විසල් ගේ හා ජාන්වී ගේ විවාහය සිදු වූයේ චාම් උත්සවයකින්, පවුලේ අය හා සමීපතමයන් ගේ සහභාගිත්වයෙනි. මනාලයෙකු ලෙස ගෙදරින් නික්ම යන දිනය, විසල් එතෙක් සේනක ගේ ගෙදර ජීවත් වූ අවසාන දිනය ලෙස සනිටුහන් වන්නේ ය. ළමා වියෙහි ද යොවුන් හා තුරුණු වියෙහි ද ඔහු ගේ මතක කන්ද සම්පූර්ණයෙන් ම ඒ ගෙදර හා බැඳුණු ඒවා ය. සේනක ගේ හදවතෙහි කිසි දා විසල් කෙනෙකුට පුතෙකු ලෙස ඉඩ නොවිණි ද ඔහු ගේ ගෙදර විසල් ට ඉඩක් වෙන් නොවී තිබුණේ නැත. ඒ කාලේ මේධා ඒ තරමින් ඉවසා දරාගත්තේත් එබැවිනි. කුසට යන්තම් කෑමක් දමාගෙන හෝ පොතක් පාඩම් කර අනාගතයට පාර තනාගන්නට පුතු ට හිසට සෙවණක් තිබෙනා බැවිනි. ඔහු ව සිය දෑස් මානයෙහි තබා හදා වඩාගත හැකි බැවිනි.
‘මොන දහදුකක් විඳගෙන හරි ඉගෙනගනිං කියල මං කියන්නෙ ඕක තමයි. මේ නරාවළෙන් ගොඩ වෙලා ලස්සනට ජීවත් වෙන්න ලස්සන ලෝකයක් හදාගනිං කියල මං කියන්නෙ ඕක තමයි. අන්න එදාට කාගෙංවත් කතන්දරයක් අහගන්න ඕන වෙන්නෙ නෑනෙ’
විසල් ගැන මත බේධයක් ඇති වූ දාක සේනක කෙරේ කෝප ගෙන මේධා කියවූ ඒ වචන ටික මේ මොහොතේත් විසල් ගේ මනස තුළ දෝංකාර දෙමින් ඇසෙන්නට විය. සේනක ට පේන්නට ම වඩා හොඳ ජීවිතයක් හදාගෙන මේ ගෙදරින් පිටමං වෙන්නට විසල් ට ඕන වුණේ ඒ අවස්ථා වලදී ම ය. අනාගතය ගැන හිතනා හැම හිතිවිල්ලක ම සේනක ගේ ගෙදරින් පිටමං වීමේ, ඔහු උපයන මුදලින් කුස පුරවා ගැනීමේ දින ඉක්මනින් ගෙවී අවසන් වෙනවා නම් යන පැතුම දැන හෝ නො දැන විසල් තුළ ක්‍රියාත්මක වූයේ ය.
ඉතින් අද ඒ පැතුම ඉටු වී තිබේ. ඔහු ගෙදරින් පිටතට පිය නගන්නට යන්නේ නිකං ම නොවේ. මනාළයෙකු ලෙස සම්පූර්ණ ඇඳුමෙන් සැරසී ය. මහත්මයෙකු ලෙස හිස කෙළින් තබාගෙන ය. තමන්ගේ ම මෝටර් රථයකිනි. අප්‍රමාණ සිත් වේදනා පරාජයට පත්කොට ඔහු නැගී සිට තිබේ. අතීත වේදනාත්මක මතක මාරයන් සහමුලින් පරාජය වී තිබේ.
‘මාව මෙතනට වෙනකල් අල්ලගෙන ආවෙ ඔයයි අම්මෙ’
විසල් මේධා ගේ දෙපා අල්වා වැන්දේ එහෙම කියමිනි. ඒ වචන කිහිපය කියවෙත්දී ඔහු ගේ අභ්‍යන්තරය මුළුමනින් හිර වෙනවා වාගේ දැනිණ. උගුරෙහි දරුණු දැනිල්ලක් හටගත්තේ ය. දෑස් කෙවෙනි පිළිස්සෙන්නට ගති. මේධා විසල් ගේ දෙ උරහිසින් අල්වා නැගී සිටවූවා ය. ඇගේ දෑස් වල වූයේ බබළන තාරකා යුග්මයක කාන්තියකි. දැඩි වෙහෙසක් දරා දුවගෙන ගිය ගමනක දිනුම් කණුව පසු කළා වන් විජයග්‍රාහී හැඟීමකි. එක කඳුළු බිඳුවක්වත් ඒ දෑස් හි නොවිණි. නමුත් ඕ තොමෝ ආත්මීයව කඳුළු සයුරක පිහිනමින් සිටියා ය. මාර සේනාවක් පරාජය කළ බවට ආඩම්බරයක් විණි ද, සිය දෑස් මානයෙන් ඔහු සදහට ඈත් වෙනවා කියන පෘථග්ජන වේදනා කලාපයෙහි ඈ කරවටක් ගිලී සිටියා ය. නමුත් දෑසින් කඳුළු පිටවූයේ නැත. තවදුරටත් ඇගේ දෑස ට කඳුළු අකැප ද?
මේධා විසල් ගේ පපුවෙහි හෙමිහිට මුහුණ හොවාගත්තා ය. ඇගේ දෑත් පුතු ගේ බඳ වටා යවමින් ඔහු ට තවත් තුරුලු වූවා ය. සංසාර තෘෂ්ණාවක් ඇයට දැනෙමින් තිබිණ. ජීවත් වීම ඇති යයි සිතුණ අතීතයේ එක දවසක, රාජිත ඇගේ ප්‍රේමය මුලා කළා යයි වටහා ගත් මොහොතේ, තවදුරටත් ජීවත් වීමේ තීරණය ගනු ලැබුවේ ඈ ඇහැටවත් දැක නො තිබූ කළලය නිසාවෙනි. ඒ වූ කලී ප්‍රේමයේ උත්කර්ෂයෙහි ප්‍රතිඵලය වූයේ ය. ඇහැටවත් නො දුටු ජීවියෙකුට ආදරය කරනවා කියන්නේ අමුතු දෙයකි. එසේ කළ හැකි ලොව එක ම ජීවියා අම්මා නම් වන්නී ය. අම්මා කෙනෙකු වීමේ පරමානන්දය මේ මොහොතේ මේධා තුන් සිත එකත්පස් කරගෙන විඳිමින් සිටියා ය. විසල් ට කියන්නට කිසිවක් ඇයට නැත. ඔහුගෙන් ඉල්ලා සිටින්නට කිසි ම කිසිවක් දැන් ඇයට නැත. ඔහු සිය මාවත තෝරාගෙන තිබේ. ඒ මාවතෙහි පියාසර කිරීමට තීරණය කොට තිබේ. මෙතෙක් කාලයක් ඔහු ඇගේ අත්තටු සවිමත් කළා ය. රිදෙන තටු පිරිමැද්දා ය. විඩාපත් පියාපත් මත සඳුන් තෙල් ගැල්වූවා ය. ඇගේ දුර්වල තටු සවිමත් කරගෙන ජීවිතයේ සියල් පිරිපත වලින් හැකි තාක් කල් ඔහු ව රැක බලාගත්තා ය. දැන් ඉතින් සිය අහසේ ඔහු රිසි සේ පියාඹා යනු ඇත. ඇය මෙතැන සිට බලා සිටිනු ඇත. දැන් ඇය බලා හිඳීම පමණක් අයිති ප්‍රේක්ෂකයාගේ තත්වයට පත් වී තිබේ.
‘ඔයාගෙ ජීවිතේට කවදාවත් සැපක් කියල දෙයක් දෙන්න මට බැරි වුණා. ඒත් මං පුළුවන් තරං හොඳ ළමයෙක් වගේ ඔයාව හැදුව. මං දන්න හොඳ ගතිගුණ ඔක්කොම ඔයාට කියල දුන්න. මට හයිය තියන තරමට ඔයාට ඉගැන්නුව. ඔයා දැන් ඉතින් ගිහින් ඔයාට ලස්සන සැපවත් ජීවිතයක් හදාගන්න ඕනෙ. ඔයාට හොඳම දේවල් ජීවිතේ පුරාම ලැබෙන්න කියන ප්‍රාර්ථනේ මං මැරෙන මොහොතෙදිත් මගෙ හිතේ තියෙයි. අම්ම ඔයාට හැමදාම ආදරෙයි පැටියො’
ඈ කතා කළේ ඇයට පමණක් ඇසෙනා තරම් හෙමිහිට ය. දිගට ම මේධා ගේ මුවග ඇයට හුරු මන්දස්මිතය විය. හදවත් සාගරයෙහි අතීත රළ පෙරළෙමින් බිඳෙමින් තිබිණි ද විසල් ට වචන පිට කරගත හැකි වූයේ නැත. ඔහු අම්මා ව වැළඳගෙන ඉක්මන් ඇස් පිය සලමින් සිටියේ ය. ඇස් පිය අතරින් ඉඳහිට කඳුළක් ගිළිහී ගියේ ය. දැන් වචනයක් හෝ කතා කරන්නට ගියොත් මෙතැන කඳුළු සයුරක් හෙළන්නට සිදු වන බව ඔහු ඉඳුරා දනී. එබැවින් විසල් ට මේ මුණිවත පහසු විය. නමුත් අම්මා කියන්නේ සිය කශේරුව බව ඔහු ට විශ්වාස ය. අම්මා ගේ සෙවණැල්ල නො වැටෙන ජීවිතයක් ඔහු ට නොමැති බැව් විශ්වාස ය. වචන වලින් යමක් නො කීවත් අම්මා සිටින්නේ හදවතෙහි උඩ ම මළුවෙහි බව ඔහු දන්නේ ය.
විසල් මේධා වෙතින් මිදී මොහොතක් ඇදෙස බලා සිටියේ ය. ඇය සැරසී සිටිනුයේ අගනා සාරියකිනි. එය මනාලියක ගේ සාරියක් වාගේ ය. මේධා ඇගේ මංගල දිනයෙහිත් ඇන්දේ අනුන්ගේ බාල සාරියකි. එබැවින් සිය මංගල දිනයෙහි දී ඔහු ගේ ඇඳුම් පැලඳුම් වලට වෙන් කරනා මුදලට වැඩි මුදලක් අම්මා වෙනුවෙන් වැය කරන්නට විසල් ට ඕන විය. ස්වභාවයෙන් ම ලස්සන ගැහැනියක වන ඇය සිය රූපය වෙනුවෙන් කිසි දා වෙහෙසෙනවා විසල් දැක නැත. නමුත් ඔහු ඇයව මිලාධික ම රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා මේ අවස්ථාව වෙනුවෙන් හැඩ කරවූයේ ය. මනාලිය ජාන්වීටත් වැඩිය අද මේධා ලස්සන බව විසල් දනී. ඔහු ගේ අම්මා ලෝකයේ ලස්සන ම ස්ත්‍රිය කියා සිතන්නට ඔහු කැමති ය.
‘උඹගෙ අම්ම නිළියක් වගේ ලස්සනයිනෙ’
කියා යොවුන් වියෙහි දී පාසල් මිතුරන් හැම දෙගුරු හමුවක් දා ක ම පැවසූ අයුරු විසල් ට මතක ය. එදා ඇය හැඳ සිටියේ ඉතා මිල අඩු ඇඳුමකි. නමුත් දැන් ඈ රැජිනක් ලෙස තබන්නට ඔහු ට පිළිවන.
‘අම්ම අද වෙනදටත් වැඩිය ලස්සනයි’
‘ඔන්න ඉතිං කිව්ව කතාවක්’
මේධා තරමක් ලැජ්ජාශීලී වූවා ය. ඇගේ කොපුල් රතු වී ඒ මොහොතේ ඈ තව තවත් සුන්දර ව පෙනුණි.
‘ඔයාගෙ මනමාලි දිව්‍යාංගනාවක් වගේ පෙනෙයි එහෙනං. පිටත් වෙන්න වෙලාව ළඟයි පුතේ’
මේධා උස් වතුර වීදුරුවට පිරවූ දිය මත සුදු මල් කිහිපයක් පා කළා ය. විසල් සේනක වෙතට ලං වූයේ බිම බලාගෙනයි. මංගල්ලයට අඳින්නට ඔහු වෙනුවෙන් විසල් සම්පූර්ණ ඇඳුම් කට්ටළයක් අලුතෙන් ම මැස්වූයේ ය. පියා නොවූ ඔහු ගේ සෙවණෙහි ගෙවුණු ජීවිත කාලයෙහි සේනක විසල් වෙනුවෙන් ඇඳුම් කීයක් මිල දී ගෙන දෙන්නට ඇති ද? එවැන්නක් විණි නම් කලාතුරකිනි. ඔහු ට අඳින්නට එකක් නැති ම නම් මේධා ඇගේ අතෙහි ගෙදර වියදමට වන මුදලකින් මිල අඩු ඇඳුමක් කලාතුරකින් විසල් වෙනුවෙන් ගත්තා ය. රජයෙන් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දෙන නිසා ඔහු ට පාසල් ජීවිතය පියවාගත හැකි විණි. බොහෝ විට ඔහු ගෙදරට ඇන්දේ එසේ පරණ වී ගිය පාසල් නිල ඇඳුම් ය. සේනක දැනුවත්ව මේධා විසල් වෙනුවෙන් අලුතෙන් ඇඳුමක් මිල දී ගත්තේ වී නම් ඒ සිංහල අවුරුද්දකට ම පමණි. කෙසේ වෙතත් ඒ සේනක වෙනුවෙන් ඇඳුම් කට්ටළයක් මස්වන්නට විසල් සෑහෙන මුදලක් වැය කළේ ය.
‘ගොඩක් ස්තූතියි අංකල් හැම දේකටම. වෙන මොනාට නැතත්… මට අම්ම ළඟ මේ වෙනකල් ජීවත් වෙන්න දුන්නට’
විසල් ගේ වචනත් එක්ක බිම බැලුණේ සේනකටයි. ඒ වචන ඔහු ට එල්ල කරනා ලද කම්මුල් පහරක් සේ ද නො දැනුණා නොවේ. පසුගිය විසි වසරක් පුරාවට සිදු වූ යම් යම් සිදුවීම් සිතුවම් පටක් සේ ඔහු ගේ මනසෙහි ඇඳෙන්නට පටන් ගති. මොන තරම් වෙනස්කම් කළ ද, නො සලකා හැරිය ද, කෙණහෙළිකම් කළ ද මේ කොල්ලා ඔහු දෙස හිස ඔසවා නො බැලූ බව සේනක ට මතක ය. ඔහු ට එරෙහි ව එක වචනයක් හෝ කතා කළේ මෑත දවසක ඔහු මේධා ට පහරක් ගසන්නට උත්සාහ කළ අවස්ථාවේයි. එදා විසල් සිටියේ සේනක ගේ බල පුළුවන්කාරකම් අභියස ඔහු ගේ සපත්තුවට පෑගීගෙනයි. එක් වචනයක් හෝ කතා කළේ වී නම් විසල් ට හිසට සෙවනකුදු අහිමි වන්නට තිබිණි. මේධා ඒ තරමට සේනක ඉවසාගන්නට තිබූ එක ම හේතුව එයයි. ඇගේ අප්‍රමාණ ඉවසීම, විසල් මේ ගෙදරින් නික්ම යන මෙවන් දවසක් වෙනුවෙන් ම වූයේ ය.
කෙසේ වෙතත් අද විසල් සිටින්නේ තමන්ට වැඩිය කෙතරම් උස් තැනකදැයි සේනක ට මේ මොහොතේ වැඩි වැඩියෙන් දැනෙමින් තිබේ. ඔහු විසල් ට සියලු කෙණහිලිකම් කළේ අනුන්ගේ තැනක රියදුරෙකු ලෙස සේවය කරමිනි. නමුත් විසල් ඔහු ගේ ම මෝටර් රථයක් ගෙනැවිත් ගෙදර මිදුලේ නතර කළ දා සේනක පෙර නොවූ ලෙස සසැලී ගියේ ය. දැන් තමන් ඉදිරියේ සිටගෙන සිටිනුයේ ඔහු ට වැඩිය දැවැන්ත වූ පතාක යෝධයෙකු සේ සේනක ට දැනේ. උස් මහත් බඩ මහත සද්දන්තයෙකු වූ හෙතෙම ලොකු නමක් ඇති පොඩි කොල්ලා ඉදිරියෙහි කුරු කුහුඹුවෙකු වූයේ කෙසේ ද?
විසල් ගේ ස්තූතිය වෙනුවෙන් හෝ සේනක ට යමක් පවසාගත හැකි වූයේ නැත. ඔහු ගේ කට කොනක් සැලී ගියා පමණකි. අවසන ඔහු විසල් ගේ උරහිසට යන්තමින් තට්ටුවක් දැමුවේ ය.
ඔවුන් සිව් දෙන හෝටලය වෙතට ගියේ විසල් ගේ මෝටර් රථයෙනි. එහි ඔහු ගේ ඥාතීන් කියන්නට විසල් ට ඉන්නේ මෙපමණකි. මීට අමතරව සිටිනුයේ හිත මිතුරන් කිහිප දෙනෙකු පමණකි. ඉතිරි අය ජාන්වී ගේ පස සමීප ඥාතිවරුන් ය.
විසල් අම්මා ගේ අත අල්වාගෙන උත්සව ශාලාවට ඇතුලු වූයේ ය. ඒ වන තෙක් ජාන්වී ගේ මාපියන් වුව විසල්ගේ පවුලේ කිසිවෙකු දැක තිබුණා නොවේ.
‘මේ තමයි මගෙ අම්ම. මට තියන ලොකු ම වස්තුව’
ඔහු ජාන්වී ගේ දෙමව්පියන් ට මේධාව හඳුන්වා දුන්නේ එසේ ය. සධාතුක කරඬුවක් සේ බැතිබර ගෞරවනීය ආදරයක් එක්ක ය. මේධා ගේ සිනහව ඇගේ යෞවනයේ දී වාගේ නැවුම් ව පිබිදී තිබිණ. විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාව වෙනුවෙන් කෙළවර මේසයක සියල්ල සූදානමින් තිබිණ. විසල් ගේ පසින් සාක්ෂියට අත්සන් තබන්නට ඔහු ගේ මිතුරෙකු සූදානමින් සිටියේ ය. මේසයෙහි අනිත් පස ඔහු ට සම්මුඛව මනාලියගේ පාර්ශවයෙන් සාක්ෂි අත්සන් තැබීමට සිටි තැනැත්තා නෙතු පිය නො සලා මේධා දෙස බලා සිටියේ ය. අහම්බෙන් ඒ මුහුණ දැක ඉවත බලන්නට ගොසින් ඈ නැවතත් නෙතු හැරවූයේ හුරුපුරුදුයි වාගේ දැනුණු නිසාවෙනි. රාජිත සරත්චන්ද්‍ර!


