හදේ කොතැනක හෝ හිඳී – 26

0
9528

විසල් පමා වී රැකියාවට යන්නට සූදානම් වන හැටි මේධා බලාන සිටියා ය. මේ දින දෙක තුනේ ම බොහෝ රෑ වී ගෙදර පැමිණෙන ඔහු උදයෙන් ම අවදි නොවුණේ ය. පුතු ගේ මුහුණ සුදුමැළි වී මැළවී අතැයි ඇයට නො සිතුණා ම නොවේ. රැකියාවේ වැඩ වැඩිකම ඔහු ව වෙහෙසට පත් කොට ඇති ද කියාත් ඇයට සිතිණ. නො දුටුවා සේ ඉන්නට හිත ඉඩ නො දුන්නෙන් ඇය උදයක මේ ගැන විමසුවා ය.

‘ඔයාට අසනීපයක් එහෙම තියනවද පැටියො… නැත්තං මහන්සියි වගේද…’

යතුරු පැදිය මතට නැගී, හෙල්මටය හිස පළඳන්නට සූදානමින් සිටි විසල්, එය යළිත් බයිසිකලය මතින් තැබුවේ ය.

‘ඇයි අම්මෙ…’

‘නෑ… මට නිකං ඔයා අසනීප පාටයි වගේ. ඔය රස්සාව ඔයාට මහන්සි වැඩිද කියලත් හිතෙනව. රෑ වෙනකලුත් වැඩනෙ’

‘එහෙමට මහන්සියක් නෑ අම්මෙ. රෙස්ටොරන්ට් එකක් නිසා රෑ වෙනකල් ඉන්න ඕනනෙ’

‘ඒ වුණාට ඔයාට ඔරොත්තු නොදෙන තරමට මහන්සි වෙන්නෙපා. එතන ප්‍රශ්න ඔළුවෙ තියාගෙන කරදරෙං ඉන්නත් එපා. ඔයා වෙලාවට කෑම කන්නෙත් නැද්ද මන්දා’

‘එහෙම නෑ අම්මෙ. මේ දවස්වල ටිකක් මහන්සි වෙනවනං තමයි. වෙන අවුලක් නෑ එතන’

‘එහෙනං පුතා පරිස්සමට යන්නකො’

සිය වෙනසක් අම්මා දුටුවේ කෙසේදැයි විසල් ට වැටහුණේ නැත. එහෙම වෙනසක් ඔහු තුළ ඇති වී තිබෙන බව ඒ වනතුරු ඔහු දැන සිටියේ ද නැත.

ජාන්වී බියෙන් සිටියේ සව්මිය ගෙදර අය ඉදිරියේ දී ‘තාත්ති’ ගැන අසනු ඇත කියා ය. එවැන්නක් වුණොත් ඔවුන් ඈ ගැන සැක සිතනු ඇත. එබැවින් කල් ඇතිව ම ඕ ‘මෙයා රෙස්ටොරන්ට් එකේ අලුත් මැනේජට තාත්ති කියනවනෙ සමහර වෙලාවට’ කියා කීවා ය. ජාන්වී ගේ ඒ ප්‍රකාශය නිසා ඔවුන් සව්මිය ගැන විස්සෝප වූවා මිස සැකයක් නො සිතූ බව ද ඇයට විශ්වාස ය. කෙසේ වෙතත් උදයට සව්මිය අවදි වූ ගමන් ම ඇය විසල් සමග කතා කිරීමට සව්මිය ට අවස්ථාව සලසා දුන්නේ ය. රාත්‍රියේ නින්දට යාමට පෙර ද එසේ ය. ඔහු සමග තනි වන වෙනත් ඕනෑ ම අවස්ථාවක ඇය එසේ කළා ය. සව්මිය ට විසල් සමග කතා කිරීමේ අවස්ථා ලැබුණ විට ඔහු ඒ ඉල්ලීම තමන් විසින් ම නො කරනු ඇත යන විශ්වාසය ඇයට විය.

නුපුරුදු පරිසරයක නුපුරුදු පිරිසක් අතරට ආවාට පස්සේ සව්මිය ගේ පරණ පුරුදු දඟකාර ප්‍රබෝධවත් බව අඩු වී යන හැටි ද ජාන්වී ට නිරීක්ෂණය කළ හැකි විය. ඒ ගැන හිතත්දී ඇගේ පපුව අවපීඩන කලාපයක් බවට පත් වේ. වරින් වර ඔහු ‘ගෙදල යං’ කියන්නට ද වූයේ ය.

‘සීයට ටිකක් සනීප වුණාම යංකො මැණික’ කියමින් සව්මිය අස්වැසුවාට, වෙනදා සතුටෙන් උනන්දුවෙන් ගෙවෙනා ඩුබායි නිවාඩුව ජාන්වී ට ද අසහනයක් ව තිබිණ. ඒ පියා ගේ අසනීපය නිසා යයි සිතන්නට ඇය කැමති වූවා ය. නමුත් සැත්කමෙන් අනතුරුව ඔහු ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් ඇති බවත් කිසිදු අවදානමක් නැති බවත් රෝහල් අංශයෙන් දැනගන්නට ලැබී තිබේ. එසේ නම් මේ නො සන්සුන් බව විසල් හා බැඳුණ යමක් ද?

‘මට හොඳ කොල්ලෙක් හම්බවුණා ජානා’

රෝහලෙන් ගෙදර පැමිණි පසු රාත්‍රී භෝජනයක් අතරේ පියා එසේ පැවසූයේ ජාන්වී සසල කරවමිනි.

‘ලංකාවෙ කොල්ලෙක්. මැරේජ් ලයිෆ් එකේ පොඩි පොඩි අවුල් ටිකක් තිබිල ඩිවෝස් වෙලා ඉන්නෙ. මෙහෙයි ලංකාවෙයි දෙකේම බිස්නස් කරනව. මං ජානාට එයාව මීට් කරවන්න බලං හිටියෙ. වෙලාවට මේකා ලංකාවට ගිහිංනෙ මේ දවස් වල…’

ජාන්වී ගේ උගුර කට වියළී යමින් තිබිණ. තාත්තා ට ඇය ඩුබායි වෙත ගෙන්වා ගැනීමට වඩාත් ම ඕනෑ වූ හේතුව දැන් ඇයට සිතා ගන්නට පිළිවන. මේ උගුලට නම් හසු නො වන්නෙමැයි ඇය තදින් ම සිතාගත්තා ය.

‘ලංකාවෙදි හරි මං ඔයාට එයාව මුණගස්සන්නං. කතාබහ කරල බලන්නකො. ඔය දෙන්නම ඩිවෝස් වෙලා නිසා… අවබෝධයෙන් ජීවිතේ ඉස්සරහ කාලෙ ගතකරන්න බැරි වෙන එකක් නෑ’

‘මට ආයෙ මැරි කරන්න ඕන්නෑ තාත්ත’

ඇය මළානික සිනහවකට උත්සාහ කරමින් මිමිණුවා ය. මීට පෙර ද අනන්ත වාරයක් ඈ ඔවුන් ට එසේ පවසා තිබේ. නමුත් මේ වතාවේ එහෙම කියත්දී වෙන කිසි දාක නො දැනුණ විදිහේ දෙගිඩියාවක්, නො සන්සුන් බවක් දැනෙන්නේ ඇයි?

‘එහෙම බෑනෙ ජානු. ඔයාවයි දරුවවයි බලාගන්නෙ කවුද… එහෙනං ඔයා දරුවත් අරං මෙහෙට එන්න ඕනෙ. කාත් කවුරුත් නැති අසරණයෙක් නෙවෙයිනෙ ඔයා’

පවුලේ සියල්ලන්ට ඕනෑ වී තිබුණේ ඇගේ ජීවිතය පිළිවෙළ කරන්නටයි. ඈ සව්මිය සමගින් තනිව ගෙවනා මේ ජීවිතය දැනටමත් ඔවුන්ට හිත් බරක් වී ඇති බව ජාන්වී හැඳින්නා ය. ඒ ගැන ඔවුන් සමගින් උදහස් විය නො හැකි ය. තමන්ගේ කම කියන්නේ එයටයි. තමන්ගේ අය හොඳින් ඉන්නා විට හැම කෙනෙකු ගේ ම හිත් වලට පහසු ය.

ඩුබායි හි සති දෙකක් ඉන්නට හිතාගෙන ආවාට, එක සතියක් ගෙවාගැනීමත් පහසු නැති බව ජාන්වී ට දැනෙමින් තිබිණ.

‘තාත්තට දැන් හොඳ නිසා… මං ආයෙ යන්න කියල බැලුවෙ’

පවුලේ කවුරුත් ඉන්නා වෙලාවක ඈ සිය තීරණය දැනුම් දුන්නා ය. ඔවුහු උනුන් ගේ මුහුණු බලාගත්හ.

‘ඇයි ජානු… ආව එකේ මාසයක්වත් ඉඳල යන්නකො’

‘අම්මෝ… මාසයක් ඉන්නෙ කොහොමද… සව්මියට මෙහෙ හුරු නෑ. මේ දවස් ටිකට එයා ඈලි මෑලි වෙලා ගිහිං’

‘ඒක හරියයි’

‘කොහොමත් රෙස්ටොරන්ට් එක බලන්නත් ඕනනෙ’

‘මැනේජර් කෙනෙක් ඉන්නවනෙ ඉතිං’

‘එයා තාම අලුත්නෙ අයිය. අනික චමුපති මොන නාඩගමක් නටලද දන්නෑ දැනටමත්’

‘මැනේජර්ට කෝල් කරල බලමු. එයාට මැනේජ් කරගන්න බැරි වෙන එකක් නෑනෙ’

‘සව්මියව නර්සරි යවන්නත් ඕනනෙ. තාත්තගෙ සර්ජරි එක ගැන කියපු ගමං දුවගෙන ආව මිසක්… ඒ කිසි දෙයක් ගැන එන්න කලිං මට මතක් වුන්නෑ’

ඒ ඇත්ත ය. පියා ගේ හදිසි අසනීප තත්වය ඈ බියපත් කරවී ය. නමුත් සව්මිය ගේ පෙර පාසල තවත් දින කිහිපයක් ම නිවාඩු ය. විසල් ඉන්නා නිසා සේවරි සිම්ෆනි ගැන වද වෙන්නට කිසිදු කාරණයක් නැත. සව්මිය වරින් වර විසල් ගැන විමසන බව හා ඔහු ගේ සාමාන්‍ය දඟ ගති මිලිණ වී තිබීම හැරුණු විට හදිසි වී ලංකාවට දුවන්නට ඇයට වෙන හේතුවක් ඇත්තේ ම නැති ද?

තනි තීරණයක් මත ජාන්වී ආපසු ලංකාවට යාම සඳහා ආසන්න ම ගුවන් යානයෙහි ටිකට් වෙන් කරගත්තා ය. කිසිදු හේතුවකට ඇගේ සිතිවිල්ල වෙනස් කළ හැකි වූයේ නැත.

‘ප්‍රපෝසල් එකක් ගැන කතාකරපු නිසයි නංගි ඉක්මනට ගියේ’

ඇයව ගුවන් තොටුපොළට ඇරලවා එන ගමන් සොයුරා ස්ථිර ලෙස ම කීවේ ය.

‘ඉතිං අපි එයාට නරකක් කරන්න හදනව නෙවෙයිනෙ’

‘චමුපති නිසා එයාට ආයෙ පිරිමියෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න බැරුව ඉන්නෙ අම්ම. තව පොඩ්ඩක් එයාගෙ හිත හැදෙනකල් අපිට ඉවසන්න වෙයි’

ගුවන් යානයට නැගුණාට පස්සේ ජාන්වී ට දැනුණේ ලොකු සටනකින් ඈ ජය ලැබූ බවකි. වෙනදාට ඕ පවුලේ අයගේ වචනයකට පිටින් තීරණයක් ගත හැකි තත්වයක සිටියේ නැත. ඔවුන් ගේ හිත් රිදේවි යයි බියෙන් වෙන දිනෙක වී නම් ඈ මේ ගමන් පිටත් වී යන්නේ ද නැත. නමුත් මේ තීරණය ගැන පසු තැවීමක් වෙනුවට ඇයට තිබෙනුයේ නො ඉවසිලිමත් සතුටකි.

ලංකාවට ගොඩබට ගමන් ඕ විසල් ට දුරකතන ඇමතුමක් ගත්තා ය.

‘කුරියර් සර්විස් එකකින් එයි විසල් තව ටිකකින්. ඔයා රෙස්ටොරන්ට් එකේ ඉන්නව නේද…’

‘ඔව් ඉන්නව’

‘එයාල ආවහම කතා කරයි. ඔයා ඒ පාර්සල් එක අරං තියන්න. මං පස්සෙ කෝල් එකක් ගන්නං ඔයාට’

එය කෙටි හා කලබල සංවාදයකි. ජාන්වී ඉක්මනින් දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. උදේත් සව්මිය සමගින් කතා කරන්නට ඇය අවස්ථාවක් සලසා දුන්නේ නැත. විසල් කිහිප වරක් ම ජාන්වී ගේ වට්සැප් අංකයට ඇමතුම් ලබාගත් මුත් එය සම්බන්ධ කළ හැකි වූයේ නැත.

ඔහු ට නො කියා ම එන්නට ඇගේ හිතේ වූ ළාමක ආශාව විශ්ලේෂණය කරන්නට ජාන්වී ට කිසිදු උවමනාවක් නො විණි. හිත සතුටින් බව ඈ පිළිගත්තා ය. විසල් ට කියා මෝටර් රථය ගෙන්වාගනු වෙනුවට ඕ ගුවන් තොටුපොළ අසලින් කැබ් රථයක් ඇණවුම් කළා ය. අද හදවත පොඩි කෙල්ලක ගේ වාගේ දැනෙන්නේ ඇයි? ඔහු පුදුම වනු දකින්නට ඇගේ හදවත මේ තරමින් පතා ඉන්නේ ඇයි?

සේවරි සිම්ෆනි අසල දී ඇය රිය නවතාගත්තා ය.

‘එයාල ඇවිත් ඉන්නෙ විසල්. එළියට යන්න’

ඔහු ඉක්මනින් පිටතට පැමිණියේ ය. මෝටර් රථය නැවතී තිබිණ. ඔහු ඒ වෙතට ආවේ ය. ජාන්වී රිය දොර විවර කළා ය.

‘තාත්…ති…’

සව්මියටවත් විසල්ටවත් ඒ පුදුමය දරා ගත නො හැකි වන්නට ඇත. විසල් එහෙම ම පහත් වී සව්මිය වැළඳගත්තේ ය. සව්මිය සිය කුඩා දෑත් විසල් ගේ ගෙල වටා තදින් වෙලාගත්තේ ය.

ජාන්වී ගේ දෑස් සිනහ වෙවී තිබිණි. සව්මිය වෙතින් මිදෙමින් විසල් ඇදෙස බැලුවේ ය. ඔහු ගේ ඇස් වල තිබී තෙතමනයක් ඇයට හමු විය. ජාන්වී සව්මිය ව ඈ වෙතට ලං කොට අසුනේ ඉඩ දුන්නා ය. ඒ හිස් වූ ඉඩෙහි විසල් හිඳගත්තේ කිසිදු වාචික එකඟතාවයකින් නොවේ. සව්මිය ඔහු ගේ උකුලට වූයේ ය. විසල් ගේ අත් ගොබයෙහි රැඳී තිබූ සව්මිය ගේ ළපටි අත මතින් ජාන්වී සිය කම්මුලක් යන්තමින් තැබුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here