත් එක්ක හදන්නෙපා’
විසල් වහා කීවේ ය. ජාන්වී කලබලයකින් තොරව දිගට ම පාන් පෙති ටෝස්ටරයට දැමුවා ය. බටර්, මාමයිට් තැවරුවා ය.
‘දැං බයික් එක තියන එකේ විසල්ට එන්නනං කරදරයක් නෑනෙ…’
‘අම්ම කොහොමත් උදේට උයනව අංකල්ට ගෙනියන්න. උදේ පාන්දර බත් කන්න බෑ ඉතිං… ඒත් අපේ අම්ම මං අඳින අතරෙ බත් කටවල් දෙක තුනක් හරි කවනව’
‘බත් කටවල් තුන හතරක් කෑව කියල කොල්ලෙක්ට ආයෙ කන්න බැරි නෑනෙ ඉතිං’
ඒ සමාගමය වෙත විසල් ඇදී ගියේ හිතා මතා නොවේ. එය අනායාසයෙන් හා අනිච්ඡානුගව සිදු වූවක් කිව හැක. ජාන්වී ගේ ගෙතුළ පවුලක හැඟීම තිබිණ. ඔහු පිටස්තරයෙකු වී ද පිටස්තර හැඟීමක් දැනුණේ නැත. සව්මිය පමණකුදු නොව ජාන්වී පවා ඔහු ට සැලකුවේ තමන්ගේ ගෙදර කෙනෙකුට මෙනි. සව්මිය අස දැනෙනා බැඳීම සංසාරයක් පරණ එකක් සේ ඇතැම් විට ඔහු ට සිතිණි.
ඉස්සර කුඩා විසල් ගේ පාළු හදවත තුළ පවුලක කෙනෙකු වීමේ ආශාවක් ගිනි පුපුරු නැංවූ බව ඔහු ට මතක ය. නංගී ඉපදුණ අලුත අම්මා හා ඇය ළඟට වී දැවටී ඉන්නට ඔහු ආශා වූයේ ය. සේනක ගෙදර නැති හැම අවස්ථාවක ම ඔහු ට අම්මා ළඟ සිටිත හැකි විය. නමුත් සේනක ගෙදර පැමිණි කල පුංචි විසල් ට කාමරය තහනම් කලාපයක් වෙයි. බාප්පා නංගී ට හුරතල් බස් දොඩනා හඬ ඔහු ට ඇසෙයි. නමුත් දරුවෙකු දෙස බලනා දෑසකින් ඔහු විසල් දෙස බැලුවේ හෝ නැත. බාප්පා ගෙදර අධිපතිත්වය පතුරන්නා වූ ඔහු ඉන්නා වෙලාවට විසල් ට දැනෙන්නේ තමන් ඒ ගෙදරට අයිති නැති කෙනෙකු සේ ය. අයිතියක් හිමිකමක් නැති තැනෙක ඔහු ඉන්නවා වාගේ ය.
කුඩා ළමයෙකු වූ විසල්ව සේනක ට පෙනුණේ මහ මිනිසෙකු ලෙසිනි. අම්මා ට පෙනෙන්නට ම ඔහු විසල්ගෙන් ළමයෙකුට නො තරම් වැඩ කරවාගන්නට බැලුවේ ය. ඒවාට එරෙහි වීමේ ශක්තියක් මේධා ට නො වන්නට ඇත.
‘පැටියො ඔයා තියන්නකො. මං ඕක කරන්නං… කෝ දෙන්නකො මං ඕක ඉක්මනට කරන්න’
කියමින් ඇය ඒ වෙලාවට කෙසේ හෝ විසල් මත පැටවුණු කාරිය තමන් විසින් ඉටු කරන්නට බැලුවා ය.
‘හදයි තමුසෙ ඔහොම ඔය කොල්ලව… බබා කරල…’
එවන් විටෙක සේනක කෝප ගෙන අම්මා ට රැවූ අයුරු මේ දැනුත් විසල් ට සිහි කරගත හැක. මේධා එතකොට අසරණ ලෙස නිහඬ ව සිටිනවා පමණකි. බාප්පා ගෙදර නැති ඇතැම් අවස්ථා වල ‘මට සමාවෙන්න පුතේ’ කියා කියමින් මේධා පුංචි විසල් තුරුලු කරගෙන හඬා තිබේ. ඒ මන්දැයි ඔහු ට තේරෙන්නට ගත්තේ තවත් පසු කාලයකදී ය.
හැමදාමත් ඔහු ට ගෙදරදී අහිමි කොට තිබූ ගෙදර කියනා හැඟීම ජාන්වී ගේ ගෙදර දී දැනෙන්නේ කෙසේ ද කියා හෝ එසේ දැනෙන්නේ ඇයි කියා හෝ විසල් දන්නේ නැත. නමුත් එදා වාගේ ම අදත් ඒ හැඟීමට හදවතේ උණුහුම් ම තැනෙක ඉඩක් වන බව පමණක් ඔහු දනී.


