හදේ කොතැනක හෝ හිඳී – 25

0
3157

ගුවන් තොටුපළ රථගාලෙහි රිය නවතාගෙන විසල් ඔහේ සිටියේ ය. සුනාමි රළ පහරක් විත් සියල්ල සෝදාගෙන ගියා සේ ඔහු ගේ ආත්මය හිස් වී තිබේ. මෙතැනින් එහාට කුමක් කරගන්න දැයි නො දැන ඔහු අසුනේ හාන්සි වී බලාගත් අත බලාගෙන සිටින්නට විය. ජාන්වී ගුවන් තොටුපළෙහි ඇතුළත් වීමේ පර්යන්තය වෙත ඇවිද යත්දී, ඇය වඩාගෙන උන් සව්මිය හැරි හැරී ඔහු දෙස බැලූ සංකාකූල මුහුණ විසල් ගේ හිතේ හොල්මන් කරයි. ජාන්වී කොහොම සියල්ල තනිව කරගන්නට ඇති ද? සව්මියවත් ගෙන, ගමන් මලු හසුරුවාගෙන, ලියකියවිලි වල කටයුතු ද සමගින් ඇය කොහොම කරගන්නට ඇති ද? පසුගිය කාලය පුරා ඇගේ ගෙදර පිරිමියෙකුගෙන් විය යුතු කටයුතු සියල්ල ඉෂ්ඨ සිද්ධ කර දුන්නේ ඔහු ය. ‘අනේ විසල් මේක කරල දෙනවද අනේ විසල් අරක කරල දෙනවද’ යනුවෙන් ඇය හිස ඇල කරගෙන ඉල්ලීමක් කරන පමාවෙන් ඔහු ඒ කර දුන්නේ ය. ඇතැම් විට ඇය ඉල්ලා සිටින්නටත් පෙර ම ඔහු සිදු කළ දේවල් ද විය.

‘අනේ තෑන්ක් යූ විසල්. ඔයාට හැම එකටම කරදර කරන්න බැරි නිසා මං ඒක කියන්න ගියෙ නෑ’

එවන් අවස්ථාවක අනිවාර්යයෙන් ම ඇය කීවා ය.

ජාන්වී වූ කලී සැබවින් ම ස්ත්‍රී ගති වලින් අනූන අවංක ස්ත්‍රියක බව, ඇසුරු කළ කාලය තුළ විසල් මැනවින් වටහාගෙන සිටියේ ය. සැමියාගෙන් වෙන් වී ජීවත් වෙන බොහෝ තරුණ ගැහැනුන් සේ ඈ සිය ගෞරවය කෙළෙසා ගත්තේ නැත. නිදහස අයුතු ලෙස භාවිතා කළේ නැත. හැම විට ම සිය සීමාවන් දැන ඒ සීමාවෙහි හැසිරුණා ය. එක පිරිමියෙකු ඇගේ ජීවිතය මත පිනුම් ගසා ගිය බැව් සැබවි. නමුත් ඉනික්බිති ඈ හැසිරුණේ වෙනත් පිරිමියෙකුට ඇගේ නිය තුඩකට හෝ අත තැබිය නො හැකි වන ලෙසයි.

විසල් ගේ තුරුණු පිරිමි හදවත ග්ලැසියරයක් ව මිදුණු තැන එතැනයි. ඔහු ඒ ස්ත්‍රීත්වයේ ප්‍රතිමූර්තිය දැක තිබුණේ අම්මා වෙතින් පමණකි. නමුත් අම්මාගේ ජීවිතයෙහි අසරණකමක් විය. ඇතැම් විට සේනක අස ඈ සිය ආත්මය පාවා දෙන්නට ඇත්තේ ඒ අසරණකම නිසාවෙනි. එවන් අසරණකමකින් තොරව බබලන ස්ත්‍රීත්වයකින් යුත් ජාන්වී ට සමීප වීමට පිරිමියෙකු වරක් නොව සිය දහස් වරක් සිතිය යුතු වේ. විසල් වසඟ වූයේ ඈ බබළවන ඒ ආත්ම අභිමානයටයි.

ඈ ගැන ඔහු තුළ වන බැඳීම දින දින වැඩි වෙන හේතු කාරණා වී ද එය කියාගන්නට හෝ අඟවාගන්නට හැකි වෙතැයි ඔහු සිතුවේ ම නැත. ඔහු එවැන්නකට උත්සාහ කළේත් නැත. අද ඔවුන් සමුගෙන යත්දී මුවින් පිටතට පැන්නේ තවත් හිතේ හිර කරගෙන සිටිත නො හැකි වූ ඒ හැඟීමයි.

ඔහු ඇයට ඇමතුමක් ගත්තේ ය. ජාන්වී වහා පිළිතුරු දුන්නා ය.

‘දැන් ෆ්ලයිට් එකේද…’

‘අනේ තාම නෑ විසල්. අපි මෙතන ඉඳං ඉන්නව. බෝඩ් වෙන්න තව පැයක්වත් යයි. දැන් ඔයා කොහෙද…’

‘කා පාක් එකේ’

‘තාම…’

‘හ්ම්’

‘අනේ දෙයියනේ ඔයා යන්න විසල්. අපරාදෙනෙ රස්තියාදු වෙන්නෙ’

‘යන්නෙ කොහොමද ඔය දෙන්නව ඔතන තනියම දාල…’

උදරයේ අතුණුහන් පෙරළෙනු ජාන්වී අත්වින්දා ය. ඇය මොහොතකට සව්මිය තුරුලු කරගෙන ම නෙතු පියාගත්තා ය.

‘දැන් ඉතිං බෝඩ් වෙන්න විතරනෙ තියෙන්නෙ. ඔයා පාන්දර ඉඳංම නැගිටලනෙ. රෑත් හරි නින්දක් නැතුවැති. ගෙදර ගිහිං ටිකක් නිදාගන්න. අමිතා රූම් එකක් ලෑස්ති කරල දෙයි. කෑම කාල හවස් වෙලාම රෙස්ටොරන්ට් එකට යන්න. නිදිමතනං මූණ හෝදගෙන ඩ්‍රයිව් කරන්න විසල්’

ඔහු සමන් මාවතේ ඇගේ ගෙදරට ගියේ ජාන්වී ඇවිටිලි කළාට පසුයි. ගුවන් යානයට නැගී ඇය යළි ඇමතුමක් ගත්තා ය. ඩුබායි වලදී, ගුවන් තොටුපොළෙන් පිටතට ඒමට පෙරත් ඈ කළ මුල් ම කටයුත්ත ඔහු ට කතාකරන එකයි. එතකොට විසල් සිටියේ සේවරි සිම්ෆනි තුළයි.

‘බබා නිදි විසල්. එයාවත් වඩාගෙන ඔක්කොම කරගන්න වෙලා තියෙන්නෙ. මං ගෙදර ගිහිං ඔයාට කතාකරන්නං’

ඇය ඉක්මන් කෙටි දැනුම්දීමකින් සමුගත්තා ය. පුරුදු වැඩ ටික කරගෙන ගියාට විසල් ගේ අභ්‍යන්තරයෙහි බලවත් නො සන්සුන් බවක් විය. ඔහු ඒ යටපත් කරගෙන වැඩ කරගන්නට හැකි තරම් උත්සාහ කළේ ය. එය ගින්දරක් මතින් ඇවිදින්නා බඳු තත්වයකි. නැත්නම් පපුව මැද ගිනි මැලයක් තබාගෙන ඉන්නවා වන් තත්වයකි. එහෙම තිබියදී කිසිත් නො වුණා සේ ඉන්නට වීම ම කෙතරම් අසීරු ද?

ජාන්වි ගේ පියාව පසු දා පාන්දර සැත්කමට ගන්නට නියමිත ව තිබිණ. ඊට පෙර ජාන්වී එහි පැමිණි එක ඔහු ගේ සැනසුමට හේතු වූයේ ය.

‘මගෙ ඔළුවෙ දැන් තියන එක ම බර ඔයා. ඕව කොයි වෙලේ නිදහසේ කරන්න බැරිද කියල හිතං හිටියට… ජීවිතේ කියන්නෙ එහෙම දුරට දිගට ප්ලෑන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ජානා. මේ පේනවනෙ… කොච්චර සල්ලි තිබුණත් අපි වැටෙන වෙලාවක් එන්න පුළුවං. ඒක නිසා… ඉක්මනට ඔයාව ආයෙ පිළිවෙළක් කරන්න ඕනෙ ජානා’

‘තාත්ත අපි හෙමීට ඕව කතාකරමු. මේක පොඩි සර්ජරි එකක්. තාත්ත හිත කලබල කරගන්න එපා’

ඇය පියාගේ ඉහ ඉද්දර සිට ඔහු ගේ හිස පිරිමැද්දා ය. ටික කාලයක සිට ඔහු මේ කාරණය ගැන මතක් කරමින් සිටියේ වී ද හැමදාමත් ජාන්වි ඒ නො තකා හැරියේ සරල ලෙසයි. නමුත් මේ වෙලාවේ අභ්‍යන්තරයෙහි නාඳුනන කැළඹීමක් ඇති ව තිබේ!

සව්මිය ගමන් වෙහෙස නිසා ඉක්මනින් නින්දට එළඹියේ ය. සියලු කටයුතු නිමා වී රාත්‍රියේ යහනට වැටී ජාන්වී විසල්ට ඇමතුමක් ගත්තා ය. ඒ වෙලාවේත් ඔහු සිටියේ සේවරි සිම්ෆනි තුළයි.

‘ගෙදර ගිහිං නිදියන්න තිබුණනෙ විසල්. ඔයාට ටයඩ් ඇති’

‘ගෙදර ගියත් නින්ද යන එකක් නෑ ඉතිං…’

‘බබා නිදි. එයාට තෙහෙට්ටුයි. හොස්පිට්ල් යන්න එහෙම තිබුණ නිසා ඔයා එක්ක කතා කරන්න එයාට කෝල් එකක් අරං දෙන්න බැරි වුණා’

‘ඒකට කමක්නෑ’

‘ඔයා කෑවද…’

‘තාම බඩගින්නක් දැනුන්නෑ’

‘ඒකට කමක් නෑ කන්න’

‘හ්ම්’

‘එක්කො දැං රෑ වෙලා ගෙදර යන්නැතුව ඔතන රූම් එකේ ඉන්න’

‘අම්ම බලං ඉන්නවනෙ. බලමු’

‘යනවනං ඉතිං කලින් යන්නෙපැයි විසල්’

‘මට නිදිමතක් නෑ. යන්න පුළුවං’

‘ඔයාට පාළුද…’

ඇය ඒ වචන ටික පිට කරගත්තේ අසීරුවෙනි. විසල් ලොකු හුස්මක් ගත්තේ ය.

‘මං දන්නව ඔයාට සව්මිය නොදැක ඉන්න බෑ කියල. එයාටත් එහෙම වෙයි’

ඔහු හ්ම් කීවේවත් නැත. මුළු පපු කුහරය ම නාඳුනන දුකකින් හිර වී තිබේ.

‘මං දන්නෑ ඔයාව ඕන කියල ගෙදරදි වගේ ඇඬුවොත් මොනා කරන්නද කියල’

‘සව්මියත් අරං ඉක්මනට එන්න’ කියා කියන්නට විසල් ට ඕන විය. නමුත් එහෙම කියන්නේ කොහොම ද? ඔවුන් ගියේ ඔවුන් ගේ අය වෙතටයි. ඔහු ඔවුන් ගේ කවුරුන් ද?

‘එහෙම වෙන එකක් නෑ. දවසෙන් දෙකෙන් අමතක වෙයි’

‘එහෙම අමතක කරන්න බැරි බැඳීම් තියනව විසල්’

කියාගන්නට බැරි යම් කිසි දෙයක් දෙ අන්තයෙහි ම හිර වී තිබිණ. ඔවුන් වචන තෝරාගත්තේ ඒ හිර වූ තැන එහෙම ම තිබියදී ය.

‘අපි සති දෙකෙන් එනවනෙ…’

‘සති දෙකක් කියන්නෙ දවස් දාහතරක්නෙ’

‘තාත්ත ළඟට මේ වෙලාවෙ නෑවිත් බැරි නිසයි මෙහෙම හදිස්සියෙ ආවෙ. නැත්තං මං එන්නං හිටියෙ හෙමීට… ‘

‘ඒක ඉතිං යන්නම ඕන ගමනක්නෙ. එහෙනං දැං ඔයත් නිදියන්න. මහන්සි ඇතිනෙ. මං ගෙදර යන්නං’

අවසන සුසුමකින් සමුගන්නට තීරණය කළේ විසල් ම ය.

‘අනේ ගිහිං මැසේජ් එකක් තියන්න හොඳේ’

‘මං පරිස්සමට යනව. නිදියන්නකො’

නමුත් ඒ පණිවිඩය ලැබෙනා තුරාවට ඇයට නින්ද ගියේ නැත. ජාන්වී ඒ රාත්‍රියේ ඔහු ගැන හිතන්නට හිතට නිදහස දුන්නා ය. සමු ගන්නට පෙර විසල් ගේ පපුවෙහි යන්තමින් හිස තියා උන් තත්පර කිහිපයෙහි වන්නේ කිසි දා අමතක කළ නො හැකි උණහුම් සුවයකි. ඒ උණුහුම ගැන ආශාවක් ඇගේ හිතේ කොතැනක හෝ අහු මුල්ලක නො තිබුණායි විශ්වාසයෙන් කිව හැකි ද?

චමුපති කළ පිටුපෑමෙන් පසු කිසි දා තවත් පිරිමියෙකු ජීවිතයට කැඳවා නො ගන්නට ඇය සිතා සිටියා ය. විසල් පැමිණියේ අහම්බෙනි. ඔහු ඇයට කිසිදු බලපෑමක් කළා ද නොවේ. ඔහු සිටියේ සුසුවඳ මඳ පවනක් සේ හාත්පස දැවටීගෙනයි. ඔහු ඉන්නා බව හඟවන්නට විසල් කිසිත් නො කළේ ය. නමුත් සිහිනයෙන් ගෑ සුවඳක් සේ, ඔහු ඉන්නා බව හැම මොහොතක ම ඇය ට දැනිණ. ඒ වුණත් ඇය ඒ බැව් නො දන්නවා සේ සිටියා ය. නො දැනෙනවා සේ සිටියා ය. සව්මිය වෙනුවෙන් ඉන්නා දවසක් ඉන්නට හරිනවා යි ඇය අවසන් තීරණයකට පැමිණ ද තිබුණා ය. ඔහු යන දවසක ගියාවේ යි හිතාගෙන සිටියා ය. නමුත් විසල් සිය ආත්මය මත ඒ තරම් සරලව ගත නො හැකි මහත් බලපෑමක් සිදු කොට ඇති බව ඇයට දැනෙන්නේ දැනුයි. ඔහුගෙන් සැතපුම් දහස් ගණනක් ශාරීරික ව ඈත් වූ පසුයි.

මැදියම් රැයට ආසන්න ව සව්මිය අවදි වූයේ ය. අවදි වී යහන මත හිඳගත් ඔහු ‘තාත්තී’ යි කීවේ ය. දුර ඈත මන්දාකිණියක සිට නැගුණු හඬක් සවන් වැකුණා සේ ජාන්වී වහා නෙතු විවර කළා ය.

‘තාත්තිට අපි උදේට කතාකරමු බබා. මගෙ මැණික දැං දොයියන්නකො’

‘මත තාත්තිත කතාකලන්නෝනෙ’

සව්මිය ගේ ඇස් වල වූ බැල්මෙහි එය ස්ථිර ප්‍රකාශයක් බව සනිටුහන් ව තිබිණි. ඒ ඉල්ලීම ඉටු නො කළ හොත් ඔහු ලොකු අරගලයක් කරනු ඇත. ගෙදර අනිත් අය අවදි කරන්නට ද එය හේතුවක් වනු ඇත.

‘තාත්ති දොයි ඇති බබා. පව්නෙ ඇහැරවන්නෙ. අපි නිසා එයා ඊයෙත් මහන්සි වෙලා ඉන්නෙ’

කියමින් වුව ඈ වට්සැප් පණිවිඩයක් යැව්වා ය.

‘ඔයා නිදිද විසල්…’

එසැනෙන් නිල් පාටින් හරි ලකුණු දෙක වර්ණවත් විය. විසල්ගෙන් ඇමතුමක් එන්නට වූයේ ය.

‘ඔයා නිදි නැද්ද…’

පිටස්තර පිරිමියෙකු වෙනුවෙන් සිය ස්වරයෙහි ඒ සා ස්නේහයක් තැවරුණේ කොහොම ද කියා ඇය දන්නේ නැත.

‘තාම නින්ද ගියෙ නෑ. ඇයි ඔයා ඇහැරගෙන…’

‘පුතා නැගිටල ඔයාට කතාකරන්නෝන කියනව’

ජාන්වී සව්මිය ගේ සවනෙහි දුරකතනය තැබුවා ය. මේ මැදියම් රාත්‍රිය බව ඔවුන්ට කිසිදු වගක් නැතිව ගියේ ය. සව්මිය ද විසල් ද ආ ගිය තොරතුරු කතා කරමින් විනාඩි ගණනාවක් ගත කළහ. ජාන්වී මුව මන්දහාසයකින් බලා සිටියා ය.  

ඉන්නේ ලෝකයේ දෙ කෙලවරක බව ඔවුන් ට හැඟුණේ නැත. නැවත නිදන්නට ඇස් පියාගත්දී හිත් වල සැහැල්ලුවක් වූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here