හදේ කොතැනක හෝ හිඳී – 15

0
3036

සව්මිය විසල් ගේ උකුල මත හිඳ ඔහු ගේ පපුවත් දෑතත් අතරේ, කුරුලු පැටියෙකු සේ තුරුලු වීගෙන සිටියේ ය. විසල් ගේ පිරිමි හදට දැනෙමින් තිබුණා වූ ස්නේහය තාත්තා කෙනෙකුට අයිති එකකි. තාත්තා කෙනෙකු වන්නේ නැතිව ම එහෙව් හැඟීමක් හුම්මානයක් සේ හදවතින් නැගී එන සැටියක් ඔහු ට හිතාගත නො හැකි ය. ඔහු තව තවත් දරුවා තුරුලු කරගත්තේ ය. පියෙකු ගේ රැකවරණයක් නොමැති ව නූල කැඩී ගිය සරුංගලයක් සේ අයාලේ පා වූ ළමා විසල්ව ම ඔහු හදවතින් තුරුලු කරගෙන සිටියේ ය.

‘කොෆී එකක් බොමු විසල්’

කියමින් ජාන්වී කෝපි සුවඳ ඉස්සර කරගෙන පැමිණියා ය. විසල් ට තුරුලු වී නො සෙල්වී හිඳිනා පුංචි පුතු, ඇගේ පපුවේ රිදුමක් ඇති නො කළා නොවේ. හිතේ හැටියට විඳින්නට ඔහු පතනා පීතෘ ස්නේහය පුද දෙන්නට මේ අපූරු තරුණයා ඔවුන් ගේ ජීවිත වෙත එවන ලද්දේ දෙවියන් විසින් විය යුතු යයි ඊළඟ මොහොතේ ඇය සිතුවා ය.

කහ පැහැති විදුලි ආලෝකය බරාඳයෙහි සිට අලස ගමනින් මිදුල දෙසට ඇදේ. යන්තමින් අහස කොනක එල්ලුණ අඩ සඳක තඹ පාට කිරණ මිදුලේ ජැකරැන්ඩ අතු ඉති මත පතිත වී තිබේ. ජාන්වී නිහඬව කෝපි උගුරක් දෙකක් බීවා ය.

‘දොට්ට බැහැල ආවෙ නැත්තං මට අද අර අංකල්ට දෙකක් අනින්නම තමයි වෙන්නෙ. එහෙම නොවෙන්නයි මං එළියට බැස්සෙ’

විසල් සිය ගැඹුරු පිරිමි හඬින් මුණිවත බින්දේ ය.

‘රණ්ඩු වුණාද විසල්…’

‘මාත් එක්ක නෙවේ. අම්ම එක්ක. අම්මගෙ කොණ්ඩෙං ඇදගෙන… ගහන්නත් ගියා. හැබැයි අම්මට ගැහුවනං… මං නිකං ඉන්නෑ’

ඔහු කෝපයෙන් වෙව්ළුවේ ය. ජාන්වී විසල් කරගත් දෑසකින් බලා සිටියා ය. කුමක් පැවසිය යුතු දැයි නිශ්චිත නැතිව දිගු වූ තත්පර කිහිපයකට පසු,

‘ඔයා මෙහෙ ආපු එක හොඳයි’

කියා  කියාගත්තා ය.

‘කොහොමත් ඔයා පැටලෙන්න යන්නෙපා ඕවට. ඔය වයස මිනිස්සු ඔහොම තමයි විසල්. මොනා වුණත් ඔයා පැටලැවිල්ලක් ඇති කරගත්තොත් සැනසිල්ලක් නැති වෙන්නෙ ඔයාගෙ අම්මටමයි’

‘ඒක ඇත්ත. විඳගන්න බෑම කියල හිතෙන දේවල් පවා මං විඳගෙන ඉඳල තියෙනව. නො තේරුණා වගේ සමහර ඇනුම්පද දරාගෙන ඉඳල තියෙනව. සල්ලි ඉල්ලපු සමහර දවස් වල අංකල් අම්මට බැණල තියෙනව දෙන සල්ලි කනවද කියල… මං තමුසෙව විතරයි කසාද බැන්දෙ කියල කියනව මට ඇහිල තියනව. ඒ මට කන්න දෙන්න එයා බැඳිල නෑ කියන එක. දොට්ට බැහැල යන්න අනන්තවත් මට හිතිල තියෙනව. හැබැයි අපේ අම්ම එහෙම වෙලාවකවත් කඳුළක් හලන්නැතුව දරාගෙන හිටිය. එයා හැම වෙලේම හිතුවෙ මට අයිති තැන දවසක මට ලැබෙයි කියල. ඒ වෙනකල් ඉවසං ඉන්න පුතේ කියල තමයි මන්තරේ වගේ කිව්වෙ. අම්ම මාව එච්චර හයියෙං අල්ලං හිටියෙ නැත්තං මං මාවම අත්ඇරල දාල. අඩු ගානෙ ඔය කුළී වැඩ කරන තැනක ජීවිතේ නතර කරල… රස්තියාදුකාරයෙක් කුඩුකාරයෙක් ගංජාකරයෙක් වෙලා. ඒත් නැත්තං හිරේ විලංගුවෙ වැටිල. මොනවත්ම කරගන්න හයියක් නැති වුණාට අම්මට පුදුම හිත් හයියක් තිබුණෙ. අඩු ගානෙ මට ඕන විදිහට කොණ්ඩෙ කපන්න දෙන්නෙත් නෑ ඒ කාලෙ… සැලෝන් එක ළඟට ඇවිත් ඩීසන්ට් කට් එකක් දාන්න කියනව…ඉතිං මට කේන්තිත් එක්ක…’

විසල් ගේ දෙඅදර අතරෙහි සිනහ රැල්ලක් මැවුණේ ය. ඒ සිනහව තුළ දිය වී තිබුණේ හැඬුමකි. කඳුළකි. නමුත් ඔහු සිනහ වී ගෙන සිටියේ හදවත ආදරයෙන් පුරවාගෙනයි. හදවතේ ඉහළ ම මළුවේ පාරිශුද්ධ ම තැන දේවතාවක් සේ මේධා වැඩ සිටියා ය.

‘ඔයාගෙ අම්ම වගේ අම්මල තමයි දවසක සම්මා සම්බුදු වෙන්නෝනෙ විසල්…’

‘මොන හේතුවක් නිසා හරි තාත්තෙක් නැති දරුවෙක් එක්ක ලෝකෙ තනි වෙලා… ඒ දරුවගෙ ඇස් වලට කඳුළක් නොදී ඉන්න… ඒ දරුවගෙ අනාගතේට අඳුරක් නොවැටී තියන්න ධෛර්ය ගන්න හැම ගෑනු ආත්මයක්ම සම්මා සම්බුදු අම්ම කෙනෙක් තමයි…ඔයාගෙ අම්මත් දවසක බුදු වෙයි…’

විසල් ඒ අන්තිම පේළිය කීවේ සව්මිය දැඩි ව තුරුලු කරගෙන, ඔහු ගේ හිස සිපගන්නා ගමන් ඔහු ට ය. ජාන්වී ට උගුරේ හිරවීමක් දැනිණ. ඇස් කෙවෙනි දවාගෙන කඳුළක් දිය වී ආවේ ය. ඕ ඉක්මන් ඇස් පිය සලා ඒ කඳුළ දෑස් මත්තෙහි ම ගබ් සා කළා ය.

‘වි… සල්…’

‘මට වෙච්ච දේවල් මේ චූටි මැණිකටනං වෙන්න දෙන්නෙපා’

‘අපේ ගෙදරිං කොච්චර කිව්වද විසල් ආයෙ මැරිකරන්න කියල. ඒත් මං හිතුවෙ මට මගෙ දරුවව හදාගන්න පුළුවන් කියල විතරයි. අපිට අයිතියක් නෑ අපිම ලෝකෙට අරං ආව දරුවො අපේ සතුට වෙනුවෙන් දුකට ඇදල දාන්න. ඒත් මට තියන ආර්ථික හයිය හැම ගෑනියෙක්ටම නෑ. ඒක තමයි ගෑනියෙක් වැඩියෙන් ම දුර්වල වෙන තැන’

හිතේ ඇවිළෙමින් තිබූ ගින්දර  හෙමි හෙමිහිට නිවී ගොස් තිබිණ. ජාන්වී විසල් ට ගෙදර යන්න හැරියේ රෑ කෑම පිළිගැන්වීමෙනුත් අනතුරුව ය. මුල දී විසල් ඒ ප්‍රතික්ෂේප කළේ ය.

‘මට ගෙදර ගිහිං කන්න පුළුවං’

‘අනේ ඔයා දැන්නං ගෙදරින් කන්නෑ. ටිකක් හරි කාල යන්න’

අවසන ඇයට අවනත වන්නට ඔහු ට සිදු විය. කෑම ගැනීමෙන් පසු ඔහු ගෙදර යන එක ගැන විරෝධය ප්‍රකාශ කරන්නට ගත්තේ සව්මිය ය.

‘තාත්ති ඉන්නකො… අද බබා තාත්ති ළඟ දොයියනව’

කියමින් ඔහු විසල් ගේ හිතට බලපෑම් කරන්නට පටන් ගත්තේ ය.

‘අපෝ බෑ. විසල් අංකල්ගෙ අම්මි එයා එනකල් බලං ඉන්නවනෙ. එයාට දුක හිතෙයි. ඔයා නැතුව ඉන්න අම්මිට බෑ නේද… ඒ වගේ තමයි’

ජාන්වී සිඟිත්තා ගේ හිත හදන්නට උත්සාහ කළා ය.

‘මං උදේට එනවනෙ පැටියො. අපි උදේට බයික් එකේ වටයක් යං හොඳේ’

විසල් ඔහු ට සැනසෙන්නට කාරණයක් දුන්නේ ය.

‘එහෙනං මාව බයික් එකේ නර්තලි අලං යනවද…’

සව්මියගෙන් තවත් ඉල්ලීමකි. විසල් ගේ හා ජාන්වී ගේ සිව් නෙත් එකිනෙක හමු විය. ජාන්වී සිනහවකින් විසල් අතින් සව්මිය ගත්තා ය.

‘පරිස්සමට යන්න විසල්. අනං මනං හිතන්නෙපා. ඔයාගෙ අම්මට තව අලුත් දුක් ඕන නෑ හරිද… ‘

ඔහු හෙල්මටය පළඳාගත්තේ, අම්මා කෙනෙකු සේ ඈ කළ තරවටුවට මඳහසක් පාමිනි.

‘ගෙදර ගිහිං මට කෝල් එකක් ගන්න හොඳේ’

‘මං පරිස්සමට යනව. දැන් නිදාගන්න. කෝල්කරල ඇහැරවන්න ඕන නෑනෙ’

‘පැහෙන්නැතුව ඔයා ගියා කියල කියන්නකො. ඒ කෝල් එක එනකල් මට නින්ද යන එකක් නෑ කොහොමත්’

යම් කිසි හැඟීමක් ඔහු ගේ පපුවේ කොහේ හෝ තැනක හිර විය. ජාන්වී නො වෙනස්ව සිනා සී සිටියා ය.

‘විසල් අංකල්ට ගුඩ් නයිට් කියන්න’

‘ගුන්නයිට් තාත්ති. බුදු සරණයි.. උම්ම… බබා ලව් යූ’

නිදන්නට පෙර ජාන්වී ගේ ගෙල වැලඳ පුරුද්දට කියනා වදන් පෙළ සව්මිය විසල්ට ද කීවේ ය. ඔහු ජාන්වී අත උන් රෝස මල නැවත ද සිප ගත්තේ ය. ජාන්වී ගේ සුවඳින් පිරිමි පෙනහලු පිරිණි.

‘සනීපෙට දොයියන්න’

ඊළඟ නිමේශයේ ඔහු වහා යතරුපැදියට නැගී එය පණගන්වා ගත්තේ ය.

‘ගේට් එක ලොක් කරගන්න’

කියා, ජාන්වී එය අගුළු ලන තුරු ම හිඳ නික්ම ගියේ ය. සව්මිය මූණ බෙරි කරගෙන දුක්මුසු ඉරියව්වකින් ජාන්වී ගේ උරහිස මත හිස තියාගත්තේ ය.

මේධා සිටියේ පපුවේ ගින්දරෙනි. විසල් කොහේ ගියේ ද රාත්‍රියේත් ඔහු ගෙදර නො එනු ඇති ද යන බිය ඇය වෙත විය. ඔහු ගෙදරින් නික්ම ගියාට පස්සේත් බැණ අඬගසමින් සිටි සේනක, බත් පිඟානක් ගිල දමා ගොරොද්දේ අදිමින් නිදන්නට වූයේ බීමතින් සිටි බැවිනි. මින් පසු වාඩියේ වැඩ කරන පිරිමින්ට කෑම නො උයන්නට මේධා තීරණයක් ගත්තා ය. විසල් අතේ ඔවුන්ට ඒ පණිවිඩය යවන්නට ද ඇය සිතාගෙන සිටියා ය.

ඒ රාත්‍රියෙහි විසල් බයිසිකලය පැද ආවේ බෝ හෙමිහිට ය. ඔහු ගේ හිත හිතිවිලි වලින් වාං දමමින් තිබිණි. ඒ ඇතැම් සිතිවිලි එකිනෙක හා නො ගැලපෙන හා නො බැඳෙන ඒවා ය. ඔහු ඒ බෝ සිතිවිලි දිග එල්ලීගෙන ටික දුරක් ගියේ ය. ජීවිතය ඔහු නො දන්නා අවිනිශ්චිත ඉසව්වක පාවෙමින් තිබෙනා බවක් ඔහු ට දැනේ. කාලයක් තිස්සේ ම ඒ හැඟීම විය. නමුත් දැන් හදවත ඊට වැඩි ස්ථාවර බවක් ඉල්ලා සිටී. ජීවිතයක් වුණත් කොතැනක හෝ වැටී පැළ විය යුතු ය!

මේධා ට සැනසිලි සුසුමක් වැටුණේ යතුරු පැදිය පැමිණෙන හඬ ඇසුණු විටයි. ඇය විසල් පසුපසින් කාමරයට ආවා ය. විසල් යහනෙහි හිඳගත් විට යාබදව හිඳගත්තා ය.

‘බත් බෙදන්නද…’

 මේ තරම් ප්‍රශ්න කන්දක් පපුවේ තියාගෙන අම්මා ඔහු ට මේ තරම් ආදරයෙන් කතාකරන්නේ කොහොම ද කියන පැනය මේ වෙලාවේත් විසල් තුළින් නැගී සිටියේ ය.

‘එපා අම්මෙ. කන්න බෑ’

‘හිස් බඩ නිදියන්නෙපා. ඔයා කොහෙද ගියේ…’

‘යාළුවො ටිකක් එක්ක හිටියෙ’

ඔහු අසීරුවෙන් මුත් බොරුවක් කීවේ ය.

‘මං කාල ඉන්නෙ. අම්ම නිදියන්න’

‘මං හැමදාම බලං හිටියෙ මෙහෙම කාලයක් එනකල්. පුතා… පඩි ගත්තට පස්සෙ ඔයා මේ ගෙදරිං ගිහිං හොඳ තැනක් අරං නවතින්න. දැං ඔයාට එහෙම කරන්න පුළුවං’

‘මට අම්මව මෙහේ අතෑරල හොඳ තැන්වලට යන්න ඕනනෑ’

මේධා සව්මිය වූ සිනහවක් පෑවා ය. එහෙම සිනහවක් පැමිණිය හැක්කේ අම්මා කෙනෙකු ගේ මුහුණට පමණකි.

‘කොහොමත් ඔයාට හැමදාම මෙහෙ ඉන්න බෑනෙ. බැන්ද කාලෙක… ඔයා කොහොමත් ලස්සන තැනක ලස්සන ජීවිතයක් පටන්ගන්න ඕනෙ. මේ නරා වළේ තවත් දුක් විඳින්නෝනෙ නෑ පුතා. මන්නෙ කියන්නෙ… අම්මනෙ කියන්නෙ… ඔයාට හොද තැනක පොඩි කාමරයක් හොයාගමු අපි’

එපමණක් පැවසූ ඕ තොමෝ වහා නැගිට කාමරයෙන් නික්මුණා ය.

 පපුව පැළෙන්නට එන වේදනාවක් ඇයට දැනේ. ගිනියම් කඳුළු පොකුරක් ඇස් මත හිතුවක්කාරකම් කළේ ය. ඇය අසීරුවෙන් දරාගෙන අනගි පසෙකින් යහනේ කොනක වැතිරුණා ය. අම්මා කෙනෙක් පුතෙකු උස් මහත් කොට හදනවා කියන්නේ ම දිනෙක අත්හරින්නට වන බව දැන කරනා දෙයකි. මේධා හැමදාමත් පැතුවේ විසල් උස් තැනෙක හිඳිනවා දකින්නටයි. ඒ වෙනුවෙන් සිය ආදරයත් දුක හා පාළුවත් දරාගන්නට ඇයට සිදු වන්නේ ම ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here