BE SILENT

0
398

මනුහස් තෙවන දිනටත් උසස් අධ්‍යාප ආයතනයේ ගේට්ටුව අභියස සිට ඇසි පිය නොහෙළා ඈ එන පෙර මං බලා සිටියේය. නමුදු එදිනද දිනය නිමාවනතුරුත් ඇගේ රුව දෑසට දකින්නට නොලැබුණේය. 

” අදත් නෑ නේද මචං…?” 

කවදත් මිතුරන්ගෙන් හිඟයක් නොවුණු මනුහස් විජේවර්ධන වට කර ගත් මිතුරු කවයද ඔහු සේම රුවැත්තියගේ ආගමනය තෙක් පෙරමං බලා හිඳ සුන් වූ බලාපොරොත්තු සමඟ පිළිතුරු නොමැති එකිනෙකාගේ මුහුණු දෙස බලා ගත්හ. 

” ජාන්වී එනවා…”

මිතුරෙකුගේ හඬට වහා පසු පස හැරුණු මනුහස් දිව එන තරුණිය දෙස අපේක්ෂා රැසක් පිරි දෙනෙතින් බලා සිටියේය. 

” ගෙදර ගියාද ? කතා කළාද ?” 

ජාන්වීගේ මුහුණේ රැඳී තිබුණේ කළු වළාවකි. එකී කළු වළාව ඇගේ පිළිතුරෙන් ලැබෙන බලාපොරොත්තු කඩවීම පිළිබඳව හොඳින්ම කියා පෑවද මනුහස්ට එය ඇගේ මුවින් අසා දැන ගන්නා තුරු ඉවසීමක් නොවුණේය.

” මං ඊයේ ගෙදරට කෝල් කලා. එතකොට ෆෝන් එක ගත්තෙත් තාත්තා. මට බැන්නා හොඳටම මං කතා කරන්නේ එයාගෙ විස්තර අහලා ඉන්ස්ටිටියුට් එකේ කොල්ලන්ට කියන්න වෙන්නැති කියලා. පස්සේ මං ආයේ ඕන එකක් කියලා හිතන් අද ගෙදරට ගියා . මුළු ගේම වහලා දාලා. ගේට් එක ඉඳන් ලොක් කරලා. එහා පැත්තෙ ගෙදරින් ඇහුවම දන්නෙත් නෑ කිව්වා. “

ජාන්වී ශෝකය පිරි දෑසින් මනුහස් දෙස බලා පැවසුවාය. ඔහුගේ වත පුරා පැතිර ගොස් තිබුණේ පරාජිත පෙනුමකි. 

දවස , දෙක ගත වී ගිය අතර මනුහස් මිතුරන් මාර්ගයෙන් කෙසේ හෝ රුවැත්තිය සම්බන්ධ කර ගැනීමට කෙතරම් උත්සාහ ගත්තද ඒ සියළු වෑයම් අසාර්ථක වූයේය. කිසිදු දුරකතන ඇමතුමකට ප්‍රතිචාරයක් නොලැබුණු අතර ඇගේ නිවස වටා දින කිහිපයක් පුරා සක්මන් කළද අගුලු දැමූ ගේට්ටු පියන් ද්විත්වය හැරෙන්නට වෙනත් අලුත් දෙයක් දකින්නට නොලැබුණේය. 

තමා සමඟ පෙමින් වෙළී සිටියදී එය දෑසින් දැක කෝපාවිශ්ට වූ ඇගේ පියා  රුවැත්තියගේ අතින් ඇද ගෙන අධ්‍යාපන ආයතනයෙන් පිටව ගොස් දොළොස් වන දිනයේ මනුහස් සිටියේ සියළු බලාපොරොත්තු කඩ වී අපේක්ශා භංගත්වයකින්ය. 

” මනූ….! මනූ… !” 

රා බී මඳ කිපුණු නාලාගිරි සේ කඩා බිඳ ගෙන තමා දෙසට දිව එන මිතුරාගේ හඬට මනුහස් හිස හරවා බැලුවද ඔහු එය මායිම් නොකර හිඳ සිටි ගල් බංකුවට තවත් බර දී හාන්සි වූයේය .

” ඇවිල්ලා… ඇවිල්ලා… උඹේ බට්ටිච්චි ඇවිල්ලා…”

මනුහස් ඉද්ද ගැසුවා හේ හිඳ සිටි බංකුවෙන් නැඟී සිටියේය .

” කො.. කොහෙද ?” 

” ප්‍රින්සිපල් ඔෆිස් රූම් එකේ…”

ඉදින් මනුහස් විජේවර්ධන මෙතෙක් කලකට යොදවා නොමැති සියළුම ශරීර ශක්තිය යොදවා  විදුහල්පති නිල කාමරය කරා හුස්මක් ගන්නට පවා මොහොතක් වැය නොකොට වේගයෙන් දිව ගියේය. 

විදුහල්පති නිල කාමරයෙන් පිට සිටි ජාන්වී වික්ශිප්තව බැල්මෙන් දිව විත් හති ළන මනුහස් දෙස බැලුවාය . එක් වරම කඩා බිඳගෙන යා නොහැකි කාර්‍යාල කාමරය වෙත දෙනෙත් යැවූ මනුහස් දින දොළහකට පසු සිත් සේ තමාට පිටුපා සිටින තම බටිති රුවැත්තිය දෙස හදපුරා නැඟ එන අසීමාන්තික ස්නේහයෙන් බලා සිටියේය. 

ලිපිගොනු කිහිපයකට අත්සන් කළ රුවැත්තිය විදුහල්පතිවරයා සමඟ කතා බහක නියැළෙමින් ඈ අසලම සිටින තවත් කාන්තාවක් දෙස බලා සිටිනු දුටු මනුහස් ඒ ඇගේ මව වන්නට ඇතැයි අනුමාන කර ජාන්වී දෙස බැලුවේය. 

” අම්මා..” 

මනුහස්ගේ දෑසෙහි තිබූ පැනය වටහා ගත් ජාන්වී ඔහු අසන්නට පෙරම එකී පිළිතුර ඔහු හමුවේ තැබුවාය .

” කලබල කරන්නෙපා. හිමින්සැරේ අපි කතා කරමු. අම්මත් ඉන්නවනේ…”

ජාන්වී තව දුරටත් මනුහස් සන්සුන් කිරීමට වෙර දැරූ අතර ඔහු පසුපසින් සිටි අනෙක් මිතුරන්ද ඇගේ කතාව අනුමත කරමින් මුණු මුණු ගෑහ. 

මඳ වේලාවකින් විදුහල්පති කාමරයෙන් පිටතට ආ රුවැත්තියගේ මව ජාන්වී දෙස හෝ නොබලා අඩි තබා ඉදිරියට ගමන් කළ අතර කිසිවෙකු දෙස හෝ එකදු බැල්මක් නොහෙළූ රුවැත්තිය රොබෝ වරියක සේ මව් පසුපසින් වැටුණාය . විදුහල්පති කාමරය පසු කොට මඳ දුරක් ආ කාන්තාව මඳක් නැවතී තමා පසු පස පැමිණෙන දියණිය වෙත ළං වූවාය. 

” හැමෝටම කියලා එන්න.  මං කා එකේ ඉන්නම්. හැබැයි ගොඩක් වෙලා ගන්නෙපා. “

රුවැත්තියගේ මව එසේ පවසා පසුපසින් සිටි කිසිවෙකු දෙස හෝ නොබලා ඉක්මන් අඩි තබමින් රථ ගාලා වෙත යන්නට වූවාය. ඇගේ නික්ම යාම දුටු මනුහස් වහා ඉදිරියට දිව විත් රුවැත්තියගේ අතින් අල්ලාගෙන විසල් ගොඩනැගිල්ලක් තුළ හිස් පන්ති කාමරයක් වෙත දිව ගියේය. ඔහු දෙස එක මොහොතකට හෝ දෑස ඔසවා නොබැලූ රුවැත්තිය යන්ත්‍රානුසාරයෙන් මෙන් ඔහු පසුපස ඇදී ගියාය. 

පන්ති කාමරය තුළට ගිය මනුහස් වහා පහත්වී රුවැත්තිය ආදරයෙන් වැළඳ ගත්තේය. මොහොතක් එලෙස සිටි ඔහු දෝතින්ම ඇගේ දෙකම්මුල් අල්වා ඇගේ මුහුණ ඔසවා තමා දෙසට ළං කර ගත්තේය. 

” මොකද්ද සුදු බෝලේ උනේ ? තාත්තා බැන්නද ? ගැහුවද ? ආ.. ? ඔයා ගැන කොච්චර මං හෙව්වද ? කිසිම දෙයක් දැනගන්න උනේ නෑ.. ගේ ලඟට කී පාරක් නං ගියාද ? ඒත් ඒ එක පාරකවත් ඔයාව දැක්කෙ නෑ. අඩුම ගෙදර වෙන කිසිම කෙනෙක්ව දැක්කේ නෑ. ගේට් එකත් ලොක් කරලා තිබ්බේ. “

මනුහස් ඉඩ ලැබුණු ප්‍රථම අවස්ථාවේම රුවැත්තිය හමුවේ ප්‍රශ්න රාශියක් අත හරිමින් සිටියේය. නමුදු ඔහුගේ එකදු පැනයකට හෝ පිළිතුරු නුදුන් රුවැත්තිය ඇගේ වටකුරු දෙනෙත උතුරා යන ආකාරයෙන් කඳුළු පුරවමින් සිටියාය.

” ඇ.. ඇයි මේ..? ඇයි .. ? ඇයි අඬන්නේ ? මොකද්ද උනේ ..? “

මුවින් පිටවන වචන සියල්ල ඇගේ වටකුරු දෑසින් ගලන කඳුළු හමුවේ පැටළෙන්නට පටන් ගත් අතර මනුහස්ගේ හදවත පුරා පෙර නොවූ විරූ ආකාරයට ශෝකයක් ජනිත වන්නට පටන් ගත්තේය. 

මඳ වේලාවක් ඔහුගේ දෑස දෙසත් , මුහුණ දෙසත් කඳුළු පිරි බොඳව ගිය දෙනෙතින් බලා සිටි රුවැත්තිය ඇඟිලි තුඩු මතින් එස වී ඔහුගේ කොපුලක් මත හාදුවක් තැබුවාය. දින ගණනාවකට පසු ඇගේ දෙතොළේ පහස විඳි යෞවනයාට එකී දෙතොළේ පෙර තිබූ උණුසුමට එහා ගිය තද සීතලකුත් , වෙව්ලීමකුත් හොඳින් දැනුණේය.  ඉදින් ඔහු ගොළුව ඈ දෙස වික්ශිප්තව බලා සිටියේය.

” මං ඉන්ස්ටිටියුට් එකෙන් අස් උනා. අපි ගෙවල් මාරු කළා. ආයේ කවදාවත් මට ඔයාව දකින්න ලැබෙන එකක් නෑ.. අපි කොළඹ යනවා.. “

මනුහස් වේගයෙන් ඇසිපිය සැළුවේය. කුඩා ස්නේහවන්තිය පවසන කිසිවක් ඔහුට විශ්වාස කර ගත නොහැකි විය. තව දුරටත් ගොළු වූ ඔහු ඈ දෙස එක එල්ලේ බලා සිටියේය. තවත් කිසිවක් පවසන්නට උත්සාහ නොකළ තරුණිය සෙමින් ආපසු හැරී පන්ති කාමරය සහිත ගොඩනැගිල්ලෙන් පිටව අරලිය ගස් දෙපසින් වට වූ කොන්ක්‍රීට් මාවත දිගෙහි ඇවිද යන්නට පටන් ගත්තාය. මඳ වේලාවකින් සිහි එළවා මනුහස් වේගයෙන් රුවැත්තිය පසුපසින් ගොස් ඇගේ වැළමිටෙන් අල්ලා තමා දෙසට හරවා ගත්තේය .

” සුදු බෝලේ.. මොකද්ද කිව්වේ ..?” 

” අපි මෙහෙන් යනවා මනූ.. “

වටකුරු දෑස බිමට බර කර ගනිමින් පැවසූ ඈ ඔහු දෙස එකදු බැල්මකුදු නොහෙළා යළිත් යන්නට හැරුණද දඬු අඬුවක් සේ තද වූ ඔහුගේ අතින් ඇගේ අත මුදවා ගැනීමට ඈ හට නොහැකි වූවාය. 

” ඔච්චර ලේසියෙන් මේ දේවල් දාලා යන්න තමුසෙට පිස්සුද සුදු බෝලේ ?” 

” අතාරින්න මනූ , මං යන්න ඕනේ .. අම්මා බලන් ඉන්නවා. “

පොළොව මතට විතැන් කර ගත් ඇගේ දෑසින් කඳුළු බිඳු පේළියක් වැටී ගිය අතර තමා පිළිබඳව කිසිදු තෙතමනයක් නොමැතිව හැර යන්නට තනන යුවතිය පිළිබඳව මනුහස්ගේ සිතෙහි දැඩි කෝපයක් හට ගත්තේය. 

” මොන විකාරයක්ද මේ කියවන්නේ ? යන්න ඕනේ.. යන්න ඕනේ… තමුසෙට පුලුවන්ද සුදු බෝලේ මාව එහෙම දාලා යන්න ? අපි අතරෙ තිබ්බ දේවල් තමුසෙට සෙල්ලමක්ද ?” 

මනුහස්ගේ කටහඬ උස් වූ අතර ඔවුන් පසුපස ආ මිතුරු පිරිසද සිදුවන දෑ දෙස වික්ශිප්තව බලා සිටියහ.

” නිහඬවම කඳුළු සළමින් සිටි යුවතියගෙන් ඉකියක් පිටවූ අතර මෙතෙක් වේලා කෝපාවිශ්ටවී සිටි මනුහස් විජේවර්ධනගේ සිත යළිත් මඳකට සැසළී ගියේය. 

” සු.. සුදු බෝලේ මේ අහන්න.. මොකද්ද ප්‍රශ්නේ ?  තාත්තද ප්‍රශ්නේ ? මං ඇවිල්ලා තාත්තා එක්ක කතා කරන්නං. ඔයා නෑවිත් ඉන්නෙපා. ෆයිනල් එග්සෑම් එක අත ලඟ. හැමදේම විනාස කරගන්නද හදන්නේ ? “

රුවැත්තිය කඳුළු පිරි වටකුරු දෑසින් හිස ඔසවා තමා අභියස සිටින කඩවසම් තරුණයාගෙ මුහුණ දෙස බැලුවාය. ඉන් පසුව අත රැඳි බෑගයෙන් ගත් සුදු පැහැ කවරයක් ඔහු අත තබා වේගයෙන් දුව ගොස් ඈ එනතුරු බලා සිටි මෝටර් රථයට ගොඩ වුණාය. 

බැලූ බැල්මට මංගල ආරාධනා පතක් ලෙස දිස් වූ  සුදු පැහැ කවරය තුළ තිබූ කාඩ්පත අතට ගත් ඔහු එය සෙමින් විවර කළේය . 

එළැඹෙන මස දහ වන දින සිදු වීමට නියමිත විවාහ මංගල්‍යයේ මනාලයාගේ නමට පහළින් තිබූ ඇගේ නම දුටු මනුහස් බොඳවූ වෙව්ලන දෑසින් ඉදිරිය බැලූ විට තිතක් සේ දුර ගොස් තිබූ ඈ රැගත් මෝටර් රථය ඔහුගේ දෘෂ්ටි පථයෙන් ඉවත් වී යන ආකාරය දුටුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here