හදේ කොතැනක හෝ හිඳී – 40

0
3510

සව්මිය පෙර පාසලට ඇරලවා ජාන්වි කෙළින් ම පැමිණියේ මේධා ගේ ගෙදරටයි. ඒ වෙලාවේ ජාන්වී දකින්නට මේධා කිසි සේත් බලාපොරොත්තුවෙන්  සිටියේ නැත.

‘ඇයි පුතේ හදිස්සියෙ…’

‘හදිස්සියක් නෑ අනේ. බබාව නර්සරි දැම්මට පස්සෙ ඉතිං පාළුයි. ඒක නිසා මං මේ පැත්තෙ ආව’

‘ඒක මිසක්… මං ඒත් බැලුව ඇයි කියල’

‘යංද පොඩි රවුමක්…’

‘රවුං යන්න… ඒ කොහේද…’

මේධා ගේ මුව මඳහස සුවඳවත්ව පිපිණි.

‘ටිකක් එළියට යං. අම්මල ඉතිං වැඩිපුර ගෙට වෙලාමනෙ ඉන්නෙ’

‘අනේ පුතේ නංගි දාල මට එහෙම යන්න අමාරුයිනෙ’

මේධා ජාන්වී ගේ ඇරයුම ප්‍රතික්ෂේප කළේ විනීත ලෙසයි. සාධාරණ හේතුවක් ඇති බව ප්‍රකාශ වන ලෙසයි. සිය පුතු විසල් ජාන්විලා ගේ ලෝකයට එතෙර කරගත්තාට, මේධා ට යළිත් ඒ ලෝකයට පිවිසීමට අවැසි නැත. ඇය වරක් ඒ   ලෝකයෙන් පිටුවහල් කරනු ලැබූ තැනැත්තියකි. නෙරපා දමනු ලැබූ එකියකි. එදා ඇඳුම් කිහිපයක් මල්ලක දමාගෙන ඒ ලෝකයෙන් පිටමං වූයේ යළිත් ඒ පැත්ත බලන්නේවත් නැතිය යන සිතිවිල්ලෙන් බව මේධා ට මතක තිබේ. අම්මා ගේ යෝජනාවට එකඟ ව එදා කළලය ගබ්සා කරනු ලැබුවේ වී නම් ඇයට තව දුරටත් සුඛ විහරණ සහිත ඒ ලෝකයෙහි රැඳී හිඳින්නට තිබිණ. නමුත් එසේ වී නම් අද විසල් කෙනෙකු නොවේ. හිඟපාඩු නැති ජීවිතයක් ද නැති නම් විසල් ද යන තෝරාගැනීමේ දී ඇය ගත් තීරණය ගැන අද අදටත් මේධා සතුටුදායක ය. කිසිදු පසුතැවීමක් ඇයට නැත. යමක් කමක් ඇති මධ්‍යම පාන්තික පවුලක සාමාජිකයෙකු වී හිඳ, ප්‍රේමයේ නාමයෙන් කුස ඔත් දරුවා වෙනුවෙන් ඇය ඒ පවුල ද ඒ සමාජ මට්ටම ද අත්හැරියා ය. ආයේ කිසි දාක ඒ ගැන ශෝක නො කළා ය. පැමිණුන සියල් දුක් පිරිපත පැණිරසක් සේ ගෙන අම්මා කෙනෙකු ගේ හදවතින් පුත් කුමාරයෙකු උස් මහත් කරගත්තා ය. දැන් ඉතින් ආයේ ඒ ලෝකයට සංක්‍රමණය වීමට කිසිදු උවමනාවක් හෝ ආශාවක් ඇයට නැත.

‘ඉතිං කවුද නංගි දාල යන්නෙ… එයාවත් එක්කගෙනනෙ අපි යන්නෙ. යං යං යං. ලෑස්ති වෙන්නකො ඉක්මනට’

ජාන්වී ගේ පෙරැත්තය තවදුරටත් ප්‍රතික්ෂේප කරන්නට තරම් අහංකාර වීමේ හැකියාවක් මේධා ට වූයේ නැත. එය හරි හදිසියේ සිදු වූවකි. මේධා සූදානම් වන අතරේ ජාන්වී අනගි ව සූදානම් කරගත්තා ය. මේධා ගේ ගැහැනු හදවත අලුත් සතුටකින් පිරෙමින් තිබිණ. යතුර පාපිස්ස යට තබා අනගිව රියෙහි පසුපස අසුනට ගොඩ කොට මේධා ඉදිරි අසුනට නැගෙන්නට හදත්දී ම අසල්වැසි කාන්තාවක පාරෙන් මතුවූවා ය.

‘ලොකු ගමනක් යන්න වගේ…’

මේධා සිනහවක් පෑවා පමණකි.

‘මේ නංගිව කලින් දැකල නෑනෙ’

අසල්වැසි කත ජාන්වී විනිවිද බැලුවා ය. ඇය වෙත වූයේ ඕපාදූප සොයනා උවමනාවක් බව මේධා දනී.

‘පුතා බඳින්න ඉන්න දුව’

‘අම්ම නගින්න’

ජාන්වී මේධාව රියට ගොඩ කොට දොර වැසුවා ය. කාලෙකට පස්සේ මිතුරියක හමු වූ බවට තෘප්තිමත් හැඟීමක් තමන් තුළ පිටාර ගලනු මේධා අත්විඳිමින් සිටියා ය. ගැහැනු කතා, ගැහැනු විහිළු, ගැහැනු සිනා ඔවුන් අතරේ සැහැල්ලුවට සංසරණය විය. ගැහැනු කඳුළු වල සීතල ගැන ද උණුහුම ගැන ද ඔවුන් දෙදෙනා ම එක සේ දැන හැඳින සිටියහ.

ජාන්වී මුලින් ගියේ ඇඳුම් හලකටයි. ඈ ඔවුන් තිදෙනාට ම සිත් සේ ඇඳුම් තේරුවා ය.

‘අනේ බොරුවට සල්ලි වියදං කරන්නෝනෙ නෑ පුතේ. අපිට එච්චර ඇඳුං කොහොමත් ඕනෙ නෑ. කොහේ යන්නද…’

‘යන්නනං ඕනතරං තැන් තියෙයි ඉස්සරහට. ඔයාගෙ පුතාට දැන් ඉතින් ටයිම් නෑනෙ. මට අම්ම එක්ක තමයි රස්තියාදු ගහන්න වෙන්නෙ’

ඇඳුම් ගැනීමෙන් පසු පෙර පාසල නිමාවෙන වෙලාව පැමිණ තිබුණෙන්, එහි ගොස් සව්මිය ද ගෙන නැවත ඔවුහු අවන්හලක්  වෙත ගියහ. එහිදී දිවා ආහාර ගෙන ජාන්වී යළිත් මේධලාව ගෙදර ළඟට ඇරලුවා ය.

‘ආයි මං එනව හොඳේ’

සමුගන්නට පෙර ඈ එසේ කීවා ය.

‘තාත්තම්මටයි නැන්දිටයි උම්ම දෙන්න බබා’

තාත්තම්මා! ජාන්වී ගේ හදවත උණුහුමින් පිරී ගියේ ය. ඈ සව්මිය ගේ සුසිනිඳු කම්මුලක් සිපගත්තා ය. ඒවා ඉස්සර විසල් ගේ කොපුල් වල සුවඳ ම ය!

අලුතෙන් පවුලක් ලැබීම හෝ පවුල තවත් ලොකු වීම වැනි පිරුණු බවක් මේධා ගේ සේ ම ජාන්වී ගේ ද සිත්හි විය. ආසන්න දිනෙකත් ජාන්වී යළි එසේ ඇවිත් මේධා හා අනගි රියෙහි නංවාගෙන රූපලාවන්‍යාගාරයකට ගියා ය. අනගි ගේ කොණ්ඩය ලස්සන විලාසිතාවකට කපන්නට උපදෙස් දුන් ඕ මේධා ට ෆේශල් එකක් කරගන්නා ලෙස කීවා ය.

‘අනේ එපා. මට මොකටද දැන් ෆේශල්…’

‘ඇයි… ඔයා වයසට ගිහින් කියලද හිතන්නෙ… හෙයා ට්‍රීට්මන්ට් එකකුත් කරල කොණ්ඩෙ ටිකක් ට්‍රිම් කරමු’

ඔවුන් දෙදෙනා වෙනුවෙන් ම එක ම රූපලාවන්‍ය සත්කාර කරන්නට නියම විය. මනාලියක් වන දාවත් මේධා ගේ මුහුණට සත්කාරයක් කරනා අවස්ථාවක් ලැබුණේ නැත. උසස් පෙළ කරන කාලෙන් පස්සේ ම හිස කේ වල අග කප්පාදු කළ බවට හෝ මතකයක් ඇයට නැත. කොණ්ඩයට කළ එක ම සත්කාරය පොල් තෙල් ටිකක් දමාගන්නා එක පමණකි. මුහුණට නම් සබන් ටිකක් ගල්වා සෝදන එක පමණකි.

ෆේශල් බෙඩ් එකෙහි සැතපී නෙතු පියා ඉන්නා අතරේ තැන් තැන් වලින් අතීතයේ සිදුවීම් මතක සේ මේධා ගේ සේ ම ජාන්වී ගේ ද මනසෙහි නැගී සිටින්නට විය. ගැහැනියකට සිය ජීවිත කාලය පුරා ඇගේ ගැහැනුකම සමග ම ලොකු යුද්ධයක් කරන්නට සිදු වේ. ගැහැනියක වීම නිසා ම ඈ අභියසට එන අභියෝග මෙතෙකැයි කිව නො හැකි තරමි. ඊට සමාජ මට්ටම හෝ අධ්‍යාපන මට්ටම අදාල ම නැත. ඒ කවර මට්ටමක සිටිය ද ඒ ඒ මට්ටම් වලට සමපාත වන්නා වූ අභියෝග තිබේ.

යාබද යහන් දෙකෙහි සැතපී මුහුණු වලට හා හිස කේ වලට සත්කාර ලබමින් සිටියේ, ජීවිතයත් සමගින් අරගල කොට හෙම්බත් වූ එවන් ගැහැනුන් දෙදෙනෙකි. නමුත් ඔවුන් දෙදෙනා ම පරාජිත වූවන් නොවේ. තමන්ගේ පුතුන් රජුන් කරනු වස් අහිංසක අසරණකම් පාගාගෙන ඉන්ද්‍ර ඛීල සේ නැගී සිටියා වූ ස්ත්‍රී රත්නයන් ය. ජීවිතයේ යම් දවසක සිය නිවන තමන් විසින් ම සොයා ගත යුතු යයි ඔවුන් ට සිතෙමින් තිබෙන්නට ඇත.

රූපලාවන්‍යාගාරයෙන් පිටතට එත්දී මේධා ට දැනුණේ හදිසියේ ම ඈ වසර කිහිපයකින් තරුණ වූවා වාගේ ය. මුහුණට දැනෙමින් තිබුණා වූ නැවුම් ප්‍රබෝධය මුළු සිරුරේ ම රුධිරයට කාන්දු වන්නට විය. ඉස්සර පන්ති යන ගමන් නගරයේ වීදි වල වූ දුරකතන පෙට්ටි වලට කාසි පුරවමින් රාජිත ට ඇමතුම් ගත් නව යෞවනිය ඈ තුළින් සිනහ වන්නට වූවා ය.

‘මොනා නැති වෙලා ගියත් කවුරු දාල ගියත් අපිට අපිව ඉතුරු වෙනවනෙ අම්ම. අන්තිමට තමන්ට තමන් විතරයි කියන්නෙ ඒකනෙ. ඒක නිසා වටේ මිනිස්සු මොනා කළත් අපි අපිට දුක් දීගන්නෙ නැතුව අපිව සතුටෙන් ලස්සනට තියාගන්න බලාගන්න ඕනෙ කියලයි මන්නං හිතන්නෙ. කවුරු නොසැලකුවත් අඩු ගානෙ අපි අපිට සලකගන්න ඕනෙ. එතකොට හිත සතුටෙන්. අපි හිනාවෙලා සතුටෙන් හිටියොත් ලෝකෙත් අපි දිහා සතුටෙන් හිනාවෙලා බලයි. අඬ අඬ හිටියොත් හැමදාම අපිට අඬ අඬාම තමයි ඉන්න වෙන්නෙ’

‘එහෙනං ඉතිං හිනාවෙවී ඉමු’

මේධා එසේ කීවේ ද සිනහවකිනි. කවදටත්, කවර කරදර හා පිරිපත අභියසදීත් ඇගේ මුහුණේ මඳහසක් විය. නමුත් ඒ සිය හඬන හදවත ලෝකයෙන් වසාගනු වස් නගා ගත් එකකි. මේ සිනහව එහෙම නොවේ. හදවතින් ම උපන්නකි.

එන ගමන් ජාන්වී සිය ප්‍රථම විවාහයේ ද්‍රෝහී පිටුපෑම ගැන මේධා සමගින් කීවා ය. විසල් ගේ පියා වෙනුවෙන් සිය හද ගැබ පිරී තිබූ යොවුන් ආදරය ගැන මේධා කීවා ය. කිසි දාක විසල්ට වුව නොකී අතීත කතන්දර, කිසිදු අවිශ්වාසයකින් තොරව ජාන්වී ට කීවා ය. නමුත් රාජිත යනු ප්‍රකට පුද්ගලයෙකු නිසා ඔහු ගේ පෞද්ගලිකත්වය රැකෙනු වස් පුද්ගල නාම සඳහන් කිරීමෙන් වැළකී සිටියා ය.

‘විසල් අදටත් එයාගෙ තාත්ත ගැන අහල නෑ. එයා කවුද කියල දන්නෙත් නෑ. එක අතකට දැනගෙන වැඩකුත් නෑ. එයාගෙ තාත්ත තරුණ කාලෙ හිටිය වගේම පුතත් දැන් ලස්සනයි. ඒ පර්සනැලිටි එක එහෙමමයි. වෙලාවකට එයා ඇවිදින්නෙ කතා කරන්නෙ හිනා වෙන්නෙ පවා එහෙමයි කියල හිතෙනව. සමහර වෙලාවට පුතා බලන බැල්මකට මං අවුරුදු විසි පහක් අතීතෙට විසි වෙලා යනව’

‘එයාගෙ තාත්ත කළා වගේ ඔයාගෙ පුතා මට නොකර හිටියොත් ඇති’

ඔවුන් දෙදෙනා ම සිනහ වූයේ හඬ නගා ය. නමුත් යම් හෙයකින් එහෙම විය නො හැකි ද යන රහසිගත පැනය ද දෙදෙනා තුළ ම නො වූවා කියාත් කිව හැකි ද?

‘තාත්තගෙ වගේම මෙච්චර කැපකිරීමක් කරල තියෙන අම්මගෙ ජානත් එයාගෙ ඇඟේ තියෙනවනෙ. අනිත් එක අර ගිරා පැටව් දෙන්නගෙ කතාවෙ වගේ… හැදුණ තැනනෙ වැඩියෙන් වැදගත්. එයා හැදුණෙ ඔයා වගේ ආදරේ උතුරන හිතක් තියෙන අම්මෙක් ළඟනෙ. ඒ ආදරණීය ගතියි ඔයාගෙ හයිය හිතයි දෙකම එයාට තියෙනව. මං මුලින් හරිම ආස වුණේ එයා අම්මට තියෙන බැඳීම තේරෙද්දි. පළවෙනි සැලරි එකෙන් ඔයාට කරාබු දෙකක් ගන්නෝන කියද්දි… මං හිතුවෙ මගෙ පුතත් දවසක මට එහෙම ආදරේ කරනවනං කියල විතරයි…’

ජාන්වී ගේ හඬ බිඳිණි. මේධා අත දිගුකර ඇගේ හිස පිරිමැද්දා ය.

‘එයා ලස්සනට හැදෙයි. හරිම ආදරණීය අම්මෙකුයි හොඳ තාත්තෙකුයි දෙන්නෙක් එක්කම හැදෙන නිසා’

‘ඇයි හොඳම හොඳ තාත්තම්ම කෙනෙකුත් ඉන්නෙ’

ජාන්වී සිනහ වූයේ කඳුළු අතරිනි. මේධා ඉක්මන් ඇස් පිය සැළුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here