BE SILENT – 05

0
34

”  මේ වෙලාවේ මෙහෙම ප්‍රශ්න අහන එක සුදුසු නෑ කියලා අපි හොඳින්ම දන්නවා. ඒත් මිසිස් මල්දෙණිය මිස්ටර් මල්දෙණියගේ මරණය ගැන හරි තීරණේකට එන්න මිසිස් මල්දෙණියගේ සහය අපිට මේ වෙලාවේ ලොකු උදව්වක්. ඒ නිසා මිසිස් මල්දෙණිය , අපි මේ අහන ප්‍රශ්න වලට උත්තර හොඳට කල්පනා කරලා බලලා පැහැදිලිව කියන්න “

කිසිවක් නොපැවසූ නෙත්‍යා මල්දෙණිය ෂියෝනාගේ කතාවට එකඟව හිස සැලුවාය. 

” මිසිස් මල්දෙණියගේ සම්පූර්ණ නම . ? “

” නෙත්‍යා සඳනාරී මල්දෙණිය “

ඈ සෙමින් පිළිතුරු දුන් අතර ඈ තමා හා කතා කළ පළමු වචන කිහිපයට වඩා මේ වන විට ඇගේ කටහඬ බිඳී ගොස් ඇති බව ෂියෝනාට දැනුණාය . 

” මිසිස් මල්දෙණිය , මිස්ටර් මල්දෙණියව අන්තිමට දැක්කේ කවදද ? “

” විසි හය වෙනිදා උදේ දහයට විතර. “

” මිස්ටර් මල්දෙණිය කැන්ඩි ගිය දවසේ..?” 

” ඔව්..  බිස්නස් මීටින් එකක් කියලා එයා කැන්ඩි යන්න ලෑස්ති වෙලා හිටියේ. ගෙදරින් යද්දි උදේ දහය විතර උනා. “

” මිස්ටර් මල්දෙණිය ගෙදරින් යද්දි පිටත් වෙලා ගියේ කාත් එක්කද ? “

නැවත වතාවක් පාලනයකින් තොරව කඩා හැළෙන කඳුළු නෙත්‍යා මල්දෙණිය විසින් පිස දැමුවාය.

” වෙනදට ඔෆිස් යන්නේ ඩ්‍රයිවර් රුවංග එක්ක. හැබැයි එදා ඔෆිස් එකට ගිහින් එහෙම්මම කැන්ඩි යන නිසා රුවංගට ගෙදරට නෑවිත් වෙහිකල් එක ඔෆිස් එකෙන් අරන් ගෙදරට දාන එක විතරයි කරන්න තිබ්බේ”

” එතකොට මිස්ටර් මල්දෙණිය අන්තිමට මිසිස් මල්දෙණියට කෝල් කලේ කීයට විතරද ? “

” මං හිතන්නේ 27 රෑ අටට වගේ  “

” මිස්ටර් මල්දෙණිය මෑතකදි මොනාහරි ප්‍රශ්නයක හිටියා  , කරදරේක හිටියා නැත්තන් කාගෙන්හරි ප්‍රශ්‍නයක් තිබුණා වගේ මොනවමහරි වෙනස් දෙයක් මිසිස් මල්දෙණියට මිස්ටර් මල්දෙණියගෙන් දැනිලා තියනවද ? “

නෙත්‍යා මල්දෙණිය නැත යන්න පැවසීමට හිස සැලුවාය. ඉන් පසු දරාගත නොහැකි වූ ඉකියක් සමඟම හඬා වැටුණාය.

නෙත්‍යාගේ හැඬීමට තිගැස්සුණු මනුහස් වහා ඈ දෙසට හැරුණද යළිත් සැණකින් නාන තටාකය වෙත දෑස හරවා ගත්තේය. 

” මාසෙකට විතර කලින් එයාගේ ක්ලාස්මේට් කෙනෙක් නැති උනා. සුයිසයිඩ් එකක්. ඒකට ටිකක් අප්සට් එකේ හිටියා. ඒ ඇරෙන්න වෙන කිසිම හේතුවක් තිබුණේ නෑ. බිස්නස් වල උනත් හැමදේම හොඳින් සිද්ධ උනා. “

මඳ වේලාවකට පසු ආයාසයෙන් නැඟී එන ඉකිය නතර කර ගත් නෙත්‍යා යළිත් දෑස පිස දමමින් පැවසුවාය.

” මිස්ටර් මල්දෙණියගේ ඩෙඩ් බොඩි එක අඳුරගන්න බැරි තරමට ඩැමේජ් වෙලා තිබුණේ . මිසිස් මල්දෙණියයි , මිස්ටර් මල්දෙණියගේ අම්මයි තමයි ඩෙඩ් බොඩි එක අඳුරගත්තේ ? “

නෙත්‍යා පිළිතුරු දීමට පෙර නැවත වතාවක් ඔව් යැයි පැවසීමට හිස සැළුවාය . 

” මිසිස් මල්දෙණිය මට කියන්න පුලුවන්ද එතනදී මිසිස් මල්දෙණිය මේ ඩෙඩ් බොඩි එක මිස්ටර් මල්දෙණියගෙමයි කියලා අඳුරගත්තේ කොහොමද කියලා ? ” 

” එයාගේ අතේ අපේ වෙඩින් රින්ග් එක තිබ්බා. පර්ස් එක , ෆෝන් එක හැමදේම බොඩි එකේ තිබ්බා . එයාගේ කරේ ගෝල්ඩ් චේන් එකක් තිබ්බා ඒක එයාගෙ අම්මා එයාගෙ බර්ත්ඩේ එක දවසෙ අරන් දුන්නු එක. “

නෙත්‍යා හට නැවතත් ඉකි ගැසුණාය. ෂියෝනා දෑස ඔසවා නාන තටාකය දෙස බලා හිඳින මනුහස් දෙස බැලුවාය. නිවැරදි නම් මෙම ප්‍රශ්න කිරීම් සඳහා ඔහුද මැදිහත් විය යුතුය. තමාට වඩා හොඳින් හරස් ප්‍රශ්න ඇසීමේ හැකියාව ඇත්‍තේ ඔහුටය. නමුත් ඒ කිසිවක් නොකර මෙම මොහොතේ නාන තටාකය වෙතම ඇලී ගැලී සිටින ඔහුගේ හැසිරීම ෂියෝනාගේ හදවතේ මඳ කෝපයක් දළු ළෑමට සමත් වූයේය.

” මිස්ටර් මල්දෙණියට බිස්නස් එකේ කවුරුහරි තරහාකාරයෙක් හිටියද ?” 

මෙවර ෂියෝනා වෙනුවට නෙත්‍යා මල්දෙණිය වෙත ප්‍රශ්නය එල්ල කළේ මෙතෙක් වේලා නිහඬව සිටි සචින්ද්‍රය. 

” බිස්නස් එක ගැන ලොකු දේවල් මං දන්නෑ. මං කවදාවත් බිස්නස් වලට මැදිහත් වෙලා නෑ. ඒත් මං දන්න තරමට තරඟකාරයො ඇරෙන්න තරහකාරයෝ අපිට හිටියේ නෑ. “

” මෙහෙමයි මිසිස් මල්දෙණිය , මිසිස් මල්දෙණියට තේරෙනවා ඇතිනේ මේක ටිකක් ප්‍රශ්න සහගත මරණයක්. මුලින්ම දවස් දෙකක් පුරාවට මිස්ටර් මල්දෙණිය අතුරුදහන් වෙනවා. ඊලඟට අඳුරගන්න බැරි තරමට ඩැමේජ් වෙච්ච මිස්ටර් මල්දෙණියගේ ඩෙඩ් බොඩි එක අපිට හම්බෙනවා . පෝස්ට්මෝටම් එකේ හැටියට කිසිම පහරදීමක් , කිසිම විසක් ශරීරගත වීමක් , මිනීමැරීමකට උත්සාහ ගැනීමක් මේ කිසිම දෙයක් නැතුව මරණයට හේතුව නිකන්ම දියේ ගිළීම විතරයි. මිස්ටර් මල්දෙණිය කියන්නේ රටේ නම ගිය බිස්නස්මන් කෙනෙක්. ඉතිං මේක සාමාන්‍ය දියේ ගිලීමේ අනතුරක් කියලා අපිට බැහැර කරන්න බෑ. පොලීසිය වෙච්ච අපිට හැම පැත්තකින්ම මේ මරණය වෙනුවෙන් තියන ප්‍රෙෂර් එක වැඩියි. ඒ නිසා මිසිස් මල්දෙණියට තියන පුංචිම හෝඩුවාවක් හරි , පුංචිම තොරතුරක් හරි කමක් නෑ මතක් උනොත් හරි ඉස්සරහට දැනගන්න ලැබුණොත් හරි අපිට අනිවාර්‍යෙන්ම දන්වන්න , අනික….”

“යං…”

මෙතෙක් වේලා නාන තටාකය දෙස බලා සිටි මනුහස් එසේ පවසමින් කිසිවෙකුත් දෙස නොබලාම ඉක්මන් අඩි තබා නිදන කාමරයෙන් පිට වූ අතර සචින්ද්‍රත් , ෂියෝනාත් මුහුණට මුහුණ බලා ගත්හ .

” අපි එන්නං මිසිස් මල්දෙණිය. අර කිව්වා වගේ මොනවහරි දෙයක් දැනගත්තොත් අපිට දන්නන්න. “

සචින්ද්‍ර පැවසූ සියල්ල අසා සිටි නෙත්‍යා මල්දෙණිය ඒ සියල්ලටම හිස සලා එකඟ වූවා මිස කිසිවක් නොපැවසුවාය.

” මිසිස් මල්දෙණිය , එහෙනං අපි දැනට ගිහින් එන්නං , ආපහු එන ඕනෙම හදිසි අවස්ථාවකදි මිසිස් මල්දෙණියගේ සහයෝගේ අපිට අඩුවක් නැතිව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. “

එසේ පැවසු ෂියෝනා හිඳ සිටි සෝපාවෙන් නැඟී සිටි අතර ඈ අනුව සචින්ද්‍රද නැඟී සිටියේය. 

” මොකද්ද මනුස්සයෝ වෙලා තියෙන්නේ ?” 

ජීප් රථයට ගොඩ වූ වහා ෂියෝනා මනුහස්ගේ ඇඟට කඩා පැන්නාය .

” තව කොච්චර දේවල් තිබ්බද අහන්න ?” 

ඈ දිගින් දිගටම නෝක්කාඩු පවසද්දි සචින්ද්‍ර පණ ගැන් වූ ජීප් රථය මල්දෙණිය නිවසින් පිටතට ගත්තේය. 

” තව මොනා අහන්නද ? මිසිස් මල්දෙණියගේ හස්බන්ඩ්ට අනියම් සම්බන්ධයක් තිබ්බද ? මිසිස් මල්දෙණියයි , මිස්ටර් මල්දෙණියයි අතරෙ තිබ්බේ කොයි වගේ රිලේශන්ශිප් එකක්ද ? වගේ ඕප දූප ටික අහන්නනේ ?” 

වේගයෙන් මාර්ගය පුරා එහා මෙහා යන රථ වාහන වලට දෑස යොමු කරමින් මනුහස් පැවසූ දේ ඇසුණු ෂියෝනාගේ හදවතේ තිබූ කෝපය තවත් වැඩි වූයේය. 

” ඒවා කොහොමද අනේ ඕප දූප වෙන්නේ ? මේ වගේ සිටුවේශන් එකකදි දැනගන්න ඕනේ වැදගත් තොරතුරු ඕවා. කවුද දන්නේ මේක පිටිපස්සේ ඉන්නේ මල්දෙණියගෙ හොර ගෑනියෙක්ද කියලා ? නැත්තන් ඒ මනුස්සයගෙ වයිෆ් තමන්ගෙ මිනිහටම මෙහෙම දෙයක් කළාද කියලා ? නැත්තන් ඒ ගෑනිගේ හොර මිනිහෙක් …”

” ෂියා….!”

මනුහස්ගේ කෑගැසීමට ෂියෝනා තිගැස්සී ගිය අතර සචින්ද්‍ර වේගයෙන් තිරිංග තද කොට ජීප් රථය මාර්ගය මැදම නතර කළේය. 

” යමං…”

වේගයෙන් හුස්ම ඉහල පහල දැමූ මනුහස් දා බිඳු වැගිරෙන මුහුණ සචින්ද්‍ර දෙසට හරවා පැවසූ අතර ඔහු කිසිවක් නොපවසා ජීප් රථය යළි ධාවනය කිරීමට පටන් ගත්තේය.

” සර් ..! මොකක් හරි අවුලක්ද සර් ? ගිය අවුරුද්ද අන්තිමේ සර්ම විසඳපු අර ජුවෙලරි ශොප් එකේ රහීම් කියන ඕනර්ගේ කේස් එක මතකද ?  සැකකාරයෝ අච්චර ඉඳලත් සර්මයි කිව්වේ මේක තරහාකාරයෙක්ගෙ වැඩක් නෙමෙයි කියලා. අන්තිමට මිනිහව මරන්න කන්ට්‍රැක් එක දීලා තිබ්බේ මිනිහගෙම ගෑනි. මේකත් ඇයි සර් එහෙම වෙන්න බැරි ? “

” මේක එහෙම එකක් නෙමෙයි . එච්චරයි “

මනුහස් හට මෙම කතාව තවත් දුර ගෙන යාමට අවශ්‍ය නොවීය. ඔහු සචින්ද්‍ර දෙස නොබලාම පිළිතුරු දුන්නේ අදාල මාතෘකාව තව දුරටත් කතා කිරීම ඵලක් නොවන බව ඔහුට ව්‍යංගයෙන් ඇඟවෙන පරිදිමය. 

” මිස්ටර් මල්දෙණියගේ මරණෙ අන්තිම දවස කවද්ද ? “

” හෙට සර්..”

” ෂියා..!” 

” ම්ම්ම් .. ?”

ෂියෝනාගේ හදවත පුරා රිදුමකුත් නොවන කෝපයකුත් නොවන හැඟීමක් පිරී තිබුණේය. 

” මෙහෙ වැඩ ටික බලා ගන්න. සචින්ද්‍ර .., ලොක්කට කියන්න මායි , ඔයයි අද හවස කැන්ඩි යනවා කියලා “.

ෂියෝනාත් , සචින්ද්‍රත් ප්‍රති උත්තර ලෙස කිසිවක් නොපැවසූහ. 

පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඔවුන්ගේ නුවර ගමන ගැන සඳහන් කරන ලෙසත් , තමා එනතෙක් මෙහි කළ යුතු රාජකාරි කිහිපයක් එකින් එක ෂියෝනා හට පැවසූ මනුහස් ඔහුගේ නිවස පිහිටි මහල් නිවස අසලින් ජීප් රථයට සමු දී නිවස වෙත ආවේය. 

මහල් නිවාස සංකීර්ණයේ එකොළොස්වන මහලේ පිහිටි තම නිවසට ගොඩ වූ මනුහස් මුළුතැන්ගෙහි තිබූ ශීතකරණයෙන් ගත් ශීත කළ බීර බෝතලයක්ද අතැතිව නිදන කාමරයට ගොස් හැඳ සිටි උඩු ඇඟලුම ගලවා ඉවත් කළේය. ඉන් පසුව විවර කළ බීර බෝතලය මුව තබා එක හුස්මට පානය කරන අතරතුර නිදන කාමරයට යාබද බැල්කනියේ වීදුරුව මතින් පෙනෙන විසල් ගොඩනැගිලි දෙස වේගයෙන් හතිළමින් බලා සිටියේය. 

කිසිවෙකුටත් හොර රහසේ තමාගේ දැඩි සුපරික්ෂාකාරී දෑසට පමණක් හසු වූ මයන් මල්දෙණියගේ බිරිඳ වූ නෙත්‍යා සඳනාරී මල්දෙණියගේ මැණික් කටුව අසල තිබූ ළා දම් පැහැයට හැරුණු සලකුණත්  සහ ඇගේ ගෙල පසුපස තිබූ එවැනිම තවත් ළා දම් පැහැයට හැරුණු සලකුණත් ‍යළි යළිත් මතක් වීමෙන් මනුහස් විජේවර්ධන නම් දේහදාරී කඩවසම් තරුණයාගේ හදවත මහා විසල් රිදුමකින් මෙන්ම කෝපයකින්ද පිරී යන්නට පටන් ගත්තේය. 

” තමුසෙ ඉඳලා තියෙන්නේ හොඳින් නෙමෙයි සුදු බෝලේ.. තමුසේ ඉඳලා තියෙන්නේ හොඳින් නෙමෙයි…”

ඔහුගේ හදවත තුළින්   දොළොස් වසරකට පෙර සිටි හිතුක්කාර තරුණයෙක් උඩට මතු වී එද්දී ඔහු තම අතෙහි තිබූ බීර බෝතලය වේගයෙන් ඔසවා පොළොවට දමා ගැසුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here