හදේ කොතැනක හෝ හිඳී – 35

0
3196

විසල් සමගින් ම පියාට වීඩියෝ ඇමතුමක් ගන්නා ලෙසට ජාන්වී ගේ මව ඇයට දැනුම් දුන්නා ය. සහෝදරයා සමගින් ඇය විසල් සම්බන්ධ සත්‍ය කතාව පවසා තිබිණ. ඔහු සිය දෙමාපියන් සමගින් ඒ ගැන කතාබහ කළේ ය. විසල් කියන්නේ සේවරි සිම්ෆනි හොඳින් පවත්වාගෙන යා හැකි දක්ෂ කළමනාකාරවරයෙකු බව මේ වන විටත් ඔප්පු කොට ඇති හින්දා ඔවුන්ට මේ විවාහයට අකමැති වන්නට හේතුවක් පෙනුණේ නැත. ඔහු වත් පොහොසත්කම් ඇති පවුලක කෙනෙකු නොවන බව ද ජාන්වී අයියා ට පැහැදිලිව කීවා ය. එය එසේ වී ද අවිවාහක උගත් තරුණයෙකු ජාන්වී හා සව්මිය බාරගන්නට කැමැත්තෙන් ඉදිරිපත් වීම ඔවුන් ට විශාල සහනයක් දැනවී ය.
‘මිනිහ සේවරි සිම්ෆනි අයිතිකරගන්න කැමැත්තට තමයි ජානාට කැමතිවෙන්න ඇත්තෙ. නැත්තං ඉතිං උගත් තරුණ කොල්ලෙක්නං ළමයෙක් ඉන්න ගෑනියෙක් බඳින්න කැමතිවෙන්න ඕන නෑනෙ’ 
කිත්සිරි ගේ අදහස එය විය.  ජාන්වී ගේ මව් ගීතානි තුළ වූයේ දෙගිඩියාවකි.
‘චමුපති ජානුව ලං කරගත්තෙත් අපේ දේවල් ගැන දැනං හිටපු නිසා. අන්තිමට මොකද්ද වුණේ… ඊලඟට කරගන්න කසාදෙත් ඒකම වුණොත්… අනේ මන්දා…’ 
‘නංගි කියන විදිහටනං මිනිහ පොඩි එකාට පණ ඇරලලු. සව්මියත් එහෙමලු. නංගිත් විසල්ට කැමතියි’ 
‘ඕවට විරුද්ධ වෙලා තේරුමක් නෑ ගීතා. ඒගොල්ලොන්ගෙ කැමැත්තනං අපි ඒක කරල දෙමු. ජානාව කොහොමත් දැන් කාටහරි බන්දන්න ඕනනෙ. ඒක එයා කැමති කෙනෙක් එක්ක වෙන එක වැඩිය හොඳයි’ 
විසල් සමගින් කතාබහ කරන්නට ඔවුන් තීරණය කළේ ඉනික්බිතියි. එදා සන්ධ්‍යාවේ විසල් පැමිණි විට ජාන්වී විසල්ගේ ද කැමැත්ත මත ඒ වීඩියෝ ඇමතුම ගත්තා ය. රැකියා සම්මුඛ පරීක්ෂණ වලට ගොස් පුරුදු ඇති විසල්, මේ සාකච්ඡාව බලාපොරොත්තු වූයේ ද එසේ ය. ඔහු තුළ යම් ගැස්මක් නො වූවා ම නොවේ. ජාන්වී ගේ පවුලේ සමාජ ආර්ථික තත්වයත් එක්ක පෑහෙන්නට ඔහු සමත් නො වෙතැයි ඔවුන් තීන්දු කළහොත් අර්බුධය වඩාත් සංකීර්ණ වන බව ද ඔහු දනී. නමුත් ඔහු බලාපොරොත්තු වූවාටත් වැඩි මිත්‍රශීලී බවක් ඔවුන් වෙතින් දැකිය හැකි විය.
‘ජානා මගෙන් දෙයක් ඉල්ලුවොත් මං කවදාවත් එයාට බෑ කියල නෑ. මෙතනදිත් එහෙමයි. මං යෝජනාවක් ගෙනත් තිබුණ තමයි. හැබැයි ජානාගෙ කැමැත්ත වෙනුවෙන් මං ඒක අකුලගන්නව. අපිට ඕනෙ එයා සතුටෙන් ඉන්න විතරයි’ 
කිත්සිරි කතාබහට ප්‍රවේශ වූයේ ම එකඟතාවයෙනි. විසල් ගේ හිතේ වූ දෙගිඩියාව ඇසිල්ලකින් තුනී වී ගියේ ය.
‘සේවරි සිම්ෆනි කියන්නෙ මං මහන්සි වෙලා හදපු තැනක්. ඒක මටත් වැඩිය ලස්සනට හදල ගන්න පුතාට පුළුවන්නං ඒකත් අපිට ලොකු හයියක්. නැද්ද ගීතා…’ 
‘ඔව් ඒක ඇත්ත’ 
‘සේවරි සිම්ෆනි විතරක් නෙවෙයි පුතා. අපි ඕගොල්ලොන්ට හැම විදිහකින් ම උදව් කරන්න ලෑස්තියි. අපේ ළමයි සතුටෙන් සැපෙන් ඉන්න එක තමයි අපෙත් සතුට. අනික බිස්නස් කියන්නෙ කවදාවත් එක තැන තියෙන්න ඕන දෙයක් නෙවෙයි. හැමදාම දියුණු වෙන්න ඕන දෙයක්. සල්ලි කියන්නෙ පැටව් ගහන්න ඕන දෙයක්’ 
කිත්සිරි හඬ නගා සිනාසුණේ ය. ජාන්වී ට නම් දැනුණේ මඳ ලැජ්ජාවකි. ඔවුන් ඇයව වෙන්දේසි කරනවා වාගේ හැඟීමක් ඇයට දැනිණ. 
‘අපිට ජීවත් වෙන්න සේවරි සිම්ෆනි ඇති තාත්ත’ 
ඇය හෙමිහිට එසේ මිමිණුවේ එබැවිනි. කිත්සිරි නැවත ද සිනහ විණි.
‘ගෑනු මොනාද බිස්නස් ගැන දන්නෙ පුතා…ඔයාට මං කියල දෙන්නං වැඩ කරන හැටි. තේරුණාද…’ 
‘ඔව් තාත්තෙ’ 
විසල් ගේ මුවින් ඒ තාත්තෙ යන වචනය පිට වූයේ කොහොම ද කියා ඔහු ම දන්නේ නැත. ඒ ඔහු තාත්තා නමින් කෙනෙකු ඇමතූ ප්‍රථම වතාවයි. වචනයත් එක්ක ම දෙතොල් වෙව්ලා ගියේ ය. මහ අමුත්තක් ඔහු ගේ පපුවට දැනිණි.
‘ලංකාව ඇතුළෙ විතරක් බිස්නස් කරල වැඩක් නෑ ළමයො. දැන් අපි ඊට වැඩිය දුරට හිතන්න ඕනෙ. දුරට දකින්න ඕනෙ. ඩුබායි වලත් ගේමක් ගහන්න අපි පුතාට උදව් කරන්නං. තේරුණාද…’ 
හිස සැළුවා මිස විසල් කිසිත් පැවසුවේ නැත. සැබවින් කිසිත් පවසාගන්නට ඔහු ගේ උගුර ලිහිල් ව තිබුණේ ද නැත. හදිසියේ ම ඔහු මේ පතිත වන්නට යන්නේ කොතැනකට ද? ඔහු හිටියේ ඉරුණු එක ම කලිසම වෙනුවෙන් අලුත් කලිසමක් මිල දී ගන්නට මගක් නැතිව ය. තාප්පයකින් ගලවාගෙන මැටි පාත්තරයක සිටුවා තිබූ කාක බෝ පැළය විකුණන්නට ජාන්වී ගේ ගෙදරට පැමිණියාට පස්සේ බොහෝ දේ වෙනස් විය. වෙනස් වෙමින් තිබේ. වෙනස් වීමට ද නියමිත ය. මෙදියත ගනුදෙනු වලින් නිර්මිත වූවකි. සියල්ල විකුණන විකිණෙන සමාජයක අපි ජීවත් වන්නෙමු. නමුත් කාලයක් තිස්සේ ඔහු මාර්ගයක් සොයමින් අත පත ගෑවා නොවේ ද? නිවැරදි මාර්ගය හඳුනාගත් විට සියල්ල තමන් කරා ගලාගෙන ඒම මේ විශ්වයේ රහසයි. ඒ රහස හඳුනාගත් විට දියුණු වීම කඩුළු අතරේ දිවීමක් වාගේ වෙයි.
‘හරි එහෙනං ඔය දෙන්න කතා කරගෙන වෙඩින් එකක් ගන්න පිළිවෙලක් යොදාගන්නකො. අද හෙට ඩිවෝස් එක හම්බවෙයිනෙ… එහෙනං… දෙන්නටම අපෙන් සුබ පැතුම්!’ 
වීඩියෝ ඇමතුම නැවතී කතාබහ නිමා වීමෙන් පසු ද විසල් ට දැනුණේ ඔවුන් ගේ ලෝකයත් ඔහු ගේ ලෝකයත් අතරේ යම් කිසි තැනක ඔහු පා වෙමින් සිටින්නා සේ ය. ඔහු ට කිසිදු අයිතියක් නො තිබූ අලුත් ලෝකයකට අවතීර්ණ වීමට දැන් ඔහු ට හදිසි අවසරයක් ලැබී තිබේ. ඒ ලෝක දෙක අතර වන්නේ කිසි දා යා කළ නො හැකි පරතරයකි. මතක ඇති කාලයක පටන් අම්මා ගේ මන්තරය වී තිබුණේ ඔහු ට හිමි තැන මෙතැන නොවේ ය යන්න යි. එසේ නම් ඈ සිතින් මවාගෙන සිටි ලෝකය අභියස දැන් ඔහු හිඳී. නමුත් අම්මා කියන්නේ ඒ ලෝකයට අයිති වස්තුවක් නොවේ ද? ඔහු ව මේ ලෝකයට ඇරලවන තෙක් ඇය ඔහු ව හයියෙන් අල්ලාගෙන සිටියා ද? දැන් ඇගේ කාර්ය භාරය අවසන් ද? 
විසල් සිටියේ උත්තර නැති ප්‍රශ්න ගොඩක් අතරෙහි පඹ ගාලක පැටලීගෙනයි. මුළු හිත ම තෝන්තුයි වාගේ ඔහු ට දැනේ.
‘ඔයා සතුටෙන්ද විසල්…’ 
කියා ජාන්වී විසල් ගේ හිස කේ අතරහි අතැඟිලි යවමින් විමසුවා ය. ඔහු සිනහවුණේත් අසීරුවෙන් මෙනි. සැබවින් ඔහු සතුටෙන් ද? නැතිනම් ඔහු නො සතුටෙන් ද? ඔහුවත් ඒ බව ඉඳුරා නො දත්තේ ය.
‘තාත්ත කියන ඔක්කොම ඔළුවට ගන්න යන්නෙපා. බිස්නස් කියන්නෙ ජීවිතේම නෙවේනෙ. අපිට ජීවත් වෙන්න සල්ලි තියෙන්න ඕනෙ. සතුට සල්ලි වලට ගන්න බෑ කියල කිව්වට සතුටෙන් ජීවත් වෙන්න ඕනකරන දේවල් ගන්න සල්ලි ඕනෙ. හැම දේකටම වටිනාකමක් තියෙනව. ඒ වුණාට මන්නං හිතන්නෙ ජීවත් වෙන්න සල්ලි තිබුණහම ඇති. සල්ලි හම්බ කරන්නම ජීවත් වෙන්න ගත්තහම… ජීවත් වෙනව කියලත් අමතක වෙන වෙලාවල් එනව. අපේ තාත්තලගෙ අයියලගෙ ජීවිත දිහා බලං ඉල්නකොට සමහර වෙලාවට මට එහෙම හිතෙනව. ඒක නිසා මන්නං හිතන්නෙ… අපිට සතුටෙන් ජීවත් වෙන්න සේවරි සිම්ෆනි හොඳටම ඇති’ 
ජාන්වී හෙමිහිට නැවතිල්ලේ කතා කළා ය. විසල් සිටියේ කල්පනා කරමිනි.
‘අදවත් ඔයා ටිකක් වේලාසන ගෙදර යන්න විසල්. අම්ම හිතයි ඔයා වෙනස් වෙලා කියල. මොන දේ නිසාවත් ඔයාට අම්මව අමතක වෙන්න බෑ’ 
ඇගේ ස්වරයෙහිත් වූයේ මව්වත් බවකි. සව්මිය ගේ වදයෙන් පොරයෙන් බේරී ඔහු ගෙදර ගියේ ය. නමුත් දොර වසා අගුළු ලා තිබිණි. කොහේවත් යන බවක් මේධා විසල් ට කියා තිබුණේ නැත. අම්මා පොළට ගියත් නංගීව අල්ලපු ගෙදර අයට බලන්න කියා යන බව ඔහු දනී. නමුත් අද ගෙදර කිසිවෙකු නොමැති පාට ය.
මේධා අනගි ගේ අතකින් අල්වාගෙන නගරය මැදින් ඇවිද ගියා ය. අනගි ට නො වැටහුණ ද ඇයට සිය ළමා හා යොවුන් වියෙහි ඇතැම් විශේෂ සිදුවීම් ගැන කීවා ය. අනගි අනිත් සාමාන්‍ය දැරියන් වාගේ වී නම් යොවුන් වියේ දී ප්‍රේමයේ මායාකාරී කුණාටුවට හසු වී ජීවිත යාත්‍රාව පෙරළා විනාශ කර නො ගෙන එතෙර වන්නේ කෙසේ දැයි කියාදෙන්නට තිබිණ. යොවුන් වියේදී මේධා සුරූපිනියක වූවා ය. තරුණ පිරිමි ළමයින් කී දෙනෙක් ඇය ගැන බලාපොරොත්තු පෙරදැරිව සිටියෝ ද? නමුත් ඇය සන්සුන් ව ඉගෙනගත්තා ය. විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උපාධිය ලබා අනාගතය ඉහළ තලයකට ගෙන එන්නට ඇය සිහින දකිමින් සිටියා ය. රාජිත සරත්චන්ද්‍ර ගැන ප්‍රේමයෙන් හිත ආතුර වන්නට ගත්තේ උසස් පෙළ සමයේදී ය. සියල්ල වෙනස් වූයේ කෙතරම් ඉක්මනින් ද? සියල්ල වෙනස් වූයේ කොයි තරම් අවාසනාවන්ත ලෙස ද? ඉන් පසුව පවුලෙන් පමණකුදු නොව ඈ දැන සිටි මුළු ලෝකයෙන් ම දුරස් වී වහං වී තනි වෙන්නට සිදු විය. කාටවත් මූණ දෙන්නට ඇයට හැකියාවක් වූයේ නැත. විසල් පමණක් ඇගේ විශ්වය ම කරගත් පුංචි ලෝකයක් තනාගෙන ජීවත් වන්නට ඈ පුරුදු වූවා ය.
අත් බෑගය තුළ වන ජංගම දුරකතනය හැඬවෙන්නට ගති. ජාන්වීගෙන් අලුත් දුරකතනයක් ලැබුණාට පස්සේ විසල් සිය පරණ දුරකතනය මේධා ට දී තිබිණ. නමුත් ඊට ඇමතුමක් ආවේ ඉතා ම කලාතුරකින් නිසා මේධා ට දුරකතනයක අවශ්‍යතාවයක් වූයේත් නැත. ඕ තොමෝ අනගිව පාර අයිනේ නතර කරගෙන ඇමතුමට පිළිතුරු දුන්නා ය. 
‘කොහෙද අම්මෙ ඉන්නෙ… ගෙදර ආව දොරවල් වහලනෙ’ 
විසල් ගේ හඬෙහි ඉසිහින් නො රිස්සුමක් තැවරී තිබිණ. නමුත් මේධා කතාකළේ සන්සුන් ව ය.
‘ඔයා අද වේලාසන එයි කියල මං දන්නෙ නෑනෙ. මං නංගිත් එක්ක ටිකක් එළියට ආව. යතුර පාපිස්ස යට’ 
විසල් ට තනිකමක් දැනිණ. තුනී දුකක් පපුව පුරා ඉහිර ගියේ ය.  යතුර තිබුණාට අම්මා නැති ගෙදර මළ සොහොන් පිටියක් සේ පාළු ය. ඉක්මනින් කලබලයෙන් දිව එන බවක් ඇය කීවේ නැත!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here