හදේ කොතැනක හෝ හිඳී – 29

0
10351

තුරක බඳෙහි වෙළී වැලක් වැඩෙන්නේ යම් සේ ද, මේධා හා විසල් අතර වූ බැඳීමත් එබඳු විය. විසල් ට පියෙකු නොවූ බැව් සැබවි. නමුත් මේධා මහ වනස්පතිනියක සරි මවක වූවා ය. ඇයට තිබූ ලොකු ම සම්පත ඔහු යි. ඇගේ තුරු හිස සුපිපි සුවඳ ම මල ඔහු යි. පැමිණිය හැකි අපල උපද්‍රව වලින් ඔහු රැකගනු වස් ඇගේ ඇල්ම බැල්ම නිරන්තර ඔහු වෙතට ම යොමු වී තිබිණ. ඔහු නිතර ම ඇගේ ඇස් මානයෙහි රැකුණේ ය. ඇගේ හිත් මානයෙහි පිපී සිටියේ ය. කෙතරම් බැරි අමාරුකම් වී ද ඇයට ඔහු රජ කුමරුවෙකු සරි විය.

‘පුළුහං හැටියට ඔය කොල්ලව හදනව. ඒකා රජ පැටියෙක් කියල හිතාගෙන තමුසෙ නිකං බොරුවට උඩ පනින්නෙපා. දන්නෙම නැතුව පස්ස බිම ඇනෙයි’

විසල් ගේ පාඩම් වැඩ ගැන ඔහු උනන්දු කරවන විට, ඇති එක ම ඇඳුම හෝ හෝදා පිරිසිඳුව අන්දා ඔහු ලස්සනට තබන විට, ඔහු නරක ඇසුරට වැටේ යයි බියෙන් ඈ ඇස ගසාගෙන ඉන්නා විට සේනක මේධා ට ඕනෑ තරම් එහෙම කියා තිබේ. ඒ ස්වර අතරෙහි දැවටී තිබුණේ සමච්චලයකි. එහෙව් පිහි තුඩු වචන වලින් හිත රිදුණේ වී ද ඕ තොමෝ තැලෙන්නට තැලෙන්නට මුවහත් වන යකඩයක් සේ සිය පුතු වෙනුවෙන් සිටියා ය. ඒ වනස්පතිනි සෙවණ විසල් ට සිහිලක් විය. මේධා ඔහු ගේ සියල්ල සොයා බලා ඇගේ අතින් ම ඉටු කළා ය. කවා පොවා නහවා හිස පීරා රජ පැටියෙකුට සේ වතාවත් කළා ය. පියෙකු නැති අඩුව හෝ බාප්පෙකු සිටි හිත් වේදනාව හැරුණු විට, අම්මා යනු ඔහු ගේ සුවපහසු කලාපය විය. අම්මා අස ඔහු ට ඔහු ගැන නො සිතා නො බලා නො සොයා සිටිත හැකි විය. කිසිවක් අඩු නො වන්නට ඇය වග බලා ගන්නා බවට වූ විශ්වාසය නිසාවෙනි.

ජාන්වී ද මුලින් ම ඔහු ගේ ජීවිතයට සපැමිණියේ එලෙසයි.  ඇගේ නිවසේ දී ඔහු ගේ කෑම ද බීම ද ඇඳුම් ද ගැන ඇය දරුවෙකු ගැන වද වෙන්නා සේ වද වූවා ය. අමිතා පිළියෙළ කළ අහරක් රස නොවූ කල ‘විසල්ටනං මේව කන්න බෑ’ කියමින් වහ වහා බැදුමක් හෝ පිළියෙළ කළා ය. අන්තිමට ඔහු ඒ ගෙට ගොඩ වූයේ ඇගෙන් තේ එකක් ඉල්ලාගෙන යි.

මේධා ඔහු ව ඉහළ ම තැනකින් තබන්නට ඇගේ මට්ටමෙන් තැත් කළේ යම් සේ ද, ජාන්වී ද ඇයට හමු වූ දා පටන් විසල් ගේ ජීවිතය ඉහළට ඔසවා තබන්නට ක්‍රියා කළා ය. මුලින් ඈ එසේ කළේ ඔහු පිළිබඳ වගතුග කිසිත් දැනගෙන නොවේ. අනිච්ඡානුගව ම ය. එදා පලමු දිනයේ දී බොන්සායි බෝ පැළය වෙනුවෙන් විසල් ගේ තක්සේරුවට වැඩි වටිනාකමක් ජාන්වී ඔහු අත තැබුවා ය. ඒ මුදලින් ඔහු ට ඒ වෙලාවේ ඉටු කරගත යුතු වූ මූලික අවශ්‍යතා ටික සපුරා ගත හැකි විණි. ඇගේ නිවෙසට යන්න එන්නට ගැනීමෙන් පසු ඈ ඔහු ට සැලකුවේ විශාල වටිනාකමක් ආරෝපණය කරමිනි. බෝ පැළයක් විකුණාගන්නට පැමිණි දුප්පත් කොල්ලෙකු ලෙස ඈ ඔහු දෙස බැලුවේ නැත. එසේ ම ඈ ඔහු ට කතාකළේ, ඇතැම් විට ඇගේ දරුවෙකුට මෙනි. මහත් මාතෘ ස්නේහයක් ඒ වදන් අතරෙහි ඔහු ට දැනිණ. මේධා ගේ වචන වල තැවරී ඇති සෙනෙහස එහි තිබිණ. ඈ ඔහු ගේ කෑම බීම ගැන වද වූයේත් අම්මා වාගේමයි කියා විසල් ට දැනී නො දැනී ගිය වාර අනන්ත ය.

‘අනේ ඇයි විසල් බත් ටික ඔක්කොම කෑවෙ නැත්තෙ… එළවළු ටිකයි බිත්තරෙයිවත් ඔක්කොම කන්න එහෙනං. ඔය මාළු කෑල්ල ඔක්කොම කන්න ළමයො’

කියමින් ඕ සව්මියට වන් ම වූ  මව්වත්කමකින් ඔහු ට බලපෑම් කළා ය. සැබවින් විසල්ගේ යටි හිත ආකර්ෂණය වූයේ ජාන්වී ගේ මව්වත්කමට බව ඇතැම් විට ඔහු ගේ උඩ හිත නො දන්නවා විය හැක!

ඔහු ගේ යටි හිත අපේක්ෂා කළේ අම්මා වන් වූ පෙම්බරියකි. අම්මා වාගේ ඔහු ගැන සොයා බලත හැකි, වද විය හැකි, කරුණාව පෙන්විය හැකි විශ්වීය වූ දයාවකි. ජාන්වී ළඟ හැරුණු විට, මීට පෙර හමුව ඇති කිසිදු ගැහැනු ළමයෙකු ළඟ ඔහු ට ඒ පහසු හැඟීම නො දැනිණි. අනිච්ඡානුගව ම ඔහු ඈ අස නවාතැන් ගන්නට ඇත්තේ එබැවිනි.

ජාන්වී වූ කලී කුඩා කල පටන් පවුලක රැකවරණය යටතේ හැදුණු තරුණියකි. පියාත් සොයුරාත් ඇගේ ප්‍රධාන ම රැකවලුන් වූහ. ගැහැනු ළමයෙකු පිරිමි රැකවරණයක සිටිත යුතු ය යන අදහස ඈ ඇති දැඩි වූ සමාජ සාධක මත නිරායාසයෙන් ඈ තුළ මුල්බැස ගත්තකි. චමුපති නික්ම ගිය පසු හදිසියේ ම ඇය අනාරක්ෂිත වූවා සේ දැනිණ. පියා හා සොයුරා යන දෙදෙනා ම අවශ්‍යතාවයකදී කතා කරගත හැකි දුරක නො වූයෙන්, හැඬුම් එන තරම් අසරණ කමක් දැනුණ අවස්ථා නැතිවා නොවේ. ඇය සිටියේ හිත දැඩි කරගෙනයි. අලුත් තත්වය වටහාගෙන හා ඊට මුහුණ දෙන්නට හිත හදාගෙනයි. නටුවෙන් ගිළිහුණ මලක් සේ විසල් ඔවුන් වෙතට ම ගසාගෙන පැමිණියේ එහෙව් සමයකයි.

පිරිමියෙකුගෙන් ගෙදරක සිදු වන කුඩා කුඩා කටයුතු සියල්ල ඔහු අතට පත් වූයේ ඉබේට ම ය. ගෙදර කවර වෙනසක් සිදු වී ද ‘විසල් ආවහම පොඩ්ඩක් බලන්න කියන්නෝනෙ’ කියනා තැනට ජාන්වී පත්වෙමින් සිටියා ය. ගෙදර විදුලි බල්බයක් මාරු කරගැනීමේ සිට මෝටර් රථයේ ආබාධයක් දක්වා වන සියල්ල ඔහු ගේ අනුදැනුම යටතට පත් වෙමින් තිබිණ. සව්මිය ගේ මුහුණට සතුටු සිනහවක් කැන්දන්නට විසල් ට තිබූ අසමසම හැකියාව නිසා ජාන්වී ගේ ජීවිතයෙහි ඔහු අලුත් ම වීරයා වෙමින් සිටියේ ය. පිරිමි පෞරුෂයක සෙවණැල්ලෙහි ආරක්ෂිත කලාපයක් අපේක්ෂා කළ ඇගේ යටි හිතට ඔහු යෝධ සෙවණැල්ලක් ම විය.

ඔවුන් උනුන් වෙතට ආකර්ෂණය වීමේ පදනම වැටී තිබුණේ එකී සාධක මතයි. ඔවුන් දෙදෙනා ම උනුන් වෙතින් සිය ආත්මයන් තුළ නිදන්ගත ව තිබූ රික්තක සපුරාගනිමින් ලං වූයේ එලෙසයි. එබැවින් උනුන් අස ඔවුන් දෙදෙනාට ම පහසුවක් දැනිණ. රැකවරණයක් දැනිණ.

‘මේ හීනෙං ඇහැරිලා ඉකි ගගහ අඬන්න වෙයිද කියල අහිංසක බයක් මගෙ හිතේ තියනව විසල්. නින්ද යාගෙන එද්දි වුණත් එහෙම දෙයක් දැනිල මං ගැස්සිල ඇහැරෙනව’

ජාන්වී එසේ කීවේ සව්මිය ව කාණිවල් එකක් වෙතට රැගෙන විත් තිබි විචිත්‍ර රාත්‍රියකයි. වෛවර්ණ විදුලි බුබුළු දහස් ගණනක් ඔවුන් වට කොට දැල්විණි. මේ චමත්කාරයෙන් සව්මිය මහත් ප්‍රහර්ශයකට පත් ව සිටියේ ය. මේ ඔහු එම අත්දැකීම ලබනා ප්‍රථම වතාවයි. එවන් විනෝද සැණකෙළියක් ගැන තතු දැනගත් විටෙක වුව මීට පෙර ජාන්වී සව්මියව එහෙම තැනකට රැගෙන එන්නට බිය වූවා ය. හැම විට ම ඇය පිරිමි රැකවරණයක් ගැන අපේක්ෂා කළ හා විශ්වාසය තැබූ කෙනෙකු වූ බැවිනි. ගැහැනියකට තනිව සැරිසැරිය හැකි තැන් සේ ම එසේ කළ නො හැකි තැන් ද ඇතැයි ප්‍රවේසම්සහගත වූ බැවිනි. එබැවින් සව්මිය ගේ වයසේ ළමයින් ට සාමාන්‍යයෙන් ලද හැකි ඇතැම් අත්දැකීම් ඔහු වෙතින් ගිලිහී ගොස් තිබිණ.

සව්මිය වඩාගෙන සිටි විසල්, සිය නිදහස් අතින් යන්තමින් ජාන්වී ගේ අතැඟිලි ඇල්ලුවේ ය. ඒවායේ දැඩි සීතලක් විය. උණුහුම් වනු වස් ඔහු ඒ අත දැඩිව ග්‍රහණය කරගත්තේ ය.

‘මන් දන්නෑ මොනා වෙයිද කියල. වෙන්න තියන දේවල් ගැන හිතල මේ මොහොත අත්ඇරගන්නැතුව ඉමු. මං දන්නෙ… ඔය දෙන්න වෙනුවෙන් මට මුළු ලෝකයක් එක්ක වුණත් හැප්පෙන්න පුළුවං කියල විතරයි’

‘තාත්ත කොයි වෙලේහරි අර මනුස්සයව එවයි අපේ ගෙදරට’

‘ඉතිං හොඳයිනෙ’

එවර ඔහුගේ මුහුණට සිනහවක් නැගුණේ ය. වර්ණ විදුලි එළි නිසා ඒ සිනහවෙහි වූ හැඟීම නිශ්චිතව ඈ දුටුවේ නැත. නමුත් එය ඇගේ ඇතුළාන්තය විසින් හැඳිනගනු ලැබිණ. ඕ ඔහු ගේ සිරුරට වඩාත් සමීප ව, ඒ අත වැලඳ එහි කම්මුල තද කරගත්තා ය.

‘මං අයියට කියනෝ. මගෙ පැත්ත කොහොමත් මට විසඳගන්න පුළුවන්. ඔයා වගේ කෙනෙක් ගැන කිව්වොත් එයාල කැමැත්තෙන් අපිව දෙයි. අයිය කොහොමත් මාව තේරුංගන්නව. බබාගෙ තාත්තට අපේ තාත්ත කැමති නොවුණ වෙලාවෙත් අයිය තමයි මං වෙනුවෙන් මැදිහත් වුණේ’

‘ඔයාගෙ තාත්ත නෙවෙයි දෙයියන්නාන්සෙ අකමැති වුණත් මට කරන්න දෙයක් නෑ. එයාල ඔයාව හොඳින් දුන්නැත්තං මං බලෙං හරි අරං යනව’

ඈ ඔහු ගේ බඳ වටා අත දැමුවා ය. ඒ වෙලාවේ ඔහුගෙන් විද්‍යමාන වූ දඩබ්බර පිරිමි කම් වලට ආශක්ත නොවෙනා සැටියක් ඈ දන්නේ නැත. ප්‍රේමය ඇතැම් විට දරාගත නො හැකි හැඟුමක් ව බරට දැනේ. ජාන්වී ගේ මුළු හදවත ම මේ මොහොතේ පිරී යමින් තිබුණේ එකී හැඟීමෙනි.

‘මේ දරුවෙකුත් ඉන්න ගෑනියෙක් එච්චර වටිනවද…’

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට විසල් ට ඕන වුණේ නැත.

ඈ තදින් ඔහු ගේ අත සිපගත්තා ය. ජීවිතයෙන් එක මොහොතකට ප්‍රේමයේ මේ හැඟීම විඳ මිය ගියත් කම් නැත!

‘ඔයාගෙ අම්ම කීයටවත් මෙහෙම දේකට ඉඩ දුන්නැති වුණත් මටනං දුකක් නැති වෙයි. අම්ම එක්ක තරහකුත් නැති වෙයි. දවසක මං මැරෙන්න කලින් මෙච්චර ආදරේකින් මාව පිරෙව්ව එක ඇති විසල්. මට මැරෙකල්ම වුණත් මේ ඇති’

‘අම්ම තමයි මගෙ ජීවිතේ. හැබැයි ඒ ජීවිතේ සතුට දැං මං හොයාගෙන තියෙන්නෙ. ඒක අත්ඇරගන්නෑ’  

ඔහු ඇගේ හිස් මුදුණ සිපගත්තේ ය.

සැණකෙළි බිමෙන් නික්ම පිටතට විත් ඔවුහු මෝටර් රථයේ නැගී මාවත් දිග ගියහ. රාත්‍රිය වඩාත් සෞම්‍ය කරනා සිහිලසක් විය. සුළඟ ඊට අනන්‍ය වූ තාලයකින් ගීත ගැයුවේ ය. මග පහන් කළ නියොන් එළි පවා රාත්‍රියට අලුත් පැහැයක් ගෙනෙයි.

ඔවුහු අවන්හලකින් රෑ කෑම ගත්හ. සව්මිය වඩාත් ප්‍රීතිමත් ව සිටියේ ය. පුංචි ම පුංචි පවුල් ඒකකයක් කියනා හැඟීම එහි විය. කොතැනකින්වත් පිරියම් කළ කැළලක් සොයා ගත හැකි වූයේ නැත.

‘අංකල්ට ඕන්නං පුළුවංකම තිබුණ මට එච්චර රිද්දන්නැතුව ඉන්න. ආදරේනං නොකළට කමන්නෑ. හැබැයි එයාට හැම වෙලේම ඕන වුණේ අම්ම මගෙ නෙවෙයි එයාගෙයි කියන රිදුම මට දෙන්න. සව්මියගෙ හිතේ කවදාවත් ඒ තුවාල කැළල ඉතුරුවෙන්න මං ඉඩ තියන්නෑ. එයා ලොකු වුණ දවසක වුණත්… මං එයාගෙ ඇත්ත තාත්ත නෙවෙයි කියල දැනගත්ත කාලෙක වුණත්… එයාට රිදෙන විදිහට කවදාවත් මං ඔය දෙන්න අතරට එන්නෑ. මට රිදුණු තැන් වලට මං හීනෙකින්වත් අත තියන්නෑ’

‘අපි දෙන්න අතරෙ නෙවෙයි විසල්… ඔයා ඉන්නෙ එයාගෙ පපුවෙ මැද්දෙ. එයාගෙ ඇත්ත තාත්ත ඔයා නෙවෙයි කියල දැනගත්ත දවසක වුණත් ඒක වෙනස් වෙන එකක් නෑ. එයාගෙ ඇත්ත තාත්ත වෙන කෙනෙක් කියන තිත්ත ඇත්ත පිළිගන්න එයා කැමතිවෙන එකකුත් නෑ. එයාගෙ ඇත්ත තාත්ත වෙන කෙනෙක් කියල මටත් සමහර වෙලාවට අමතකයි. ඔයා හරි පුදුම කෙනෙක් විසල්. සංසාරෙකටවත් ගෑනියෙක් අත්ඇරගන්න ලෝබ හිතන පිරිමියෙක්’

සමන් මාවතේ දී දෙපසකට වෙන්ව යත්දී වෙනදාටත් වැඩියෙන් පැටවුණු බරක් හදවත් හි විය. වෙන්ව යන්නට බැරි හැඟීමක් ඔවුන් අතරේ හිර වී තිබිණි. නමුත් මේධා වෙනුවෙන් මිල දී ගත් රෑ කෑමත් රැගෙන විසල් බයිසිකලයට නැගුණේ ය.

‘පරිස්සමෙං හිමින් යන්න’

ඈ මිමිණුවා ය. විසල් ජාන්වී ගේ නළලත මුදු ව සිපගත්තේ  ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here