අංගාර – 3

0
3788

රාත්‍රිය නිහඬව ගෙවෙමින් තිබුණි. චරකගේ ආහාර පිරවූ ගමන් මල්ල සම්පූර්ණයෙන්ම අම්මා විසින් සැකසීම බාරගෙන තිබුණි. චායා ඇඳුම් නවා ඇඳ මත සැකසුවාය. 

” විහඟි නිදිද ?”

“නිදි ඇති.. “

ඉන් පසුව දෙදෙනා අතට කතාබහක් වූයේම නැත. විහඟි කාමරයට ගියේ රාත්‍රී දොලහත් පසුවීය. විහඟි උන්නේ නිදි නැතිවය. චායා මිතුරියගේ හිතුවක්කාරකමට බැණ වැදුනාය. 

යහනට දුරින් වූ පුටුවක් වාඩි වූවාය.

” මට නින්ද ගියේ නෑ චායා…”

“ඉතින් කතා කරන්න එපැයි අමාරුවක් තිබ්බා නම්..”

“අමාරුවකට නෙවෙයි… මන්දා..”

” ඔයාට බණ කිව්වට, මට නින්ද එන්නෙ නෑ දවස් ගානක ඉඳන් විහඟි.. අර අහිංසකයට මොකක් හරි කරදරයක්ම වෙලා කියලා යටි හිත කියනවා……”

චායා එසේ කීවේ වේදනාව සඟවාගන්නට උත්සාහ නොකරමිනි.  එක් පසෙකිම්  සස්මිතගේ අතුරුදහන් වීම,  අනෙක් පසින්  අයියාගේ හදිසි විදෙස්ගත වීමය, ඇයගේ සිත අවුල් කර දමා තිබුණි.  කෙතරම් සාමාන්‍ය වන්නට උත්සාහ කලද, දිය යට ලූ  බෝලයක් උඩ මතු වන්නා සේ, උඩ එමින් තිබුනේ සිතෙහි වූ වේදනාවය. 

චායා පවසන දේ ඇසෙද්දී විහඟි  ඇස් වසාගෙන සිටියේ ශරීරයේ වේදනාවට වඩා හදවතේ වේදනාව දරමින්ය.

චරක…..,

ඔහුගේ හඬ…

ඔහුගේ සිනාව…

ඔහුගේ සුවඳ…

ඒ සියල්ලම සිත තුළ නැවත නැවත  මතුවෙමින් තිබුමණි.චායා දරන වේදනාවම තම සිත තුළද ඇති බව , මිතුරියට සඟවාගෙන සිටීමේ වේදනාවද විහඟිට දරාගන්නට සිදුව තිබුණි.

“චායා දැනගත්තොත්…. යාලුකම් පවා ඉවර වෙයි……මේ කොච්චරක ද්‍රෝහිකමක්ද දෙය්යනේ… අනේ… මට සමාවෙන්න … සමාවෙන්න …චායා……?”

විහඟිගේ ඇස් අගින් නිහඬ කඳුළක් ගලා ගියේය.නාසය ඉහලට නොඇද හුස්ම ගන්නට හැකි වූයේ නැත. චායා පියවි සිහියට පිවිසියේ  ඒ හඬිනි. 

” අමාරුද .. ඒයි ??.. අය්යේ… අය්යේ….පොඩ්ඩක් එනවාකෝ….”

විහඟිට  චායා නවතාගන්නටවත් ඉඩක් ලැබුනේ නැත.  චායා කාමරයේ දොරෙන්ද එබී චරක අමතමින් උන්නාය. කමිසයේ බොත්තම් දමමින් කාමරයට ආ චරක දකිද්දී විහඟිගේ හැඬුම් තවත් වැඩි විය.

” මෙයා නිදි නැතුවද ඉඳලා තියෙන්නේ ? .. මොකෝ නංගි ?..”

චරක දෙදෙනා දෙසම බලමින් විමසුවේය. චායා සිදුවූයේ කුමක්දැයි කීවාය.

” මොකක්ද ප්‍රශ්නේ ? ඩොක්ටර් කිව්වනේ ඇඟ වීක් නිසා මිසක් වෙන අවුලක් නෑ කියලා….”

චරක විහඟිගෙන් ඍජුවම විමසුවේය. විහඟි එය පිලිගන්නට මෙන් හිස සැලුවාය.  ඉන් පසුව චරක හැඬීමට හේතුව  කිහිප වතාවක්ම විමසූවද  , විහඟි කලේ හැඬුම් මදකින් අඩු කරගන්නා ගමන්ම කිසිවක් නොමැති බව පවසන්නට හිස සැලීමය. 

” ගොලුද ? ඔලුව වනන්නේ ? කතා කරලා කියනවා මොකක්ද ප්‍රශ්නේ කියලා…”

එවර  චරකගේ කෝපය නැගී ආවේය. චායා චරකට බැණ වැදුනාය. 

” කියනවා.. මොකක්ද අවුල ?”

“දුකයි…”

මද වේලාවක් නිහඩව හිඳ, දිගු සුසුමක් අගට විහඟි එලෙස කීවාය. චායා නිහඬවම බලා උන්නේ විහඟි ට කුමක් සිදුවීදැයි වටහාගන්නට නොහැකිවය.

” ඒ අහවල් එකක් හින්දාද දුක ?…”

චරක යලි කඩාපැන්නේය

” එහෙම එකක් නෙවෙයි චරක අය්යේ.. නිකන්…”

“නිකන් දුක හිතෙන්නේ , ඔටෝ ෆෝර්මැටින්ද ?”

” එහෙම නෑ අනේ.. අය්යා ගිහින් නිදාගන්නකො..”

” මගේ නින්ද බලාගන්නකල්, කියනවා.. මොකක්ද අවුල…”

චායාද, චරකද විහඟිගෙන් දෑස් ඉවතටනොගෙන බලා උන්නෝය..දෙදෙනාගෙන්ම ගැලවීමක් නැති බව විහඟිට  වැටහුණේය.  

” එහෙම නෑ අය්යේ..  මට දුක හිතුණා..”

ඕ යළි එයම කීවාය.

” හරි හරි බං ……… මොකකටද දුක හිතුණේ ?”

” මට කාත් කවුරුත් නැති නිසා අය්යේ… චායා හමුනොවෙන්න, මෙහෙම අසනීපයක් වෙච්ච වෙලාවක මට යන්න තැනක් නෑනේ හිතුණා… මගේ වාසනාවට, ඔරියන්ටේශන් එක වෙලේ අපි එක ලඟ වාඩි නොවෙන්න, මම කොච්චරක් අසරණ මනුස්සයෙක් වෙන්න තිබ්බද හිතුණා.. මගේම අම්මා, පිට මිනිහෙක් ලොකු කරගෙන මාව මගේ තාත්තාගෙම ගෙදරින් එලියට ඇදලා දාපු එක මතක් වුනා.. මොන දෙයක් වුනත්, මට යන්න මගේ කියලා තැනක් නෑ කියලා මතක් වුනා.. මට මගේ කියලා කිසිම කෙනෙක් නැති බව මතක් වුනා…. “

විහඟි එක හුස්මට කියා දැම්මාය. චායා යහනේ අනෙක් පසින් යහන මතට පැන්නාය. විහඟි ව වැළඳගත්තාය. 

“පිස්සු හිතන්නේ ඇයි රත්තරනේ.. මම කියල තියෙනවානේ.. මේක ඔයාගෙත් ගෙදර…. මේ ඔයාගෙත් අය්යා… මේ ඔයාගෙත්  කාමරේ…විහඟි… මං කියලා තියෙනවා නේද, ඔය විකාර ඔයාගේ ජීවිතේට ඕනි නෑ කියලා..”

“දන්නවා … දන්නවා… මම.. චායා .. “

විහඟි අසීරුවෙන් මෙන් එලෙසද කියා දැම්මාය. චරකගේ වත ඇයට යන්තමින් පෙනෙන්නේය. ඔහු මත වන හැඟීම සිතාගන්නට නොහැක. චායා මිතුරියගේ කඳුලු පිසලූවාය. 

” සොරි අය්යේ.. ඔයා නිදාගන්න ගිහින් ..”

විහඟි ඉන් පසුව යළි අසීරුවෙන් මෙන් කීවාය.

” මට ආයේ මේක පැහැදිලි කරන්න තියන්න එපා… මේ ගේට්ටුවෙන් මෙපිට වගේම එපිටත් චායා වෙනුවෙන් මං ඉන්නේ කොහොමද, ඔයා වෙනුවෙනුත් එහෙමම ඉන්නවා නංගි .. මට අනෙක් අය ගැන සහතික දෙන්න බෑ.. ඒත් මම ඉන්නවා.. ඕනි වෙලාවක… ඕනි දේකට… ඔයාගේ ජීවිතේ පිළිවෙල වීගෙන යන්නේ.. හොඳ කොල්ලෙක් ඇවිල්ලා.. ලස්සනට ආදරේ කරලා… ජීවිතේ පිලිවෙල කරනකල්, ඔය මනස්ගාත ඔලු ගෙඩියෙන් අය්න් කරලා වැඩ ටික කරගන්නවා.. තේරුනාද ?”

විහඟි ගේ හඬ නැඟුණේ නැත. එහෙත් චරකගේ හඬ ඇගේ හදවත තුළ ඉතා තදින් ඇලවී ගත්තේය. ඕ අත්ල එකිනෙක තරයේ පිරිමැදගත්තාය. චරක දෙස නොබලාම ඉන්නට උත්සාහ ගත්තාය.

” තේරුනාද ?..”

චරකගේ  හඬ නැඟුනේ උස් වය. ඕ හිස සැලුවාය. චායා යළි මිතුරියගේ කොපුල් අල්ලා මිරිකුවාය.

” නිදාගන්න දැන්.. හෙට ලෙක්චර්ස් නොගිහින් ඉමු… නේ ?”

සස්මිත පිළිබඳව යම් ආරංචියක් වෙතොත් එය වහා තමා වෙත එනවාය විශ්වාසය ඇතුව චායා කීවාය. විහඟි එයට හිස සැලුවාය. ඔහු පේන මානයේ ගෙවන්නට ලැබෙන පැය විසි හතරක් මඟ හැර ගන්නට කිසිඳු අවශ්‍යතාවක් නැත. 

” ඉන්නවා ඉන්නවා. හෙට ගෙදර.. “

ඒත් සමඟම චරකගේ ජංගම දුරකථනය නාද වන හඬ ඇසුණ අතර, ඔහු කලබලයෙන් කාමරයෙන් නික්මුණේය. 

“මෙයාට ෆෝන් එක රින්ග් වෙනකොට  වෙනදා නැති  කඩි කුලප්පුවක් හැදිලා මොකද මේ….? කෙල්ලෙක්වත් පැටලිලාද දන් නෑ…”

චායා සිනාසෙමින් කීවාය.   විහඟි ගේ සිතෙහි යන්තම් පීදෙමින් තිබුණු මල් පොහොට්ටු  වියළී ගියේය. 

| මතුවට 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here