හදේ කොතැනක හෝ හිඳී – 24

0
3083

විසල් සිය හදවත් මන්දීරේ සියුම් ලෙස අණසක පතුරුවමින් හිඳින බව ජාන්වී අත්වින්දා ය. නමුත් ඒ ගැන නො දැනුණා නො වැටහුණා සේ හිඳින්නට ඇය රිසි වූවා ය. ඔහු ඇගේ කවුරුත් ම නො වූවාට ඔහු ඇගේ ආත්මයේ හැම අංශුවක ම හුස්ම ගනිමින් සිටියේ ය. ඒ ගැන විටෙක තිගැස්සෙන හදවත හෙමිහිට සන්සුන් කරගෙන ජාන්වී නිසල වන්නී ය. ඇගේ මැදිහත් වීමක් විසල් අපේක්ෂා නො කරන බැවින්, කරන්නට තිබුණේ සිදු වෙන්නට යන ඕනෑ ම දෙයක් දෙස ඔහේ බලාගෙන සිටීම පමණකි. සිදු වෙන පිළිවෙලට එරෙහිව සටන් වදිනවාට හෝ තමන් රිසි පරිදි දේවල් සිදු කරගන්නට වෙහෙසෙනවාට වැඩිය ඒ පහසු ය. ඒ පහසුව අත්විඳිමින්, සිදු වෙන දෙයක් දෙස ඔහේ බලා සිටීම අවසන ඇය තෝරාගෙන තිබිණ.

ඔහු යනු දැන් එක ම එක පුද්ගලයෙකු නො වෙන බව විසල් ට හොඳට ම දැනුණේ ය. ඔහු වූ කලී ඊට වඩා පරිපූර්ණ වූ ඒකකයකි. මීට ටික කාලයකට පෙර ඔහු යනු මේධාත් සමගින් තැනුණු ඒකකයක් සේ දැනුණු හැඟීම දැන් තවත් ව්‍යාප්ත වී තිබේ. එකී ඒකකය තුළ සව්මිය සේ ම ජාන්වී ද හුස්ම ගනිමින් හා සිනහසෙමින් සිටින බව ඔහු ඉඳුරා දනී. ඒ පිරිපුන් බවට ඔහු ආශා කළේ ය. වඩාත් ලෝභී වූයේ ය. සරු පසක් මත ඉසිනා ලද බිජුවට හෙමි හෙමිහිට බීජෞෂණය වන්නා සේ, හදවත තුළ වන පෙර කී හැඟීමට ලියලා වැඩෙන්නට හැර ඔහු බලා සිටියේ ය. හැම දිනෙක ම එහි සරු බව වෙනුවෙන් ජලය ද පොහොර ද සැපයෙනු ඔහු බලා සිටියේ ය. පෙති දෙපෙති ඇහැරී දලු නගනා අලුත් පැළ එකකුදු උදුරා විසි නො කොට වැඩෙන්නට හැරියේ ය. ඒ සියල්ල ඔහුගේ ය යන හැඟීම ඔහු ට විය. උයනක් රකිනා උයන් පල්ලෙකු සේ, හදවත තුළ අලුත් දලු නගනා බැඳීම් හැඟීම් සියල්ල පරිස්සමෙන් රැකගත්තේ ය.

එදා විසල් සමග වූ කතා බහෙන් පස්සේ වාචික නොවූ එකඟතාවයකට ජාන්වී සේ ම විසල් ද තමන් තුළින් පැමිණ තිබුණා විය යුතු ය.

එය සනීප බැඳීමකි. ඔවුන් අතරේ ගෞරවයක් විය. ඒ ගෞරවය ඔවුන් උනුන් වෙනුවෙන් පෙන්වූයේ ද වාචිකව නොවේ. එදිනෙදා සිදුවීම් අතරෙන් ම ය. නමුත් ඒ ඔවුන්ට දැනිණ. ඔවුන් ගේ හදවත් වලට දැනිණ. දවසක් ගානේ ලියලූ එකී හැඟීමෙන් හදවත් දෙක ම පිරී තිබුණ ද ඒ ගැන කතා කරන්නට ඔවුන්ට ඕනෑ වුණේ නැත.

‘තාත්ති අපි බීච් යං… බබාට කයිට් එකක් යවන්න ඕනෙ බීච් එකේ’

සව්මිය කිහිප වතාවක් ම විසල් ට ඒ ඇවිටිල්ල කරමින් සිටියේ ය. ජාන්වී ගේ ප්‍රතිචාරයක් වෙනුවෙන් ඔහු නිහඬව සිටි මුත් තවමත් ඇය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. විසල් පුංචි සව්මියව දෝතින් ගෙන විත්, බරාඳ පුටුවක හිඳ උන් ජාන්වී ගේ උකුල මතින් තැබුවේ ය.

‘අම්මිත් එක්ක ඕන දෙයක් බේරගන්න එකයි’

සව්මිය ජාන්වී ගේ කොපුල් සිය දෑතින් ගෙන ඇගේ මුහුණට එබුණේ ය.

‘අම්මි අපි කයිට් යවන්න බීච් යනෝ නේ…’

‘අනේ මේ මං දන්නෑ. තාත්තිටයි පුතාටයි ඕන එකක් කරගන්න එකයි. මං දැං ඕවට මොනාත් කියන්නෑනෙ. කියල මොකටද මං වැරදිකාරය වෙන්නෙ. මගේ පාඩුවෙ මං ඉන්නව’

ඒ කියූ කිසිවක් විසල් ට නො වැටහෙන බව දැන දැන ම ජාන්වී ඒවා කීවේ විසල්ටයි. ඔහු ගේ දෙඅදර අතරෙහි දඩබ්බර හසරැල්ලක් විය.

‘අම්මි අපි කියන එකට කැමතියි නං ඉතිං… අපි බීච් යන් නේ බබා…’

ජාන්වී අඩැසින් විසල් දෙස බැලුවා ය. එවර ඔහු ඇදෙස බැලුවේ නැත. පිරිමියෙකු මේ විදිහට හිතුවක්කාරකම් කරනා විට තනිකඩ ගැහැනු හිතක් පාර සොයාගත නො හැකි සේ මංමුලා විය හැකි බැව් ජාන්වී අත්විඳිමින් සිටියා ය. නමුත් ඇය හැම විට ම හදවතට අනතුරු ඇඟවූවා ය. හදිසි අනතුරකින් හදවතක් දරුණු තුවාල ලද හැකි බැව් සිහිපත් කොට දුන්නා ය. අනතුරකට ලක් නොවන්නට නිරන්තර සූදානමින් සිටියා ය. නමුත් ඇය හුස්ම ගත්තේ හතර අතින් වට කළ අනතුර ඇතුළේ සිටයි. සිදු වෙච්ච දෙයක් හෝ වෙන්න යන දෙයක් ගැන නො සිතා ඉවත බලාගෙන සිටීම ඇයට වන එක ම මාර්ගය වූයේ ය.

මුහුදු වෙරළෙහි හැන්දෑ අහසේ රතු තැඹිලි පැහැය තැවරී තිබුණේ ය. නෙක වර්ණ සරුංගල් සිය ගණනක් අහසේ සිය ඉඩ අයිති කරගෙන සිටියේ ය. විසල් සව්මිය වෙනුවෙන් විචිත්‍ර සරුංගලයක් තෝරා ගත්තේ ය. ඔවුන් දෙදෙනා එය අහසට යවනා අයුරු, ජාන්වී වෙරළෙහි හිඳගෙන බලා සිටියා ය. අමිතා මේ ගමන පැමිණියේ නැත.

‘තුන්දෙනත් එක්ක ගිහිං එන්නකො. මොනාත් කන්න ගේන්න එපා මං පිට්ටු හදල තියන්නං රෑට කන්න’

ඈ ගමන මගහැරියේ හිතා මතා ම ය. ඔවුන් තිදෙනා ට නිදහසේ ඇවිද එනු හැකි වන පිණිස ය.

දෙවන නඩු වාරය ද පසු වී තිබේ. තවත් එක් වාරයකින් පසු දික්කසාද තීන්දුව ලැබෙනු ඇතැයි නීතීඥවරයා පැවසුවේ ය. ජාන්වී බැස යන හිරු දෙස බලාගෙන ඒ ගැන සිතුවා ය. සව්මිය ව ඉල්ලා නඩු කියනා බවට මුලින් වහසි බස් දෙඩූ චමුපති දැන් ඒ බව අමතක වූවා සේ හිඳී. ඔහු වරක් ජාන්වී ට කතා කොට, සේවරි සිම්ෆනි වසර කිහිපයක් තිස්සේ තියුණු කිරීම වෙනුවෙන් විශේෂ වන්දි මුදලක් ඉල්ලා සිටියේ ය.

‘ඒක තාත්ත හොඳට දියුණු කරල තිබුණ එකනෙ. ඔයා නිකං ඒකට ගියා ආව විතරනෙ. හරිනං ඔයාගෙං වන්දියක් ඉල්ලන්න ඕනෙ පහුගිය ටිකේ චීට් කරල එතන සල්ලි ගත්තට’

ඇය සැහැල්ලු ලෙස කීවා ය.

‘අර විසල් කියන එකා තමයි ඔයාගෙ ඔළුව කෑවෙ’

චමුපති විසල් ව ඈඳා ගත්තේ කිසිදු සාධාරණ හේතුවක් නැතිවයි.

‘වැරදි කරපු මිනිස්සු හරි කැමතියි චමුපති වටේම ඉන්නෙ වැරදිකාරයො කියල හිතන්න. එයාලට තමන්ගෙ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න පුළුවන් එකම විදිහ තමයි තමං වගේම අනිත් අයත් වැරදි කරනව කියල හිතන එක. ඔයා කියපු දේ ගැන වෙන මට කියන්න කිසිම දෙයක් නෑ’

මෙවැන්නක් සිදු වූ බව ජාන්වී විසල් ට මේ වන තුරා පැවසුවේ නැත. සමහර මිනිස්සු කුණු ට්‍රැක්ටර් වාගේ ය. හොයන්නේ ම කුණු ය. වහන්නේ ම නිල මැස්සන් වාගේ කුණු ගොඩ වල ය. ඇඟේ දාගන්නේත් කුණු ය. ඔවුන් කන්නේත් කුණු දැයි සිතෙනා තරමි. එහෙම කුණු කන්දල් වලින් හෝ කුණු කන්දල් වන් මිනිසුන්ගෙන් ඈත් වී හිඳිනා එක ශරීර සෞඛ්‍යයට යහපත් විය හැකි බැවින් විසල්වත් ඊට ඈඳාගන්නට ඇයට ඕනෑ වුණේ ම නැත.

ජාන්වී ගේ දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. ඇමතුම ඇගේ මවගෙනි.

‘තාත්තගෙ රිපෝට්ස් ආව ජානු. ඉක්මනට සර්ජරි එකක් කරන්න වෙයි කියලයි කියන්නෙ. මේක දැනගත්තට පස්සෙ තාත්ත කියනව ඔයාට ඇවිත් යන්න කියන්නලු. එයාගෙ හිත හැදෙන්නත් එක්ක ටික දවසකට හරි ඔයා ඇවිත් යන්න ජානු’

ඒ දුරකතන සංවාදය ඇගේ ස්වරූපය වෙනස් කරනා බව විසල් දුටුවේ ය. සව්මිය අතට සරුංගලය දී ඔහු ජාන්වී වෙතට සමීප වූයේ ඇය සංවාදය නිමා කළ විටයි.

‘මොකක් හරි අවුලක්ද…’

‘තාත්තව සර්ජරි එකකට ගන්න වෙනවලු විසල්. එයා මට එන්න කියන්න කියල කියනවලු. පුළුවං තරං ඉක්මනට මං යන්න වෙනව විසල්’

ඇය කලබල වී සිටියා ය. අශුභ වූ යමක් සිදු වෙන්නට එපා යයි හදවත අයැදිමින් තිබිණ. ඇය වහ වහා නීතීඥවරයා ඇමතුවා ය. පියා වශයෙන් චමුපති ගේ අවසරයකින් තොරව ඇයට සව්මියව රටින් පිටතට ගෙන යා නො හැකි බැව් දැනගන්නට ලැබිණි. ජාන්වී වහාම චමුපති ඇමතුවා ය.

‘මං ලෝයර් ළඟ අත්සන් කරනව ළමය ගෙනියනවට අකමැත්තක් නෑ කියල… හැබැයි නිකං නෙවෙයි’

‘ඔයා ඕන දෙයක් කියන්න චමුපති. මේ වෙලාවෙ මං තාත්ත බලන්න යන්නම ඕනෙ. මට සව්මිය තියල යන්න කෙනෙක් නෑ. එයාට මං ඕනෙ’

‘හරි. කැමැත්ත දෙනවට කීයක් ඕනෙද කියල මං තීරණේ කරල කෝල් එකක් ගන්නං’

ඒ සියල්ල සිහිනයක් සේ ය. ජාන්වී සිටියේ විසල් කැළඹීමකයි. ඇගේ හිතේ පියා ගේ තත්වය ගැන ගැස්මක් තිබිණි. ඒ අතරේ සව්මිය ගෙන යාමට නීතියෙන් වන අවහිරය ඇගේ හිසට බරක් වූයේ ය. ලියකියවිලි සැකසීම වහ වහා කළ යුතු විය. සියල්ලට පෙර නීතීඥවරයාගේ මාර්ගයෙන් චමුපති ට මුදල් ගෙවා, සව්මිය විදේශගත වෙනවාට ඔහු ගේ අකමැත්තක් නැති බවට ලියවිල්ලක් ගත යුතු විය. ආගමන විගමන දෙපාර්තමේන්තුවට එය ඉදිරිපත් කිරීමෙන් පසු සව්මිය වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කළේ ය.

මේ සියලු කටයුතු දුව පැන ඇවිද කරනු ලැබූයේ විසල් විසිනි. ඒ සියල්ල කරන අතරේ ඔහු ගේ හදවතෙහි තුවාලයක් පෑරෙමින් තිබිණ. ඇයට යළි එන්නට ලැබෙනු ඇත්තේ කෙදිනක දැයි ජාන්වී නො දැන සිටියා ය. මේ වෙලාවේ පියා වෙතට දුවගෙන යන්නට විතරය ඇයට උවමනා වූයේ.

ගුවන් ගතවීමට නියමිත උදයේ ජාන්වී හා සව්මිය ගවන් තොටුපොළ වෙත ගියේ විසල් සමගිනි. අලුත් අත්දැකීමක් ලබන්නට යන කුතුහලය නිසා සව්මිය ට විසල් හැර යන්නට වීම ගැන අදහසක් නො තිබුණ සැටියෙකි. නමුත් විසල් තදින් හද පාරාගෙන සිටියේ ය.

‘මට පිස්සු හැදෙයිද දන්නෑ’

පිටත්වීමේ පර්යන්තයෙහි දී ඔහු සව්මිය තදින් සිප වැළඳගත්තේ ය. යළි යළිත් ඔහු සිම්බේ ය. අවසන ජාන්වී සව්මිය වඩාගෙන විසල්ගෙන් සමුගන්නට සූදානම් වූවා ය.

‘එහෙනං ගිහිං එන්නං විසල්. අපි නැතත් පොඩ්ඩක් ගෙදර පැත්ත බලන්න. අමිතා තනියමනෙ. මං ඔයාට කෝල් කරන්නං’

සව්මිය ඔහු ගේ ගෙල වට අත දමා විසල් ව ඔවුන් වෙතට ලං කරගත්තේ ය. ඔහු ගේ ඇස් වල අවසර නැති කඳුළක තෙත දිළිසිණි.

‘දකින්නැතුව ඉන්න බැරි වෙයි’

ඔහුට තවත් ඒ හැඟීම පාලනය කරගන්නට හැකි වූයේ නැත. ඕනෑ වූයේත් නැත.

‘දෙන්නවම…’

වදනකුදු දොඩාගන්නට ජාන්වී අපොහොසත් ව සිටියා ය. දොඩමළු වූයේ ඇගේ දෑසයි. හදවතේ වූ කැළඹුම දෑස් විල් මත ලියැවී තිබිණ. ඔහු සිටියේ සව්මිය විසින් ළඟට අදගැනීම නිසා වඩාත් ඇයට ලංව යි. ඈ සිය හිස ඔහු ගේ ළය මත ස්පර්ශ කළේ හිතා මතා නොවේ. ඒ හැඟීම් විදාරණයේ දී එය ඉබේ සිදු විය. නැතහොත් එහෙම නො කර සිටිත නො හැකි විය. විසල් සිය දෑත් ජාන්වී හා සව්මිය යන දෙදෙනා මතින් ම යවා තවත් ඔහු ට ලං කරගත්තේ ය. මෙතැනින් එහාට අඩියක්වත් තබන්නට බෑ වගේ හැඟීමකින් ජාන්වී මඳ වෙලාවක් පාෂාණිභූත වී සිටියා ය. නමුත් මේ නො යා සිටිත හැකි ගමනක් නොවේ.

‘පරිස්සමට යන්න’

අන්තිමට ඔහු ම ඒ ග්‍රහණය ලිහිල් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here