හදේ කොතැනක හෝ හිඳී – 30

0
9695

විසල් ගේ දුරකතනය හැඬවී නිමා වන තුරු ම ජාන්වී සිය දුරකතනය සවනේ තබාගෙන සිටියා ය. එය හැඬවී අවසාන විය. ජාන්වී ගේ හද ගැස්ම සිය දහස් ගුණයකින් ඉහළ නැංවිණි.

ඇය මේ ඔහු ගේ දුරකතනය ට ඇමතුම් ගන්නේ සැලකිය යුතු වෙලාවක සිට ය. එහැම වතාවක ම දුරතතනය හැඬවුණු බව සහතික ය. නමුත් එක් වරක් හෝ එහා ඉමෙන් පිළිතුරු ලැබුණේ නැත.

වෙනදාට ඔහු ගෙදර ගිය ගමන් ම ඇමතුමක් ගනී. නැතහොත් ගෙදර ගිය බවට තාවකාලිකව කෙටි පණිවිඩයක් හෝ තබයි. ඇය මේ තරම් වාර ගණනක් උත්සාහ කොටත් අද ඔහු දුරකතනයට සම්බන්ධ නො වන්නේ ඇයි? අනියත බියකින් ඇගේ සිරුරේ හැම සෛලයකින් ම හිරිවැටෙමින් තිබිණ. කාට කියන්න ද? කාගෙන් නම් ඔහු ගැන විමසන්න ද?

දුරකතනය නාද වෙන හැම වතාවක ම සිහිනයකින් සේ විසල් ට ඒ හඬ ඇසුණේ ය. එසැනෙන් යළිත් නෑසී ගියේ ය. ඒ ජාන්වී බව ඔහ දනියි. ඇයට කතා කළ යුතුයි කියා සිහි වුවත් එසැනෙන් ඔහු ට ඒ අමතක ව යයි. අනිත් අතට ඇයට කතා කකළ නො හැකි බවට වේදනාකර හැඟීමකින් ඔහු අඩ පණ වී යයි.

විසල් ගෙදර පැමිණෙන විටත් දොර හැර දමා තිබිණ. නමුත් කිසිදු කටහඬක් ඇසුණේ නැත. වෙනදා නම් බයිසිකලයේ හඬට මේධා පෙරට එයි. විසල් ව පිළිගන්නා ආදරබර සිනහවෙන් සැරසීගනියි.

‘අම්මේ’

ඔහු කතාකළේ ය. අත වූ කෑම එක මේසය මතින් නො තියා ම ඔහු මේධා ට කතා කළේ එය ඈ අතට දීමට ඔහු රිසි බැවිනි. නමුත් වෙනදා සේ ඈ ආවේ නැත. ඒ වෙනුවට නිහඬතාවය අතරින් සිහින් ඉකිබිඳුම් හඬක් ඇසෙන්නට විය. ඒ අම්මා හඬන හඬ බව විසල් නො දන්නවා නොවේ. ඔහු කුඩා කොලුවෙකු සන්දියේ පටන් අම්මා ගේ ඉකිබිඳුමක හඬ හඳුනයි. ඇය ලෙහෙසියෙන් හඬා වැටෙනා තැනැත්තියක නොවේ. ජීවිතයෙහි මුහුණ දීමට සිදු වූ කරදර පිරිපත ද සමගින් ඇයට තිබෙන්නේ තද කරගත් සිතකි. පුංචි සියුමැළි කාරණා වලට හැඬුවා නම් මුළු ජීවිත කාලයත් ඇයට හඬන්නට මදි වනු ඇත. ඒ බව තේරුම් ගැනීමෙන් පස්සේ  ඇය හඬනා එක අඩු කළා ය. පසු කාලයක් වන විට කඳුළු ගල් වී ගිහින් හඬනා එක නතර ම කොට දමා තිබිණි. ඇඬුවා නම් ඒ හදවතින් විතර ය. පිටතට නො පෙනෙන සේ ය. විසල් ට නම් ඈ සිය කඳුළක් පෙන්වන්නට කැමති ම නො වූවා ය.

එහෙව් ඇය මෙහෙම ඉකි බිඳ හඬන්නට කාරණා කිම? නිසැක වශයෙන් ම සේනක සමගින් ආරවුලක් ඇති වන්නට ඇතැයි විසල් ක්ෂණික ව නිගමනය කළේ ය. අම්මා මේ තරම් හඬන්නේ ඔහු ඇයට පහර දී වත් ද? විසල් ගේ හිසට නැගුණේ කෝපයකි.

‘අම්මෙ…’

එවර ඔහු ඒ ආමන්ත්‍රණය කළේ තරමක් උස් හඬිනි. එහි කෝපයක් තැවරී තිබිණ. මේධා වඩාත් හයියෙන් හඬන්නට වූවා ය. ඇගේ ඉකිබිඳුම් හඬ නැගුණේ මුළුතැන්ගෙය දෙසිනි. විසල් ඒ දෙසට දිගු අඩි තැබුවේ ය. මේධා බංකුවක හිඳ හඬමින් සිටියා ය.

‘ඇයි අම්මෙ මේ… මොකද වුණේ…’

විසල් අම්මා කෙරේ අප්‍රමාණ ආදරයෙන් විමසුවේ ය. නමුත් ඇය ඔහු දෙස බැලුවේවත් නැත. අත වූ සිලි බෑගය මේසය මතින් තැබූ හෙතෙම මේධා ඉදිරියෙහි බිම පහත් වූයේ ය.

‘අම්මෙ කියන්නකො අප්ප… ඇයි මේ අඬන්නෙ… මොකද්ද දැං මේ ගෙදර සිද්ධ වුණේ…’

මේධා පුතු දෙස බැලුවේ එවිටයි. ඒ බැල්මෙන් ගින්දර පිට වූවා සේ ය. මොහොතකට ඉකි බිඳුම නැවතිණ.

‘මේ ගෙදර… මේ ගෙදර නෙවෙයි සිද්ධ වෙච්ච දේවල් වෙලා තියෙන්නෙ. මේ ගෙදරින් පිට…’

ඇය පැවසූව ඔහු ට වැටහුණේ නැත. ඒ වූ කලී ව්‍යංගයෙන් පැවසූවක් මිස ඍජු ප්‍රකාශයක් නොවේ. මේධා ගේ මුහුණ රතු වී තිබේ. ඒ ශෝකයට ද කෝපයට ද නැත්නම් ඒ දෙකට ම ද විය හැක. විසල් මඳක් තිගැස්සී ගියේ අම්මා ගේ අමනාපය ඉලක්ක වී ඇත්තේ සේනක වෙතට නොව තමන් වෙතට යයි දැනුණ බැවිනි.

‘ඇයි අම්මෙ…’

එවර ඔහු ගේ ස්වරයේ සංඛ්‍යාතය වඩාත් පහළ අගයකට පිවිසියේ එබැවිනි. මේධා සිය ආත්මයේ ම වූ ශක්තිය සුරතට එක්කාසු කොට විසල් ගේ කම්මුල හරහා දැවැන්ත අතුල් පහරක් එල්ල කළා ය. හෙණයක් පතිත වූවා සේ ඔහු ට දැනිණ. අඩමානයට හිඳ උන් විසල් බිම පෙරළී ගියේ ය. ඔහු කම්මුල අල්වාගෙන ම වහ වහා බිම හිඳගත්තේ ය. අම්මා මීට පෙර කිසි දාක මෙලෙස හැසිරී නැති බව ඔහු දනී. පොඩි කාලේ නම් ඈ ඔහු ට ඉඳහිට පහරක් ගසා තිබේ. එද නො රිදෙන සේ නිකමට තරවටුවක් වෙනුවෙනි. ඔහු දැනුම් තේරුම් ඇති වයසට පත් වූවාට පස්සේ ඕනෑ ම දෙයක් කීවේ ආදරයෙනි. බැරි ම අවස්ථාවක නම් ටිකක් තදිනි. ඒ වචන වල තිබුණා වූ තද ගතියට මෙල්ල වෙන්නට තරම් විසල් හොඳ ළමයෙක් වූයේ ය. අම්මා තරවටුවක් කරන්නේ වී නම් ඒ ඔහු කෙරෙහි වන අප්‍රමාණ ආදරයෙන් බව ද ඔහු දැන සිටියේ ය. එබැවින් හැකි තාක් ඔහු උත්සාහ කළේ අම්මා ගේ හිත නො රිදවා ඉන්නටයි. මේ විෂම ලෝකයෙහි, නරකයෙකු වන්නට ඕනෑ තරම් සාධාරණ හේතු තිබියදීත් ඔහු නරක නොවී සිටියේ අම්මා ට එහෙව් ගින්දරක් නො දෙමියි තරයේ අදිටන් කරගෙන සිටි බැවිනි.

ඉතින් අද ඇය මෙසේ හැසිරෙන්නට හේතුව කිම? ඔහු ගේ හිතට ඒ දැනී නො දැනී ගියේ ය.

‘කොහෙ ගිහිංද උඹ ඔය ආවෙ…’

එවර මේධා කාලි මෑණි වේශයකින් විසල් ප්‍රශ්න කරන්නට වූවා ය.

‘අම්මෙ මං… රෙස්ටොරන්ට් එකට ගිහිං…’

‘රෙස්ටොරන්ට් එක තියෙන්නෙ කානිවල් එකක් අස්සෙද…’

පපුව මැද ම බෝම්බය පුපුරා ගියේ ය. යමක් සිදු වී ඇති බව කිසියම් ඉවක් විසින් විසල් ට දන්වා සිටියේ ය.

‘කානිවල්… අ…ක්…’

‘ළමයෙක් වඩාගෙන ගෑනියෙක්ගෙ අතිං අල්ලගෙන උඹ දැන් ටිකකට කලින් කාණිවල් එකක හිටියෙ නැද්ද…’

ඔහු කොට්ට පොර තරගයක සිටිනා සෙයක් විසල් ට දැනිණ. අම්මා ඔහු ට හිස ඔසවාගන්නට බැරි පහරක් එල්ල කොට තිබේ. මහත් අසමතුලිත බවක් ඔහු ට දැනේ. තවත් ප්‍රහාරයකට මුහුණ දිය නො හැකි බවත්, ඔහු බිමට ම පතිත වන බවත් තවදුරටත් දැනෙමින් තිබිණ.

‘කතාකරපං. කාත් එක්කද උඹ ඒ ගියේ… කවුද ඒ ගෑනි… කවුද ඒ ළමය…’

මේධා උගුර යටින් කෑගැසුවා ය. ඇගේ දෑසින් වක්කඩ කැඩුවා සේ කඳුළු පිටාර ගලන්නට විය. ඇගේ ළැම උස පහත් වූයේ කිලෝ මීටර් ගණනක් එක දිගට දිව ගියා මෙනි. ඕ තොමෝ විසල් ගේ දෙ උරහිසින් අල්වා සොලවමින් කෑගැසුවා ය.

‘කතාකරපං. මට කියපං ඒ කවුද කියල. උඹ ළමයෙක් ඉන්න ගෑනියෙක් එක්ක සම්බන්දයක් තියනව කියලද මේ කියන්නෙ…’

ඇයට ඈ පාලනය කරගත හැකි වූයේ නැත. තවත් පහර කිහිපයක් ම ඇය විසල් ට ගැහුවා ය. දෑතින් ම පහර දුන්නා ය. ඇගේ හිස කේ ඇදගත්තා ය. ඇගේ පපුවට ගසාගත්තා ය. මරණයක් සිදු වූවා සේ විලාප තබමින් හඬන්නට වූවා ය.

‘අම්මෙ… කලබල වෙන්න එපා අම්මෙ. මං අම්මට හැමදේම කියන්න තමයි හිටියෙ. ඒත් ඊට කලිං…’

‘ඒ කියන්නෙ ඒක ඇත්ත. ඒ කියන්නෙ උඹට එහෙම සම්බන්දයක් තියනව. ඇයි මට මෙහෙම කළේ… උඹව මං හැදුවෙ රජ පැටියෙක් වගේ නේද… රටේ මිනිස්සු විතරක් නෙවෙයි මගෙ මිනිහ පවා මට හිනාවුණා නේද… උඹව ජීවිතේ උඩම තැනක තියන්න නේද මං දහදුක් වින්දෙ… උඹට කන්න ටිකයි ඉන්න ටිකවත් තියෙන්න ඕන නිසා නේද මං ආයි කසාදයක් බැඳගත්තෙ… එක එකාලගෙ බලු කතා අහ අහ නව නිංගිරා විඳ විඳ මං උඹව මේ තරං ලොකු කළේ මේකටද පුතේ… අනේ ඇයි දෙයියනේ උඹ මට මෙහෙම කළේ… මදුරුවෙක්ටවත් වහන්න නොදී… හීරීමක්වත් වෙන්න නොදී මලක් වගේ මං උඹව හැදුවෙ දවසක මෙහෙම දෙයක් සිද්ද වෙනව දකින්නද…’

මේධා ගේ පපුව රිදෙමින් තිබිණ. හුස්ම ගන්නට බැරිවා වාගේ ඇයට දැනෙමින් තිබිණ. නමුත් ඕ ඒ කිසිත් ගැන නො සිතුවා ය. දැන් ඉතින් ජීවත් වන්නට හේතුවක් ඇතැයි ඇයට නො සිතේ. ඇගේ සියලු කැපකිරීම් ගඟට කැපූ ඉණි සේ අපතේ ගොස් තිබේ. ඉතින් තව දුරටත් ජීවත් වෙන්නට හේතුවක් තිබේ ද?

මේධා දිගට ම හැඬුවා ය. දුක කියවමින් නන් දොඩවමින් හැඬුවා ය. සේනක ගෙදර ඇවිත් කී ඒ කතාවට මුලින් ම ඇය කළේ සමච්චලයෙන් සිනහ වෙන එක යි.

‘මගෙ කොලු පැටියව කවදත් පේන්න බෑනෙ ඔයාට. මං හිතුව දැන්වත් ඌට පාඩුවෙ ඉන්න දෙයි කියල. ඒත් අන්තිමට ජරා පදේකුත් හැදුව ඒ අහිංසකයට. ඔයාට බලං ඉන්න බෑ ඌ අද හොඳට ඉන්න හැටි’

කවදාකවත් නොවූ විරූ ආවේගයකින් ඇය වචන වලින් සේනක ගේ මූණට දමා ගැසුවා ය. සිය ජංගම දුරකතන කාචයෙහි සනිටුහන් කරගනු ලැබූ ඒ සේයාරූ ඔහු ඇයට පෙන්වූයේ ඒ වෙලාවේ ය.

‘බලනව බොරු පදයක්ද කියල. මං ඇස් දෙකෙන් දැක්ක. ජෝඩුව කසාද බැඳපු ජෝඩුවක් වගෙයි හිටියෙ. තමුසෙ දන්නැතුවට මූ කලින්ම ළමයෙකුත් හදල හිටියද දන්නෑ’

ඇගේ ලෝකය ඇගේ පය පාමුල ම කඩාගෙන වැටිණ. වැළහින්නක සේ ඕ තොමෝ දිගට ම හඬමින් වැළපෙමින් සිටියා ය. විසල් අම්මා ගේ දෙපා මුල වැටී ඇගේ පාද පිරිමදිමින් සිටියේ ය. ඈ සමාව දෙනවා නම් ඇගේ පාද ළඟ බිම වැටී කඳුලින් ඒ දෙපා දොවන්නට ඔහු ට පුළුවන. විසල් වඩාත් බිය ගත්තේ ඒ විදිහට හඬා ඇය හදිසියේ ගිලන් වනු ඇති ද කියා ය. ජාන්වී ගැන හඳුන්වාදීමක් එහෙන් මෙහෙන් කෙටියෙන් කරන්නට ඒ අතරේ ම ඔහු උත්සාහ ද කළේ ය. නමුත් ඒ ගැන කිසිවක් අසන්නට හෝ දැනගන්නට ඇයට උවමනා වූයේ නැත. මේධා හැසිරුණේ උමතු ගැහැනියක මෙනි. සැබවින් ඇය උමතු නො වූවා පුදුම ය.

‘මං අම්ම පුතේ. අපා දුක් විඳල උඹව ඔය තැනට ගෙනාපු අම්ම මං. මමයි මේ කියන්නෙ. උඹ ඔය සම්බන්දෙ නතර කරන්න ඕනෙ. මේ දැන්ම නතර කරන්න ඕනෙ. මගෙ ඔළුවෙ අත තියල දිව්රපං. ඔය සම්බන්දෙ මෙතනිං ඉවරයි කියල දිව්රපං’

විසල් ගේ අතක් සිය දෑතින් ගත් මේධා එය ඇගේ හිස මත්තෙහි තබා අභියෝගයක් කළා ය.

‘අම්..ම…’

‘මං අම්මනං මේ ඉල්ලීම ඉෂ්ට කරන්නෝනෙ පුතේ. මට පොරොන්දු වෙන්නෝනෙ’

හදවත් පටක මිරිකී යන වේදනාවක් විසල් ට දැනිණ. ජාන්වී වරින් වර පැවසූ යම් යම් දේ ඔහු ගේ මනසේ ඇඳෙමින් මැකෙමින් ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here