හදේ කොතැනක හෝ හිඳී – 47

0
294

ජාන්වී සමගින් මේධා රෝහලට යන විට රාජිතගේ සැත්කමෙන් අනතුරුව හෝරා කිහිපයක් දැඩි සත්කාර ඒකකයෙහි ද තබාගෙන නැවත ගිලන් කුටිය වෙතට මාරු කොට තිබිණි. මේ බව දැනගත හැකි වූයේ රාජිත ගේ බිරිඳ දීපිකා ගෙනි.

‘මේක දැනගත්ත වෙලේ හොස්පිට්ල් එකට දුවල ආපු ගමං. මං දුවට එන්නෙපා කිව්ව එයා ප්‍රෙග්නන්ට් නිසා. අනේ ඔයා ආපු එක හොඳයි ජානා…’

ජානකීව වැළඳගෙන මඳ වෙලාවක් හැඬූ දීපිකා කඳුළු පිසිමින් පැවසුවා ය. මේධා ඇය දෙස බලා සිටියේ නෙතු පිය නො සලමිනි. ඈ පෙම් කළ රාජිත ගේ නීත්‍යානුකූල පතිණිය දීපිකා ය. මේධා ගේ ප්‍රේමය මන්දර පව්ව සේ වුණත් ඈ ඉදිරියෙහි එය පයට පෑගෙන දුහුවිල්ලක් තරමටවත් නො වටින්නේ නොවේ ද? ලෝකය දකින්නේ දීපිකාව ය. ලෝකය කතාකරන්නේ ඈ ගැන ය. දිවි හිමියෙන් පෙම් කළත් මේධා වූ කලී කවුරුන්වත් නොවේ. ආත්මය ම ඔහු ට පවරා දී, සුජාත නොවූ දරුවෙකු සමගින් ලෝකයෙහි තනි වූ අනියම් ගැහැනියක පමණි. ඒ වූ කලී කෙතරම් හද දවනා වූ වේදනාවක් ද?

‘ඇයි පුංචි මොකද්ද කෙරෙන්න ඕනෙ…’

‘මේක දැනගත්ත ගමං මං මේ හොස්පිට්ල් එකට දුවං ආපු ගමං. දැන් ඉතින් මට බාප්ප ළඟ නතරවෙන්න වෙනවනෙ ජානා’

‘ඔව් පුංචි’

‘මං ගෙදරට දුවල ඕනකරන දේවලුත් අරගෙන දවස් කීපයක් ඉන්න ලෑස්ති වෙලා එන්නං. බාප්පට දැන් සිහිය තියනව. හැබැයි නින්ද යයිනෙ. මං එනකල් ඔයා මෙතන ඉන්නවද…’

‘මං ඉන්නං පුංචි. විසල්ගෙ අම්මත් ඉන්නවනෙ. පුංචි ගිහිං වැඩ ටික කරගෙන එන්න’

ජාන්වී වහා දීපිකා ට එකඟ වූයේ රාජිත සමගින් කතා කරන්නට මේධා ට අවස්ථාවක් ලබා දෙන්නට හැකි වීම ගැන සැනසීමෙනි. මේ වෙලාවේ ඇයට උවමනා වූයේ එපමණකි. මේධා ගේ හදවතේ පිරී ඇති ප්‍රේමයත් ගින්දරත් යන දෙක ම ඇයට හොඳින් වටහාගත හැකි ය. නමුත් ජාන්වී ගේ හිත ඇතුළේත් යුද්ධයක් විය. ඇය උදේ සව්මිය ව පෙර පාසලට ඇරලූ ගමන් ය. නමුත් දීපිකා කොයි වෙලාවක යළි රෝහලට පැමිණෙනු ඇති දැයි සිතාගත නො හැකි ය. විසල් ට සව්මිය ව ගන්නට කීවොත් මේ සියල්ල ඔහු සමගින් පවසන්නට සිදු වේ. ඒවා කෙසේ වුවත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය ම දෙය මේධා ට රාජිත සමගින් කතා කිරීමේ අවස්ථාවක් සලසා දීමයි. දීපිකා ට මේ වෙලාවේ ම ගෙදර යන්නට උවමනා වූයේත් මේධා වෙනුවෙන් දෛවය ඒ මොහොත සැලසුම් කොට දුන් නිසා විය හැකැයි සිතන්නට ජාන්වී කැමති වූවා ය.

රාජිත සිටියේ නින්දත් නො නින්දත් අතරේයි. නිදිමත ඇති වීම සඳහා එන්නත් කොට තිබූ ඖෂධ නිසා ම දැඩි සත්කාර ඒකකයෙහි සිටි හෝරා කිහිපය ඔහු පූර්ණ නින්දකට වැටී සිටියේ ය. ඉක්මනින් ඔහු යථා තත්වයට පත් වෙමින් සිටි නිසා ම ය දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කිරීමට වෛද්‍ය නියමය ලැබුණේ.

‘රාජිතයිය…’

ඒ ඇමතුමත් එක්ක ම මේධා ගේ හඬ බිඳී ගියේ ය. රාජිත ව මේ ආකාරයෙන් දකින්නට ඇයට කිසි දා ඕන වුණේ නැත. ඔහු විසින් මුලා කළ බව දැන ගත් ඉතාමත් ළාබාල මේධා වුව දවසකට හෝ ඔහු ට වෛර කළා නොවේ. හදවත පත්ලෙහි ප්‍රේමය නිදන් කරගෙන ඈ ඔහුගෙන් ගව් ගණනක් ඈතකට වූවා පමණකි. එසේ කළේ යළි කිසි දාක ඔහු ට ලං වෙන්නට බැරි බව ඉඳුරා දැනගෙන ය. ලං වෙනවා නම් ඒ ලෝක සම්මතයට එරෙහිව අසම්මත පෙම්වතියක සේ බව ඉඳුරා දැනගෙන ය. ඔහු ගේ ජීවිතයෙහි එක ම ගැහැනිය වෙන පැතුමෙන් සිටි මේධා ට ඔහු ගේ අන්තඃපුරයෙහි පරවාර ස්ත්‍රියක වනු තබා අග බිසව වීමට හෝ ඕනෑ නො විණි. නමුත් ඈ රැවටූ, මුලා කළ, ඇගේ ප්‍රේමයට ද්‍රොහී වූ චපල පෙම්වතාට ඇය සිහිනයෙන් හෝ ශාප කළේ නැත. ඔහු ට අවැඩක් වන්නට පැතුවේ නැත. ඔහුගෙන් වසැංගී සිය ඉදිරි ජීවිතය ගත කළා වී ද මාධ්‍ය ඔස්සේ අහම්බෙන් හෝ ඔහු ගේ සාර්ථකත්වය ගැන තොරතුරක් දැනගන්නා වෙලාවක හදවතින් ම සතුටු වූවා ය. රහසින් ආශීර්වාද කළා ය.

ආයේ කිසි දවසක ඔහු සිය දෑස් ඉදිරියට නෑවිත් ම සිටියා නම් මේධා ට මේ සන්තාපය ද සිය හදවතට සීමා කරගෙන රහසේ කඳුළක් හෙළා නිහඬ වීමට තිබිණි. නමුත් මේ හදිසි ආරංචිය ගැන පුවත සවන් පත් ගමන් ඇයට උහුලා ගත නො හැකි වූයේ, සිය පුත් විසල් ගැන ඔහු හාරමින් පාරමින් ප්‍රශ්න කළ වෙලාවේත් ඇය රැකගත් දැඩි ප්‍රතිපත්තිය නිසාවෙනි. මහත් වරදකාර හැඟීමක් ඇගේ බොටුවෙන් අල්වා මිරිකාගෙන සිටියේ ය. ඔහු ට මේ ලෝකයේ කොතැනක හෝ ඔහු ගේ ලෙයින් සුජාත පුත්‍රයෙකු සිටින බව දැනගැනීමේ අයිතිය අහිමි කොට ඈ ආනන්තරීය පාපකර්මයක් කළා සේ දැනිණ. විසල් ගැන නො දැන ම ඔහු මිය ගියහොත්! තවත් එක දවසක් හෝ ඇයට ජීවත් වන්නට සිදු වන්නේ හද දවනා ගින්දරකින් නොවේ ද? මියෙනාතුරුත් ඒ පශ්චත්තාපයෙන් ගැලවිය හැකි වනු ඇත්ද?

නින්දත් නො නින්දත් අතරේ, පියවි සිහියත් අවසිහියත් අතරේ කිසියම් තැනක පා වෙමින් සිටි රාජිත සරත්චන්ද්‍ර, ඒ ‘රාජිතයියා’ යන ඇමතීමෙන් තිගැස්සී මේ මොහොතට අවතීර්ණ වූයේ ය. නමුත් ඒ හඬ ඇසුණේ අතීතයෙනි. ඒ විදිහට ඔහු ට රාජිතයියා කියා ඇමතූ කිසි ම කිසිවෙකු මෙලොව වෙන නැත. ඒ විදිහේ ආදරයක් තිබුණේ මේධා සමරවීර ගේ හඬ තානයෙහි පමණකි. රාජිත වහා නෙතු විවර කළේ ය. ඒ සිහිනයක් හෝ මායාවක් නොවේ. සැබවින් ම ඇය ඔහු අස සිටියා ය.

‘අනේ මොකද්ද දෙයියනේ මේ කරගත්තෙ…’

සොරොව් බිඳුණා සේ මේධා ගේ නෙත් විල් දෝරෙ ගලා යන්නට විය. රාජිත සිය අතැඟිලි සෙලවූයේ ඇයට ඒවා අල්වාගන්නයි පවසන්නට මෙනි. මේධා දෝතින් ම ඒ අතක් අල්වාගෙන ගිලන් යහන කොනක හිස හොවාගෙන හඬන්නට වූවා ය.

‘අඬන්නෙපා මේධා…’

රාජිත වේදනා යටපත් කරගෙන කියාගත්තේ ය.

‘මං දන්නව… මං මැරුණත්… ඔයාට කරපු වරදට කිසිම සමාවක් නෑ’

‘අනේ එහෙම කියන්නෙපා. ඒව දැන් වෙලා ඉවරයිනෙ. ඔයා ඉක්මනට සනීප වෙන්නෝනෙ. ඔයා ඉක්මනට නැගිටින්න ඕනෙ. එදා ඔයාට කියන්න බැරි වුණා. මං හිතං හිටියෙ කවදාවත් කාටවත්ම ඒ රහස එළිකරන්නෑ කියල. ඒත්… ඔයාට ඒක නොකියා ඉන්න තරං දරදඬු වෙන්න තවත් බෑ. ඔයා හරි රාජිතයිය. එයා ඔයාගෙ පුතා තමයි. විසල් අපේ පුතා තමයි’

 මේධා ඒ ටික කියාගෙන ගියේ හුස්මක් වුව ගන්නේ නැතිවයි. ඊට පස්සේ ඇයට පුදුම සහනයක් දැනිණ. කාලාන්තරයක් තිස්සේ තනිව ම පපුව මත පටවාගෙන උන් ඒ රහස ඔහු ඉදිරියේ හෙළිදරව් කිරීමෙන් පසු කෙතරම් නම් ආත්මය සැනසිල්ලට පත් වූවා ද? සැහැල්ලුවට පත් වූවා ද? ඊළඟ නිමේශයේ ගිලන් යහනෙන් හිස එසවූ ඕ ඉකිලමින් ම පපුව පිරිමැදගත්තා ය.

‘ඔයාට නොදීපු දේකට මට තිබුණෙ එච්චරයි. දැං මං ඒකත් ඔයාට කිව්ව. හැමදාම ඔයා සතුටෙන් ඉන්න එක තමයි මගෙ සතුට වුණේ. අනේ ඔයා ඉක්මනට සනීප වෙන්න ඕනෙ රාජිතයියෙ’

රාජිත ගල් ගැසී සිටියේ ය. කතා කරන්නට වචනයක් වුව තෝරා බේරාගන්නට ඔහු සමත් වූයේ නැත. අසන්නට ආශාවෙන් බලා සිටි කතාවක් වුණත් දැන් ඔහු ට දැනෙන්නේ සිය පපුව හිර වෙන්නා සේ ය. මීට වසර විසි පහකට පෙරත් ජීවිතයෙහි පරම සතුට ඔහු ට දුන්නේ ඇයයි. දැන් අදත් ඒ සතුට දහස් ගුණයකින් වැඩි කොට ඔහු ට දුන්නේ ඇයයි. ඉතින් රාජිත ට කතා කරන්නට නොව හුස්ම ගන්නට පවා සිහිපත් නොවූ තරමි.

‘හැබැයි මේක අපි දෙන්නයි ජාන්වීයි විතරක් දැනං හිටියම ඇති. මට මං තරමටම ජාන්විව විශ්වාසයි. පුතා ඔහොම සැනසිල්ලෙ එයාගෙ ජීවිතේ ගෙවපුදෙන්. අපේ අතීතෙ දැන් එයාට හිත් කරදරයක් වෙන්න ඕනෙ නෑ’

‘පි…පි…පිං මේධා. ඔයා මට මේ සතුට දුන්නට පිං…’

රාජිත අසීරුවෙන් කියාගත්තේ ය. මේධා නො නවත්වා ම හඬමින් සිටියා ය.

‘අනේ දැන් ඔහොම අඬන්නෙපා අම්ම’

ජාන්වී මේධා සන්සුන් කිරීමට උත්සාහ කළා ය. මීට මඳ වෙලාවකට පෙර ඇය ගිලන් කුටියෙන් පිටතට ගොස් විසල් ට ඇමතුමක් දුන්නා ය.

‘මං රාජිත බාප්ප බලන්න හොස්පිට්ල් එකට ආව. තනියම එන නිසා අම්මවත් එක්කගෙනයි ආවෙ. පුංචි අපිට පොඩ්ඩක් බාප්ප ළඟ ඉන්න කියල ගෙදරට දුවල එන්න ගියා. අනේ ඔයා පුතාව ගන්නවද…’

‘ඉතිං ඇයි අම්මව එක්කං ගියේ…අංකල් තනියමනෙ ගෙදර…’

ජාන්වී ට කියාගන්නට යමක් සිහිපත් වූයේ නැත.

‘මං… තනියෙන් එන නිසා…’

‘ඔයාට එහෙනං මට කතාකරන්න තිබුණනෙ අප්ප. අර මනුස්සය ඇඳෙන් බහින්නවත් ගිහිං වැටුණොත් එහෙම…’

විසල් ගේ චෝදනාව නිහඬව දරාගන්නට ජාන්වී ට සිදු විය. සව්මිය ව පෙර පාසලෙන් ගෙන විසල් කෙලින් ම ගියේ සේනක ගේ ගෙදරටයි. මේධා පැමිණෙන තුරු එහි රැඳී සිටීම ඔහු ගේ අරමුණ විය.

මේධා කල් ඇතිව ම රාජිත ගෙන් සමුගත්තා ය. දීපිකා යළි පැමිණෙන්නට පෙර හඬා දොඩා  යථා තත්වයට පත් විය යුතුව තිබූ නිසාවෙනි. රාජිත ද සන්සුන් වූයේ ය. ඔවුන් රෝහලෙන් සමු ගෙන පැමිණියේ විඩාපත් සිත් වලිනි.

‘අංකල්ව තනියම දාල ගියා කියල විසල්ට කේන්ති ගියා. දැන් එයා මොනා කිව්වත් සද්ද නැතුව අහං ඉමු’

විසල් ගේ රිය මිදුලේ නතර වී තිබෙනු දැක ජාන්වී එසේ කීවේ හැඬූ සළකුණු මේධා ගේ මුහුණේ වෙත්දැයි විමසිලිමත් වෙමිනි. ඔවුන් ගෙට ගොඩ වන විට ම ජාන්වී ට දීපිකා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය.

‘කියන්න පුංචි’

‘අනේ බාප්ප ගියා ජානා… එයා මාව දාල යන්නම ගියා’

ජාන්වී එහෙම ම පුටුවක් මතට වැටුණා ය. මේධා ට මෙය කොහොම කියාගන්න ද කියා ඇයට සිතාගත හැකි නො විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here