හදේ කොතැනක හෝ හිඳී – 22

0
54

මේධා සාඩම්බර අම්මා කෙනෙකු වෙමින් සිටියා ය. එදා සේනක ඇල්ලූ අඩව්වෙන් පස්සේ ඇය වාඩියේ අයට කෑම උයන්නේ නැත. නමුත් විසල් ඇගේ අත මිට හිස් වන්නට දෙන්නේ නොවේ. මාසික වැටුප් ලබනා දිනට ගෙදර විය හියදම් වෙනුවෙන් මේධා අත මුදලක් තබයි. ගෙදරින් පිටත් වීමට පෙර හැම උදයක ම,

‘අම්මට සල්ලි එහෙම තියෙනවද… දෙන්නද…’

කියා අසයි.

‘අනේ එපා පැටියො… මගෙ අතේ තියනව ඔයා දීපු සල්ලි’

එතකොට මේධා අනිවාර්යයෙන් කියයි. විසල් මුහුණේ සිනහවක් ඇඳගනී.

‘වියදං නොකර තියාගන්න නෙවෙයි සල්ලි දෙන්නෙ. ගෙදර අඩුපාඩු මුකුත් තියාගන්න එපා. ඕනකරන හැමදේම ගන්න’

‘ගන්නව පුතා. ඒත් ඔයා බත් කටක්වත් කන්නැති එකේ… ඔයා මහන්සි වෙලා හම්බ කරන සල්ලි මේ ගෙදරට වියදං කරන්න මට ලෝබයි’

‘අම්ම එහෙම හිතන්නෙපා. මං මෙච්චර කාලයක් මේ ගෙදරින් කෑවනෙ. අනික දැන් මට කන්න ඕනතරං කෑම රෙස්ටොරන්ට් එකේ තියනව’

කාලයකට පස්සේ අම්මා ගේ කන් වල රත්තරං මල් පෙති කරාබු දෙක දිළිසෙනු දකිනා විසල් තුළ ඈ ගැන ඇති වනුයේ අසීමිත ආදරයකි. එසේ ම ඔහු ගැන ආත්ම තෘප්තියකි. යම් කිසි දවසක අම්මා ගේ හිස මත පැටවී ඇති බරෙන් ඈ නිදහස් කොට ඒ මුහුණට සිනහවක් ගෙන එන්නට හැකි නම් ජීවිතයෙන් වෙන කිසිත් අවැසි නැතැයි කාලයක් තිස්සේ ම ඔහු සිතුවේ ය. අද ඔහු වූ කලී ඒ බලාපොරොත්තු ඉටු කරගත හැකි වූ පුතෙකි.

‘අම්ම සතුටෙන් ඉන්නවනං එච්චරයි’

‘අනේ මං සතුටෙන් මගෙ රත්තරං. මං නැති කාලෙක නංගිට මොන කලක් යයිද කියන දෙගිඩියාව මිසක්… දැන් ඉතින් ජීවිතෙං මට ඉල්ලන්න දෙයක් ඉතුරුවෙලා නෑ’

‘නංගි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරමු අම්මෙ’

විසල් ගෙන් රන් කරාබු යුගළක් තෑගි ලැබුණ දා සේනක පුපුරමින් හිටියේ ය.

‘මේ ගෙදර සුමේ තනිකර මගෙ ඔළුව උඩ පැටවිල තිබුන්නැත්තං මටත් තිබුණ තමුසෙව රත්තරං වලින් පොරවන්න’

ඔහු ඉරිසියාකාර ඇනුම්පදයක් කීවේ ය. මේධා සිනහව හිර කරගෙන ඉවත බලාගත්තා ය.

‘රත්තරං නැතත් දැන් මට සැනසිල්ලයි. කොලු පැටිය එයාගෙම ධෛර්යෙන් ඔතනට ගියේ. මට එයා වෙනුවෙන් මොනවත්ම කරන්න බැරි වුණා’

‘තමුසෙ යකාගෙ කතාවක්නෙ කියන්නෙ. තමුසෙගෙ කොල්ල ඕපපාතිකව පහල වුනෙ නෑනෙ. ඌ කෑවෙ බිව්වෙත් මං හම්බ කරපු සල්ලි වලින් තමයි’

‘මනුස්සයෙක්ට කන්න බොන්න විතරක් තිබුණට මදි’ කියා මේධා නො කියා සිටියා ය. ඒ කාලේ ඇය සේනක සමගින් එකට එක කියාගෙන නො ගියේ විසල් ගේ හිත රිදෙනා යමක් ඔහු ගෙන් සිදු වෙතැයි බියෙනි. දැන් ඇය එහෙම නො කර ඉන්නේ ඔහු ගෙන් රැකගන්නට තරම් විසල් අසරණයෙකු නොවෙන හින්දා ය. ඔහු මොනවා කළත් කීවත් ඇයට ඒවා නො දැනෙන හින්දා ය.

‘කටුස්සංගෙ කරේ රත්තරං බැන්ද වගේ තමයි. අම්මයි පුතයි දෙන්නම හරියට උඩ පනිනව දැං. බලමුකො කොයි වෙලේද වැටිල පස්ස බිම ඇනගන්නෙ කියල’

මේධා මේ විදිහට ඉන්නා එකත් සේනක ගේ උදහසට හේතුවකි. එහෙම වෙලාවක නම් මේධා ට ඉවසාගන්නට බැරි කේන්තියක් දැනේ.

‘අනේ මේ. හැම එකටම අර පැත්තක ඉන්න අහිංසක කොල්ලව අල්ලගන්න එපා. මොන වදයක්ද මේ… ඒකා මොනා කළාටද හැම තිස්සෙම පැටලෙන්න හදන්නෙ… මං ගැන බලන්නැතුව කොහේ හරි බෝඩිමක් හොයං යන්න කිව්වත් අහන්නෑනෙ ඇත්තට මේ කොල්ල. එහෙම වුණානං කාගෙවත් ඇස් වල කටු ඇනෙන්නෑනෙ’

‘ය… කෝ… මුං ගිය උඩ’

එතකොට සේනක අසා සිටින්නට බැරි තරම් දරුණු වචන වලින් මේධා ගේ මුහුණට දමා ගසයි. ඉස්සර වාගේ ඒවාට දැන් ඇගේ හිත රිදෙන්නේ නැත. ඉස්සර එහෙම වෙලාවක වූ බියපත් තිගැස්ම වෙනුවට දැන් ඇගේ වත මත වන්නේ ඉසිහින් සිනහවකි. ඒ සිනහව කියන්නේ ජයග්‍රහණය ගැන කතාවකි. ඒ සිනහව නො කියා කියන්නේ පරාජය අතික්‍රමණය කළ බවට කතාවකි. සේනක ට වැඩියෙන් ම රිදෙන්නේ ඒ සිනහව දකිනා විටයි.

******

ජාන්වී මතු මහලෙහි සක්මන් කරමින් කල්පනා කළා ය. ඇගේ හදවත රිදුමක් වේ. බැඳීම් කියන්නේ රිදීම් බව ඇය දනී. බැඳීම් බිඳෙන්නට බිඳෙන්නට අලුත් බැඳුම් වලින් බැඳෙනවා කියන්නේත් අලුත් රිදුම් වලට අතවැනීමක් විය හැකි ය. විසල් සව්මිය වෙතට ද සව්මිය විසල් වෙතට ද බැඳෙමින් හිඳිති. සව්මිය විසල් වෙතින් පියෙකු සොයමින් ගිලන් වූ අවස්ථාවේ ඔහු ගේ උදව් පැතුවේ ඇය ම ය. නමුත් එතැනින් ඒ උදව් කෙළවර වූයේ නැත. ඒ සම්බන්ධතා අත්හිටවුණේ නැත. ඒ වෙනුවට නව මුහුණුවරකින් ඒ අලුත් වී තිබේ. විසල් වූ කලී ජාන්වී ට හයියකි. අත් හරින්නට නො හිතෙනා හයියකි. නමුත් මේ අල්වා හිඳීම කෙතෙක් කාලයක් කළ හැකි වනු ඇති ද?

අනිත් අතට අස්වාමික ගැහැනියක සිටිනා නිවසකට නිතර පිරිමියෙකු යන එන එක ගැන මිනිසුන් සිතනුයේ අමිතා අනතුරු ඇඟවූ ආකාරයෙන් මිස වෙනාකාරයකින් නොවෙනා බව තේරුම් ගන්නට බැරි කමක් ජාන්වී ට නැත. විසල් සව්මිය වෙත පමණකුදු නොව තමන් ගේ හදවත වෙත ද බැඳෙමින් සිටිනා බව නො දැනෙන්නට තරම් ඇය නො දැරියක නොවේ. නමුත් ඒ බැඳීම් වල අවසානය කෙබඳු වේදනාවක් උරුම කරනු ඇති ද? බැඳීම් වල හයිය දැඩි වන්නට වන්නට බිඳීමට යෙදිය යුතු හයිය ද වැඩි වේ. බිඳුණු විට රිදුම ද දැඩි වේ.

නො බිඳී ඉන්නට නො හැකි ද? තමන් මූලික කොට සිතනා විට වැඩියෙන් දැනේ. එබැවින් ඕ මවක ලෙස සිතුවා ය. සව්මිය දිනෙක තරුණයෙකු වී විවාහක ස්ත්‍රියක ගේ නිවසට යන්නට එන්නට ගතහොත් ඈ ඒ සමග ගනුදෙනු කරන්නේ කෙසේ ද? ඇයට ඒ පහසුවෙන් පිළිගත හැකි වනු ඇත්ද? ඉතින් දස දුක් විඳ විසල් ඇති දැඩි කරගත් මේධා ගේ පැත්තෙන් නො සිතිය යුත්තේ ඇයි? විසල් ඔහු ගේ නොවන දරුවෙකුට බැඳෙනා එක ඒ අම්මා ට වේදනාවක් නො දනවනු ඇති ද? ඇය විසල් සමගින් කතා කළේ ඒ සියල්ල පෙරපර ගළපා සිතා අහවර ය.

‘ඔයා සව්මියට ආදරෙයි කියල මං දන්නව. සව්මියගෙත් පණ දැන් ඔයා. සමහර විට මටත් වැඩිය එයා ඔයාට ආදරේ ඇති. ඔයාගෙන් ලැබෙන ආදරේටත් එයා අප්‍රමාණ ලෝබයි. මං ඔය දෙන්නගෙ ආදරේ දිහා බලං ඉන්නෙ පුදුම හැඟීමකින්. ඒ කොහොමද කියල ඔයාට කියන්න මංවත් දන්නෑ විසල්. ඒත්… ඔයාට දවසක ඒ බැඳීම බිඳල දාල සව්මියගෙන් ඈත් වෙන්න වෙනව කියන ඇත්ත අපි පිළිගන්න ඕනෙ. මං වගේම ඔයත්. සව්මියට මේක තේරෙන්නෑ. ඒ චූටි හිත් ආදරේ දෙන තැන ඉන්නයි ආස. ඒත් විසල්… අනුංගෙ දරුවෙක් තාත්ති කියල කතාකරන එක… දවසක ඔයාට නරක විදිහට බලපායි. අපි ඇත්තට ෆේස් කරන්න ඕනෙ. ඔයා තරුණ කොල්ලෙක්. ඔයා දවසක මැරි කරන්න ඕනෙ… ගෑනු ළමේක්ට ආදරේ කරන්න ඕනෙ. එදාට සව්මිය ඔයාට ප්‍රශ්නයක් වෙයි. එදාට ඈත් වෙන එක ඔයා කොහොම හරි කළා වුණත්… ඒක සව්මියට කොහොම බලපායිද කියල හිතනකොට මට බයයි විසල්. ඔයා දන්නව අම්ම කෙනෙක්ගෙ වීක් පොයින්ට් එක දරුවො. අනේ මට ඉන්නෙ ඔය මැණික් කැටේ විතරයි විසල්. ඒක නිසා මේ හැම දෙයක් ගැනම දැං මට බයයි’

ජාන්වී ගේ හඬ බිඳිණි. ඇය දෑස් තද කොට පියා කඳුළු වළකාගත්තා ය. විසල් ඒ පින්තූරයක් වන් මුහුණ දෙස බලාගෙන ම සිටියේ ය.

‘මට මොකද්ද කරන්න කියන්නෙ…’

ඒ මතුපිටින් විමසූ සරල ප්‍රශ්නයක් නොවේ. ඔහු ගේ බැල්ම දරාගත නො හැකි ව ජාන්වී ට බිම බැලිණ.

‘පුතාව ටික ටික ඈත් කරන්න බලන්න. මං දන්නව ඒක ලේසි නෑ කියල. තව පහු වෙනකොට තවත් අමාරු වෙයි නේද විසල්…’

විසල් ගේ මුව කොනක අඩ සිනහවක් ඇඳිණි. ඔහු එහෙම ම හෙල්මටය පළඳාගෙන බයිසිකලයට නැගුණේ කේන්තියෙන් බව ජාන්වී දනී.

‘තාත්ති නෑනෙ තාම… ‘

සව්මිය කීවෙනි වතාවට ද මන්දා ඇය වෙත විත් කෙඳිරිලි හඬකින් කීවේ ය. ජාන්වී නෑසුණා සේ සිටියා ය. කුමක් කළ යුතු දැයි ඇයට තේරෙන්නේ නැත. දැනටමත් ඔවුන් දෙදෙනා උනුන්ගෙන් වෙන් විය නො හැකි බැඳීමක වෙළී සිටිති.

‘තාත්තිත කෝල් එකක්…’

ජාන්වී ගේ දුරකතනය ඇය වෙත පාමින් සව්මිය දුක්බර දෑසකින් බලා හිඳී. හදවත නාය යනවා සේ ජාන්වී ට දැනිණ. සුසුමකින් හද පුරවාගෙන ඇය විසල් ගේ දුරකතනය සම්බන්ධ කොට සව්මිය ට එය දුන්නා ය.

විසල් සිටියේ ද උමතුවෙන් සේ ය. ඔහු ට කේන්ති ය. මේ තත්වය ජාන්වී ට කොහොම පැහැදිලි කර දෙන්න ද? ඔහු අසරණ වෙන තැන එතැනයි. ඔහු අඩියක් පස්සට ගන්නා ගැන එතැනයි.

දුරකතනය හැඬවෙත්දී විසල් එය සවනෙහි රඳවාගෙන සිය අසුනට වැටුණේ ය.

‘තාත්ති එන්නකො… බබාත පාළුයි. මත සලුංගලයක් හදන්න ඕනෙ’  

‘බබාට සරුංගලයක් හදල කෙන්නංකො මං. එන්නං මැණික. තව චුට්ටකින් එනව හොඳේ’

ආයේ ජාන්වී කතා කොට එන්නයි කියන තෙක් නො යමියි මුරංඩු වූ හිතිවිලි මොහොතකින් අමතක ව ගොස් තිබේ. ඔහු ට හනික එහි දිව යන්නට ඕනෑ වී තිබේ. ජාන්වී ගේ ගෙදරත් සමග වන සම්බන්ධතා ලිහිල් වූවා කියා ඇය ඔහු ගේ රැකියාව අහිමි කරන්නේ නැත. අනෙකුත් වරප්‍රසාද උදුරා ගන්නේ ද නැත. ඇය කියනවා වාගේ අනුන්ගේ ළමයෙකු ට තාත්තා නො වුණාට ඔහු ට ඒ සියල්ල ලබා ගත හැකි දිනයක් එළඹෙනු ඇත. නමුත්, මොනවා තිබුණත්, ඒ පැත්ත අහිමි ව ගිය කල ජීවිතය හිස් සේ දැනෙන්නේ ඇයි? සව්මිය ගේ හුරතල් දඟකාර පුංචි ඇස් දෙක අමතක කරන්නට බැරි ඇයි? ඔහු නො දැක, එහි නොයා ඉන්නට බැරි ඇයි? එහි නො යනවා කියා සිතත්දීත් හදවතින් පදාසයක් නාය ගියා සේ දැනෙන්නේ ඇයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here