විසල් ගේ පිරිමි හිතෙහි වූ රිදුම් වේදනා කැක්කුම් මත ජාන්වී සිය මව්වත් ප්‍රේමයේ සඳුන් තෙල් ගල්වන්නට සමත් වූවා ය. අවිනිශ්චිත තැන්, සැක සංකා සහිත තැන් දුරු කොට සිතිවිලි නිරවුල් කොට දුන්නා ය. සව්මිය නිදනා යහනෙහි ඔහු තුරුලු කොට මඳ වෙලාවක් වැතිර සිටි විසල්, නික්මෙන්නට පෙර ජාන්වී වැළඳගෙන ටික වෙලාවක් නිසොල්මනේ සිටියේ ය.
‘අපි ප්‍රශ්න වලට මූණ දෙමු. ඔයා මගෙ පැත්තකින් ඉන්නව කියල දැනෙන්න විතරයි ඕනෙ. කොහොමහරි මේ අමාරු ගමන යං’
ඔහු සේවරි සිම්ෆනි වෙත ගොස් අත්‍යවශ්‍ය කටයුතු සැලසුම් කොට ඉක්මනින් ගෙදර ගියේ ය.
සේනක නික්ම ගිය පසු අනගි ගේ දෛනික වැඩ ටික නිමා කළ මේධා යහනේ වැතිරීගත්තා ය. තවමත් ඇය පෙර දා දහවල් ආහාර ගත් ගමන් ය. වතුර උගුරක් හෝ බොන්නට ඇයට හිත් දෙන්නේ නැත. හිටගෙන සිටිනටවත් සිරුරෙහි පණක් නැති සේ දැනේ. ඊටත් වඩා හිත ලෙඩින් ආතුර ය. මුළු ජීවිතය ම අත්හැරී ගියා සේ ඇයට දැනේ. ඇගේ සියල්ල වූයේ පුතු විසල් ය. මුළු ජීවිතය ම කේන්ද්‍ර වී තිබුණේ ඔහු වටා ය. ඉතින් මේ හදිසියේ සිදු වූයේ කුමක් ද? අහසින් පොළොවට වැටුණා සේ ඈ තවමත් කම්පිත ය.
රාජිත සරත්චන්ද්‍ර ට දාව කුස ඔත් දරුවා රැකගන්නට ඇගේ යොවුන් වියේ දී සිදු කරන්නට වූ සටන ගැන සිහිපත් වන විට මේ මොහොතේත් මේධා ගේ සිරුරේ හිරිගඩු නැංවේ. රාජිත සරත්චන්ද්‍ර යනු රට ම දන්නා චරිතයකි. ඔහු රූපවාහිනී නාලිකාවක නිවේදක තනතුරක් හොබවමින් සිටියේ ය. ඒ රුව තරමට හිත නිවූ, හිත සසල කළ වෙනත් රුවක් එදා මෙදාතුර මේධා ට හමු වී නැත. ඔහු මෙහෙයවන හැම වැඩසටහනක් ම ඇය ඇස් පිය නො සලා නැරඹුවා ය. ඔහු කතා කරනුයේ මුණිවරයෙකු සේ සන්සුන්ව ය. ඒ පිළිවෙත් භාවනාවක් සේ ය. ඒ උස, රන්වන් පැහැති ශරීර වර්ණය, ඒ සිනහව ඇය වසඟ කරගෙන තිබිණ. ඔහු ගැන විස්තර හා සේයා රූ පළ වූ හැම පුවත්පත් ලිපියක් ම ඇය එකතු කළා ය. ඒ උමතුව දුරදිග ගිය තැන, පන්ති යන ගමන් පාරේ වන කාසි පෙට්ටි දුරකතන වලින් රාජිත වැඩ කළ රූපවාහිනී නාලිකාවට ඇමතුම් ගෙන කතා කරන්නට තරමට ඈ පෙළඹුණා ය. පුංචි කෙල්ලකට ඒ සියල්ල මහ මෙරක් සදිසි විය. ඈ ඔහු ට මුළු හදවතින් ම ප්‍රේම කරමින් සිටියා ය. රාජිත කළේ ඒ ප්‍රේමය දැන හැඳින එය තවත් තීව්‍ර වන සේ කටයුතු කිරීමයි. ඇය කතා කරනවාට ඔහු රිසි වූයේ ය. තව තවත් ඇය කතා කරන්නට ම පෙළඹෙන සේ ඔහු හැසිරුණේ ය. දවසක් ඈ දකින්නට ඔහු සිය රියෙන් පන්තිය ළඟට පැමිණියේ ය. ඉනික්බිති ඒ ඇසුර නො දැනුවත් ව ම වර්ධනය විය. මේධා ට රාජිත නො දැක සිටිය නො හැකි තරමට ඈ ඔහු වෙත බැඳී සිටියා ය. ප්‍රේමයෙන් ආතුර ව සිටියා ය. මේ ලස්සන පුංචි කෙල්ල ගේ ආදරයට රාජිත ද ලොබ වූ බැව් සහතික ය. ඔහු ගේ විවාහ උත්සවයේ ඡායාරූප පුවත් පත් වල පළ වූයේ මේධා ගේ හීන මාළිගය අහස උසට නැංවී තිබි යුගයකයි. අහස් මාළිගාවෙන් බිමට ම ඕ පතිත වූවා ය. ඒ තුවාල සුළු පටු නොවේ. මරණීය ඒවා ය. ඇය උමතු වූවා ය. වැළහින්නක සේ හඬා වැලපුණා ය. නමුත් තව දුරටත් රාජිත ඉදිරියට ගොස් ආදරයේ අනුකම්පාව යදින්නට තරම් ඈ දුර්වල වූයේ නැත. ඔහු සිය ප්‍රේමය රැවටුවාය යන හදවත් බිඳුම දරුණු වේදනා දැනවූයේ ය. ඒ වේදනාව ඉවසා දරාගත නොහී ජීවිතයෙන් වන්දි ගෙවන්නට නො හැකි වූයේ ඔවුන් ගේ ආදරය සිය කුසෙහි මල් කැකුළක් ව පීදී ඇති බැව් දැනගන්නට ලැබුණු නිසාවෙනි. එදායින් පසු ජීවිතය වඩාත් ම දුෂ්කර විය.
‘අම්මෙ’
ඒ හඬ නැගුණේ කොහෙන්දැයි එක වර මේධා ට නිශ්චිත නොවූ තරමි. ඇය අතීතවත් වර්තමානයත් අතරේ නො දන්නා තැනක සිටියා ය.
‘අම්මෙ’
ඇගේ යහන මත හිඳ විසල් මේධා ගේ උරහිස මතින් අත තබා කතාකළේ ය. ඇය පියවි සිහියට එළඹියේ එවිටයි.
නමුත් ඒ විසල් බව දැනගත්තාට පස්සේ යළිත් ඕ පෙර ඉරියව්වට ම පිළිපන්නා ය. වේදනාව අලුත් විය. ආදරයෙන් රැකගන්නට උත්සාහ කළ, ඇගේ කියා සිතූ සියල්ල ඇයට අහිමි වී ය යන සිතිවිල්ල පපුව හිර කළේ ය.
‘අම්ම කෑවද…’
ඔහු මුදු ලෙස ඇසුවේ ය. මේධා පිළිතුරු දුන්නේ නැත.
‘අම්ම කෑවෙ නෑ නේද…’
‘මට ඕනැති කෑමක් නෑ’
ඇය බර වූ හඬකින් කීවා ය.
‘ඊයෙ රෑටත් කෑවෙ නෑනෙ. මං මේ ශෝට් ඊට්ස් ටිකක් ගෙනාව. කන්නකො අම්මෙ. නැගිටල නංගිටත් දෙන්නකො’
මේධා යහනෙන් නැගී සිටියේ තවත් කිහිප වරක් විසල් විසින් ඇවිටිලි කරනු ලැබීමෙන් අනතුරුව යි.
‘අම්ම මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ…’
බලයෙන් ම වගේ මේධා අතට කෙටි කෑමක් දී විසල් ඔහු ළඟින් හිඳගත්තේ ය. සේනක ගෙදර නො වීම ඔහු ගේ හිතට පහසුවක් දැනවී ය.
‘අම්මත් එක්ක කතාකරන්න ඕන නිසාමයි මං නිවාඩුවක් දාල ආවෙ. මට තේරෙනව අම්මගෙ හිතේ තියන දුක. අම්මට තියන කේන්තිය. ඒ කේන්තිය නිවෙනකල්ම මට ගහන්නකො… මට බණින්නකො. ඒත් අම්ම මාත් එක්ක කතා නොකර ඉන්නෙපා. මගෙයි කියන්න මට මේ ගෙදර වෙන කවුරුත් නෑනෙ අම්මෙ’
මේධා ට අලුතෙන් ඉකිබිඳී හැඬිණි. විසල් ලොකු වූවාට පසු යළි කිසි දාක හඬන්නට සිදු නො වෙතැයි ඇය ඒ කාලේ සිතාගෙන සිටියා ය. නමුත් දෛවය හැමදාමත් කරන්නේ සෙල්ලම් ම ය.
‘අම්මගෙ පැත්තෙන් අම්ම හරි. අම්ම හිතන විදිහ මට තේරෙනව. ඒත් අම්මෙ දෙයක් දිහා බලන්න ඕනෙ එක පැත්තකින් විතරක් නෙවෙයි’
‘කොයි පැත්තෙන් බැලුවත් ඕක ඔයාට ගැලපෙන දෙයක් නෙවෙයි. එයා බැඳල ළමයෙකුත් ඉන්න කෙනෙක්. ඔයාට වැඩිය වැඩිමලුත් ඇති. පිස්සුද ඔයාට… මොන අඩුපාඩුවක් නිසාද ඔයා එහෙම කෙනෙක්ට ලං වෙන්නෙ…’
‘අම්මෙ එයා ඉස්කෝලෙ ගිහිං ඉවර වෙච්ච අලුත ඉක්මනට බැඳල තියෙන්නෙ. බබාට තාම අවුරුදු තුනයි. මට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල් තමයි. ඒත් සම්බන්ධකං ඇතුළෙ මිනිස්සුන්ට ඔයිට වැඩිය ප්‍රශ්න නැද්ද අම්මෙ… නොගැලපීම් නැද්ද… හැමදේම ලස්සනට ගැලපිල බඳින හැම කෙනෙකුගෙම ජීවිත සීයට සීයක් සාර්ථක වෙනවද… අනිත් එක… බැඳල දරුවෙක් එක්ක මොන හේතුවක් නිසා හරි තනි වෙන ගෑනියෙක්ට එතනිං එහාට ජීවිතයක් ගැන හිතන්න අයිතියක් නැද්ද… අම්මත් මං එක්ක තනි වෙලා හිටිය කෙනෙක්නෙ. අංකල් එක්ක අම්ම අලුත් ජීවිතයක් පටං ගත්තෙ… අංකල් මට ලං වුණේ නැති වුණාට අද තව වෙනකලුත් ඔය දෙන්න එකට ඉන්නවනෙ. එක අතකට… ඒ වෙලාවෙ අංකල් අම්මට පිහිටක්නෙ වුණේ. ඉතින් තවත් ගෑනු කෙනෙක් ගැන අපිට මානුෂීයව හිතන්න බැරිද අම්මෙ… මට එයාගෙන් පේන්නෙ මාත් එක්ක තනි වෙලා හිටිය ඔයාව. මට අර චූටි සව්මියගෙං පේන්නෙ මගෙම අතීතය’
කිව යුතු සියල්ල ඔහු අතින් කියවුණැයි සිතා විසල් මඳකට නතර වූයේ ය. මේධා සිය පුතු විනිවිද බැලුවා ය. නොකී කතා දහස් ගණනක් ඇගේ දෑස් රහස් ගබඩාවේ නිදන්ගත ව තිබුණා සේ ය.
‘එයා ආයෙ වෙන කෙනෙක්ව බඳින්න ඕන්නෑ කියල මං කියන්නෑ. එයා ඒකට ගැලපෙන කෙනෙක්ව හොයාගනී. හැබැයි ඔයා ඒකට ගැලපෙන කෙනා නෙවෙයි පුතේ’
‘මට තරං සව්මියව වෙන කාටවත් තේරෙයි කියල මං හිතන්නෑ අම්මෙ’
මේධා කඳුළු අහුරු දෙකක් මිරිකා දැමුවා ය. ඒ අතීතය වර්තමානයේත් සිදු විය යුතු ද කියා ඈ සිතුවේ කම්පාවෙනි. එදා ඒ අවාසනාවන්ත දවසෙන් පස්සේ යළි එක මොහොතකටවත් රාජිත ගේ මුහුණ දකින්නට මේධා ට ඕනෑ වූයේ නැත. නමුත් හැම හුස්මක ම ඔහු ඈ තුළ සිටියේ ය. දිනෙක සිය පුතු රාජිතටත් වැඩිය ලස්සනට බබළන සුපුන් සඳක් කරන්නට මේධා සිහින දුටුවා ය. ඈ තමන් සමග ද ලෝකය සමග ද කළා වූ අරගලය ගැන ඈ හැරෙන්නට වෙනත් කිසිවෙකු දන්නේ නැත. තවත් රාජිත කෙනෙකු මෙලොව බිහි වී සිටිනා බවවත් අද තව වෙනතුරු රාජිත සරත්චන්ද්‍ර නො දනී. ඉඳහිට ගෙදර රූපවාහිනිය සේනක විසින් හෝ විසල් විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙලාවක මේධා ට රාජිත ගේ හඬ ඇසේ. අනපේක්ෂිත ලෙස දුටුවොත් ඕ නෙතු පිය නො සලා ඔහු දෙස බල හිඳින්නී ය. නමුත් හිතා මතා නම් ඒ රුව සෙවීමෙන් වැළකී සිටින්නී ය. තවමත් ඔහු ඉස්සර වාගේ ම කඩවසම් ය. ඒ රත්තරන් පාට රුව එහෙම ම ය. නමුත් දැන් වැඩිපුර වැඩසටහන් මෙහෙයවන්නේ නැති බවත්, නාලිකාවක ප්‍රධානියෙකු ලෙස කටයුතු කරනා බවත් වරක් ඔහු පවසනු ඇයට ඇසිණ.
විසල් රැකියා වියුක්තිකයෙකු ව සිටියදී රාජිත වෙතට ගොස් පුතු වෙනුවෙන් රැකියාවක් පමණක් ඉල්ලා සිටින්නට මේධා ට සිතී නැතුවා නොවේ. නමුත් එදා සේ ම අද ද ඇය ආඩම්බර ගැහැනියකි. එදා සේ ම අද ද ඈ සිය පුතු ගේ ගෞරවය රැකගන්නට වෙහෙස වන ගැහැනියකි.
‘ඔයා නොදන්න දේවල් කප්පරක් මේ අම්මගෙ පපුවෙ නිදන් වෙලා තියෙනව පුතේ. ඒ හැම දේම පපුවෙ වළලල දාල මං වතුර පෝර දැම්මෙ ඔයාට විතරයි. ඔයාව ලස්සනට හදාගන්න විතරයි. අන්තිමට මට ඒකත් නැති වුණා. කොහොමත් කවදත් මං ආදරේ කරපු හැම දේම මට නැතිවෙලා ගිය එක විතරයි වුණේ’
මේධා කතා කළේ බිඳුණු හඬිනි. විසල් ගැන ඇය දනී. ඔහු වචන වෙනස් කරනා කෙනෙකු නොවන බව ද ඇය දනී. ඈ පොළොවේ පස් කෑවත් ඔහු වෙනස් කරගන්නට ඉතින් නො හැකි වනු ඇත. එබැවින් මෙතැනින් නතර වෙන්නට ඇය තීරණය කරගත්තා ය. ඇයට දැන් වෙහෙස ය. වසර ගණනක් අල්වාගෙන උන් ජීවිතය තව දුරටත් වෙර යොදා අල්වාගන්නා හැටියක් ඈ දන්නේ නැත. අත්හැරීම වඩාත් පහසු ය. ඊට පස්සේ ජීවිතය ඊට හිමි තැන හිමිකරගනු ඇතැයි හදවත දැවෙත්දී ඈ සිතුවා ය.
‘මං නැති වෙන්නෙ කොහොමද අම්මෙ… හැමදාම මගෙ අම්ම ඔයාම තමයි. ඔයාගෙ පුතා මං තමයි. නිවී සැනසිල්ලෙ කල්පනා කරන්න අම්මෙ’
විසල් ඇගේ හිස පිරිමදිමින් සිටියේ ය. මේධා දිගට ම අතීතයෙහි සැරුවා ය. විසල් කුසයට වැඩීමෙන් පසු සිදු වූ සියල්ල මුළුමනින් අමතක වී ඇතැයි ඇය මෙතෙක් සිතා සිටින්නට ඇත. නමුත් සිදුව තිබුණේ ඈ ඒ අතීතය පයින් පාගාගෙන සිටීමයි. මේධා දුර්වල වූ මොහොතේ රබර් බෝලයක් දිය මතට එන්නා සේ සියල්ල මතුපිටට පැමිණෙමින් තිබේ!


