විසල් ගේ යතුරුපැදිය ගේට්ටුව ළඟ නලා හඬවත්දී සව්මිය අත්පොඩි තලමින් සිනහ වූයේ ය. ජාන්වී බරාඳ කුළුණකට හේත්තු වී ගෙන දුරස්ථ පාලකයෙන් ගේට්ටුව විවර කළා ය. සව්මිය මිදුලට දිව ගිය අතර, බයිසිකලයෙන් බහිමින් විසල් ඔහු වඩාගත්තේ කම්මුලක හාදුවක් තබමිනි.
‘අපි කිකට් ගානවද නැත්තං කාලෙක පදිනවද…’
‘ඔයා කැමති ඕන එකක් මගෙ සුදු මැණික’
‘මං ඔයාගෙ තුදු මැණික. අම්මිගෙ පණ’
විසල් ගේ රැවුල් කොට ඇනී හිනැහෙමින් ම සව්මිය සුරතලයෙන් කීවේ ය. විසල් ඔහු ගෙන විත් වැරැන්ඩාවේ බිම තැබුවේ ජාන්වී වෙතට අඩ බැල්මක් හෙළමිණි.
‘තාත්ති අපි කයිට් එකක් අරිමුද…’
‘ඔයා මට තාත්ති කියනවටනං අම්මි කැමති නෑ පැටියො. අම්මි ඔයාට අලුත් තාත්ති කෙනෙක් ගෙනත් දෙන්න හදන්නෙ’
ඒ ඇනුම්පදයකි. විසල් ගේ මුව මත වූ අඩ සිනහවේ රිදුමක කැළැල් ඉතිරි ව තිබිණ.
‘මොනා කියනෝද මන්ද…’
ජාන්වී ඔහු වෙතට රැවුමක් පා කළා ය. ඒ විහිළුවට සිනහ වෙන්නට ඇයට ඕනෑ වූයේ ම නැත.
‘ඒකනෙ ඉතිං නොකියා කියන්නෙ…’
‘වැරදි තැනිංම අල්ලගන්න එපා විසල්. මං මොනාහරි කිව්වනං ඒ මගෙ දරුව ගැන වගේම ඔයා ගැනත් ඇත්තට ම හිතල කියපු දෙයක්. ඔයාගෙ හොඳට කියපු දෙයක්’
‘මොකද්ද මගෙ හොඳට…’
ඔහු කෙළින් ම ඇයට සම්මුඛ ව සිටගත්තේ ය. ඒ බැල්ම තියුණු ය. අභියෝගාත්මක ය. මුල දී දුටු විසල් සිඳුරංග ට වැඩිය, මේ දැන් ඈ ඉදිරියෙහි සිටිනා ඔහු පරිනත පාටක් ගෙන ඇතැයි ජාන්වී ට දැනී නො දැනී ගියේ ය. මුල් ම දිනයේ දුටුවාට වැඩිය ඔහු මඳක් පිරිපුන් ය. මුහුණ පුරා රැවුල් කොට ය. ඇස් බැල්ම තියුණු ය. එදා හිටි අහිංසක කොල්ලා ට වැඩිය අද සිටින තරුණයා ඉදිරිගාමී ය. ඈ ඔහු දෙස බලා සිටි මුළු කාලය පුරා විසල් ගේ බැල්ම ද වෙනස් වූයේ නැත. ඒ බැල්මෙන් පසු බා ඉවත බලන්නට සිදු වූයේ ඇයටයි.
‘ඔයාගෙ හොඳට කියන්නෙ… සව්මිය ඔයාට තාත්ති කියන එක කවුරු වුණත් වැරදියට ගන්න පුළුවන්. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයා දවසක බඳින්න ඕන විසල්. ඔයා ඔයාගෙම බබාල හදන්න ඕනෙ. අන්න ඒ තැන් වලදි ඔයාට අද මේ තියන නිදහස නෑ. ඔයා උත්තර දෙන්න වෙයි මිනිස්සු අහන ප්‍රශ්න වලට…’
ජාන්වී හුස්ම අල්වාගෙන කියාගෙන ගියා ය. ඊලඟට ඉක්මන් කෙටි හුස්ම ගත්තා ය. ඇගේ වත රතු වී තිබිණි.
විසල් සිය දෑත් පපුව මත බැඳගෙන හිස ඇල කොට ඇදෙස බැලුවේ ය.
‘ඉතිං මට බඳින්න ඕන නෑ. මං බඳින්නෑ. මට වෙන ළමයි ඕනත් නෑ. එතකොට හරිද…’
‘වි…සල්…’
ජාන්වී ගේ දෙනෙතු විසල් වූයේ ය. ඔහු හෙමිහිට හැරී ගොස් බරාඳ පුටුවක හිඳගත්තේ ය. ජාන්වී අසීරුවෙන් වාගේ දෙපා අද්ද අද්දා ගොස් යාබද පුටුව මතට වැටුණා ය.
‘අනේ ඇයි විසල් මේ… මට තේරෙන්නෑ මං ඔයාට මීට වැඩිය මොනාද කියන්නෝනෙ කියල…’
‘තේ එකක් ඕනෙ. සව්මිය… අපි ක්‍රිකට් ගහමු’
ඔහු ඒ තරම් සැහැල්ලුවකින් ඒ සා බරපතල කතාවක් කීවේ කොහොම ද? දැන් ඔහු මේ තරම් සැහැල්ලුවෙන් සව්මිය එක්ක සෙල්ලම් කරන්නේ කොහොම ද? අහිංසකයෙකු සේ පෙනුණ ඔහු මේ තරම් මුරණ්ඩු පිරිමියෙකු සේ හැසිරෙන්නේ කොහොම ද? ජාන්වී තවත් ටික වෙලාවක් පුටුව මතට ම වී සිටියා ය. සැබවින් ම ඇවිද මුළුතැන්ගෙට යන්නට තරම් හයියක් ඇගේ දෙපා වල වූයේ නැත.
විසල් සව්මිය සමග ක්‍රිකට් ගැසුවේ සතුටෙනි. වෙනදාටත් වැඩිය ප්‍රබෝධයෙනි. ඔහු වරින් වර ජාන්වී දෙස බැලුවේ ය. එහැම විටෙක ම ඔහු ගේ දෙනෙත් මත වූයේ ජයග්‍රහණයක් ගැන කතාවකි.
අන්තිමට ජාන්වී තේ එක හදාගෙන බරාඳයට විත් ඔහු ට කතාකළා ය. විසල් පොඩි එකෙකු වාගේ සව්මිය සමග සිනහ වෙමින් විත් අසුන්ගත වී ඇගෙන් තේ එක ගත්තේ ය.
හුස්ම ගන්නවා ඇහෙන තරම් ළඟ පුටුවක හිඳ සිටියාට ජාන්වී කතා කළේ නැත. කතා කොට කියන්නට යමක් ඇයට සිහි වූයේත් නැත. සව්මිය ගේ අම්මා වශයෙන්, කිව යුතු දේ කිව යුතු හොඳ ම විදිහට දැනටමත් ඈ ඔහු ට පවසා අවසාන ය. තවත් කුමක් නම් කියන්න ද?
‘මං ගැන බය වෙන්නවත් වද වෙන්නවත් එපා’
අවසන පහළ ස්වරයකින් මුණිවත බින්දේ ඔහු ම ය. ජාන්වී දෙනෙතු විදා විසල් දෙස බැලුවා ය.
‘මට මාව විශ්වාසයි. මං කරන්නෙ මොනාද කියලත් විශ්වාසයි. මං මෙහෙ එන එක ඔයාට කරදරයක්නං විතරක්…’
‘විසල්…’
ජාන්වී ඒ ආමන්ත්‍රණය කළේ තරමක් සැරෙන් වාගේ ය. විසල් ගේ දෙඅදර අතරට වැඩි සිනහව ඈ වසඟ කරගන්නා සුළු ආකාරයේ එකකි.
‘එහෙනං එච්චරයි. සව්මියව මගෙන් ඈත් කරන්න හදන්නෙපා. ප්ලීස්… කවුරුහරි මොනාහරි කියනවනං… මොනාහරි අහනවනං… මට පුළුවං ඒවට උත්තර දෙන්න. මං දන්නව උත්තර දෙන්න. මං ඒ වගකීම ගන්නං. මට මෙහෙම ඉන්න දෙන්න’
ඔහු ඒ අන්තිම ටික කීවේ උගුර යටින් වාගේ ය. පපුව පැලී එතැන එහෙම ම ඈ මිය යාවි ද කියාත් ජාන්වී ට සිතුණ තරමි. කියාගන්නට වචනයක් සොයා ගත නොහී ඇය ඔහේ තත්පර අතරේ ළතැවෙමින් සිටියා ය.
ඊලඟට සව්මිය ට ඕනෑ වූයේ විසල් සමගින් සෙල්ලම් කාර් පදින්නටයි. ජාන්වී පුටුවෙහි හිඳ නිසොල්මන් ඇස් වලින් බලා සිටියා ය. සව්මිය ගේ මේ සෙල්ලම විටෙක ඇයට මහත් කරදරයක් ව දැනේ. එසේ වූ විටෙක ඇය නම් ඔහු ට සැර දමන්නී ය. නමුත් විසල් සව්මිය ගේ හිත රිදෙනා වදනකුදු නො දොඩයි. ඔහු ගේ ඉල්ලීම් වලට නෑ බෑ නො කියා එකඟ වෙයි. හිතා මතා එවන් බැඳීමක් ඇති කරගත නො හැකි ය. හදවතින් ම පැන නගිනා බැඳීමකින් තොරව එහෙව් කැපවීමක් කළ නො හැකි ය.
‘ඔයානං ගිය ආත්මෙක මෙයාගෙ තාත්තම වෙලා ඉන්නැති විසල්’
ජාන්වී එසේ මිමිණුවේ තවත් නිහඬ ව සිටිය නො හැකි තැනයි.
‘ඒ ආත්මෙ කවුරු මෙයාගෙ අම්ම වෙලා හිටියද දන්නෑ’
ජාන්වී තරවටු බැල්මක් හෙළුවා ය. නමුත් විසල් ඒ බැල්ම දකින්නට හිතා මතා ම ඇදෙස බැලුවේ නැත. දෙතොල් පියන් යන්තමින් විවර වෙමින් ඇගේ මුව මත මඳහසක් පොපියන්නට ගති. ඇය පුටුවෙන් නැගිට ගෙතුළට ගියා ය.
තුනී කුසගින්නක් ඇයට දැනෙන්නට ගති. විසල් හිත නො හොඳ කරගෙන නික්ම ගියෙන් දවාලේ කෑම ගැනීම අතපසු වූ බවක් සිහි වූයේ එවිටයි. ජාන්වී වළං විවර කොට බැලුවා ය. දවල් ව්‍යාංජන වල කෑම රුචිය වඩනා ස්වභාවයක් වූයේ නැත. ඇය ශීතකරණය විවර කොට එළවළු හා කුකුළු මස් ටිකක් පිටතට ගත්තා ය.
‘මොනාද උයන්නෙ කියල නෝනා කිව්වෙ නැති නිසා මාත් නිකං හිටියෙ. නෝනා හිත කරදරෙං වගේ හිටිය නිසා අහල කරදර කරන්න හිතුණෙත් නෑ’
අමිතා පසුතැවිලි සරකින් දෙඩුවා ය.
‘මං ඉක්මනට හදල ගන්නං අමිතා’
හෝරා ගණනක් තිස්සේ පැවති සිරුරේ අප්‍රාණිකත්වය කොහේ ගියා ද කියා දැනුණේ නැත. කුකුළු මස් වල පහේ අත ගා පදම් වන්නට තබා ඇය එළවළු කැපුවා ය. පෑන් එකට බටර් දමා රන්වන් පැහැ වන තරු සුදු ලූණු ඉඟුරු තලපය තෙම්පරාදු කොට, කුඩා කුකුළු මස් කැබලි බටර් වලින් බැද්දා ය. සියලු අඩු වැඩිය එක්කොට මිශ්‍රණය සකසා, සම්බා බත් එක් කොට බැදෙන්නට හැරියා ය.
‘තාත්ති තත තූඳයිලු’
කියමින් සව්මිය විසල් ඇදගෙන ම සිනහ වෙවී ඇතුල් ගෙට ආවේ ය.
‘අපේ නෝනා කුස්සිය බාර ගත්තහම ඉතිං රස සුවඳයි තමයි. මේ මං ඉතිං බත් මාළු පිණි උයනව මිසක් ඔය අලුත් තාලෙ අරුමෝසං ඉවිලි කරන්න දන්නෑනෙ’
අමිතා ජාන්වී ගේ රස පදම ගැන වර්ණනා කරත්දී කෑම උණු උණුවේ මේසයට යැවිණි. රස නහර පිනා යන රසයක් දැනුණේ ඔවුන් ගේ හදවත් වල සැනසුම් සහගත සතුටක් හා නිශ්චලත්වයක් වූ නිසා විය යුතු ය. ඇතැම් විට එකී නිශ්චලත්වය උදා කරගනු වස් දුෂ්කර ගිරි දුර්ග වන දුර්ග තරණය කරන්නටත්, බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන්නටත් සිදු වනු ඇත. එය පහසු වූවක් නො වන්නේ ජීවිතයට වඩාත් ම අවැසි දේ වෙනුවෙන් ජීවිතයට වඩාත් සමීප මිනිසුන් අතරේ ආත්මීයව සිදු වන දුෂ්කර ක්‍රියාවක් වන බැවිනි. ඔවුන් දෙදෙනා ම හදවත් වලින් සිදු කළ සටනකින් පසු අත්පත් කරගත් සාම සමාදානිතයකි මේ. බාධක කටු අකුල් අතරින් අසීරු මගක් ගෙවා ගොස් එකී තැනිතලා බිමට පිළිපන්නාට පසු තිබෙන්නේ නිශ්චලත්වය ම වේ. එය වඩාත් සාමකාමී වනුයේ ඉනික්බිති එවන් ගිරි දුර්ග හමු නොවෙනා බව සහතික නිසාවෙනි. උනුන් වෙනුවෙන් ඔවුන් සිටිනා වග සක්සුදක් සේ විශ්වාස බැවිනි.
‘අනංමනං හිතන්නැතුව පරිස්සමට ඉන්නෝනෙ හොඳේ. සනීපෙට දොයියන්නෝනෙ…’
ජාන්වී වඩාගෙන උන් සව්මිය සිපගන්නා ගමන් විසල් මිමිණුවේ ය. ඔහු ඒ කීවේ සව්මියට වාගේ වී ද ස්ත්‍රී හදෙහි වේදනා කලාපයක ස්ඵන්දනයක් සිදු විය.
‘ගිහිං මැසේජ් එකක් තියන්න විසල්’
ඇය කොඳුළා ය. නමුත් පණිවිඩයක් තබනු වෙනුවට ඔහු ඇමතුමක් ම ගත්තේ ය.
‘මං ආව. දැන් නිදාගන්න’
එක වචනයක් හෝ නො කීවාට ඇගේ හද මඬලෙහි වචන කෝටි ගණනක කතා සරිත් සාගරයක් ම විය.


