හදේ කොතැනක හෝ හිඳී – 42

0
2894

රාජිත සරත්චන්ද්‍ර බලා සිටියේ අදහාගත නො හැකිව ය. මේධා සමරවීර යළි කවදා හෝ මේ විදිහට හමු වේවියි සිතිවිල්ලක් හෝ ඔහු ට වූවා නොවේ. සිය ජීවිතයෙන් හදිසියේ ම ඇය මැකී ගියේ කෙසේ ද කියා හෝ සැබවින් ඔහු දැන සිටියේ නැත. නමුත් කාලයකට පස්සේ වල්ගා තරුවක් විලසින් හදිසියේ ම ඈ සිය දෙනෙත් ඉදිරියෙහි පහළ වී තිබේ!

මේධා අවංකව ම ඔහු ට පෙම් කළ බැව් රාජිත ඉඳුරා දැන සිටියේ ය. ඒ කාලේ ඔහු ගැන ප්‍රේමයෙන් පසු වූ තරුණියන් හා බාලිකාවන් සංඛ්‍යාවෙහි නිමක් නැත. රාජිත සේවය කළ රූපවාහිනී නාලිකාවට දිනපතා ඔහු නමින් ලිපි මිටියක් පැමිණියේ ය. දුරකතන ඇමතුම් සිය ගණනක් පැමිණියේ ය. ඒ අය අතර වූ තරුණියන්ගෙන් වැඩි දෙනෙක් ඔහු ගැන ප්‍රේමයෙන් පසු වූහ. මේධා ද එවැන්නියකි. රූපවාහිනී නාලිකාවට එන ලියුම් මිටිය අතරින් ඔහු හැම විට ම එක් ලියුමක් මුලින් ම සෙව්වේ ය. ඒ මේධා ගේ ලියුමයි. ලස්සන මුතු අකුරෙන්, විචිත්‍ර ලියුම් කවර වල බහා ඈ එවනා ලියුම ඔහු ට විශේෂිත විය. කාර්යාලීය දුරකතනයට ඇගෙන් පැමිණෙන ඇමතුම ද විශේෂිත වූයේ ය. ඇයට තිබුණේ අවිහිංසක හා සෞම්‍ය වූ මිහිරි හඩකි. එහි විශේෂිත මාත්‍රාවකින් ආදරය මුහු වී තිබිණි. ඒ හුරතල් හඬ අසා හිඳීම ඔහු ගේ වගකීම් සහගත අවිවේකී ජීවිතයෙහි තෘප්තිමත් ම මොහොත විය. ටික කාලයක් දුරකතනය හා ලිපි ඔස්සේ හමු වූ ඇයව හැබහින් දැකීමට තරම් ඔහු තුළ ආශාවක් ඇති වූයේ ඇය පෙන්වූ ආදරය එපමණට ම හිතට දැනුණා වූ බැවිනි. ඒ ප්‍රේමය උන්මාදයක් විය. ඔහු ඒ උන්මාදයට කැමති ද වූයේ ය. ඇගේ ප්‍රේමය ඔහු ගේ පිරිමි හදවත මත නැවුම් කුසුම් පුබුදුවාලන හිරු එළිය විය. නමුත් ඒ වන විට ද රාජිත විවාහ වීමට තරුණියක තෝරාගෙන සිටියේ ය. ඈ වූ කලී එවකට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ බුද්ධි කළුපහන ගේ දියණිය දීපිකා කළුපහන ය. බුද්ධි කළුපහන ට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ තිබූ ගෞරවාදරය සිය ගමන පහසු කරනා හිණිමගක් බවට පත් කරගනු වස් රාජිත දීපිකාව සිය අනාගත සහකාරිය ලෙස තෝරාගනු ලැබ තිබිණ. ඒ අතරේ ඔහු ගේ හිත ගිය තරුණියන් කිහිප දෙනෙක් ම සිටියහ. මේධා ඔවුන් අතර අග්‍රස්ථානයෙහි වූවා ය.

මේධා නිසාවෙන් රාජිත ප්‍රේමයෙහි චමත්කාරය හිතේ හැටියට විඳගත්තේ ය. ඇගේ කුළුඳුල් ප්‍රේමයෙහි වූ අව්‍යාජ බව ඔහු මැනවින් දැන හැඳින සිටියේ ය. ඔහු අහිමි වූවොත් ඈ දිවි තොර කරගනු ඇත කියා පවා ඔහු සිතා සිටියේ ය. නමුත් ඒ වෙනුවෙන් කළ හැකි යමක් නො විණි. දීපිකා අත්හැර ඔහු ට මේධා විවාහ කරගත නො හැකි ය. දීපිකා ට වැඩියෙන් මේධා හදවතට දැනෙනා මුත්, මේධා ට ගෙන යා නො හැකි තැනකට ක්ෂේත්‍රයෙහි ඔහු කැටිව යන්නට දීපිකා ට පිළිවන. ඇගේ පියා මෙතෙක් හරිහම්බ කරගෙන ඇති කීර්ති නාමය ඔහු ට ඉහළට නැගෙන්නට හිණිමගක් වනු ඇත. සමාජයෙහි හා ක්ෂේත්‍රයෙහි ඔහු ට වන පිළිගැනීම ඉහළ නැංවීමට ඒ විවාහය හේතු කාරණා වෙනවාට සැක නැත. එබැවින් හැකි තරම් කාලයක් මේධා ඇසුරු කරන්නට ඔහු සිතා සිටියේ ය. ඇතැම් විට මේධා තුළ ඔහු ට වන උන්මාදනීය ප්‍රේමයේ නාමයෙන්, විවාහයෙන් පසුවත් ඈ සිය අනියම් බිරිඳ ලෙස ඇසුරු කරන්නට හැකි වනු ඇතැයි ඔහු සිතා සිටියේ ය. ඒ තරමට ඇය ඔහු ට පෙම් කළා ය. ඒ තරමට ඇයට ඔහු නැතිව බැරි විය. ඒ තරමට ඔහු ඇගේ ජීවිතය විය. දීපිකා සමග විවාහ වෙන්නට සිදු වීම ගැන මේධා ට කියන්නට බොරු නිදහසට කාරණා ද ඈ සනසවා යළිත් හිත රවටා ගත හැකි ආකාරය ද ගැනත් ඔහු කල් ඇතිව ම සිතා තිබුණේ ය. මේධා නිසැක වශයෙන් ඔහු ගේ වචන අන්ධ ලෙස විශ්වාස කරනා බව ද ඔහු  සක් සුදක් සේ විශ්වාස කළේ ය.

නමුත් විවාහය හා මධුසමය අවසාන වී යළිත් සාමාන්‍ය ජීවිතයට එළඹ බලන විට ඈ හමු වූයේ නැත. ලියුම් ගොඩවල් පීරා බැලී ද මේධා ගේ අත් අකුරු මාත්‍රයක් එහි නොවිණි. ඈ කතා කරන තුරු ඔහු කාලයක් තිස්සේ ම යටි හිතේ පැතුමකින් බලා සිටිය ද ඒ සිතිවිල්ල යථාර්ථයක් බවට පත් වූයේ නැත. ඇයට කුමක් වී දැයි ඔහු ට සොයා දැන ගත හැකි මාර්ගයක් නොවිණි. ඊට පස්සේ වෘත්තීය ජීවිතයෙහි අප්‍රමාණ තරඟකාරීත්වයන්, කාර්ය බහුල වීම් හා ඉහළට ම ගමන් කිරීමේ අභිලාෂයන් අතරෙහි ටික ටික මේධා හිතේ කොනකට වී ය. නමුත් ඇය ගැන මතකය කිසි දා මුළුමනින් අමතක වී ගියා නොවේ!

ඇය යළි මෙහෙම තැනක දී නෙතු ගැටීමත් දෛවයේ පුදුමාකාර සරදමකි!!

දීපිකා කළුපහන වූ කලී බුද්ධි කළුපහන ගේ බාල දියණිය වූවා ය. රාජිත ගේ විවාහයෙන් වසර කිහිපයක් ගත වන විට බුද්ධි කළුපහන හෘදයාබාධයක් මත ජීවිතක්ෂයට පත් වූයේ ය. ගීතානි කළුපහන වනාහි දීපිකා ගේ වැඩිමහල් සොයුරියයි. ගීතානි ගේ දියණිය ජාන්වී ගේ දෙවන විවාහයේ දී සාක්ෂි අත්සන් කිරීමට පැමිණෙන ලෙස මස්සිනා කිත්සිරිගෙන් ඇරයුමක් ලැබිණි. ජාන්වී ගේ අත ගන්නා තරුණයා මේධා සමරවීර ගේ පුතු වීම දෛවයේ කෙබඳු තීරණයක් ද?

රාජිත ට මේධා සමගින් කතා බහ කරන්නට අවස්ථාව උදා වූයේ විවාහ ලියාපදිංචියෙන් පසුවයි. ඒ වෙලාවේ ඇය අනගි සමගින් හුදෙකලා මේසයක අසුන් ගෙන සිටියා ය. ඇගේ සැමියා වන සේනක පෙනෙන්නට හිටියේ නැත. රාජිත කෙලින් ම විත් මේධා අභියස අසුනක හිඳගත්තේ ය.

‘මට තාමත් හිතාගන්න බෑ… මේ ඔයා කියල…’

මේධා දසන් නො පෙනෙන සිනහවක් පෑවා ය. ඒ සිනහවේ වූයේ අහංකාරයකි. ඇගේ යොවුන් වියේදීත් ඒ ආඩම්බරය වූ බව රාජිත ට මතක ය.

‘ඇයි… මං ජීවිතේ නැති කරගෙන ඇති කියල හිතුවද…’

සිනහ වෙවී බෝම්බ වලින් දමා ගැසිය හැකි ගැහැනුන්ට ම බව රාජිත දැන සිටියේ ය. ඔහු ට ඇගෙන් නෙතු මුදා ගත නො හැකි වූ තරමි. ඇගේ රුව තවමත් එදා වාගේ ම ය. තාරුණ්‍යය ද වයසට සාපේක්ෂව වෙනස් වී නැත. දෑසේ කාන්තිය එහෙම ම ය. ඈ හා සේනක එක ළඟ සිටින අවස්ථාවේ රාජිත ඔවුන් දෙස ම බලා සිටියේ ය. මේධා වන් රූමත් ගැහැනියක සේනක වන් රූපකායක් ඇති පිරිමියෙකු හා විවාහ වූයේ මන්දැයි ඔහු ට සිතාගත නො හැකි ය. ඇතැම් විට සේනක ධනවත් ව්‍යාපාරිකයෙකු වන්නට ඇතැයි ඔහු නිගමනයකට ද එළඹ සිටියේ ය.

‘මං කොච්චර ඔයාව හෙව්වද…’

නැවතත් ඇය අර අඩ සිනහව පෑවා ය. රාජිත ට අපහසුතාවයක් නො දැනුණා ම නොවේ.

‘මොකටද…’

ඊට දෙන්නට පිළිතුරක් ද ඔහු ට සිහි වූවා නොවේ.

‘ඔයා ඒ දවස්වලමයි මැරි කරල තියෙන්නෙ. විසල් පුතා හම්බවෙලා තියෙන්නෙ අපි වෙන් වෙලා අවුරුද්දකින් වගේ’

මේධා මුණිවත රැක්කා ය. ඔහු රිසි පරිදි සිතාගන්නට හැර නිහඬ වූවා ය. නමුත් රාජිත ට එසේ නිහඬ වන්නට හැකි වූයේ නැත.

‘විසල් ඔයා ආසාවෙන් හිටිය වගේ පුතෙක්’

මේධා දසන් දෙපෙළ තද කරගත්තා ය. ඒ ඔහුගෙන් ලැබෙනවාට ඈ කැමැත්තෙන් සිටි පුතනුවන් යයි කියන්නට ඇයට ඕනෑ වුණේ ම නැත. රාජිත ඉදිරියෙහි ඇය හැසිරුණේ විසල් වූ කලී සේනක ගේ පුතෙකු වාගේ ය. පසුවට කවරක් සිදු වී ද මේ මොහොතෙහි ඇයට ඒ සාඩම්බර ගැහැනිය ජීවත් කළ යුතු ම විය. මතු කිසි දාක විසල් ඔහු ගේ පුතු යයි නො කියන්නට ද ඇය සිත දැඩි කරගෙන සිටියා ය. ඔහු කළ පාපී ද්‍රෝහීවීමට දිය හැකි ලොකු ම දඬුවම එයයි. විසල් වාගේ රත්තරං රූපයක් සිය ශරීරයේ ම කොටසක් නිසා ජනිත වූ පුතෙකු බව නො දැනගැනීම ම ඔහු ලබන දඬුවමක් නො වන්නේ ද?

‘අම්ම අපේ රාජිත බාප්පව කලින් ඉඳන් දන්නවද…’

කියා අසාගෙන ජාන්වී ඔවුන් වෙත පැමිණි එක මේධා ට සැනසිල්ලක් විය. නමුත් ඒ ප්‍රශ්නයට දිය යුතු පිළිතරක් ගැන සිතාගන්නට ඈ අපොහොසත් වූවා ය.

‘මේධා පොඩි කෙල්ල කාලෙ අපේ මීඩියා කෝස් එකකට ජොයින් වෙලා ඉඳල තියෙනව’

රාජිත අවස්ථාවේ හැටියට බොරුවක් කීවේ ය. එවර ද මේධා ගේ මුවග සිනහවකට ඇද විය. බොරු කියනා එක රාජිත ලා ගේ ජීවිත වල කලාවක් බව ඈ වටහා ගත්තේ ඒ කාලයේ ම ය.

ඇගේ හදවතෙහි දරුණු යුද්ධයක් කෙරෙමින් පැවතිණ. නමුත් ගැඹුරු දියක මතුපිට සේ මේධා නිශ්චල ව සිටියා ය. කිසි දෙයක් නො සිදු වූවා සේ සිනහ වීගෙන සිටියා ය. ඇයත් එක්ක නැවතූ තැනින් අරඹා කතා කිරීමේ ලොකු උවමනාවක් රාජිත ට තිබිණ. අඩු තරමින් ඇයට නො කියා ම විවාහ වීමට හේතු සාධාරණීකරණය කිරීමට හෝ අවශ්‍යතාවයක් විය. ඇයව මුලා කිරීමෙන් නො දැනුණු පසුතැවීමක්, දැන් ඇය මෙහෙම රැජිණක් සේ හිස ඔසවාගෙන හිඳිනු දකිත්දී ඔහු ට දැනේ.

ඉනික්බිති එදා දවස පුරා ම මේධා රාජිත ව මගහැරියා ය. ඔහු ගේ දෑස් ඈ ලුහුබඳිමින් තිබිණ. නමුත් ඕ තොමෝ දිගින් දිගට ම ඔහු වෙතින් පලා ගියා ය. පෙර කිසි දා නොවූ විරූ ලෙස සේනක ට ඇඟෑළුම් පෑවා ය. ඔහු සමග විවාහ වීමේදී ඈ කළ එක ම ඉල්ලීමට සේනක විසින් එකඟතාවය ලබා දීම ගැන හදවතින් සිය දහස් වතාවක් ඔහු ට ස්තූතිවන්ත වූවා ය. විසල් ට ඔහු ගේ වාසගම ලබා දීම ඒ ඉල්ලීමයි. වසර විස්සක් පුරා ඔහු විසල් ට සිදු කරනා ලද සියලු අකටයුතුකම් වලින් සේනක නිදොස් කොට නිදහස් කරන්නට දැන් ඇය සූදානම් ය. රාජිත ට කිසි දා විසල් ගේ පීතෘත්වය ගැන දැනුවත් වීමට ඉඩ නො දීමේ දණ්ඩනය පමුණුවන්නට ඇගේ හිත දැඩි ය.

දිවා ආහාරයෙන් මඳ වෙලාවකට පසු ඒ සරල විවාහ සැමරුම නිමාවට පත් කරන්නට සැලසුම් කොට තිබීම ගැන මේධා විසල් ට හදවතින් ස්තූතිවන්ත වූවා ය. ඇයට උවමනා වී තිබුණේ ඉක්මනින් එතැනින් පැන දුවන්නටයි. රාජිත ගේ දෙනෙත් සීමාවෙන් දුරින් දුරට යන්නටයි.  කෙතරම්  හිත දැඩි කරගෙන සිටියේ ද යත් ඇය පුරුදු සිනහවෙන් සියල්ලන්ගෙන් සමු ගත්තේ ඒ සිනහව ම රාජිත ට ද දෙමිනි. කිසිදු වෙනසක් නැත. කිසිදු විශේෂත්වයක් නැත. රාජිත බලා සිටියේ හීන මානයක් රැඳි දෑසකිනි.

‘මගෙ කොලු පැටියව මං වගේම ඔයත් බලාගන්නව කියල මං දන්නව පුතේ’

මේධා ජාන්වී වැළඳගෙන කීවා ය. ඕ විසල් ගේ දෙකොපුල් මලක් සේ සිපගත්තා ය. කඳුළක් නො සලා ම ගොස්, විසල් ඔවුන්ට ගෙදර යාම සඳහා සූදානම් කොට තිබූ රියට ගොඩ වූවා ය.

ඇස් දෙකෙන් කඳුළු වැටෙන්නට ගත්තේ රිය ගමන් කරන්නට පටන් ගත්තා ට පස්සේ ය. විටෙක ඇයට ඉකිබිඳී හැඬිණි. අත වූ ටිෂූ කැබැල්ල පෙඟී ගියායින් පසු සාරි පටින් ඕ කඳුළු වල තෙත හින්දා ය. සේනක වරින් වර පසුපස අසුන දෙස හැරී බැලුවේ ය. ඔහු හා විවාහ වීමෙන් පසු මේධා මේ තරමට හැඬූ දෙ දිනකි. එකක් විසල් ජාන්වී හා සව්මිය සමගින් කානිවල් එකේ සිටි පින්තූර සේනක විසින් ඇයට පෙන්වන ලද දිනයයි. අනෙක විසල් විවාහ වූ අද දිනයයි.

‘ළමයි ඉතිං කවද හිටියත් බඳින්න ඕනනෙ. අම්මලගෙ තුරුල්ලෙම තියාගන්න බෑනෙ’

ඔහු කීවේ අනුකම්පාවෙනි. මීට පෙර විසල් ගැන මේධා කම්පා වනු දකිත්දී දැනුණා වූ කෝපය දැන් ඔහු ට නො දැනේ. ඒ වෙනුවට විසල් තවදුරටත් ගෙදර සාමාජිකයෙකු නොවීම ගැන හීන් කාන්සියක් ඔහු ට දැනේ. මේධා හැඬුවේ විසල් ව මේධා ට හා සව්මිය ට පවරා දී හිස් අතින් එන්නට සිදු වූ වේදනාව හින්දාම ද? අතීතයට අයිති කඳුලුත් ඒ අතරේ නො වූවායි කිව හැක්කේ කාට ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here