ජාන්වී අසුනට වැටී හුස්මක් ගත්තා ය. රාජිත මිය ගිය පුවත පැවසූ විට මේධා මේ මොහොතේ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇති ද යන බිය ඇය වෙත විය. නමුත් විසල් සේ ම මේධා ද දල්වා ගත් නෙතින් ඈ දෙස බලා සිටිති. එබැවින් මෙය නො පවසා සිටිත නො හැකි ය. එවිට විසල් මේ ගැන වඩාත් සැක සහිත ව බලන්නට වුව පුළුවන.
‘රාජිත බාප්ප දැන් නැතිවෙලා’
අවසන ඇය එය හැකි තරම් ඉක්මනින් කියා දැමුවා ය. ඒ වූ කලී ලෝකය නතර වූ මොහොතකි. මේධා ට දැනුණේ අභ්‍යන්තර පුපුරා යාමක් වැනි දෙයකි. රත් වීමකින් පසු කන් දෙකෙන් දුම් දමනා සංවේදනයක් දැනෙන්නට විය. ඇය ඉතා හෙමිහිට හුස්ම ගන්නට වූවා ය. මඳ වෙලාවක් ඒ හුස්ම හිර කරනා අධි පීඩන කලාපය තුළ ඇය නිසොල්මනේ සිටියා ය. නමුත් මෙතැන සිහි විකල් කරගෙන හැසිරිය නො හැකි බව යටි හිතේ යම් කිසි කොනකින් ඇයට දැඩිව අවවාද කොට සිටියේ ය.
‘මං නාගෙන එන්නං’
පාෂාණිභූතව ගෙවුණු විනාඩි කීයකට ද මන්දා මේධා උගුර යටින් කියාගත්තා ය. අතට හසු වූ ඇඳුමක් ද ගෙන ඇය නාන කාමරයට රිංගා ගත්තේ වැළහින්නක සේ හඬාගෙන හා ඒ හැඬුම දෝතින් තද කරගෙනයි. ඇඳගෙන සිටි ඇඳුම් පිටින් ම වතුර මල යටට වූ ඕ ඉකි බිඳිමින් හැඬුවා ය. ඒ හැර වෙන කරන්නට යමක් ඇයට වූයේ නැත. රාජිත සරත්චන්ද්‍ර සිය දිවියෙහි අවසාන පිටුව එසේ ලියා නිම කොට තිබේ. නමුත් ඔහු හා බැඳුණා වූ මේධා ගේ ජීවිතයේ පරිච්ඡේද ඒ තරම් ඉක්මනින් නිමා වන්නේ නැත. රාජිත තව දුරටත් ලෝකයෙහි නැති වී ද ඔහු ගේ ජාන සංයුතිය ගෙන විසල් ඉදිරියටත් ලෝකයෙහි සිටිනු ඇත. මේධා ගේ හදවතේ ද කොතැනක හෝ, ඇය මියෙන තුරාවට ඔහු හිඳිනු ඇත.
මේධා යළි පිටතට පැමිණියේ සියල් කඳුළු දොවා හැර ය. පුරුදු මඳහසින් ඇය විසල් ට මුහුණ දුන්නා ය. ජාන්වී බලා සිටියේ මවිතයෙනි. මේධා වූ කලී කෙතරම් නම් හයිය හිතක් ඇති ගැහැනියක් ද? මේ වගේ වෙලාවක මේධා මෙහි තනි කොට යාම ගැන බියක් ද ජාන්වී ට විය. එබැවින් ඈ අද ඔවුන්ට තමන්ගේ ගෙදර පැමිණෙන ලෙස ආරාධනා කළා ය. නමුත් මේධා සිනහවකින් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා ය.
‘දැන් බෑ පුතේ. අපි වෙන වෙලාවක එන්නංකො. ඕගොල්ලො පරිස්සමෙන් යන්න’
විසල් ට යමක් සංවේදනය වෙමින් තිබිණ. ඔහු ට අමුත්තක් දැනිණ. ගෙදර ගිය පසු යළිත් සේවරි සිම්ෆනි වෙත යා නො හැකි කුමක් හෝ බරක් හිතේ පැටවී තිබිණ.
‘මොකද්ද වෙලා තියෙන්නෙ…’
අන්තිමට ඔහු ජාන්වී වෙතින් එසේ විචාලේ ය. ඈ යම් දෙගිඩියාවකට පත් වූවා ය. නමුත් මේ මොහොත වන තුරු ඇය ද හිතෙන් යම් යම් තීරණ ගනිමින් සිටියා ය.
‘මොකද්ද…’
‘අම්මගෙ වෙනසක් මට දැනුණ. ඒක ඔයා දන්නව මං හිතන්නෙ’
ජාන්වී යහන මතින් හිඳගත්තා ය. විසල් ඇයට යාබදව හිඳ ඇදෙස බලාගත්තේ ය.
‘අම්ම මට මේ දේවල් කිව්වෙ ඔයා දැනගන්න ඕන නෑ කියල. මෙච්චර වෙලා මං හිත හිත හිටියෙ ඒ ගැන විසල්. ඒක ඔයා නො දැන හිටියත් දැනගත්තත් වෙනසක් නැතුව ඇති. ඒත් මට හිතෙනව ඔයා ඒක දැනගන්න එක හොඳයි කියල. අම්මත් එක්ක මේ ගැන මොනාත් කතාකරන්න යන්න ඕන්නෑ. ඔයාගෙ අම්ම කියන්නෙ බුදුවෙන්න පෙරුම් පුරන ගෑනියෙක්ද කියල මට හිතෙනව විසල්. ඒ වගේ දරාගැනීමක්… ඒක මටවත් ඔයාටවත් හිතාගන්නවත් බැරි දෙයක්…’
‘ජානු මට කියනවද මොකද්ද වෙලා තියෙන්නෙ කියල…’
‘විසල්… ඔයා කවදාවත් අම්මගෙන් ඔයාගෙ තාත්ත කවුද කියල අහල නැතුව ඇති. ඒක දැනගන්න ඔයාට ඕනවුණාද කියල මං දන්නෑ. හැබැයි මේක දැනගන්න ඔයාට අයිතියක් තියනව. දැනගත්ත කියල දැන් වැඩක් නැති වුණත්…’
‘ජානු…’
‘රාජිත සරත්චන්ද්‍ර… ඔව්… එයා තමයි ඔයාගෙ තාත්ත. ඔයාගෙ අම්මගෙ මහමෙරක් තරං ලොකු ආදරේ’
දෙදණහිස් මත දෙවැලමිට බර කළ විසල්, හිස පහළට කඩා වැටෙන්නට හැරියේ ය. ජාන්වී ඔහු ගේ හිස කේ අතරින් අතැඟිලි යවා මුදු ලෙස හිස පිරිමදින්නට වූවා ය. හඬනා ඕනකමක් විසල් ට වූවා නොවේ. නමුත් ඔහු ගේ දෑසින් කඳුළු බින්දු දෙකක් ගිලිහී ටයිල් පොළොව මතට වැටී ‘ටක්’ ගෑවේ ය. කොයි තරම් වෙලාවක් එහෙම ගෙවී ගියා ද කියා ඔවුන් දෙදෙනා ම දන්නේ නැත. කැළඹුණු හැඟුමන් සමුදායක් තුල විසල් කැළතෙමින් සිටියේ ය. ඔහු ට නිදහසේ ඒ තුළ සැරිසරන්නට හැර ජාන්වී නො සෙල්වී ඔහු ළඟින් සිටියා ය. සැලකිය යුතු වෙලාවකට පස්සේ ඔහු නැගී සිටියේ ඇදෙස කෙළින් බලමිනි.
‘ලෑස්ති වෙන්න. අපි මළගෙදර යමු. අම්මටත් කෝල් කරල කියන්න ලෑස්ති වෙන්න කියල’
ජාන්වී මොහොතක් මේ අපූරු යෞවනයා දෙස බලා සිටියා ය. ආදරණීය ගැහැනියකගේ සෙවණැල්ල යට වැඩුණු ආදරණීය පුත්‍රයා! ඇය ඔහු ගේ බඳ වටා දෑත ම යවා ඔහු වැළඳගත්තා ය.
‘මං ඔයාට හරි ආදරෙයි විසල්. අනේ අපේ පුතත් ඔයා වගේම ලොකු වුණොත් මට ඒ ඇති’
‘මාව වගේම මගෙ දුප්පත් අහිංසක අම්මවත් තේරුං ගත්තට ඔයාට පිං ජානු’
‘අම්ම කොහොමද දුප්පත් වෙන්නෙ… එයා අපි කාටත් වැඩිය පෝසත්…’
මේධා සේ ම විසල් ද ඒ අවමංගල්ලයට සහභාගී වූයේ බරැති සිතිවිලි සහිතව ය. කවදාවත් තාත්තේ කියා කතා කරන්නට බැරි වූ සිය ජීව විද්‍යාත්මක පියා දෙස ඔහු උපේක්ෂා දෑසකින් බලා සිටියේ ය. ඔහු ගේ පියා රටක් දිනූ මිනිසෙකි. නමුත් සිය පුත්‍රයාට පීතෘත්වය දෙන්නට බැරි වූ කෙනෙකි. ඒ අතින් ඔහු ට සිය මව් ලෝකයක් අගනේ ය. ඈ අප්‍රමාණ ගැහැනියක වී ඒ මහා පුරුෂයා ගේ පුතණුවන් තනිව ඇති දැඩි කළා ය. ඒ වෙනුවෙන් ලොව කිසිදු ගැහැනියකට කළ නො හැකි කැපකිරීම් හා පරිත්‍යාගයන් කළා ය. මෙතෙක් සිය මව් කෙරෙහි දැනී ඇති ගෞරවයේ සීමා අතිවිශාල පරාසයක පුළුල් වී යනු විසල් නිහඬ ව බලා සිටියේ ය.
අවමංගල ශාලාවක විශේෂිත පුද්ගලයන් වෙන්වූ කොටසක තැන්පත් කොට තිබූ රාජිත ගේ නිසල දේහය ඉදිරියෙහි මේධා රහසිගත කඳුළක් හෙළුවා පමණකි. කවටත් පුරුදු මන්දස්මිතය දිගට ම ඇගේ මුවග විය. ඇය ඔහු ගේ ජීවිතය දෙස උපේක්ෂා සහගත මැදිහත් සිතකින් බලා සිටියා වූ කෙනෙකි. දැන් ඔහු ගේ මරණය අභියස ද ඒ උපේක්ෂාවේ දෑසින් බලන්නට ඇයට දිරිය වේ. මරණය කියන්නේත් ජීවිතයේ ම දිගුවක් බව ඇය පසක් කරගෙන තිබේ. ජීවිතයත් මරණයත් යළි ජීවිතයත් මරණයත් ලෙස දිගු වන කල සංසාරය නිර්මාණය වේ. බැඳීම් නිසා සිදු වනුයේ සංසාරය දිගු වෙනා එක පමණකි. රාජිත සමග වන සසර ගනුදෙනුව මේ භවයෙන් නිමා වෙනවාට ඇය කැමති ය. නමුත් විසල් කියනා පෙකණිවැල බැඳීම තවත් කාලයකට ඇගේ සසර දිගු කරවනා බව මේධා ට විශ්වාස ය.
විසල් සිය පියා ගේ දේහය අභියස බලා සිටියේ සව්මිය වඩාගෙනයි. සිය ජීවානු වලින් නිර්මිත දරුවන් ඇතැම් පියවරුන් අතින් ගිලිහෙත්දී, අනුන්ගේ ජීවානු දරාගෙන උපන් දරුවන් ආත්මීයව වැළඳ ගන්නා ඇතැම් පියවරු වෙත්. මේ ලෝකය පුදුම තැනකැයි සිතෙත්දී විසල් ගෙන් සුසුමක් ගිළිහිණි.
‘ඔයානං මැරෙන්නෙපා තාත්තී…’
සව්මිය විසල් ගේ කම්මුල් දෙපසින් අල්වාගෙන කීවේ අවට සිටි සියල්ලන්ට ඇසෙනා සේ ය. එක මොහොතකට එතැන වූ ශෝකයෙන් බරිත වාතාශ්‍රය සැහැල්ලු කරන්නට ඒ සුරතල් වදන් වලට හැකියාව තිබිණි. විසල් සව්මිය තුරුලු කරගෙන ම දෙණ අසලින් පිටතට ගියේ ය. ජාන්වී මේධා ගේ බඳ මත යන්තම් අත තබාගෙන ඇය සමගින් පිටතට වූවා ය.
එදා විසල් හා ජාන්වී සව්මිය ද තියාගෙන සේනක ගේ ගෙදර රාත්‍රිය ගතකරන්නට නතර වූහ.
‘අනේ මේ ගෙදර හරිහමං ඇඳක්වත් තියනවද පුතා… මොකට මෙහෙ ඉන්නවද…ඕගොල්ලො ගෙදර යන්න’
මේධා එකහෙළා විරෝධය පෑවා ය. නමුත් ජාන්වී ට ද ඕනෑ වූයේ මේධා තනි නොකර ඇය අසල රැඳෙන්නටයි. සිය සැමියා විසල් නිහඬව ඒ අවබෝධයෙන් කටයුතු කරත්දී ඇය වින්දේ ඉසියුම් ආඩම්බරයකි.
‘ඇඳවල් මොකටද… අපි ඔක්කොම සාලෙ පැදුරු දාං නිදියමු’
අවසන ක්‍රියාත්මක වූයේ ජාන්වී ගේ ඒ අදහසයි. කුඩා සාලය මැද පැදුරු එළාගෙන විසල්, ජාන්වී හා සව්මිය සේ ම මේධා හා අනගි ද වැතිරීගත්හ. රෑ මැදියම ඉක්ම යනතුරු ම ඔවුන් නිදි සුව ලැබුවේ නැත. කතා කරන්නට බොහෝ කාරණා ඔවුන් ගේ මතක පුරාණය කළඹමින් සොයා ගත හැකි විය. ජීවිතය අද අවතීර්ණව ඇති තැන හා සසඳත්දී අතීතය වූ කලී සිහිනයක් සේ ය. නමුත් ඒ අතීතය වූ කලී අද ඔවුන් ගේ මන්දිරය සාදාගන්නට දැමුණු පාදමයි. ඒ වනාහි ඉතා ශක්තිමත් පාදමකි. එබැවින් කොපමණ උස් වූ මන්දිරයක් වුව කඩා වැටෙන්නට පිළිවන්කමක් නැත!
සව්මිය සේ ම අනගි ද සතුටෙන් සිටියහ. ජීවිතයක් සතුටෙන් හා සමබර ලෙස ගතකරන්නට මේ සියලු කුඩා දේවල් බලපාන බව විසල්, මේධා සේ ම ජාන්වී ද දනිති. වැදගත් වන්නේ සමීප බැඳීම් දෙදරීමට හෝ බිඳීමට අවකාශ නො තබා පරිස්සමෙන් රැක බලා ගැනීමයි.
රාජිත මිය ගොස් දස වන දිනයේ දී විසල් සිය ගෙදරට ස්වාමීන් වහන්සේලා පිරිසක් වඩම්මා සපිරිකර සාංඝික දාණයක් දීමට කටයුතු කළේ ය. ඒ ජාන්වී ගේ කිසිදු ඥාතියෙකු දැනුවත් කිරීමෙන් තොරවයි. රාජිත නමින් පැන් වඩා, පිරිකර පූජාකොට කොට, මතු කිසිදු අත්භවයක ඔහු ට මෙවන් අකල් මරණයක් අත් නොවේවා යි ඔවුහු ප්‍රාර්ථනා කළහ. රාජිත වෙනුවෙන් ඉටු කළ හැකි වෙනත් යුතුකමක් ඔවුන් ට වූයේ නැත!
-සමාප්තයි.


