හදේ කොතැනක හෝ හිඳී – 19

0
3237

සිය අභ්‍යන්තරයෙහි සිදුවෙමින් පවත්නා වූ ප්‍රතික්‍රියාව කුමක් දැයි ජාන්වී ට පැහැදිලි වූයේ නැත. එහි නො සන්සුන් කමක් ද නො රිස්සුමක් ද කෝපයක් ද වෛරී සිතිවිලි ද ක්‍රෝධ හැඟීම් ද පලිදැරීමේ චේතනා ද විවිධ අනුපාත වලින් කැළතී සාන්ද්‍ර වී තිබෙන්නට ඇත. පැහෙනා ලෝදියක් සේ ඒ සියල්ල ඈ තුළ කැකෑරෙන්නට විය. බුර බුරා ඉහළ නැගෙන්නට විය. කම්මුල් පුපුරු ගසනවා සේ, සිරුර නළියනවා සේ ඇයට දැනිණ. දත් ඇඳි එකිනෙක ගැටිණි. ඇය පුටුවක් මතට වැටුණා ය. යළි නැගිට්ටා ය. යළිත් හිඳගත්තා ය. මේ දැනෙන්නේ දුකක් නොවේ කියා ඇය දනී. මෙතෙක් ඇය සන්සුන් ව සිටියා ය. කිසිත් සිදු නො වුණා සේ සිටියා ය. කාටවත් වෛර කරන්නේ ද්වේශ කරන්නේ හෝ පළි දරන්නේ නැතිව සිටියා ය. අතැර ගිය කිසිත් යළි ජීවිතයට සමීප කරගන්නට සිහිනයෙන් හෝ නො පතමින් හයියට ගොඩනැගෙමින් සිටියා ය. ඒ සියල්ල එක මොහොතකින් විනාශ වී ගියේ කෙසේ ද? ගැඹුරු දියක් සේ නිසලව උන් ඕ මේ විදිහට එක මොහොතකින් කැළඹුණේ කෙසේ ද?

විසල් පැමිණියේ පවනට බඳු වේගයෙනි.

‘චමුපති බබාව ඉල්ලනව විසල්’

කියා ජාන්වී හතිදමමින් කී වෙලාවේ, සුනාමි රැල්ලක් නැගී විත් සියල්ල සෝදාගෙන බැස ගියා වන් හිස්කමක් ඔහු ට දැනිණ. විසල් ටික වෙලාවක් සිය කාර්යාල කාමයේ සක්මන් කළේ ය. හදිසි සිතිවිල්ලකට නතුව වහාම යතුරු පැදියේ නැගී සමන් මාවත වෙත ආවේ ය.

ජාන්වී සිටියේ කවිච්චිය මත එරමිණියා ගොතාගෙන හිඳගෙනයි. ඇගේ කෙස් වැටිය කම්මුල් දෙපසින් පපුව මත්තට බේරී වැටී තිබිණ. ඇගේ මුහුණ මත නිරන්තර සරැලි නගන සිනහව කොහේ සැඟව ගියේ ද කියා සෙවිය නො හැකි ය. විසල් ඇය වෙතට ම පැමිණි විටවත් සිනහ වෙන්නට ජාන්වී ට සිහි වූයේ නැත.

ඔහු ඇයට සෙන්ටි මීටරයක දෙකක පරතරයක් ඇතිව කවිච්චිය මතින් හිඳගත්තේ ය. එතෙක් අසීරුවෙන් දරා උන් ගැබ්බර අහසක් සියල්ල අතැර සැහැල්ලුව පතා වැස්සක් ව කඩා වැටෙන්නා සේ ජාන්වී පුපුරා ගියා ය. ඇය හඬාගෙන ම ‘අනේ විසල්’ කීවා ය. ඇගේ හිස ඔහු ගේ පපුතුර රැඳිණ. එහෙව් වාරුවක් පතාගෙන සිටියා සේ ඈ ඔහු ගේ කමිසයෙහි එල්ලී ඉකි බිඳ හඬන්නට පටන් ගත්තා ය. ඒ වූ කලී සුළු හැඬුමක් නොවේ. අනෝරාවක් සේ ඈ මහ හඬින් හැඬුවා ය. විසල් නිහඬ ව ඇගේ හිස පිරිමැද්දේ ය. ඉකිළුම තුනී වීගෙන යත්දී හිස පිරිමදිමින් ම විසල් මෙසේ මිමිණුවේ ය.

‘එයා ඉල්ලුව කියල… කවුද ඉතිං සව්මියව දෙන්නෙ… එයාට කැමති දෙයක් කරන්න කියන්නකො… සව්මියව දෙයිද බලන්න…’  

ඔහු ගේ ස්වරයෙහි කිසිදු කලබලයක් ගෑවී තිබුණේ නැත. අවිනිශ්චිත බවක් වූයේත් නැත. ඒ ස්ථිර ප්‍රකාශයකි. ජාන්වී ඉද්ද ගැසුවා සේ හිස කෙළින් කරගත්තා ය. විසල් ගේ මුහුණ දෙස කෙළින් ම බැලුවා ය. ඇගේ දෑස් හි සැන්දෑ අහස බඳු රත් පැහැයක් දිය වී තිබේ. ජාන්වී දෑතේ ඇඟිලි වලින් ඉක්මන් කොට දෙකොපුල කඳුළු පැල්ලම් පිස දා ගත්තා ය. විසල් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

‘මහ ලොකුවට කතා කරන්නෙනං එකපාර සීයක් එක්ක වුණත් ගහගහන්න ලෑස්තියි වගේ. හැබැයි කවුරුහරි කතා කරල මෝඩ කතාවක් කිව්වහම හොටු පෙරාගෙන අඬනව’

ඔහු ගේ දෑස් හි වූයේ ලවන් අතරෙහි වූ සරදම් සිනහව නම් නොවේ.

‘අනේ ඔයා හරි නරකයි විසල්’

එවර ඔහු ගේ සිනහව ජාන්වී ගේ ගෙදර පාළු අහු මුළු සිසාරා පැතිර ගියේ ය.

‘දෙන්නෑ තමයි. ඒත් මට ඉවසගන්න බැරි මේ   මනුස්සයගෙ උද්දච්ච කතාව. මට දුකයි නෙවෙයි… ඇත්තටම මට පුදුම කේන්තියි. මාව වෙව්ලුව විසල්. ඇත්තමයි ළඟ පාතක හිටියනං…’

ජාන්වී කේන්තියෙන් ම මොහොතකට ඇස් දෙක පියවාගත්තා ය. ඇගේ ළය මඬල හුස්මකින් පිරී ගියේ ය.

‘මං අද ලෝයර්ට කතාකරනව. අම්මල මට කොච්චර කිව්වද ලෝයර්ට කතා කරල ඩිවෝස් කේස් එකක් ෆයිල් කරන්න කියල. මං එච්චර උනන්දු වුන්නෑ මෝඩකමට. ඊයා. ආයෙත්නං සංසාරෙ කවදාවත් වැරදිලාවත් මට ඔය මනුස්සයව හම්බ වෙන්නෙපා. යන එන මග තොටක දකින්නවත් ලැබෙන්නෙපා’

‘මගෙ අම්මත් තාත්ත කියන කෙනා ගැන ඔහොම හිතනවද දන්නෑ’

විසල් එසේ මිමිණුවේ ඈත අවකාශයක නෙතු නතරකරගෙන තමන්ගේ ම අභ්‍යන්තරයෙන් විමසන්නා සේ ය. ඒ නිමේශයට ජාන්වී ගේ දෑස් ඔහු වෙත ම නතර වී තිබිණ. ඇය ඇස් පිය නො සලා ඔහු දෙස බලා සිටියා ය.

‘තාත්තව ඕන කියල ඔයාට හිතෙනවද විසල්…’

‘නෑහ්’

ඔහු වහා පිළිතුරු දුන්නේ ය.

‘මගෙ අම්ම ආදරේ කරපු පිරිමිය හැමදාම අම්ම ළඟ හිටියනං මං කැමතියි. එහෙනං ඒ තාත්තව මට ඕන වෙයි. මං එහෙනං එයාට ආදරේ කරයි. ඒත් මාවයි අම්මවයි මොන හේතුවක් නිසා හරි දාල ගිය තාත්ත කෙනෙක්ව මට ඕන්නෑ. මගෙ පපුව මැද්දෙ තියෙනව අතීතෙ පුරාම මං වැටුණ අගාධයක්. මට තාත්තෙක් නෑ කියන හැඟීමත් එක්ක හැම වෙලාවෙම මං ගැස්සිලා ඒ වළට වැටෙනව. ඒක මහ වදකාර හැඟීමක්. මහ මූසල… ඉවසගන්න අමාරු කළුවර හැඟීමක්. සව්මියට කවදාවත් එහෙම වෙන්න හොඳ නෑ’

‘මං එයාට එහෙම වෙන්න දෙන්නෑ විසල්. ඒත් මං දන්නෑ… ඔයාගෙ අම්මට වගේම මටත් ඒක කරගන්න බැරිවෙයිද කියල මං දන්නෑ. හැබැයි මං ට්‍රයි කරනව විසල්’

ඔහු ඇගේ දෑස් දෙස බැලුවේ ය. ඒවා නිවුන් කඳුළු පොකුණු යුග්මයක් වාගේ ය. ඒ චන්ද්‍ර කාන්ති මාණික්‍ය දෑස් තුළ අධිෂ්ඨානයක මහා හෙවණැල්ලක් වැතිර තිබේ.

‘සව්මියට එහෙම වෙන්නෑ’

විසල් මිමිණුවේ ය. ඒ ජාන්වී ට ද නැත්නම් ඔහු ට විතරක් ම ඇසෙන සේ ද කියා හිතෙන තරම් හෙමිහිටයි. ජාන්වී අයාගත්  දෑස් වලින් මේ අසිරිමත් තරුණයා දෙස බලාගෙන ම සිටියා ය.

‘මේ දවස්වල වැඩිය කොහෙවත් බබා එක්ක තනියම යන්නෙපා’

ඔහු හදිසියේ සිහි වී කීවේ ය.

‘පුතු මැණික නර්සරි එක ළඟදි කවුරු කතා කළත් ළඟට යන්නෙපා හොඳේ. අම්මි එක්ක විතරයි එන්නෙ… හරිද…’

ජාන්වී සව්මිය ළඟට ගෙන ඔහු ගේ හිස ආදරයෙන් සිපගත්තා ය.

‘අම්මියි තාත්තියි එක්ක’

සිඟිත්තා අම්මා ගේ උකුලේ සිට විසල් ගේ උකුලට රූටා ගියේ ය. ජාන්වී සිය ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම මගහැර සිටියෙන්, සව්මිය විසල් ගේ උකුළේ සිට නැඹුරු වී ජාන්වී ගේ කම්මුලකින් අල්වා ඇගේ අවධානය ඔහු වෙත යොමු කරගත්තේ ය.

‘හාද… අම්මියි තාත්තියි එක්ක විතරයිද…’

එවර ඇය ‘හ්ම්’ කීවා ය.

පසු දා උදයේ ඔවුන් පෙර පාසල් යන විට විසල් මෝටර් රථය පසුපසින් යතුරු පැදිය ධාවනය කළේ ය. දවාලේ පෙර පාසල් නිමා වන වෙලාවේ ජාන්වී මෝටර් රථයට හේත්තු වී වෙලාව එළඹෙණ තුරු බලා සිටියා ය.

‘තව ටිකක් වෙලා තියෙනව නේ…’

කියා ළඟින් ම ඇසුණු හඬින් හිස හරවා බලත්දී පැත්තකින් සිටියේ විසල් ය. උදර අතුණුබහන් වල පෙරළීමක් ජාන්වී ට දැනිණ.

‘අනේ ඔයා ආවද…’

ඇයට එහෙම කියවිණ. විසල් දෑත් පපුව මත බැඳගෙන මෝටර් රථයට හේත්තු වී ගත්තේ ය.

‘සමහර විට නර්සරි ඇරෙන වෙලාවට ඇවිත් බය කරන්න සෙල්ලමක් දාල යන්න පුළුවං. ඒකයි මං ආවෙ’

‘මට බයයි විසල්… මට ලෝබයි ඔයාව මේ කරදර වල පටලන්න’

ඈ සිටියේ ඔහු දෙස බලාගෙන ම ය. නමුත් විසල් ඇදෙස නො බලා ම සිටියේ ය.

ඔහු කැටිව යන්නට විසල් පැමිණ තිබීම නිසා සව්මිය කෙතරම් සතුටට පත් වී ද යත්, පෙර පාසල ළඟ දී ම විසල් ගේ හිස බදාගෙන සිපගත්තේ ය.

‘මගෙ හොඳ තාත්ති’

ඔහු ට විසල් සමගින් චොක්ලට් මිල්ක් ශේක් බොන්නට ද ඕනෑ වූයෙන් පුරදු ජූස් බාර් එක ළඟ නැවතෙන්නට සිදු විය.

‘ආ… අද බබා තාත්තිත් එක්ක ඇවිත්’

එහි දී සව්මිය විසල් ට තාත්තී කියමින් අමතන්නට වූයෙන් පුරුදු සේවිකාව කීවා ය. ජාන්වී වචනයක් හෝ නො දොඩා මිල්ක් ශේක් වල බිල ගෙව්වා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here