විසල් සිඳුරංග කියන චරිතය ගොඩනැගී තිබෙන්නේ ගැහැනුන් දෙදෙනෙකු ගේ දෑතින් බව විසල් තරයේ අදහයි. එක් අයෙක් ඔහු ගේ මව් මේධා ය. ජීවිතයේ අපමණ පිරිපත අසීරුවෙන් මුත් ඉවසා, පාපිස්සක් සේ සේනක ගේ පයට පෑගෙමින් ඇය අනාගතයේ දවසක් ගැන දිවැස් කියමින් සිටියා ය.
‘මගෙ පුතා දවසක ඉන්නෝනෙ මෙහෙම තැනක නෙවෙයි. ලොකු තැනක’
අම්මා මන්තරයක් සේ එහෙම කියන්නේ ඇයි දැයි විසල් ට නො තේරුණ තරමි. විටෙක ඔහු මේ මන්තරය ගැන නො රිස්සුම් ද වූයේ ය. කන බත් පතට පවා ආඩපාලි අසාගන්නට සිදු වී තිබෙන පලන්නෙකු වී සිටියදී, ඔහු ට නියමිත ලොකු තැනක් ගැන අම්මා හීන දකින්නේ උමතුවෙන් දැයි ඔහු ට සිතී තිබේ. ඈ සිය මැණික් ගල, එහි වටිනාකම හඳුනන දෑතකට පත් වෙන තුරු බලා සිටියා ය.
ලෝකය නිකං ම බොරළු කැටයක් සේ සැලකූ ඔහු ව මැණිකක් ලෙස කපා කොටා ඔප මට්ටම් කළ ගැහැනිය ඇයයි. සව්මිය ගේ මව ජාන්වී යි. බස් එකට පමණක් මුදලක් හොයාගෙන, මැටි පාත්තරයක සිටවූ කාක බෝ පැළයක් ගෙන සිය මැදුරට පැමිණි කොල්ලෙකු ට අලුත් ලෝකයක දොරගුළු විවර කොට දුන් දේවතාව ඇයයි. මුලින් ම විසල් ගේ හදවත අරා සිටියේ ඒ අති මහත් වූ ගෞරවය හා භක්තියයි. ඔහු ‘මැඩම්’ කියා ඈ ඇමතුවේ සැබවින් ම ගෞරව සම්ප්‍රයුක්තව ය. ඒ ගෞරවය අදත් හදවතේ ගැඹුරු තැනක තිබේ. නමුත් ඊට වැඩිය වෙනස් වූ හැඟීමක් ද හදවතේ පසෙකින් ටික ටික දලු නගන හැටි ඔහු බලා සිටියේ ය. ඒ හැඟීමෙහි උත්පත්ති කතාව ද ගෞරවය හා බැඳුනකි. අස්වාමික ඉසුරුමත් තරුණියක වශයෙන් ඇයට ඕනෑ තරම් පිරිමින් ඇසුරු කිරීමේ නිදහස තිබේ. අවස්ථාව ද තිබේ. නමුත් සිය ගෙදරට ආ ගිය තරුණයෙකු වශයෙන් ඇය එක බැල්මකිනිදු ඔහු තුළ පෙළඹීමක් සිදු නො කළ බව විසල් ට විශ්වාස ය. මුල සිට ම ඇගේ හැසිරීම් ඔහු නිරීක්ෂණය කළේ ය. ඇතැම් අවස්ථා වල සව්මිය ට සේ ම ඇය විසල් ට ද කතා කළේ මාතෘ ස්නේහයකිනි. සව්මියට පියෙකු වශයෙන් බැඳෙමින් සිටිය ද අනවශ්‍ය බැල්මක් හෝ ජාන්වී වෙතට හෙළිය නො හැකි වන සේ බැඳුණු මහා පව්ර වූ කලී ඒ ගෞරවයයි. එනමුදු ඒ ගෞරවනීය ස්ත්‍රිය ම ඔහු වසඟ කරගනිමින් සිටියා ය.
ඉඳහිට අහඹු මොහොත වල ඔවුන් දෙදෙනා අතර වූ ඒ මහා පව්ර දෙදරා යන ප්‍රහාරයක් විසල් විසින් එල්ල නො කරනු ලැබුවා නොවේ. එහෙව් ප්‍රහාරයක දෙදරීම ජාන්වී ගේ ගැහැනු හද මඬලට නො දැනුණා ද නොවේ. නමුත් ඇය වහ වහා සන්සුන් වූවා ය. කෙසේ වෙතත් අමිතා විසින් විසල් පිළිබඳව කියනු ලැබූ කතාවෙන් පස්සේ, එතුවක් මුවහ වී සිටි කඩතුරාවක් පළුදු වූ බව ඇයට පිළිගන්නට සිදු විය. විසල් අසල දී යම් කිසි දෙදරීමක් ඇය අත්වින්දා ය. ඒ බව ඔහු ට නො පෙනෙන, නො දැනෙන සේ හිඳීම ඇගේ අභියෝගය වූයේ ය.
පළමු නඩු වාරය දා ජාන්වී උසාවියට ගියේ විසල් සමගිනි. හදවතින් ශක්තිමත් ගැහැනියක වී ද එදා ඇය මඳ ගැස්මක සිටිනා බැව් විසල් ට ඇරඹුමේ දී ම දැනිණ. සුදු පැහැති ගවොමක් හැඳ සිටි ඇය වෙතින් වඩාත් තැන්පත් හා වඩාත් ළාබාල පෙනුමක් දර්ශනය විය.
‘විසල් කා එක ගන්නවද…’
කියා ඇය රියට නැගෙන්නට පෙර ඇසුවා ය. ඔහු නිහඬ එකඟතාවයකින් රියදුරු අසුනට ගොඩ වූවේ ය. ජාන්වී සිටියේ වෙනදාට පුරුදු සැහැල්ලුවෙන් නොවේ. විසල් ළඟ සිටියත් කතා කරන්නට එක් කරගත යුතු වචනයක් දෙකක් හෝ ඇයට සිහිපත් වූවා නොවේ. විසල් විටින් විට ඔහු දෙස බැලුවේ ය. ජාන්වී නො වෙනස් බැල්මෙන් ඉදිරි මග වෙත නෙතු යොමාගෙන ඔහේ සිටියා ය. ගතින් එතැන සිටියත් ඇගේ සිත වෙන කොහේ හෝ අවකාශයක පා වෙමින් තිබිණ.
‘මේ දේ කරන්නෙ… කැමැත්තෙන් නෙවෙයිද…’
අන්තිමට විසල් අසීරුවෙන් හෝ ඒ දරුණු මුණිවත බින්දේ ය. ශරීරයෙන් ඈත් වූ හිතක් ඇතිව සිටි ජාන්වී තිගැස්සීගෙන ඔහු දෙස බැලුවා ය. ඇගේ දෙනුවන සටහන් ව තිබුණේ විසල් ගේ ප්‍රශ්නය නෑසුණා වන් කතාවකි.
‘මේ දේ කරන්නෙ කැමැත්තෙන් නෙවෙයිද කියලයි මං ඇහුවෙ. තාමත් එයාට ආදරෙයිද…’
ඒ අන්තිම වචනය උගුරේ හිර වෙන්නට ගියේ ය. නමුත් කෙසේ හෝ එය පිටතට දමාගත් එක ගැන සැනසිල්ලක් ඔහු ට දැනිණ. ජාන්වී මොහොතක් දෙකක් නෙතු පිය නො සලා විසල් දෙස බලා සිටියා ය.
‘මං ආදරේ කරපු මනුස්සයගෙ අවසන් කටයුතු මගෙ හිතේම කළේ එයාල අපිට එහෙම කරපු මුල් දවස්වලමයි විසල්. නෑ කියන්නෑ. මං ඇඬුව… දුක් වුණා. මට මොකද්ද ඒ වුණේ කියල අදහගන්න බැරුව ශොක් වෙලා හිටිය. ඒ හැමදේටම පස්සෙ පරණ මතක හිතේ වළදාල පාංශකූලෙත් දීල හිත හදාගත්ත. මේ වෙද්දි පුතාගෙ තාත්ත ගැන කිසිම කිසි ආදරයක් නෑ. එයා මේ අන්තිම ටිකේ හැසිරුණ විදිහත් එක්ක අප්පිරියාවක් විතරයි තියෙන්නෙ. මට ඒකත් ඉක්මනට මගෙ හිතෙන් අයින් කරල දාන්න ඕනෙ. මේ නඩුවෙන් පස්සෙ මට එයා මගෙ කවුරුවත්ම නෙවෙයි. අතීතෙදි වැරදීමකින් හම්බවෙලා වෙන් වෙලා ගිය කෙනෙක් විතරයි. ඒත් මේ මොහොත මට ටිකක් අමුතුයි. ඔයා ඒ ගැන වෙන්නැති අහන්න ඇත්තෙ. ඒක මේ ඩිවෝස් එක ගැන දුකක් වේදනාවක් නිසා දැනෙන දෙයක් නෙවෙයි. ජීවිතේ එක චැප්ටර් එකක් මේ විදිහට ඉවර වෙනවනෙ කියන ගැස්ම වෙන්නැති. ඩිවෝස් එකක් කියන්නෙ එක පාරට ෆේස් කරන්න ලේසි දෙයක් නෙවෙයි වෙන්නැති විසල්. මන්දා… දැං මං අයිති කොතනට ද කියල මට හිතාගන්න බෑ. මේ ශොක් එකත් ඉක්මනට තුනී වෙලා යයි’
විසල් යන්තමින් මුව විවර කොට දිග හුස්මක් ගනිමින් සිටියේ ය.
‘අපේ අම්ම කදාවත් එහෙම කළේ නැද්ද කියල මට හිතෙනව. සමහර විට එයා තාමත් එයාගෙ හිතේ තාත්තව ජීවත් කරවනව ඇති. එයාට ආදරේ කරනව ඇති. සමහර විට අංකල්ගෙන් ආදරයක් ලැබුණනං අම්මට ඒ අතීතෙං ගැලවෙන්න පුළුවන් වෙන්නත් තිබුණ. එහෙම නොවෙන්න ඇති. මට මතකයි මට හොඳට තේරෙන කාලෙත් එයා මගෙ දිහා බලං ඉඳල කියනව ඔයා තාත්ත වගේම ලස්සනයි… දවසක එයා වගේම හැන්ඩ්සම් වෙයි කියල. දැනුත් අම්ම මගෙ දිහා බලං ඉන්නෙ ඇස් වල අමුතු කතාවක් තියාගෙන. අම්මගෙ ඇස් ඒ වගේ සතුටෙං දිළිසෙන්නෙ මං දිහා බලං ඉන්නකොට විතරයි. ඒක නිසා මට හිතෙනව එයා තාම තාත්තට හිතෙන් ආදරේ කරනව ඇති කියල’
විසල් ගේ දෙතොල් අතරෙහි සරැලි නැගූයේ හඬන්නට බැරි කමට නගනා සිනහවකි. ඔවුන් හැම කෙනෙකුට ම කතාවක් තිබේ. වෙනස් වූ කතාවක් තිබේ. ඇතැම් විට බාහිරෙන් දකිනා කෙනෙකුට විශ්වාස කළ නො හැකි විදිහේ කතාවක් තිබේ.
‘එක අතකට ඔයාගෙ අම්ම හරිම වාසනාවන්තයි විසල්. තාත්ත ඔයාල ළඟ නැති වුණත්… අමතක කරන්න බැරි තරං… සමහර විට අමතක කරන්න ඕන නැති තරං ලස්සන ආදරයක් තාත්ත අම්මට දීල ඇති. මොන හේතුවක් නිසා හරි එයාලට ආදරේ දිනන්න බැරි වෙන්න ඇති. හැබැයි එයාලගෙ ආදරේ පරාද වෙලත් නැතුව ඇති. ඔයාගෙ අම්මට එයාගෙ ආදරේ නිසා ලැබුණ ලොකුම තෑග්ග ඔයා වෙන්නැති. එයාට ඔයා මහමෙරක් තරං වටිනව ඇති. ඒක නිසා… ඒ අම්මගෙ හිත රිදෙන දෙයක් කවදාවත් කරන්නෙපා. එයාට සතුටු වෙන්න ඔයා ඇරෙන්න වෙන හේතුවක් නෑ’
ඒ අන්තිම ටික කියත්දී හදවතට දැනුණා වූ නාඳුනන බර කුමක් දැයි ජාන්වී හිත විමසන්නට ගියේ නැත. ඇතැම් කාරණා නො දැනුණා නො වැටහුණා සේ සිටිනා එක පහසු ය.
ජාන්වී ගේ වදන් ගිනියම් ලෝහ බරු සේ විසල් ගේ ආත්මය කිඳාබසින්නට වූයේ ය.
‘අම්මට කවදාවත් මගෙ සතුටට වැඩිය සතුටක් තියෙයි කියල මං හිතන්නෑ’
ඔහු මිමිණුවේත් පපුව පත්ලේ ම තිබූ හැඟීමක් කළතමිනි.
‘එක අතකට මේක ඉවර කළහම මං නිදහස්. ඊට පස්සෙ තියෙන්නෙ බබා වෙනුවෙන් ජීවත් වෙන එක විතරයි. එයාව ලස්සනට ලොකු කරගෙන… ඔයා වගේ කොල්ලෙක් කරන්න ලැබුණොත් මට ඇති’
ජාන්වී දෑස් පුරා ම විසල් දෙස බැලුවා ය. ඔහු එක් ඉක්මන් බැල්මක් පමණක් හෙළුවේ ය.
‘බබා ගැන විතරක් නෙවෙයි. ඔයා ගැනත් හිතන්න ඕනනෙ’
‘එයා ඇරෙන්න මට දැං මං කියල වෙන දෙයක් නෑ’
‘මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම ආදරේ ඕනෙ. ආදරෙං ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නෝනෙ කියන එක අයිතියක්’
ජාන්වී කතා නො කළා ය. මේ අවතීර්ණ වී තිබෙන මාවත හිතට බර වැඩියි වාගේ ඇයට දැනෙමින් තිබිණ.
‘අපේ අම්ම අංකල්ව බඳිනකොට මං පොඩියි. අම්මගෙ තුරුලෙ ඉන්න මං ආස වුණා තමයි. අංකල් මට ලංවෙන්න කවදාවත් උත්සාහ කළෙත් නෑ තමයි. ඒත් පොඩිකමට මං හිතුව අංකල් එක්ක අම්ම සතුටෙන් ඉන්නවනං හොඳයි කියල. අංකල් මට කැමති වුණෙත් නෑ මං එයාල අතරට බලෙන් ගියෙත් නෑ. හැබැයි අම්මට ආදරේ කරන්නවත් අම්මව සතුටෙන් තියන්නවත් ඒ මනුස්සයට පුළුවන් වුණෙත් නෑ’
ජීවිතය කියන්නේ කෙතරම් සංකීර්ණ වූ විෂයක් ද? ඒ අතරේ ප්‍රේමය හා මානව සබඳතා යනු කෙතරම් පුළුල් පරාසයක විහිදුණු තේමාවක් ද? විසල් වූ කලී ඒ විෂය පරිස්සමෙන් කියවාගත් කෙනෙකු වාගේ ජාන්වී ට දැනෙන්නට විය.
උසාවියේදී ජාන්වී චමුපති ව දුටුවේ ඔහු නික්ම ගියාට ම පස්සේ ය. නමුත් යන්තමින් දුටුවා මිස ඔහු දෙස උවමනාවෙන් බලන්නටවත් රුචියක් ඇය වෙත වූයේ නැත. කාලයකට පෙර ඇය වඩාත් ම දකින්නට රිසි වූ පුද්ගලයා ඔහුයි. කාලය ජීවිත අතරේ කොයි තරම් අදහාගත නො හැකි වෙනස්කම් සිදු කරන්නේ ද?
ඔවුන් දෙදෙනා අතරේ විවාහය නීත්‍යානුකූලව අවලංගු කර දෙන ලෙස පැමිණිල්ලේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. විත්තිය මේ වන විටත් සිය නීත්‍යානුකූල බිරිඳ හැර ගොස්, අනීතික ලෙස පවුල් සංස්ථාවක් නඩත්තු කරන බව සාක්ෂි සහිතව ඔප්පු කොට පෙන්විය හැකි නිසා, එරෙහිව නඩු කියා පළක් නොවන බව විත්තියේ නීතීඥවරයා චමුපති ට පැහැදිලි කර දී තිබිණ. ඒ අනුව කෙටි කාලයක් තුළ දික්කසාදය ලැබෙන්නට නියමිත වූයේ ය. නමුත් නඩු මාර්ගයෙන් සව්මිය තමන් වෙත පවරාගන්නා බවට චමුපති පාරම් බෑවේ ය.


