BE SILENT – 03

0
465

අවුරුදු දොළහකට පසු…..

එක දිගට නාද වන දුරකතනය වෙත අපහසුවෙන් අත දිගු කළ තරුණයා දෑස නොහැරම එය කනේ තබා ගත්තේය. 

” හෙලෝඕඕ….”

” සර් , අපි නමය වෙද්දි හෙඩ් ඔෆිස් ඉන්න ඕනේ. සර් දැන් කොහෙද ඉන්නේ ?” 

” දැන් කීයද වෙලාව ?” 

 ” නමයට දහයයි සර්…” 

” මොන හු@#&?” 

අනෙක් පසින් ඇසුණු පිළිතුරත් සමඟ වහා නැඟී සිටි දේහදාරියා ඔහුගේ අනෙක් පස පොරවනයකින් පමණක් තම නිරුවත් සිරුර වසා ගනිමින් නින්දට වැටී සිටි තරුණිය කෙරෙහි බැල්මක් හෝ නොහෙළා කලබලයෙන් නාන කාමරය වෙත දිව ගියේය. 

” මට පරක්කුයි.. “

නැවතත් වහා නිදන කාමරය වෙත දිව ආ තරුණයා යහන මත සිටි තරුණිය දෙස නොබලාම තම රාජකාරි නිල ඇඳුම අඳින්නට පටන් ගත්තේය . ” මට පරක්කුයි ” යනුවෙන් ඔහු පවසා සිටියේ තමාට දැන්ම මින් පිටවන ලෙසට කියා සිටීම බව තේරුම් ගත් තරුණිය මුව ඇද කරමින් වහා ඒ මේ අත විසිරී තිබූ තම ඇඟළුම් හැඳ ජංගම දුරකතනයෙන් කිසිවෙකු හෝ සම්බන්ධ වෙමින් නිදන කාමරයෙන් පිට වී ගියාය. 

**********************************************

පොලිස් අධිකාරී දේවප්‍රිය සල්වතුර නියමිත වේලාවට වඩා මිනිත්තු විස්සක ප්‍රමාදයක් සහිතව සාකච්ජාවට එකතු වීමට පැමිණි තරුණයා දෙස කෝපාවිශ්ට බැල්මකින් බලා සිටි අතර ඔහු ඉදිරියේ සිටි නාලක දසනායක තරුණයා දෙස බලා සමච්චල් සිනහවක් පෑවේය. 

” සොරි සර්..”

තමා ඉදිරියේ උන් පොලිස් අධිකාරී වරයාට ආචාර කළ තරුණයා තමන්ට නියමිත අසුන වෙත ගොස් හිඳ ගත් අතර ඔහු සමඟ නිතරම  රාජකාරී කටයුතු වලදී මුණ ගැසෙන කාන්තා පොලිස් නිලධාරිනියක  මෙන්ම  ලඟම මිතුරියක වූ ෂියෝනා බොතේජු ඔහු දෙස බලා ඔරවා ඉවත බලා ගත්තාය. 

” මනුහස්… ! අපි කතා කරන්නේ ඊයේ ලැබිච්ච පැමිණිල්ලක් ගැන. මේක වීඅයිපී කේස් එකක්. අහලා ඇතිනේ මයන් මල්දෙණිය. ? “

මඳ වේලාවක් නිහඬව සිට කතාව ආරම්භ කළ පොලිස් අධිකාරීවරයා පැවසූ නම ඇසුණු සැණින් තරුණ නිලධාරීයා තිගැස්සී ඔහු දෙස බැලුවේය. 

” මයන් මල්දෙණිය පෙරේදා ඒ කියන්නේ විසි හත් වෙනිදා උදේ ඉඳන් අතුරුදහන් වෙලා තියනවා. මිස්ටර් මල්දෙණිය විසි හය වෙනිදා කැන්ඩි වල හොටෙල් නයින් මවුන්ටන්ස් වලට ගිහිල්ලා තියෙන්නේ විසි හත් වෙනිදා තිබ්බ බිස්නස් මීටින් එකකට . මිස්ටර් මල්දෙණිය විසි හය වෙනිදා රෑ නයින් මවුන්ටන්ස් එකේ රූම් නම්බර් 221 රූම් එකට ගිහින් තියනවා දැකපු අය ඉන්නවා. විසි හත් වෙනිදා උදේ මිස්ටර් මල්දෙණියගේ සෙකට්‍රි එයාව හොයාගෙන රූම් එකට යන තුරුත් මිස්ටර් මල්දෙණිය මීටින් එකට ඇවිල්ලා නෑ. මිස්ටර් මල්දෙණියගෙ සෙකට්‍රි කියන විදිහට සෑහෙන්න වෙලාවක් දොරට තට්ටු කරලා තියනවා. මොබයිල් එකට අරන් තියනවා ඒ හැම වෙලාවකම ඒක ඕෆ් වෙලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ හොටෙල් මැනේජ්මන්ට් එකට දැනුම් දීලා ඩෝ එක ඕපන් කරලා රූම් එකට ගිහින් තියනවා , එතනදි තිබිලා තියෙන්නේ හිස් කාමරයක් විතරයි. රෑ රූම් එක ඇතුළට ගිය මිස්ටර් මල්දෙණිය පහුවදා උදේ වෙද්දි අතුරුදහන්. “

පොලිස් අධිකාරීවරයාගේ නියෝගයෙන් සකච්ජාව කැඳවූ කාරණය හෙළි කරමින් සිටි ෂියෝනා ප්‍රධාන මාතෘකාව අවසන් කොට නැවතත් ඔහු  දෙස බැලුවාය. 

” හොටෙල් එකේ සීසීටීවී ෆුටේජස් ? ” 

මෙතෙක් නිහඬව සිටි මනුහස් ෂියෝනා දෙසට හැරී ඇසුවේය. 

” මිස්ටර් මල්දෙණිය නැවතිලා හිටපු රූම් එක ලඟ ලිෆ්ට් එකට උඩින් සීසීටීවී එකක් තියනවා. මිස්ටර් මල්දෙණිය විසි හය රෑ එකොළහයි තිස් දෙකට රූම් එකට යනවා සීසීටීවී වල තියනවා. එතනින් පස්සේ මිස්ටර් මල්දෙණියගේ සෙකට්‍රියි , හොටෙල් එකේ කීපදෙනෙකුයි උදේ දහයයි විසි දෙකට ඇවිල්ලා මිස්ටර් මල්දෙණියට කතා කරනකන්ම සීසීටීවී වල හැටියට කිසිම කෙනෙක් රූම් එකෙන් එළියට ගිහිල්ලත් නෑ , ඇතුළට ඇවිල්ලත් නෑ….”

ෂියෝනා ඇගේ අතෙහි තිබූ ලිපි ගොනුවේ තවත් පිටුවක් පෙරළුවාය. 

” රූම් එකේ බැල්කනිය ?” 

මනුහස්ට පෙර ඉක්මන් වූ නාලක වහා ෂියෝනා දෙසට හැරී ප්‍රශ්න කළේය.

” නයින් මවුන්ටන්ස් එකේ මිස්ටර් මල්දෙණිය හිටපු රූම් එක තියෙන්නේ හතරවෙනි තට්ටුවේ. සෝදිසි කිරීම් වලින් බැල්කනියෙන් කිසිම දෙයක් හොයාගෙන නෑ. කොටින්ම විසි හය වෙනිදා බැල්කනි එකේ ග්ලාස් එක තියා කර්ට්න් එකවත් ඕපන් කරලා නෑ. “

ෂියෝනාගේ පිළිතුර හමුවේ නාලකගේ මුව අඳුර වී ගියේය. 

” මේ මනුස්සයා කාමරේ ඇතුළෙම අතුරුදහන් වුණා වගේනේ සර් ? ” 

නාලකගේ ඊලඟ පැනය යොමු වූයේ පොලිස් අධිකාරීවරයා දෙසටය. නාලකට සවන් නුදුන් අධිකාරීවරයා මනුහස් දෙසට හැරුණේය. 

” මොකෝ ඉලන්දාරියා කියන්නේ ?” 

” ඔක්කොටම කලින් අදාල හොටෙල් එකට යන්න වෙනවා සර්. අද විසි නමය. මේ මනුස්සයා නැති වෙලා තියෙන්නේ දවස් දෙකකට කලින්. ඒකත් විසි හත , විසි හත කිව්වට විසි හය රෑමද කියලා අපි හරියට දන්නෑනේ සර්..?” 

ඉහළ නිලධාරියා පැනය ඉදිරිපත් කළේ මනුහස්ට වුවද ඔහුට පෙර පිළිතුරු ලබා දුන්නේ නාලකය. 

” කැන්ඩි යන්න කලින් මං නං කියන්නේ මිස්ටර් මල්දෙණියගේ ගෙදරට ගියා නං හරි කියලා “

ෂියෝනා තවත් යෝජනාවක් ඉදිරිපත් කළ අතර පොලිස් අධිකාරීවරයා  හිඳ සිටි අසුනෙන් ඉදිරියට ආවේය .

” මේක හොඳින් අහගන්න හැමෝම. මිස්ටර් මල්දෙණිය කියන්නේ රටේ ලොකු නමක් තියන මිනිහෙක්. රටේ ලොකු ලොකු තැන් කීපයකටම සම්බන්ධකම් තියන මනුස්සයෙක්. මිස්ටර් මල්දෙණිය අතුරුදහන් වුණා කියන එක පවුලේ ඥාතීන් , සහ සීමිත පිරිසක් ඇරෙන්න වෙන කිසි කෙනෙක් දන්නෑ. එහෙම උනානං දැනටමත් මීඩියා වලයි , සෝශල් මීඩියා වලයි මේ නිවුස් එක පතුරු ගහනවා. අපිට ඉහළින් ලැබිලා තියන අණ පැය හතළිස් අටක් ඇතුළත මේ කාරණේ පිටට යන්න නොදී එක්කෝ මිස්ටර් මල්දෙණිය ඉන්න තැනකින් හොයාගන්න ඕනේ. නැත්තන් මිස්ටර් මල්දෙණියට උනේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. විශේෂම දේ මේක පිටට යන්න බෑ. ඒ නිසා මට මේක මගෙ විශ්වාසවන්තම එකෙක්ට දෙනවා ඇරෙන්න ටීම් එකකට බාර දෙන්න බෑ. “

නාලක දසනායක හිඳ උන් අසුනෙන් මඳක් ඉදිරියට විත් එක එල්ලේ පොලිස් අධිකාරීවරයා දෙස බලා සිටියේ මෙකී පරීක්ශණය සඳහා සම්බන්ධ වීමට දැඩි උත්සාහයක් නිරත වෙමිනි.  නමුත් අධිකාරීවරයාගේ දෑස කැරකැවී ගොස් නතර වූයේ මනුහස් විජේවර්ධන අසලය. අධිකාරීවරයාගේ දෑසේ ඇති දෑ හොඳින් වටහා ගත් මනුහස් විසල් හුස්මක්  අත හැරි අතර පොලිස් අධිකාරීවරයා ඔහුගේ එම හැසිරීම පිළිබඳව මඳක් විමතියකට පත් වුණේය. 

” මොකෝ උඹ … ?” 

කෙතරම් භාර දූර කර්තව්‍යක් වුවද සෑම මොහොතකම ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කරන තරුණයා තුළ අද දින පෙර පැවති කිසිදු උද්‍යෝගයක් නොමැති වීම ඔහුගේ තීක්ෂණ දෑසට හසු වූයේය. තමා ඇසූ පැනයට පිළිතුරක් බලාපොරොත්තු නොවූ ඉහළ නිලධාරියා තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුව මනුහස් විජේවර්ධන අසලින් තැබුවේ නිලධාරී නාලක දසනායකගේ සියළු බලාපොරොත්තු සුන් කරමින්ය. 

 ” සර්… ! තියෙන්නේ පැය හතළිස් අටයි නං අපිට පුලුවන් තරම් ඉක්මන් වෙන්න වෙනවා. මීට්න් එකකටවත් වෙලාවට එන්න බැරි මනුස්සයෙක්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නෙපා. මේ මනුස්සයව කිඩ්නැප් කරලා තියෙන්නේ. දැනටම දවස් දෙකක් ඉවරයි. අපි තව පරක්කු වෙන්න පරක්කු වෙන්න මිස්ටර් මල්දෙණියගේ ජීවිතේ අනතුරේ…”

නාලක දසනායක පුපුරා හැළෙන ඊර්ෂ්‍යා සහගත හැඟීම් මැදින් පවසා සිටියේය. අලස කමින් බලා සිටින මනුහස් දෙසට හැරුණු ඉහළ නිලධාරියා මෙවර මනුහස්ගෙන් සෘජු පිළිතුරක් බලාපොරොත්තු වන බව ඔහුගේ දෑස කියා පෑවේය. 

” මේක කිඩ්නැප් එකක් නෙමෙයි සර්. “

මනුහස් මුළ සිටම පැවති උද්‍යෝගයෙන් තොර හැඟීමෙන්ම පවසා සිටියේය. නැඟී සිටි නාලක විසල් කර ගත් දෑසින් මනුහස් දෙස බලා සිටි අතර ඔහු දෙස බැල්මක් හෝ නෙහෙළූ මනුහස් හිඳ සිටි ඉරියව්වෙන්ම පොලිස් අධිකාරීවරයා දෙසට දෑස යොමු කළේය. 

” මනුස්සයෙක් කිඩ්නැප් උනානං පළවෙනි පැය හතළිස් අට තුළ කිඩ්නැප් කරපු පාර්ශවයෙන් තොරතුරක් ලැබෙන්න ඕනේ. උන්ට මොනාද ඕනේ කියලා. පැය හතළිස් අටකටත් වඩා ගෙවිලා මේ වෙනකන් එහෙම දෙයක් ලැබිලා නෑ කියන්නේ කාරණා දෙකයි වෙලා තියෙන්න පුලුවන් . 

එක – මිස්ටර් මල්දෙණිය මේ වෙනකොටත් ජීවතුන් අතර නෑ. බොහෝ දුරට මේ වෙද්දි අපිට කොහෙන් හරි ඒ ගැන තොරතුරක් ලැබෙන්න ඕනේ. 

දෙක – මේක කිඩ්නැප් එකක්වත් , මිනීමැරුමක්වත් නෙමෙයි මේක මිස්ටර් මල්දෙණිය හිතාමතාම අතුරුදහන් වෙච්ච සිද්ධියක් .

ඔය දෙක ඇරෙන්න වෙන්න කිසි දෙයක් නෑ සර් “

පොලිස් අධිකාරීවරයා  හිඳ සිටි පුටුවෙන් ඉදිරියට විත් මනුහස් දෙස බලා සිටියේය. එක් වරම ඔහුගේ නිල කාමරයේ දුරකතනය නාද වන්නට පටන් ගත්තේය . කිසිවක් නොපැවසූ ඔහු රිසිවරය කනේ තබා ගෙන පිළිතුරු බැන්ඳේය. 

” වට්…?” 

ෂියෝනාගේත් , නාලකගේත් තිගැස්සුණු සිව් දෑස් ඉහල නිලධාරියා වෙත යොමු වද්දී රිසිවරය තැබූ ඔහු හිඳ සිටි අසුනෙන් නැඟී සිටියේය. 

” බොඩි එක මහවැලි ගඟේ පාවි පාවි තියෙද්දී හම්බෙලා. මෙන්න මේක බාර අරන් කරපන් බං. “

ඔහු මේසය මත තිබූ ලිපි ගොනුව මනුහස් වෙතට දිගු කළ අතර එය අතට ගත් මනුහස් තම ඉහල නිලධාරියාට ආචාර කොට නිල කාමරයෙන් පිටව යද්දී සිදු වූ දෑ විශ්වාස කරගත නොහැකි වූ නාලක ඇසි පිය නොගසා ඔහු දෙස බලා සිටියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here