ඒ මොහොත දිව්‍යමය වූවකි. මෝටර් රථය තුළ පසුපස අසුනෙහි ඔවුන් වෙනුවෙන් නිහඬ හැඟීම් සංසරණය වෙන අවකාශයක් නිර්මිත වී තිබිණ. විසල් ගේ අත් ගොබය අල්වාගෙන උන් සව්මිය ගේ අත මත තබාගෙන සිටි කම්මුල එහෙම තිබියදී ම ජාන්වී හිස මඳක් නගා විසල් දෙස බැලුවා ය. ඔහු ගේ දෑස් ඒ වෙත්දීත් ඈ වත මත අඩවන්ව තිබිණ. ජාන්වී දෙතොල් තද කරගෙන ම මඳහසට ඉඩ දුන්නා ය.
‘තැන්කූ කියන්නැද්ද…’
ඇගේ වදන් ඉසිරවීමෙහි දඟකාර හුරතලයක් විය. විසල් දෑස් කුඩා කළේ ය. එතකොට ඔහු ගේ නළලෙහි රැල්ලක් නැගී ගියේ ය.
‘ඔයාගෙ පුතාව ඉක්මන්ට එක්කං ආවට…’
විසල් සව්මිය තුරුලු කරගෙන ම හිස පිටුපසට බර කළේ ය. ඔහු ගේ ලවන් අතරේ හසරැල්ලක් ඇඳී තිබිණි.
‘තෑන්ක් යූ… ආවට…’
එය සව්මිය වෙනුවෙන් පමණකුදු නොව ජාන්වී වෙනුවෙන් ද කළ ස්තුතියකි. ඒ වෙලාවේ කෙතරම් ප්‍රබල හැඟීම් ප්‍රවාහයක් ඔහු තුළ සරැලි නැගුවේ ද යත් වමත අසුන මතින් ජාන්වී ගේ උරය පිටුපසින් වන සේ දමා ඈ සිය සිරුරට තද කර ගැනීමේ උවමනාවක් ඔහු ට දැනිණ. නමුත් සිය සීමාවන් අතික්‍රමණය කළ නො හැකි බැව් ඔහු තවදුරටත් විශ්වාස කළේ ය.
ඩුබායි හි දී හුස්ම හිර කොට තිබි බර දැන් ජාන්වී ගේ හිතේ නැත. ඈ පියාසර කිරීමට තරම් සැහැල්ලුවක සිටියා ය. පසුගිය දින වල සව්මිය වෙතින් විද්‍යමාන වූ අකාර්යක්ෂම බව අතුරුදන් ව තිබීමත් ඇගේ සැහැල්ලුවට හේතුවක් වන්නට ඇත.
නො කියා ඒම ගැන දොස් කියමින් අමිතා රයිස් කුකරය ක්‍රියාත්මක කළා ය.
‘කියල ආවනං මං මෙලහකට කෑම ටික උයල ඉවරනෙ. දැං කොයි වෙලාවක උයල කන්නද… තනි මට උයන්න කම්මැලි නිසා මං ඔන්නොහෙ රෑටම මොනාහරි තම්බගන්නව කියල හිටියෙ’
‘අනේ අමිතා කරෝල හොද්දක් හදල ගත්තම ඇති. කපල හෝදල ගන්නකො මං ඒදල දෙන්න’
කියමින් ඇඳගෙන ආ ඇඳුම් පිටින් ම ජාන්වී තක්කාලි, ලූණු, මිරිස් හා මාළු මිරිස් කපා දමා කරවල හොද්ද ඒදුවා ය.
‘පොල් ටික මිරිකල අමිතා මට කතාකරන්නකො’
සව්මිය අලුතෙන් ම පිපුණු මලක් සේ සිනහ වෙමින් ප්‍රබෝධවත් ව විසල් සමග සෙල්ලම් කරමින් සිටියේ ය. ජාන්වී ගමන් මලු ඇද විසල් වෙනුවෙන් රැගෙන ආ තෑගි පිටතට ගත්තා ය.
‘මේ ටික අම්මට ගිහින් දෙන්න. මේක ඔයාට’
ඇගේ ඇස් දිළිසිණි. ඈ දුන් බෑගයේ වූ ඇසුරුම් දෙක ඔහු විවර කළේ ය. ඒ මිලාධික වෙළෙඳ සන්නාම දරන ජංගම දුරකතනයක් හා අත් ඔරලෝසුවකි.
‘මෙච්චර වියදං කළේ ඇයි මට…’
ඒ ප්‍රශ්නය ඇසිය යුතු ද නෑසිය යුතු ද කියාවත් ඔහු දැන සිටියේ නැත.
‘මට මේ ලෝකෙ තියන වටිනම වස්තුව තමයි මේ විසල්’
ඈ සව්මිය ව සිය උකුලෙහි තබාගත්තා ය.
‘එයා මේ දවස් ටිකේ හිටියෙ හේබාල ගිහිං. ඒකට එකම හේතුව ඔයා එයා ළඟ නැති එක. වෙන කවුරු හිටියත් ඔයා නැතුව එයාට ජීවිතේ ලොකු අඩුවක් දැනෙනව ඇති. පොඩි අය ආදරේ කියන දේ හොඳට අඳුරනව විසල්. ඇත්තට ම ආදරේ තියෙන්නෙ කවුරු ළඟද කියල ඒගොල්ලො දන්නව. එයාට ඔයා හරියට රජෙක් වගෙයි. ඔයා ළගදි එයා හරිම රිලැක්ස්. එයා සතුටෙන් ඉන්නෙ ඔයා නිසා. එයාට මං තරමට ම වටින එකම කෙනා ඔයා. එහෙම ඔයා වෙනුවෙන් මේ චූටි තෑග්ග මොකද්ද… ඒක චූටි සුවනියර් එකක් විතරයි’
‘ඒ කියන්නෙ… මේව සව්මිය වෙනුවෙං…’
ඔහු ඈ සිටි බරාඳ පුටුවට යාබද ව අසුන් ගන්නා ගමන් අවධාරණය කළේ ය. ජාන්වී ට නො දැනී ම ඇය ලොකු හුස්මක් ගත්තා ය.
‘සමහර වචන වගේම සමහර හැඟීමුත් සීමා වලට කොටු කරන්න බෑ කියල ඔයා දන්නවනෙ…’
‘හොද්ද ඉදිල නෝනෙ. බත් ඩිංගක් කාල ඉමු එහෙනං’
අමිතා ගේ පැමිණීම ඒ වෙලාවේ ජාන්වී ට ලොකු දෙයක් විය. ඈ විසල් ගේ වචන හරඹය අතර අසරණ වී සිටි බැවිනි. ඒ වෙලාවේ ඇයට එතැනින් පලා යාමට උවමනා වී තිබූ බැවිනි. සමහර අවස්ථා වලට යම් කිසි මොහොතක මුහුණ දිය යුතු ම බව ඇත්ත ය. නමුත් ඒ මොහොතට මුහුණ දීම සඳහා තවමත් ඈ තුළ සූදානමක් නැති බව ජාන්වී ට දැනෙමින් තිබිණ.
ඔවුන් උණු උණුවේ ම කරවල හොදි සමගින් බත් කෑවේ සතුටෙනි. ජාන්වී ගේ කරවල හොද්ද, ඔහු ළාබාල වියේ දී රස විඳ ඇති මේධා ගේ කරවල හොද්දක සුවඳ හා රසය විසල් ට සිහිපත් කරවී ය. ඒ සුවඳ රම්පේ කොළ වලින් නැගෙන්නකි. හිත සතුටින් ඇති විට එක් හොද්දක සහ බතකත් වන්නේ දිව්‍ය භෝජන රසයකි. මේ වෙලාවේ ඔවුන් අත්විඳිමින් සිටියේ එකී රසයයි.
එදා ඉක්මනින් සේවරි සිම්ෆනි වෙත යළි යන්නට සව්මිය ගෙන් විසල් ට ඉඩ ලැබුණේ නැත.
‘ඔන්නොහෙ කමන්නෑ විසල්. එයා දවස් ගාණක් ඔයා නැතුව සාංකාවෙං වගේ හිටියෙ’
කියමින් ජාන්වී සව්මිය අනුමත කළා ය. තවත් ටික වෙලාවකට හෝ විසල් ව රඳවාගැනීමේ ආශාවක් ඇගේ හදවතේත් රහස් තැනෙකින් පැන නැගී ද? ජාන්වී ඒ ගැඹුරු තැන් විමසා දැනගන්නට නො ගියා ය.
සව්මිය හා විසල් සෙල්ලම් කරන අතරේ ජාන්වී ජැකරැන්ඩ ගහ යට බංකුවට වී සිටියා ය. මේ ජැකරැන්ඩ මල් අවාරයයි. අතීතයත් වර්තමානයත් අනාගතයත් එකිනෙක පැටලී ඇගේ ගැහැනු හද මඬළෙහි කිසියම් කැළඹීමක් වූයේ ය. ඒ නො ඉවසිලිමත් නො සන්සුන් බවකි. දිගු සෙල්ලම් වාරයකින් පසු විසල් බංකුවේ පසෙකට විත් හිඳගත්තේ ය.
‘මොනාහරි කියන්න තියනවද…’
ඔහු ඒ විමසුවේ ඇදෙස බලා නොවේ. ශීත කළ වතුර බෝතලයෙන් වතුර ටිකක් බී, බිම බලාගෙන එහි මූඩිය වසනා ගමන් ය. නටුවෙන් ගිලිහුණු ජැකරැන්ඩ පතක් කැරකී විත් විසල් ගේ හිස මත රැඳිණි. ජාන්වී අතැඟිලි දිගු කොට ඒ ඉවත් කළා ය. යමක් පැවසීමේ අවැසිතාවය තිබිණි. නමුත් කොහොම එය කියාගන්න ද කියා තවමත් ඇය දැන සිටියේ නැත.
‘එහෙදි මනමාලයෙක්වත් හම්බවෙලා වගේ…’
‘ඔයාට සාස්තර කියන්නත් පුළුවන්ද… නැත්තං පරචිත්ත විජානන ඥාණය තියනවද…’
‘මූණ බලල ගෑනු ළමයිංගෙ හිත් වල තියෙන දේවල් කියන්න පුළුවන්’
‘හැම ගෑනු ළමේක්ගෙම…’
ඒ වචන අතරේ වූයේ තරවටුවකි. විසල් හඬ නගා සිනහ වූයේ ය. ඒ වශීකෘත පිරිමි සිනහවෙන් ඇස් ඉවත් කරගන්නට ඇය තරමක් පමා වූවා ය.
‘ඒ කියන්නෙ මනමාලයෙක් හම්බවෙලානෙ… සුබ පැතුම් ඉතිං’
ඔහු ගේ සිනහව යට රිදුමක දෙදරීම හැඳිනගත හැකි විය.
‘තාත්ත ප්‍රපෝසල් එකක්නං ගෙනාව. බිස්නස්මන් කෙනෙක්ලු. මේ දවස්වල ඩුබායි ඉඳල ලංකාවට ඇවිත්. ඒක නිසා මට මුණගස්සන්න තාත්තට පුළුවං වුන්නෑ. මං කියල ආවෙ… මට මනමාලයො හොයන්නෙපා කියල’
ඇගේ නිදහසට කාරණා කීම පුරා ම වූයේ වරදක් නො කළ බව ඔහු ඉදිරියේ පාපොච්චාරණය කිරීමේ උවමනාවකි. හිත රිදෙන්නේ අහේතුකව යයි හිතන්නට විසල් ද උත්සාහ කළේ ය. නමුත් මේ මොහොතේ සාමාන්‍ය ලෙස හැසිරෙන්නට ඔහු ට හැකි විණි ද? වතුර බෝතලය කරකවමින් ඔහු බිම බලාගෙන ම සිටියේ ය. ජාන්වී විදා ගත් දෑසින් ඔහු දෙස බලාගෙන ම සිටියා ය. සව්මිය දිවගෙන විත් විසල් ගේ උකුලට පැනගත්තේ ඒ වෙලාවේයි.
‘ඔන්න ඔයාට අලුත් තාත්ති කෙනෙක් හම්බවෙන්නලු යන්නෙ’
‘වි… සල්…’
‘ඊට පස්සෙ අපිට එන්න වෙන්නෑ සෙල්ලං කරන්න’
‘වෙච්ච දේ ඔයාට මං කිව්වනෙ’
‘මං යන්නද බබා එහෙනං… අම්මි ළඟට යන්නකො…’
කියමින් විසල් සව්මියව ඔසවමින් බංකුවෙන් නැගී සිටින්නට ගියේ ය. ජාන්වී වහා ඔහු ගේ අත් බාහුවෙන් අල්වා ඔහු නතර කරවූවා ය. යළි අසුන් ගත්ත ද ඇදෙස බැලීමෙන් ඔහු වැළකී සිටියේ ය. ඈ සිය අත ඔහු ගේ බාහුවෙන් මෑත් කරගත්තේත් නැත.
‘ඔය විදිහට හිතාගෙනනං යන්නෙපා’
ඇගේ හඬ බිඳී තිබිණි. විසල් ට ඕනෑ වූයේ ම එතැනින් පලා යන්නටයි. ඉස්සර වාගේ ම කවුරුවත් නැති තැනෙක හුදෙකලා වී ඔහු ගේ හිතත් එක්ක දුක බෙදාගන්නටයි. සමහර විට දුක් වෙන්නට හේතුවක් නො දැන ම හඬන්නටයි. නමුත් ජාන්වී ඔහු ගේ අත තද කොට අල්වා ඔහු ට යන්න නොදී සිටී.
‘පුතාගෙ ලෝකෙ ඔයා ඉන්න තැනට වෙන කාටවත් කවදාකවත් එන්න පුළුවන් වෙන්නෑ. පුතායි මායි අතරට වෙන කාටවත් එන්න මං ඉඩ දෙන්නෙත් නෑ. ඉන්නවනං එතන ඉන්න පුළුවං ඔයාට විතරයි විසල්’
මුළු හිතේ ම දිරිය එක්තැන් කොට අවසන ඈ එය කියා දැමුවා ය. එයින් පස්සේ සිරුරෙහි පණ බිඳක් ඉතිරි වී තිබෙනු දැනුණේ නැත. පරඬැල් ව ගිහින් ඈ බංකුවත් විසල් ගේ වම් අතත් අතරේ දිය වෙමින් සිටියා ය. ඇගේ අත ඔහු ගේ අත නිදහස් කොට ගිලිහී වැටිණි.
‘ඒත්… මං දන්නෑ ඔයාට තව කොච්චර කාලයක් එතන ඉන්න පුළුවන් වෙයිද කියලනං… කැමති කාලයක්… පුළුවං කාලයක් ඉන්න විසල්. මං කියන්න දන්නෙ එච්චරයි’
අනපේක්ෂිත ලෙස දෙනුවන් දිය කළ කඳුළක් ගිලිහී වැටිණි. ජාන්වී සිය දෑස් විසල් ගේ උර මඬලෙහි ඔබාගත්තා ය. සව්මිය සිටියේ මේ කතාබහ ගැන බරක් හෝ බියක් දැනී කම්පිත ව වාගේ ය. ඔහු ගේ දකුණු අතත් පපුවත් අතරේ සිඟිත්තා ගුලි වී සිටියදී ම විසල් සිය වමත ජාන්වී ගේ උරහිස වටා යවා ඈ ඔහු වෙතට තවත් ලං කොටගත්තේ ය. ජාන්වී ට ඉකිබිඳී හැඬිණි.


