විසල් රිය පදවමින් සිටියේ තෘප්තිමත් හදවතක් දරාගෙනයි. ඇතුළාන්තයෙහි වන ඒ තෘප්තිමත් බව ඔහු ගේ මුහුණෙන් ප්‍රතිබිම්බනය වූයේ ය. යතුරු පැදිය සමන් මාවතෙහි දමා ඔහු ජාන්වී ගේ රියෙන් නික්මුණේ සේවරි සිම්ෆනි අලුත් ම ශාඛාව ආරම්භ කිරීමට සුදුසු යයි තොරතුරක් ලැබුණ ස්ථානයක් විමසා බලා එන්නටයි. ජාන්වී ද මේ ගමනට එකතු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූව ද ඇයට සව්මිය සමගින් ඔහු ගේ පෙර පාසලේ උත්සවයකට සහභාගී වීමට තිබූ බැවින් පැමිණිය නො හැකි විය.
විසල් ට දැනෙනුයේ ඔහු රිය පදවනවා නොව අහසෙහි පියාසර කරනවා සේ ය. හදවත මේ තරම් සැහැල්ලුවකට පත් වෙන යුගයක් එළඹෙතැයි ඔහු සිහිනයෙන් හෝ සිතා තිබුණා නොවේ. රථ වාහන ද ගොඩනැගිලි ද වේගයෙන් පසු වෙමින් තිබුණා ට ඔහු දුටුවේ ඒ කිසිත් නොවේ. දිගින් දිගට ම ඔහු ඉදිරියට දිව එමින් හිඳිනා විවිධ වයස් වලට අයිති ව සිටියා වූ ළමා හා නව යොවුන් විසල් ලා ය.
අම්මා විවාහයක් කරගන්නා විට ඔහු වයස අවුරුදු තුන හතරක කුඩා දරුවෙකු ව සිටියේ ය. සාමාන්‍යයෙන් ඒ වයසේ ළමා කාලයක් කෙනෙකුට මතක තිබේ යයි සිතිය හැකි නොවේ. නමුත් විසල් ට ඒ ළමා වියෙහි යම් යම් සිදුවීම් පවා ඉතා තදින් මතකයේ තිබේ. ඒ තරම් තදින් ඒවා සිය ළමා මනසෙහි තැන්පත් වී ඇති බව ඔහු දන්නේ දැන් ය.
අම්මා විවාහ වූයේ බඩ මහත තට්ට මිනිසෙකු සමග ය. ඈ වූ කලී ඉතා පියකරු සියුමැළි තරුණියක ව සිටියා ය. එදා අම්මා සැරසී සිටියේ මනාලියක සැරසෙන ආකාරයේ සාරියකින් නොවේ. ඔවුන් ගේ නිවහන වී තිබි වහළ පහත් වූ ගරාජය හිමිකාර ගෙදර කාන්තාවක මංගල උත්සවයකට හැඳි රෝස පාට සාරියකිනි. අම්මා ගේ මුහුණෙහි වූ සිනහව මළානික බව ඔහු ට මතක ය. වෙනත් ඔහු දැක තිබි මනාළියන් වාගේ ඇය සතුටින් උතුරමින් නො සිටියේ ඇයි?
ඊට පෙර ඔහු නිදාගත්තේ අම්මා අසල ඇයට ගුලි වී ය. නමුත් ඒ විවාහයෙන් පළමු රාත්‍රියේ දී සේනක ගේ ගෙදර වෙන ම කාමරයක නිදන්නට විසල් ට සිදු විය.
‘අනේ එයා මීට කලින් තනියම නිදාගෙන නෑ’
අම්මා අසරණ ලෙස ඔහු ව සිය සිරුර ට ලං කරගෙන පැවසූ හැටි විසල් ට අද ඊයේ මෙන් මතක ය. ඒ වෙලාවේ ඇගේ මුහුණ මත වූ මඳහස, හඬන්නට බැරිකමට නගාගත් එකකි.
‘ඒක මාර කතාවක්නෙ. එතකොට මේ ළමයවත් අර ඇඳටම ගන්නද හිතං ඉන්නෙ…’
සේනක නො රිස්සුම් වූයේ ය.
‘නෑ ඉතිං මෙයා පොඩීනෙ තාම’
‘යස පොඩි. බලාගෙන ඉන්නකොට හෙට අනිද්ද වෙනකොට ඉලන්දාරියෙක් වෙලා ඉඳියි. ළමයින්ට පොඩි කාලෙ ඉඳල තමයි තනියම නිදියන්න පුරුදු කරවන්න ඕනෙ’
සේනක ට පිටින් යන්නට අම්මා ට හෝ තමන්ට කිසිදු හයියක් නොවූ බව විසල් ට මේ දැනුත් සිහි කරගත හැක. ජීවිතයෙහි ගෙවූ බියකරු ම රාත්‍රිය එය වූයේ ය. ඉන් ඉදිරියට ජීවිතය කියන්නේ බියකරු සිහින පිරි රාත්‍රියක් ම විය.
නමුත් ගරාජයක ගෙවූ ජීවිතය ගෙදරකට මාරු වීමේ සතුට ද විසල් ට නොවූවා ම නොවේ. ඔහු ට කුඩා කාමරයක් ද ලැබිණි. හැම නරකක ම හොඳ පැත්තක් ද වන බව ඔහු තේරුම් ගත්තේ ඒ කුඩා සා වියෙහිදී ය.
සේනක නිතර ම සිය ප්‍රතිවාදියා සේ සැලකුවේ තමන්ව යයි දැන් විසල් ට වටහා ගත හැකි ය. එහෙම කරන්නට ඔහු සේනක ට කළ වරදක් ද නැත. ඔහු ගෙදර පේන මානයක ඉන්නවා නම් අඳුරු කාමරය ඇතුළේ හැංගීගෙන ඉන්නට ක්‍රමයෙන් විසල් පුරුදු වූයේ ය. අනගි බිහි වූවාට පස්සේ, ඇය වෙනුවෙන් ගෙනෙනා රස කැවිල්ලකුදු හෙතෙම විසල් ට දුන්නේ නැත. මේධා එවන් ඉල්ලීමක් කළ අවස්ථාවක වුව ‘එයා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ’ කියා කියන්නට ඔහු ට හැකි විය. ඇතැම් විට අම්මා හොරෙන් වාගේ ඔහු අත මිට මොලවන රස කෑමක් වුව ප්‍රතික්ෂේප කරන්නට විසල් පෙළඹුණේ ය. ඒ සේනක උදහස් වී අම්මා සමග රංඩුවක් ඇති කරගනු ඇත යන බියෙනි.
‘මට ඕන්නෑ. නංගිට දෙන්න’
කියා කියන්නට තරම් ඔහු ඒ ජීවිතයට හිත හදාගෙන සිටියේ ය. එතැනදී සිදු වූයේ ඔහු ගේ වයසට අයිති ව තිබූ ළමාකම් අත්හැර දමන්නට විසල් ගේ මනසට බලපෑමක් වූ එකයි. සේනක ගේ මානසික හිංසාවන් අම්මා වෙනුවෙන් ඉවසා දරාගත්ත ද ඒ ගෙදරින් සැඟවී පලා යන්නට පවා ඔහු ට සිතුණ අවස්ථා නැතිවා නොවේ. නමුත් එදා බොන්සායි බෝ පැළය විකුණන්නට යනතුරුත්, ඊට පස්සේ වාඩියේ මේසන් බාස්ලාට කෑම උයන තුරුත්, කෙසේ හෝ අල්ලාගෙන ඉන්නට ඔහු ට දිරිය දුන්නේ මේධා ය. අම්මා නො වන්නට එහෙව් ඉවසිල්ලක් ඉවසාගන්නට විසල් අපොහොසත් වන්නට තිබිණ. ඔහු ට නො සැලකුවාට සේනක අම්මාට නො සැලකුවේ නැති බව ද ලොකු වෙන විට ඔහු ට වැටහෙමින් තිබිණ.
අනිත් අතට අම්මා ට තිබුණ මාහැඟි වස්තුව තමන් බව විසල් ඉඳුරා දැන සිටියේ ය. ඇගේ දෑස් දීප්තිමත් වූයේ ඔහු සම්බන්ධ කටයුතු වලදී ය. ගමේ කොල්ලන් සමග කැලේ පනින්නට හැදූ ළමා වියේ දී කෝටු පහර දී හෝ ඔහු ව පොත පතට යොමු කරගත්තේ ඈ ය. මුළු ශක්තිය ම යොදවා පහේ ශිෂ්‍යත්වයෙන් ඔහු සමත් කරගත්තේ ඇයයි.
‘දැං ඉතිං අනාගතේට යන්න පාර හැදිල තියෙන්නෙ පැටියො’
කියමින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබුණ දා ඔහු වැළඳගෙන.අම්මා කඳුළක් සැලූ හැටි ද විසල් ට අද වාගේ මතක තිබේ.
දවසක සේනක ට වැඩිය හොඳ රැකියාවක් කරනවා ය යන අදහස විසල් ගේ ළමා මනසෙහි තැන්පත් වූයේ ද ඔහු සිය රියදුරු රැකියාව ගැන පෙන්වූ උජාරුව හින්දා ම ය. ඊට පස්සේ වැඩිහිටි ලෝකයට අවතීර්ණ වී රැකියා සොයන්නන්ගේ පෝලිමේ කල් මරත්දී හෙතෙම රියදුරු බලපත්‍රය ලබාගන්නා ලෙස විසල් අතට මුදලක් දුන්නේ ය.
‘ඔය ඔෆිස් ජොබ් හොය හොය ඉඳල හරියන්නෑ. ඩ්‍රයිවින් වැඩක්වත් හොයාගන්න ලයිසක් අරං තියෙන්න ඕනෙ’
අතේ පිච්චියක් හෝ නැතිව ඉබාගාතේ පාවෙනවාට වැඩිය කුමක් හෝ රැකියාවක් සොයාගත යුතුව තිබූ නිසා විසල් ඒ අවස්ථාව ලබාගත්තේ ය. ඔහු ගේ මතක ඉතිහාසයෙහි, කෑම ටික හැරුණු විට සේනක සිය කැමැත්තෙන් විසල් ට දුන්නා නම් ඒ රියදුරු බලපත්‍රය ලැබීමට මුදල් පමණකි.
ලොකු මහත්තයෙකු වීම ගැන සිතිවිලි බීජ විසල් ගේ හිතෙහි වැපිරූයේ මේධා ය. ඔහු ට පසු කාලයක දෑතේ කුළියක් හොයා යන්නට හෝ ඉඩ නොදී ඔහු රැකගෙන සිටියේ ඇයයි. පොඩි ම තැනක ඉඳගෙන, තාත්තා කෙනෙකු ගේ හයියක් නැතිව, ලොකු තැනක් ගැන රහසිගත හීනයක් විසල් ද දකින්නට වූයේ මේධා වැපිරූ බිජුවට පැළවීම නිසා විය යුතු ය. අතේ සතයක් වුව නොමැති වුව ද ඔහු තුළ හිටියේ ආඩම්බරකාර පිරිමියෙකි. ධනවතෙකු වීමේ මාර්ග සොයමින් සිටි ගවේශකයෙකි.
දවසක ඔහු ව ඒ මාර්ගයට කැටිව ගියේ බොන්සායි බෝ පැළයයි. ඉරණම සියල්ල සැලසුම් කොට තිබුණේ ඔහු ට ඒ මාර්ගය සොයා දීම වෙනුවෙන් බව විසල් වඩා පැහැදිලිව දන්නේ දැන් ය. ධනවතෙකු වීමේ පිපාසයකින් ඔහු එදිය සොයමින් සිට තිබේ!
‘ඔයා හැමදාම පුතාටයි මටයි ආදරේ කරගෙන ඉඳීද… එහෙම නැත්තං සල්ලි හොයන පාරෙ දුවනකොට ඔයාට හිතෙයිද ඔයා සව්මියටයි මටයි ආදරේ කරල නෑ කියල…’
පෙර දා සැඳෑවේ ජාන්වී එසේ විමසුවා ය.
‘පිස්සුද ඔයාට…’
ඔහු ට වහා එහෙම විමසිණ. ජාන්වී ගේ ඇස් මත සනිටුහන් ව තිබුණේ සන්සුන් බැල්මකි.
‘මං ඔයාල ළඟ නතර වුණේ සල්ලි වෙනුවෙන් කියලද ඔයා හිතන්නෙ… සව්මිය මගෙ හිතේ ඉන්නෙ කොතනද කියල දවසක ඔයා දකියි’
ඔහු ඒ පැවසුවේ හදවතින් ම ය. සිය හදවත අතින් ගෙන ජාන්වී ට පෙන්විය නො හැකි ය. නමුත් දැන් මේ ඉන්නේ සව්මිය සමගින් ටිකක් සෙල්ලම් කොට යන්නට පැමිණි විසල් සිඳුරංග නොවේ. ඕනෑ තරම් සෙල්ලම් කරන්නට කාලය තිබූ, බත් පැකට් ටික වාඩියට දී විත් හෝරා ගණන් සෙල්ලම් කළ විසල් නොවේ. කවරාකාරයෙන් හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ ව හිඳිනා වගකීම් සහගත විසල් කෙනෙකි. ඔහු ගේ මනසෙහි දහස් ගණන් අලුත් සැලසුම් ඇඳී තිබේ. ඇතැම් විට ඒවා අද ඊයේ ට අදාල ඒවා නොවේ. රැකියා වියුක්තිකයෙකු ලෙස අඳුරු කාමරයේ කබල් ඇඳට වී සිටියදී නිශ්චිත හැඩතල නොමැතිව සිතේ ඇඳෙමින් හා මැකෙමින් තිබූ බලි කුරුටු ය. නමුත් ඒ දින වල.මනස් රූප වල දකිමින් සිටි ඔහු අද මෙලෙස මෝටර් රථයක් පදවමින් හිඳී. ඒ කාලේ මවාගත් ලස්සනට ඇඳුම් කැඩුම් කළ මහත්මා පෙනුමැති විසල් අද මෙතැන හිඳී.
‘අම්ම මට පුදුම විදිහට ආදරෙන් සැලකුව’
කියා ජාන්වී කියත්දී විසල් නිහඬව සිටියේ ය. එදා අම්මා ඇයව ප්‍රතික්ෂේප කළ වෙලාවේ, ඒ ගැටුමට මුහුණ දෙන්නට බැරි වනු ඇතැයි සිතී ඔහු ගේ ඇසින් කඳුළක් ගිළිහිණි. නමුත් ඊට පස්සේ ඔහු අම්මා ගේ කැමැත්ත හඹා යන එක අතැර දැමුවේ ය. දවසක මේධා ජාන්වී ට ආදරයෙන් හිඳිනා හැටි මනසින් දකිමින් ඔහු ගේ රාජකාරිය වෙත වැඩි වැඩියෙන් නැඹුරු වූයේ ය. හඹා යන දේවල් ජීවිතයෙන් ඈතට පලා යන බව ඔහු අත්දැකීමෙන් පසක් කරගෙන තිබූ බැවිනි!
හිතේ හැටියට පිනුම් ගැසිය හැකි පිට්ටනියක් දැන් ඔහු ට හමු වී තිබේ. විසල් ඉදිරියෙහි වන්නේ සිය හැකියාවන් ඔහු ගේ ම දෑසින් දැක බලාගන්නා නො ඉවසිල්ලයි.
සීසීටීවී දර්ශන ඔස්සේ මෝටර් රථය දුටු ගමන් ජාන්වී ගේට්ටුව විවර කළා ය. විසල් ගෙට ගොඩ වූයේ ‘සව්මිය නිදිද’ කියා අසාගෙනයි.
‘ඔයා එනකල් කියල බලං ඉඳල ඉඳල දැන් නින්ද ගියේ’
හෙතෙම ඉක්මන් ගමනින් පියගැට පෙළ නැග කාමරයට ගියේ ය. යහනේ වැතිර සව්මිය තුරුලු කරගෙන මඳ වෙලාවක් නෙතු පියාගෙන සිටියේ ය.
‘තාත්ති ආව මැණික’
කියා සව්මිය ගේ කනට හොට හෙමිහිට මිමිණුවේ ය. ජාන්වී යහන මත හිඳ පහත් වී විසල් ගේ පිටෙහි සිය මුහුණ තද කරගත්තා ය.


