හදේ කොතැනක හෝ හිඳී – 17

0
71

ජාන්වී සිතා සිටියේ ඒ හැන්දෑවේ අමිතා සමගින් සව්මිය කැටිව ගාලු මුවදොර පිටිය වෙත යන්නටයි. ටික දිනකින් සව්මිය පිටතට ගෙන යා නො හැකි වූ නිසා ඔහු එයින් සතුටු වනු ඇති බව ඇය දැන සිටියා ය. නමුත් විසල් ගේ මව් වෙනුවෙන් තිළිණයක් තෝරා දෙන්නට රන් අබරණ සාප්පුවකට යාමට සිදු වන නිසා ඒ ගමන මඳක් එහෙ මෙහෙ කරගන්නට ඇය සිතුවා ය.

‘අපි හෙට ගෝල් ෆේස් යං බබා. හොඳේ’

පුංචි සව්මිය ඒ වෙනසට කැමති වූයේ ම නැත.

‘බා… මත අද ගෝල්පේත් යන්නෝනෙ’

කියමින් ඔහු හැඬුම්බර වූයේ ය.

‘කමක් නෑ. ඒක තෝරල දීල යන්න. එච්චර වෙලාවක් යන එකක් නෑනෙ. මං බයික් එකේනෙ එන්නෙ’

‘මං යන්නෙත් බයික් එකේ…මං තාත්ති එක්ක ගෝල්පේත් යන්නෙ’

‘අනේ බබා ඉතිං කිව්වහම අහන්නකො’

ජාන්වී මඳක් සැර වූවා ය. අඬන්නට හිටි සව්මිය ගේ ඇහැට ඇඟිල්ලක් ඇනුණ සෙයකි. ඔහු හඬාගෙන ම විසල් ගේ කකුල් දෙක අතරෙහි මුහුණ ඔබාගත්තේ ය.

‘කිව්වනෙ හෙට යනව කියල. මුරණ්ඩු වෙන්නෙපා’

දෙවන සැරකිරීමත් එක්ක සව්මිය ගේ හැඬුම උච්ච වූයේ ය. විසල් පහත් වී ඔහු වඩාගත්තේ එවිටයි.

‘ඔයා තමයි මෙයාව ඕනවට වැඩිය හුරතල් කරන්නෙ විසල්. එපා හුරතල් කරන්න. මෙයා දැන් හරි නරක විදිහට හැදෙන්නෙ’

වෙනදාට වැඩියෙන් අම්මා සැර වූ හින්දා සව්මිය සැබවින් ම බියපත් ව විසල් ගේ ගෙල බදාගත්තේ ය. පුංචි හිතට කෙතරම් දුක හිතී තිබුණේ ද යත් ඔහු කතා කළේ හූල්ලමින් හා ඉකි ගසමිනි.

‘අම්මි මට බනිනෝ… අම්මි… නෝටි… තාත්තිට ඉතලයි මං ආදලේ’

විසල් හඬ නගා හිනැහෙමින් සව්මිය තුරුලු කරගත්තේ ය. ගෝල්ෆේස් යන්නට සව්මියට විසල් ව තරයේ උවමනා බවක් පෙනෙන්නට තිබිණි. ඔහු නැලවෙන හෝ සැනසෙන පාටක් තිබුණේ ද නැත. ඉකිළුම නො කඩවා සිදු විය.

‘හරි හරි. මං එන්නංකො ගෝල්ෆේස් යන්න’

විසල් ගෙන් ඒ වචන පෙළ පිට වූවා පමණකි. සව්මිය ගේ ඉකිළුම නතර විය. ඔහු ඉද්ද ගැසුවා සේ කෙලින් වී විසල් ගේ මූණ දෙස බැලුවේ ය. කිරි සිනහවකට දෙතොල් හැඩ විය. ආදරය ඉවසාගන්නට බැරිව විසල් තදින් ඔහු ගේ කොපුලක් සිපගත්තේ ය. රැවුල් කොට ඇනී කම්මුල් කිතිගැන්වී සව්මිය හඬ නගා සිනහ වූයේ ය.

‘තැව්ල ඇයිනෙව’

ජාන්වීත් අමිතාත් උනුන් ගේ මුහුණු දෙස බලා සිනහව සඟවාගනිමින් ඉවත බලාගත්හ.

විසල් ට යන්න සිදු වූයේත් ජාන්වී ගේ මෝටර් රථයෙහි ය. මුලින් ම ඔවුහු රන් අබරණ අළෙවි හලකට ගොස් කරාබු යුගලක් මිල දී ගත්හ. එය හොඳ පෙනුමැති මල් පෙති කරාබුවකි. ජාන්වී ගේ තෝරාගැනීමට අම්මා කැමති වනු ඇතැයි විසල් ට සිතිණ.

‘අනේ ඉතිං බලන්න… විසල්ට ගෙදර ගිහිං ඕක අම්මට දෙන්න විදිහක් නෑනෙ මේ ළමය නිසා’

ජාන්වී යළි රියදුරු අසුනට ගොඩ වූයේ සව්මිය වෙතට නෝක්කාඩුවක් පාමිනි.

‘කමන්නෑ. මෙයාව අඬෝල යන්න බෑ’

ඔහු පීතෘ ස්වරයකින් මිමිණුවේ ය. හුස්මක් ඉහළට ඇදී පහළ හෙළිණි.

කාලෙකට පස්සේ සව්මිය වැඩි ම සතුටකින් පසු වූ හැන්දෑව එය බව ජාන්වී ට විශ්වාස ය. ගාලු මුවදොර පිටිය ජනාකීර්ණ ව තිබිණ. ඒ සෙනඟ අතරේ සව්මිය ගේ ලෝකය ම වූයේ විසල් ගේ ආදරයයි. විසල් සිඟිත්තා සතුටු කිරීම වෙනුවෙන් ඔහු අයැද සිටිනා සියල්ල ඉටු කළේ ය. හදවතින් පියෙකු වී දරුවෙකු සතුටු කළේ ය. ඒ අතරේ ම හදවතින් දරුවෙකු වී තමන්ව ම සනහාගත්තේ ය.

ජාන්වී ට හිතේ කරදරයක් නැතිව ඒ හැන්දෑව විඳිත හැකි විය. වෙනදා ට මෙහෙව් ගමනක් පැමිණි විට මුළු අවධානය ම යොමු කරගෙන සිටිත යුත්තේ සව්මිය වෙතටයි. නමුත් අද විසල් ඒ වගකීම කොන්දේසි විරහිතව ඔහු වෙත පවරාගෙන සිටියේ ය.

ගාලු මුවදොර ආශ්‍රිත – අහස සිඹින මහල් ගොඩනැගිලි වල දහස් ගණන් විදුලි එළි දැල්වී අඳුර විචිත්‍ර වන්නට පටන්ගෙන තිබිණ. සුළඟේ ගී හඬ නො කඩවා ඇසුණේ ය. වෙරළේ රළ බිඳෙන හඬ ආත්මීය මිහිරක් දැනවූයේ ය. වෙරළේ සිට මුහුද දෙසට නෙරා ඉදි වූ නැරඹුම් මැදිරියෙහි වැටට බර වී ගෙන ජාන්වී සිය බරැති හදවතට සැහැල්ලුවක පා වීමට හැරියා ය. මේ දැනෙන්නා වූ සැහැල්ලුවට කියනා නම කුමක් විය හැකි දැයි ඇය දන්නේ නැත. එක අතකට විශ්වයෙහි පවත්නා සියල්ලට නම් තැබිය යුතු ම ද? නමක් නැති හැඟීමක් තුළ තිබිය හැකි සැනසිල්ල විඳින්නට, නම් ගම් වාසගම් බාධාවක් කරගත යුත්තේ ඇයි?

‘ස්ට්‍රීට් ෆූඩ් කමු…’

ඇවිද යන අතරමගක, වඩේ කරත්තයක් ළඟදී ජාන්වී ගේ දෑස් කුඩා දැරියක ගේ වාගේ දිළිසිණි.

‘කමක් නැද්ද… පුරුදු නැති නිසා ඕගොල්ලොන්ට බඩ අවුල් වෙයිද දන්නෑ’

‘ඉස්සො වඩේ කන්න ආසයි’

‘ඔන්න මං වගකියන්නෑ’

විසල් සව්මිය වඩාගෙන ම කරත්තයෙන් ඉස්සො වඩේ ද රොටී ද මිල දී ගත්තේ ය. ඔහු කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය අදිත්දී ජාන්වී මුදල් ගෙවන්නට නොයා පසුපසින් සිටියේ කැමැත්තෙනි. ඇය පුංචි කෙල්ලක සේ වීදි කෑම කෑවා ය. යාබද වූ තේ කවුන්ටරයකින් විසල් ඉඟුරු දැමූ තේ ගෙනාවේ ය. ජාන්වී අත පිච්චි පිච්චී ප්ලාස්ටික් කෝප්පය ඔහු අතින් ගත්තේ දෑතින් ම අල්වාගෙනයි.

‘ඔය…’

පහළ පිරිමි ස්වරයකින්, ඔහු නිකටින් පෙන්වූයේ ඇගේ බ්ලවුසයේ කරයි. ජාන්වී මදක් හිස පහළට හරවා ඔහු පෙන්වූ ඉසව්ව බැලුවා ය. බ්ලවුසයේ ළය මත බොත්තම පැන එතැන විවර වී තිබිණි. නමුත් අතේ උණු තේ එක වූ නිසා ඇයට වහා එය පියවාගත හැකි වූයේ නැත. විසල් සිය අතැඟිලි තුඩින් අල්වා බොත්තම දැමුවේ ය. ඒ හදිසි මොහොතට ලෝකය නතර විය.  ඇගේ සිරුරෙහි යන්තමින් හෝ ඇඟිලි තුඩක් ස්පර්ශ නො වන්නට ඔහු වග බලා ගත්තේ ය. ජාන්වී සිටියේ යටි තොල තදින් සපාගෙනයි. ඈ විසල් දෙස ම බලා සිටියත් ඔහු බොත්තම දැමීමෙන් පසු පරිස්සමට නෙතු ඉවතට ගත්තේ ය.

හුස්ම ගත්තේ සීතල සුළඟයි. නමුත් හදවත් තුළ උණුහුමක් විය. එය හැම කෙනෙකුට ම දැනුණා වූ දෙයකි. ඔවුන් සිව් දෙනා ම මේ හැන්දෑවේ උනුන්ගේ සමාගමයෙන් තෘප්ත වී ඇති බවට රිද්මයකින් ළය මඬල ස්ඵන්දනය වෙමින් තිබිණ.

‘රෑට කන්නෙ මොනාද නෝනා…’

කියා අමිතා ඇසුවා ය. ප්‍රධාන පෙළේ අවන්හලකින් ජාන්වී කෑම මිල දී ගත්තේ ඇයට කිසිදු කුසගින්නක් වූ නිසා නොවේ. විසල් අතේ මේධා ට යැවීමට සිත් වූ නිසා ය.

‘අම්මටයි නංගිටයි දෙන්න’

යළි නාවල ගොස් විසල් යතුරු පැදියෙහි නැගෙන්නට සූදානම් වන විට ජාන්වී සව්මිය වඩාගෙන ම කෑම සහිත බෑගය ඔහු වෙත පෑවා ය. බරැති ගුලයක් උගරෙහි හිර වෙනු ඔහු ට දැනිණ. තත්පරයක් දෙකක් නිසල ව බලා හිඳ ඔහු එය ඇගේ අතින් ගත්තේ ය. ඊලඟට ජාන්වී වඩාගෙන සිටි සව්මිය ගේ කොපුලක් මුදු සෙනෙහසකින් සිපගත්තේ ය. සව්මිය සිටියේ වෙහෙසට ලක්ව නිදිමතිනි.

‘දැං හොඳට නිදියයි’

‘හ්ම්. හෙට සැටර්ඩේ නිසා නර්සරි යන්න නැගින්න ඕනත් නෑනෙ’

‘මං යන්නද එහෙනං…’

‘පරිස්සමෙං’

විසල් පවනට බඳු වේගයෙන් ගියේ ය. සැබවින් ඔහු ගේ හදවත පියාසැලීමට තරම් සැහැල්ලුවක තිබිණ. මුලින් ම ඔහු පෙරමගට පැමිණි මේධා අතට දුන්නේ කෑම එකයි.

‘මේව ගේන්න මොකට වියදං කරනවද පැටියො… ගෙදර බත් කියනවනෙ’

මේධා කොඳුළා ය. කාමරයේ දොරකඩට ම ගිය විසල් රතු පැහැති විල්ලුද ඇසිරුම කලිසම් සාක්කුවෙන් ගෙන මේධා අත තැබුවේ ය.

‘මොකද්ද පුතා…’

ඇගේ දෑස් ලොකු වී තිබිණ. විසල් ගේ දෑස් මත වූයේ කල්ප කාලයක් බලා උන් යුතුකමක් ඉටු කරන්නට ලැබීමේ සතුටකි. තෘප්තියකි. මේධා ඇසුරුම විවර කොට බැලුවා ය. කතා කරන්නට වචන හොයාගන්නට කෙතරම් ඇය අසමත් වූයේ ද යත් ළය මඬල ම හුස්මකින් හිර කරගෙන සිය පුතු ඉතා තදින් වැළඳගත්තා ය. එහෙම ඉන්නා ගමන් ඇයට ඉකි ගැසී හැඬිණි. ඇය හයියෙන් ඇඬුවා ය. ඒ හැඬුම සේනක ට ඇසී ඔහු උදහස් වනු ඇතැයි වෙනදා වාගේ ඇය බිය වූයේ නැත. එබැවින් සිය ඉකිළුම් හඬ පාලනය කරගන්නට නො වෙහෙසී ම නිදහසේ හැඬුවා ය. විසල් අම්මා ට හඬන්නට හැර ඇගේ හිස පිරිමදිමින් සිටියේ ය.

කාමරයේ සිට වහා ආලින්දයට පිවිසි සේනක, අම්මා හා පුතා දෙස මොහොතක් බලා හිඳ යළි කාමරයට ගියේ දොර තිර රෙද්ද වේගයෙන් පසෙකට කරමිනි. ඔහු නො රිස්සුවේ මේධා ගේ අතේ තිබෙනු දුටු රතු පැහැති විල්ලුද පෙට්ටියයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here