හදේ කොතැනක හෝ හිඳී – 33

0
7033

සියල්ල උඩු යටිකුරු වූයේ මේධා ගැබ් ගෙන ඇති බව ගෙදරට සැලවීමෙන් පසුයි. ඇගේ මව පරළ වූවා ය. සහෝදරයා ඊට නො දෙවෙනි විය. ඒ දවස් ටික අඳුරු කඳුළුබර යුගයකි. අම්මා ඇයට ගැසුවා ය. අයියා ඇයව බිම දමා පාගමින් සත්‍යය එළියට ගන්නට වෙහෙසුණේ ය. ඔවුන් ට දැනගන්නට ඕනෑ වූයේ කුස ඔත් කළලයෙහි පීතෘත්වය කාගේ ද කියා ය. මේධා – පුංචි කෙල්ල ඒ රහස සිය හද නිධානයෙන් පිටමං කළේ නැත. රාජිත සරත්චන්ද්‍ර ගැන කටේ කෙළ බිඳුවක් බිම හෙළුවේ නැත.

‘මේකිගෙ තියෙන ඇට්ටරකම. යකෝ ඕක කරපු එකාට කතාකරල තෝව ගෙනියන්න කියන්න ඕනෙ. අප්පෙක් නැති දරුවෙක් හදන්න අපිට බෑ’

අම්මා ට මේධා පේන්නට බැරි විය. දුටු දුටු තැන ඇය කෝපයෙන් දැවුණා ය. තාත්තා ඇගේ මූණවත් නො බැලුවේ ය. අයියා ඇයව දඩාවතේ යන බැල්ලක සේ පිළිකුල් කළේ ය. ඒ ගෙදර ඉන්නා එක දිගට ම කරගෙන යා නො හැකි බැව් මේධා ට දැනෙමින් තිබිණ. නමුත් යන්නට කියා වෙන තැනක් ඇයට වූයේ ද නැත. ප්‍රේමය අදහූ පාපයට ඈ ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුව තිබිණ. නමුත් සිය ආදරය ඇගේ ම කුසයෙහි වැඩෙනවා නේද කියා සිතෙත්දී ඇයට ඕනෑ වූයේ ජීවත් වන්නට ය.

‘ලෑස්ති වෙයං ඕක නැතිකරල දාල එන්න’

එක දවසක අම්මා අළුගෝසු හඬකින් කීවා ය. මේධා කෙතරම් බිය වූයේ ද යත් කෑගසා හඬන්නට වූවා ය.

‘අනේ නිකං උඹ බබා වෙන්නැතුව ඉඳිං. ඇටෙන් පොත්තෙන් එළියට එනකොට දහදුරාකං කරල ඇවිත් අපිට පාරෙ බැහැල යන්න නැති කරන්නද හදන්නෙ… ඔය බඩ ලොකු වෙනකොට මිනිස්සු අහන ඒවට දෙන්න උත්තර අපිට තියනවද… ඉස්සරහටත් මේ ගෙදර ඉන්න ඕනනං ලෑස්ති වෙලා වර’

ඒ අම්මා ද කියා හෝ ඇයට විශ්වාස කළ හැකි වූයේ නැත. මුළු පවුලක් ම සිටියේ එක පැත්තක ය. ඇයට සිය අසරණයා වෙනුවෙන් තනිව සටන් වදින්නට සිදු විය. ඒ ගෙදර කිසිවෙකු ඈ කෙරේ කාරුණික වූයේ නැත. එක අතකට ඔවුන් සියලු දෙනාට තමන් අතින් සිදු ව ඇත්තේ බරපතල වරදක් බව මේධා වටහාගෙන සිටියා ය. නමුත් කිසි ම වරදක් නො කළ නූපන් බිළිඳෙකු ඒ වරදට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු වන්නේ ද? සංසාර ගමනේ එක් භවයක දී අම්මා කියන්නට ඇයව ම තෝරා ගත් බිළිඳු ආත්මය වෙනුවෙන් මේධා තීරණයක් ගත්තා ය. ඒ ගෙදර අතැර යාමටයි.

ඇඳුම් කැබලි දෙක තුනක් මල්ලක දමාගෙන ගෙදරින් පිටමං වූවාට පස්සේ ය ප්‍රශ්නය හහි බැරෑරුම් ම ස්වභාවයෙන් ඈ ඉදිරියට ආවේ. යන්නේ කොහේ ද? නතර වන්නේ කොතැනක ද? දරුවෙකු කුස දරාගත් තරුණ ගැහැනියකට නවාතැන් දෙන්නට කවුරු නම් ඉදිරිපත් වනු ඇති ද? සිටියාටත් වැඩි නරකාදි අපායකට වැටෙන්නට ඇයට නො සිදු වනු ඇති ද?

දුරින් ඥාති වන නිවසක ගෙදර වැඩ කරන්නට ඇයට නතරවිය හැකි විණි. ඊට පෙර ඈ රැකියාවක් කර තිබුණේ නැත. දරුවෙකු කුසට පැමිණ තිබියදී අලුතෙන් රැකියා සෙවීම පහසුත් නැත. ඒ සඳහා අවශ්‍ය මානසික නිරවුල් භාවය ද ඇයට නොවී ය. එබැවින් වැටී සිටින්නට තැනක් හා කුසට අහරක් පමණක් ලැබීම වෙනුවෙන් ඇය ඒ ගෙදර සියලු බැල මෙහෙවර කළා ය. දරු ගැබ මෝරා වැඩී තිබියදීත් නො කඩවා වැඩ කළා ය. පෙරමග තරු ලකුණක් සේ සුබ සිහිනයකට කියා වුව තිබුණේ නූපන් බිළිඳා ගැන අනාගත පැතුම් පමණකි.

කළුබෝවිල රෝහල් ප්‍රසූතිකාගාරයේ දී පුත් කුමරෙකු ගේ මුහුණ දුටු දා ඈ ඔහු තුළින් විසල් අනාගතයක් දුටුවා ය. පුංචි කුමරු ‘විසල්’ යන නමින් අභිෂේක ගැන්වූයේ එබැවිනි. එදා සිට හැම හුස්මක් ගානේ ම ඈ කළේ ඔහු ට ඒ විසල් අනාගතය සොයාදෙනු වස් දිරිය වඩනා එකයි.

සව්මිය නිදි අතරේ ම විසල් නික්ම ගොස් තිබූ නිසාවෙන් සව්මිය ගේ උදේ වරුව ම මළානික විය.

‘තාත්තිත කෝල් එකක් ගමු’

කියමින් ඔහු කිහිප වරක් ම ජාන්වී ට කංකෙඳිරි ගෑවේ ය.

‘තාත්ති අද බිසී බබා. කරදර කරන්න බෑ. එයා එනකල් අපි බලං ඉමුකො’

ඇය ඔහු ගේ හිත වෙනතක යොමු කරවන්නට උත්සාහ කළා ය. සව්මිය සමග සෙල්ලම් කළා ය. ඔහු ට කතන්දර කියාදුන්නා ය. ඔහු සමගින් චිත්‍ර පාට කළා ය. නමුත් සිඟිත්තා ඒ සියල්ලෙන් හිත එක අරමුණක තබාගෙන සිටියේ ටික වෙලාවකට පමණි.

‘තාත්ති…’

කියමින් යළිත් ඔහු පරණ තැනට ම එයි. බැරි ම තැන දී ජාන්වී විසල් ට කතාකළේ හැන්දෑ වූවාට පසුයි. ඒ වන විට ඇගේ හදවත තුළත් ඇයට පාලනය කරගත නො හැකි හිස් කමක් ප්‍රසාරණය වෙමින් තිබිණි.

‘පුළුවංකමක් තියනවනං විතරක් චූටි වෙලාවකට ඇවිත් පුතා බලල යනවද…’

වරදක් නොවන සේ දැනෙනු වස් වචන තෝරා බේරාගන්නට ඇයට පහසු වූයේ නැත.

‘මං මේ එන්න හදන්නෙ’

සැබවින් ම විසල් සිටියේ යතුරු පැදියට නැගෙමිනි. ඔහු ගෙදර සිටියත් මේධා වැඩිපුර කතා බහකට ආවේ නැත. යහනේ වැතිරී කල්පනා කරමින් ම සිටියා ය. අම්මා ගිලන් වේවි ද යන බිය විසල් ට නො දැනුණා නොවේ. ඇය ඉක්මනින් යථා තත්වයට පත් වනු ඇතැයි සිතන්නට ඔහු කැමති වූයේ ය.

විසල් නික්ම ගිය පසු මේධා ඇඳෙන් බැස විත් ඔහු ගිය මග දෙස බැලුවා ය. කඳුළු පැල්ලම් ඇගේ කොපුල් මත වියළී ගොසිනි. මහත් නිස්සාර බවක් ඇගේ ආත්මය අරක් ගෙන තිබිණ. ආපසු හැරෙත්දී අනගි ගේ අවිහිංසක සිනහන පිපී තිබිණි. මේධා වහා ඇය වෙත ගොස් දියණිය වැළඳගත්තා ය. විසල් ද කැටිව සේනක වෙතින් නික්ම යන්නට බැරි ලෙස ඇය මේ ගෙදරට බැඳ දැමූ බන්ධනය අනගි ය. ඇගේ යොවුන් වියේ සුන්දරත්වය ම උකහා ගත් ආබාධිත දැරිය නො වන්නේ නම දැන් ජීවිතය අත්හරින්නට බැරි හේතුවක් නැතැයි මේධා ට සිතේ. ඒ සිතිවිල්ලත් ඇගේ හදවත රිදවයි. පාරවයි.

‘තාත්තී…’

පැති ගේට්ටුව විවර වූ ගමන් සව්මිය විසල් ගේ දෙපා බදාගත්තේ ය. අප්‍රමාණ ස්නේහයකින් යුතු ව ඔහු සිඟිත්තා වඩාගෙන සිපගත්තේ ය. ඊලඟට ජාන්වී ගේ බඳ පිටුපසින් යන්තම් සිය අත තැබුවේ ය. දරන්නට බැරි බර හැඟීමක් ඇගේ ස්ත්‍රී හද මඬලෙහි හිර වෙනු ඇයට දැනිණ.

‘පිච්චි පිච්චි හිටියෙ විසල්’

ඇගේ වචන වලත්, ඒ වචන ඉසිරවූ විලාශයේත්, ඇගේ බැල්මේත්, ඒ මොහොතේ සමස්ථ ඈ වෙතිනුත් විද්‍යමාන වූයේ කෙතරම් නම් අව්‍යාජ අවිහිංසක කමක් ද?

‘මං කිව්වනෙ මුකුත් හිතන්නැතුව ඉන්න කියල’

ඔහු ඇගේ නළල් තලය සිපගත්තේ ය.

‘මං කිව්වනෙ මුකුත් ඉතන්නැතුව ඉන්න කීල’

විසල් කීව ම පුනරුච්චාරණය කළ සව්මිය, පහත් වී විසල් වාගේ ම අම්මා ගේ නළල මත හාදුවක් තැබී ය. එතෙක් හදවත් අතරේ පා වෙවී තිබි අඳුරු වැහි වලා සියල්ල ම ඈතකට ගසාගෙන යන්නට ඇත. විසල් හඬ නගා හිනැහුණු අතර ජාන්වී දෙතොල් තද කරගෙන සිනහ වූවා ය. ඊට මොහොතකට පෙර ඇගේ ළය මඬල මත පැටවී තිබූ කිලෝ ගණනක බර කොහි ද කියාවත් සොයාගත හැකි නො විණි. විසල් ගේ සිනහව නිසා උද්දාමයට පත් සව්මිය, තෙමේ ද හුරතල් ලෙස සිනහ වෙමින් සිටියේ ය.

‘කෑවද ඔයා…’

‘ම්හු’

‘මං හිතුව’

‘අම්ම කාලත් නෑ අප්ප. යනකොට මං අරං ගිය චයිනීස් රෝල් එකක් විතරක් කෑව බල කළාම’

‘කෑම බෙදන්නද…’

‘තේ එකක් බොමු’

‘මේ පැය කීපෙට ගේම පාළු වෙලා ගියා විසල්’

ජාන්වී එසේ මිමිණුවේ විද්‍යුත් කේතලයට වතුර පුරවනා අතරේ ය. ඒ ඇත්ත ඔහු ගෙන් වසන් කරන්නට ඇයට ඕනෑ වූයේ නැත.  විසල් සව්මිය බිමින් තබා පැන්ට්‍රි මේසයට බර වී ඇගේ මුහුණට නැඹුරු වූයේ ය.

‘ඔයා යන්නම ගියොත් ජීවිතේම මොනතරං පාළු වෙලා යයිද කියල හිතුණ’

‘ඇයි ඉතිං මං යන්නෙ’

ඔහු ගේ දෑස් නො වෙනස්ව ඇය වෙතට ම දැල්වීගෙන තිබිණ. ජාන්වී නම් විටින් විට ඉවත බැලුවා ය. කාලයක් තිස්සේ හංගාගෙන උන් සැබෑ ඇය, ඇගේ සැබෑ හැඟීම් මේ වෙලාවේ කිසිදු පාලනයකට අවනත නොවී මතුපිටට විත් තිබිණ.

‘ඕන දෙයක් කරන්න යද්දි ප්‍රශ්න එනව බාධක එනව තමයි. එතකොට ගමන නතරකරල නිකං ඉන්නෙ නෑනෙ. ඒ ප්‍රශ්න විසඳගෙන බාධක අයින් කරල ගමන යනව. අම්ම ලේසියෙන් හිත හදාගන්න එකක් නෑ. ඒත් අම්මට දවසක හිත හදාගන්නම වෙයි. වෙන දේකටනං මං අම්මට එහෙම කරන්න කියල මං ලේසියෙන් කියනෙකකුත් නෑ. ඒත් මේ පැත්තෙ ඉන්නෙ ඔයයි සව්මියයි නිසා මට අම්මට එහෙම කියන්න වෙනව. ලේසියෙන් කරන්න බෑ කියන්නෙ කරන්න බෑම කියන එකට නෙවෙයිනෙ. මහන්සි වුණොත් පුළුවන්. කාලෙත් එක්ක අපිට ඒක කරගන්න පුළුවං වෙයි’

‘දැන්නං ඔයාව නැති කරගන්න බෑ වගේ’

කේතලය පේනුගත කළ ඕ, ඔහු වෙතට විත් පැන්ට්‍රි මේසයට පිට දී හිටගත්තා ය. ඈ එසේ මිමිණුවේ බිම බලාගෙන පොඩි දැරියක සේ ය. දෑත් පපුව මත බැඳගත් විසල් හිස හරවා ඇදෙස බැලුවේ අඩ සිනහවක් එක්කයි. ඇය ඒ සිනහව දෑසින් ම විඳගන්නට වූවා ය.

‘එහෙනං උදේ කිව්වෙ අම්ම වෙනුවෙන් අත්අරින්න කියල…’

‘කිව්ව තමයි. ඒත් ඔයා ගියාට පස්සෙ… ටික ටික කාලෙ ගෙවෙනකොට… කෝල් එකක්වත් නැති වෙනකොට… එන්නැති වෙයිද කියල හිතෙනකොට… පපුව පුපුරයි කියල හිතෙන මොකක්දෝ දෙයක් පිරිලයි තිබුණෙ. බබා වගේම… ඔයා ඕනයි කියල කෑගහල අඬන්න හිතුණ’

 ඈ තදින් වැළඳගන්නට ඔහු හැරුණා විතර ය. සව්මිය දිව විත් ‘තාත්ති නං එන්න’ කියමින් ඔහු ගේ අතකින් අල්වා ඇද්දේ ය. දගකාර බැල්මක් විසල් ගේ මුහුණෙහි විය. ජාන්වී ගේ රතදර මත මලක් සේ සිනහව පිපිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here