විසල් ගේ උදෑසන කිරි තේ මග් එකත් ගෙන ජාන්වී මතු මහළේ කාමරයට පිවිසියා ය. එතකොටත් ඔහු සව්මිය තුරුලු කරගෙන නින්දේ ය. ජාන්වී තේ එක පසෙක තබා යහන මත හිඳ ඔවුන් දෙදෙනා දෙස මොහොතක් බලා සිටියා ය. ඇගේ මාතෘ හදවත ස්නේහයෙන් පිරීතිරී යන්නට විය. විසල් පසෙකින් වැතිරගත් ඕ ඔහු ගේ හිස කේ අතරෙහි අතැඟිලි යවමින් එහිස පිරිමදින්නට වූවා ය. ඊලඟට ඔහු ගේ කොපුලක් මත පහත් වී සිපගත්තා ය. ඊටත් පස්සේ ඒ අත් බාහුව මත මුහුණ තියාගෙන නෙතු පියා ඔහු වැලඳ සිටියා ය. විසල් දෑස් විවර නොකර ම අත ඈ වටා යවා ජාන්වී ව සිය පපුව මත්තට ගත්තේ ය.
‘හොරා. මං හිතුවෙ නිදි කියල’
මඳ වෙලාවක් ඇය ඒ සුවැති පපුතුර නෙතු පියාගෙන ම සිටියා ය. ආදරය මේ තරම් උණුහුම් ව දැනෙනවා නම් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් වුව සංසාරේ ඔහු ම පතන් ඉපදෙන්නට හැකිවා නොවේ ද?
‘විසල්…’
‘ම්…’
‘අංකල් ඔයාටත් මෙහෙම ආදරේ කළානං… ඔයාගෙ අම්මත් එයාට මං වගේ ආදරේ කරන්න තිබුණ නේද…’
විසල් එකවර පිළිතුරක් දුන්නේ නැත. සැබවින් එකවර පිළිතුරක් ඔහු ගේ හිතට ආවේත් නැත. හෙතෙම දෑස් පියාගෙන ම මොහොතක් ඒ ප්‍රකාශය ගැන සිතුවේ ය.
‘ඒ කියන්නෙ… මං සව්මියට ආදරේ නිසාද ඔයා මට ආදරේ කළේ…’
‘ඔයා සව්මියට ආදරේ නොකළනං මටත් ඔයාට ආදරේ වෙන්න හේතුවක් නොහැදෙන්න තිබුණ. අම්ම කෙනෙක්ගෙ හිත එහෙමයි විසල්. දරුවෙක් වෙනුවෙන් එයාලට මොනාද විඳ දරාගන්න බැරි… මොනාද දෙන්න බැරි… මොනාද අත්අරින්න බැරි…’
උදේ පාන්දර ම හිතට බරැති හැඟීමක් ගොඩ වූවා සේ විසල් ට දැනෙන්නට ගති. ඔහු ජාන්වී ගේ හිස මුදු ලෙස පිරිමැද්දේ ය. ඇය ඒ පහස තව තවත් අපේක්ෂාවෙන් හා පැටවෙකු සේ ගුලි වී සිටියා ය.
‘ඔයා හිතනවද මං දවසක සව්මියට ආදරේ නැති වෙයි… මං වෙනස් වෙයි කියල…’
‘ම්හු. මං දන්නෑ’
‘දන්නෑ කිව්වෙ…’
‘ඉස්සරහට මොනා වෙයිද කොහොම වෙයිද කියල අනාවැකි කියන්න මං දන්නෑ. ඒත් එහෙම නොවෙනවනං… හැමදාම මේ ආදරේ මෙහෙමම තියනවනං… මීටත් වැඩිය වැඩි වෙනවනං මං කැමතියි. හැබැයි අනාගතේ ගැන නොහිතා මේ මොහොත මේ විදිහට විඳගන්න එක වැඩිය හොඳයි කියල මං හිතනව’
‘අම්ම කියන්නෙ මගෙ ජීවිතේ. ඔයයි සව්මියයි ඒ ජීවිතේ සතුට. හැබැයි මට ගොඩක් වැඩ කරන්න තියනව. ඕගොල්ලො හැමෝම වෙනුවෙන් හොඳ අනාගතයක් හදන්න තියෙනව. එතනදි ටිකක් ඕගොල්ලොංව මිස් වෙන්න පුළුවන්. ඔයා ඒක තේරුං අරගන්න ඕනෙ. දැං ඉතිං මේ පටං ගත්ත ගමන අතරමග නතර වෙන්න බෑ’
ජාන්වී තවත් ටික වෙලාවක් නිහඬව සිටියා ය. නමුත් මේ වෙලාවේ කිව යුතු ම යමක් ඇයට තිබිණි.
‘සව්මියට ඔයාව ඕනෙ. එයාට ඔයාව මිස් වෙන්න දෙන්නෙපා. ඉඩක් ලැබුණ ගමන් දුවල ගිහිං අම්මව බලල එන්න. එයාට ඔයා නොදැක ඉන්න බෑ’
‘එතකොට ඔයාට…’
‘මං අර ඔයා කිව්ව විදිහට… තේරු ගන්න බලන්නං’
ඇරඹුමේ දී ම ඇය ඒ අවබෝධය ලැබීමේ බලාපොරොත්තුවෙන් හදවත සූදානම් කරගෙන සිටියා ය.
සව්මිය ව පෙර පාසලට දැමීමෙන් පසු ජාන්වී එහෙම ම මේධා ගේ ගෙදරට ගොඩවෙන එක පුරුද්දක් කරගත්තා ය. පෙර පාසල නිමා වන වෙලාව වෙන තෙක් එක්කෝ ඔවුන් දෙදෙනා තේ කෝප්ප දෙකක් පමණ හිස් කරමින් කතා බහේ යෙදී සිටිති. නැතහොත් ජාන්වී ගේ උවමනා එපාකම් මත පිටතට යති. ඒ කවරක් වී ද ඔවුන් දෙදෙනා සිටිනුයේ සතුටෙනි. සිනහවෙන් සම වයස් මිතුරියන් දෙදෙනෙකු මෙනි. ජාන්වී ගේ මේ හැසිරීම නිසා විසල් ව ගෙදරට අහිමි වූ බවක් මේධා ට නො දැනෙන තරම් විය. ඒ වෙනුවට ඇයට අලුතෙන් දුවක ලැබී තිබේ. අලුත් මිතුරියක ලැබී තිබේ.
ජාන්වී විවාහ උත්සවයෙන් පසු රාජිත ට පෙර සේ සිටිත නො හැකි විණි. ඔහු ම නො දන්නා පුදුම නො සන්සුන්කමක් තුළ ඔහු කරවටක් ගිලී සිටියේ ය. පිටතින් සියල්ල සාමාන්‍ය ලෙස සිදු වූවාට යම් කිසි අමුත්තක් වූ බව ඔහු ගේ සිරුරේ සෑම සෛලයකට ම දැනෙන්නට පටන්ගෙන තිබේ. නො දන්නේ නිශ්චිත වශයෙන් ඒ කුමක් ද කියා ය. විසල් ගැන දැනුණා වූ හුරු පුරුදුකම කුමක් ද කියා ඔහු දස අතේ සිතුවේ ය. අවසන, මනාල යුවළ සමගින් සිය ජංගම දුරකතන කැමරාවෙන් ගනු ලැබූ සේයා රූ කිහිපය මුල සිට අගටත් අග සිට මුලටත් බලන්නට වූයේ ය. ඔහු ව හමු වූයේ ප්‍රථම වතාවට බව ස්ථිර ය. නමුත් මීට පෙර කොහේ කොතැනක දී හෝ ඔහු ගැන හුරුවක් ඇතිවා සේ දැනෙන්නේ ඇයි? ඔහු ඒ සේයා රූ වල විසල් ගේ රුව වඩාත් ලොකු කොට බැලුවේ ය. සෙසු සියලු දෙනා ඉවත් වන සේ විසල් ව පමණක් දුරකතන තිරය මතට ගෙන බලා සිටින්නට වූයේ ය. විසල් ගේ ඇතැම් ඉරියව් වලින් ඔහු ට සිය තුරුණු අවධිය ඉස්මතු වී පෙනෙන්නේ කෙසේ ද? සජීවී බව උතුරනා ඔහු ගේ සිනහව තුළ තමන්ව දියවී ගොස් අතීතයෙන් යළි උපත ලබන්නේ කෙසේ ද?
දින කිහිපයක් මේ අවිනිශ්චිත බවෙහි කරක් ගැසීම තුළ හෙතෙම උමතු වෙමින් සිටියේ ය. ඒ වූ කලී වචන දහස් ගණනකින්වත් විස්තර කළ නො හැකි නො සන්සුන් බවකි. සේනක ගේ පසෙකින්වත් විසල් තැබිය නො හැකි ය. නමුත් ඔහු ට තිබෙන්නේ අම්මා ගේ රුව යයි නො සිතිය හැකි ද? විසල් වූ කලී මේධා ගේ දෙවන විවාහයේ දරුවෙකු බව රාජිත දීපිකා වෙතින් දැනගත්තේ ඔය අතරේ ය. ඔහු ගේ හදවත තුළ පරමාණු බෝම්බයක් පිපිරී ගියේ ය!
මේධා ට කතා කරන්නට, ඈ හමුවන්නට ඔහු තුළින් නැගී ආ උවමනාව මැඩ පවත්වාගන්නා එක ඒ තරම් පහසු වූයේ නැත. නමුත් ඔහු ඇයට සමීප වන්නේ කෙසේ ද? එදා කාලෙකට පස්සේ හමු වූ දා ඈ ඔහු ට කිසිදු බුරුලක් නො දුන්නා ය. ඈ හැසිරුණේ කෙතරම් අහංකාර ලීලාවකින් ද? එක දවසක් හෝ පෙමින් වෙළී ඔහු ළඟින් හිටි හැටි ඇත්තට ම ඇයට අමතක ද? මේධා ඒ තරමින් වෙනස් වූයේ කෙසේ ද? කතා කළ හැකි දුරකතන අංකයක් හෝ ඉල්ලාගත නො හැකි වූයේ ඔහු කෙරේ ඈ පෙන්වූ නො සලකා හැරීම නිසා ය.
දීපිකා විවාහ කරගත් බව දැන ගැනීමෙන් පසු මේධා ඔහු සේවය කළ රූපවාහිනී නාලිකාව අසලට විත් දිවි නසාගනු ඇතැයි භීතියක් එකල ඔහු තුළ විය. එහෙම හිටි ඇය මේ විදිහට වෙනස් වූයේ කොහොම ද?
‘ජානා ඔයාගෙ මදර් ඉන් ලෝ මේධාව කන්ටැක් කරගන්න පුළුවන් නම්බර් එකක් මට දෙන්නකො’
කියා දවසක් ඉතා සාමාන්‍ය ලෙස ජාන්වී අමතමින් ඉල්ලා සිටියේ අසාමාන්‍ය ලෙස කැළඹුණු මිනිසෙකි. ඔවුන් අතරේ තිබුණා කියූ අතීත මිත්‍රත්වයේ නාමයෙන් ජාන්වී කිසිදු පැකිළීමකින් තොරව රාජිත ගේ ඉල්ලීම ඉෂ්ට කළා ය. එසැනෙන් ඔහු ජාන්වී ට ඇමතුමක් ගත්තේ ය.
මේධා ට ඇමතුම් දෙන අංක තුනක් දුරකතනයේ අංක ගබඩාවෙහි වේ. ඒ විසල් ගේ, ජාන්වී ගේ හා සේනක ගේ දුරකතන අංකයි. විසල් දවසකට එක් වරක් හෝ මේධා ට ඇමතුමක් දෙයි. ජාන්වී නම් දිනකට හත් අට වතාවක්වත් ඈ අමතයි. හැන්දෑවට ගෙදර එන ගමන් ‘මොනාහරි ගේන්න ඕනද’ කියා අසනු වස් ඊයේ පෙරේදා සිට සේනක කතා කරන්නට පටන් ගත්තේ ය. ඒ හැම ඇමතුමක් ම එන්නේ ඔවුන් ගේ නමිනි. නමුත් මේ නමක් නොමැතිව අමතනා දුරකතන අංකය දෙස මේධා මඳ වෙලාවක් බලාගෙන සිටියා ය.
‘කාටහරි වැරදිල ගන්නවද කොහෙද’ කියා මුමුණමින් ඒ ඇමතුම නො සලකා හරින්නට හැදුව ද, ‘කතා කරල බලනව’ යි තනිව මුමුණමින් යළිදු ඕ ඒ ඇමතුම හා සම්බන්ධ වූවා ය.
‘හෙලෝ’
රාජිත ට ඒ හඬ ඇසුණේ අතීතයෙනි. ඉස්සර ම ඉස්සර ඔය හඬ බලාපොරොත්තුවෙන් ම දුරකතනයේ රිසීවරය එසවූ දවස් ඔහු ගේ මතක පුරාණයෙහි වේ. තවමත් මේධා ගේ සියුමැළි හඬ නො වෙනස් ය.
‘හෙලෝ…’
ප්‍රතිචාරයක් නොමැති තැන ඇය තරමක් උච්ච ස්වරයෙන් මතුලා ය.
‘මං නංගි’
දෙපා පාමුල ම විදාරණයක් වී ඈ කෑලි කෑලි වලට බිඳී විසුණු වී ගියා සේ මේධා ට දැනිණ. කොහොම අමතක කරන්න ද? ඔහු ඒ ‘නංගි’ කී ආකාරයේ, එදා ඇගේ ගැහැනු හද ගැබ විනිවිදියා වූ තිගැස්ම, මතක තිගැස්මක් වී යළිදු දැනුණේ ය.
‘ර…රාජිතයිය…’
‘ඔයා එහෙනං තාම මගෙ වොයිස් එක අඳුරනව’
හදවත් පටක පෙරළෙනු, බිඳෙනු, නාය යනු, මේධා අසිහියෙන් සේ බලා සිටියා ය. ඇගේ දෙතොල් පට වෙව්ලමින් තිබිණ. කුමක් දැයි නො දන්නා රශ්මියක් ඇගේ ශරීරය උණුහුමකට ලක් කොට තිබිණ. සිරුරෙන් ගිනි පිට වෙන උණුහුමකි එය. යමක් කිව යුතු වී ද තොල් වෙව්ළුවා පමණකි. දෙපා අවසඟව බිම ඇද වැටේවියි බියක් දැනී ඕ අසුනකට වැටුණා ය.
‘ඉතිං… කොහොමද…’
මොනවා කියන්න ද? කොහොම ය කියා කියන්න ද? හදවත වේගයෙන් ස්ඵන්දනය වෙමින් තිබෙනා බව ද ඈ ඉක්මනින් හුස්ම ගන්නා බව ද මේධා අත්වින්දා ය. ඒ නුහුරු වූවක් නොවේ. ඉස්සර ම ඉස්සර පන්ති යන ගමන් පාරේ වන කාසි පෙට්ටියකට කාසි දමා ඔහු ‘හෙලෝ’ කියනා තෙක් සිටියදීත් හදවත ගැහුණේ ඔහොම ය. හුස්ම වැටුණේත් ඔහොම ය. ඒ කියන්නේ කිසිවක් කිසි දාක වෙනස් වුණේ නැති ද?

