සස්මිත ගැන ආරංචියක් නොමැතිව ගෙවෙන තෙවෙනි දවසද අවසන් වෙමින් තිබුණි. චායා උන්නේ නොසන්සුන්කම හැකි උපරිමයෙන්ම සඟ්වාගෙනය. සස්මිතගේ අක්කාගේ ජංගම දුරකථන අංකයද විසන්ධි ව ගොස් තිබුණි. අක්කා හැරුණ කොට සස්මිත ගේ කිසිඳු පෞද්ගලික හිතවතෙකු චායා දැන උන්නේ නැත. මිතුරන් කෙරෙන්ද සස්මිත පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගන්නට නොලැබෙද්දී, ඕ ඊළඟ පියවර විය යුත්තේ කුමක්දැයි තනිවම කල්පනා කලාය. අවසානයට හමුවූ දිනයේ ඔහු කෙරෙන් කිසිඳු වෙනසක් නිරීක්ෂණය නොවූ බව චායාට විශ්වාසය. ඔහු අක්කාගේ රෝගී තත්වය පිළිබඳව පවසද්දී පමණක් යම් බිඳීමක් පෙන්වූවා පමණය.
” අපි අක්කාව සනීප කරගනිමු සස්මිත…”
“ඒක කොහොම පටන් ගන්නද කියලයි මට තේරෙන්නේ නැත්තේ චායා… සල්ලි … සල්ලි තමයි ඕනි…”
“දැන් කොච්චරක් සල්ලි එකතු කරගෙනද ඔයා ?”
“ලක්ශ පහක් විතර … කුඹුර විකුණලා ගත්ත සල්ලි වලින් තමයි මේ දව්ස් වල ට්‍රීට්මන්ට්ස් යන්නේ…”
” අපේ යූනියන් කැටේත් කරගමු… මාත් .. අම්මලා එක්ක කතා කරන්නම් සස්මිත..”
“එපා චායා.. ඒක හරියන්නේ නෑ.. බලමුකෝ .. තව කල් තියෙනවා නේ…”
චායා සස්මිතගේ හඬ යලි යලි සිහි කලාය. ඔහු එවන් බලාපොරොත්තු සහගත අනාගතයක් දැරුවේය. එහෙත් එක්වරම සියල්ලා අපැහැදිලිව ගොස් ඇත.
චායා නිවසට ගියේ, සවස දේශනයද මඟ හැරය. නිවසට ඇතුලු වෙද්දීම ඕ යම් කලබලය දුටුවාය. එයට හේතුවක් සිතාගන්නට හැකි නොවූ නිසාම ඕ උඩු මහලට යෑම පසෙක තබා කිසිවෙකු මුණ ගැසෙන තෙක් නිවස තුළට ඇවිද ගියාය.
” අම්මා… මොකෝ මේ කලබලේ… අර රංජි අංකල් මොකද කඩාගෙන බිඳගෙන ගියේ…?”
චායා පහල මුළුතැන්ගෙය අසල කාමරයේ උන් අම්මා වෙත එබුණාය. චායාගේ අම්මා චායා වෙත හෙලුවේ යම් නොපහන් බැල්මකි.
” කී වතාවක් කෝල් කරාද පොඩි දුව… “
“මම ෆෝන් එක සයිලන්ට් දාලා තිබුණේ… උදේ ලෙක්චර්ස් නේ…”
” හරි ඒකෙන් කමක් නෑ.. ඉක්මනින් වොශ් එකක් දාගෙන අය්යාට ලජේග් පැක් කරන්න උදව් කරන්න …”
“මොන ලගේජ් ද ?”
“අය්යගේ වීසා ඇපෲ වුනා..”
“මොකක් ?… එයා දැන් ඒ ගමන යන්නේ නෑම කියලානේ හිටියේ… මොකක්ද මේ එකපාරටම වුණේ..?”
” ඒ පණ්ඩිත කතා වලින් ඔයාට වැඩක් නෑනේ… කිව්ව දේ කරන්නකෝ ඔයා…. අය්යාගේ ෆ්ලයිට් එකට දවස් තුනක් නෑ. තව… ….”
චායා අම්මා දෙස බලා උන්නේ කිසිවක් විශ්වාස කරගන්නට නොහැකි ලෙසිනි. අම්මා සහ තාත්තා අය්යාගේ ජීවිතය ඕනෑවට වඩා පාලනය කරන්නට උත්සාහ කරන බවට සැක නැත. අය්යා බලාපොරොත්තු වන ජීවිතය ඇත්තේ ලංකාවේ කොළ පාට එක්ක මිසෙක, සිංගප්පූරුවේ අලු පාට ගොඩනැගිලි අතර නොවේය.
චායා අඩියට දෙකට උඩුමහලට දිව ගියාය. අය්යාගේ හඬ ඇසුනේ බැල්කනිය දෙසිනි. ඕ වහා ඒ දෙසට එබුණාය.
චරක නැගණිය දුටු වහාම ඇමතුම විසන්ධි කලේය. ඕ දෙස වෙහෙසකරීබැල්මක් හෙලුවේය.
” මොකක්ද අයියා වුනේ ?”
“මට තේරෙන්නෙත් නෑ ඕයි…”
“වීසා ඇපෲ වෙන්න, කවදාද වීසා ඇප්ලයි කලේ ?”
“මං දන්නේ නෑ ඕයි…”
“දැන් ටිකට්ස් දාලද ?”
” ඔව් දාලා..”
“මොන මඟුලක්ද අය්යා ඒ… දැන් එතකොට ඔයා ඔක්කොම අතෑරලා යන්නද යන්නේ ?”
“මගේ ඔලුව කන්නෙපා ඕයි… කරන්නේ මොකක්ද කියලා මටත් හිතාගන්න බෑ..”
” තේරෙන්න කියනවාකෝ… හැම එකාම පිස්සු වැටිලා වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා .. කියවනවා… මට තේරෙනවාද ? …”
චායාද කඩා පැන්නාය. ඇගේ සිත තුළ වූයේද සූලු පටු කලබලයක් නොවේය. සියල්ල මදකට අතැර දමා නිවසට පැමිණියේ මදක් හෝ අස්වැසෙන්නර බලාපොරොත්තු ඇතිවය. නිවස තුළ ඇත්තේ ඉන් එහා වන කලබලයකි.
” මං පොඩි ප්‍රශ්නයෙක පැටලුණා… ඒක සෙට්ල්… ඒ කේස් එකට බය වෙලා තාත්තා මේ ගමනක් සෙට් කරගෙන තියෙන්නේ…”
“මොකක්ද ප්‍රශ්නේ ?..”
“ඒකද මෙතන තියෙන ප්‍රශ්නේ දැන් ? … ඒ ප්‍රශ්නේ හරි .. ඒක සෙට්ල්.. මට මේ මුලක් අගක් ගලපගන්න බැරුව ඉන්නේ මේ ගමනේ…”
චායාගේ සොයුරා චායා වෙත කඩා පැන්නාය.
” ඉතින් අයියා.. අපි හැමදේම මෙහෙ බලලානේ තියෙන්නේ…”
“මං දන්නවා ඕයි.. තාත්තා කියන්වා එහෙ ඉදන් මට මැනේජ්මන්ට් එක බලන්නලු.. වීරතිලක අංකල් ලවා එයා බලන්නම්ලු මෙහෙ …. කොහොමටත් මට මෙවෙලේ යන්නම වෙනවා….”
චායා සුසුමක් සමඟම යහනට වැටුණාය. කරෙහි වූ බෑගය බිම තැබුවාය. තිබූ එකම බලාපොරොත්තුව අයියාය. අද පැමිණියේ සස්මිත ගැන ඔහු හා පවසන අරමුණ හිත යට තබාගෙනය. එහෙත් දැන් ඒ සියල්ල අවසන් ව යන්නේය.
“පොඩි දූ…. ඔයා වොශ් දාගෙන අයියා එක්ක කටුබැද්දට ගිහින් එනවාද ? තාත්තා බඩු වගයක් අරගන්න එන්න කිව්වා…”
අම්මාගේ හඬ ඇසෙද්දී චායා , චරක දෙස බැලුවාය. ඇගේ නෙත් වූයේ තෙත්වය. චරක ජංගම දුරකථනය මේසය මත තබා නැගණිය අසල හිඳ ගත්තාය. ඇය තමාගේ ජීවිතයේ වටිනාම කොටසය.
” හැමදාටම යනවා නෙවෙයිනේ නංගී … කොහොමටත් මම අවුරුද්දකට එහා ඉන්නේ නෑ… මෙවෙලේ ගිහින් එන එක වෙන්නම ඕනි…”
චාය හිස සැලුවාය. සස්මිතගේ සහ අයියාගේ අහිමි වීම් වෙනුවෙන් ඉනූ කඳුළු ඇගේ කොපුල් සීතල කරවමින් වැටෙන්නට ගෙන තිබුණි.
” මං ගියාම මේ කාමරේ ගන්නවා… හරිනේ.. හැබැයි… මං ආව ගමන් මට ඕනි…”
මද වේලාවකට පසු චරක එලෙසින් කීවේ හඬ වෙවුලන බව සඟවාගන්නට උත්සාහ කරමිනි. එහෙත් ඉන් චායාගේ වේදනාව පුපුරා ගියේය. ඕ හඬ නඟා හැඬුවාය. උස් හඬින් ඇඬුවාය
” ඕයි .. නංගී…”
චායාගේ හඬට අම්මාද උඩු මහලට දිව ආවාය.
” මොකද ළමයෝ මේ… ඉන්නකල් මීයයි පූසයි වගේ මරාගෙන … බොරුවට අඬනවා.. අය්යා ගිහින් එනවානේ…”
“අම්මා කෑ නොගහ ඉන්නකෝ…”
චරක අම්මාට ද දෝස්මුර දැම්මේය.
“දෙන්නා එක්ක යන්නේ නැද්ද මමවත් යන්න…?”
“යන්නම් යන්නම් ඉතින්…”
චායා මද වේලාවක් සොයුරාට ගුලිවම උන්නාය. සස්මිතගේ හදිසි අතුරුදන් වීමේ වේදනාව තමා වසා පැතිරි ඇති තරම ඕ තවත් තදින් අත්දැක්කාය.
” නංගී… හය්යෙන් ඉන්නවකෝ .හරිද.. මේ අස්සේ අම්මා අසනීප වුනොත් ඔක්කොම ඉවරනේ… මේ අවුරුද්ද ඉක්මනට යාවි.. ලෙක්චර්ස් එහෙ මෙහෙ කරන් නංගිත් එන්නකෝ ඇවිල්ලා යන්න එහෙම වුනොත්… හරිද…. එතකල් අම්මාවයි තාත්තවයි බලාගෙන ඉන්න පුළුවන් නේද?..”
චායා හිස සැලුවාය.
” වොශ් දාගෙන එන්න.. ටවුන් ගිහින් එමු… “
චායා හිස සැලුවාය.
ඕ කාමරයට ඇවිද ගියේ අරමුණක් නැතිවය. ජංගම දුරකථනය ගෙන සස්මිතගේ ඇමතුමක් ඇතිදැයි බැලුවාය.
ඔහු ඔන්ලය්න් පැමිණ ඇත්තේද නැත. ඔහුට මෙලෙසින් අතුරුදන් වන්නට තරම් කුමක් සිදු වූයේද ?
චායා මිතුරියට ඇමතුමක් ගත්තාය.
” චායා .. මොකෝ.. ලෙක්චර් එකේ තවම මම..”
චායා වහා ඈමතුම විසන්ධි කලාය
” සස්මිත , කාටවත් කතා කරලාද අහලා බලන්නකෝ…”
ඕ මිතුරියට කෙටි පණිවිඩයක් යැව්වාය.
” නෑ.. උඹ මෙහෙන් ගිහින් පැය දෙකක් වුනේ නෑනේ… ඒ තිබ්බ තත්වෙම තමා… ඔලුව විකාර කරගන්නේ නැතුව ඉන්න චායා…මොක කරන්නත් අපි ඔලුව කෙලින් තියන් ඉන්නෙපැයි… කෝකටත් කියලා..චරක අය්යට කියලා ඉන්න…එයාගේ කන්ටැක්ස් ඇති…”
යළි පනිවිඩයක් ආවේය.
“අය්යා රට යන්නලු අප්පා.. මට පිස්සු වගේ …”
එවර අකුණ වැදුනේ මිතුරිය විහඟිටය.
| මතුවට


