අංගාර – 5

0
2616

විහඟි සරසවි මිතුරා ඇමතුවේ චායාට කලබල නොවන සේ පවසමිනි.  පලමු වර ඇමතුමට පිළිතුරු නොලැබුණි. එහෙත් තත්පර කිහිපයක් ඇතුලත පෙරලා යලි ඇමතුමක් ලැබුණි. චායා බලෙන්ම විහඟි අතේ වූ ජංගම දුරකතනය උදුරාගෙන එය හඬ නැගෙන සේ සැකසුවාය.

” කියපං …”

විහඟි චායාව වලක්වන්නට උත්සාහ කරමින් උන්නා මිසෙක ඇමතුලට පිළිතුරු දෙන්නට උත්සුක වූයේ නැත.

” කියපං බං … මොකෝ ?…”

” බිලාල් …”

” ඔව් ඔව් … “

” මේහ් … මොකක්ද මේ උඹ චායාට කියලා තියෙන්නේ ?…”

” කාට ?…”

” චායා .. චායා බං … මේ ..පැංචි ට …”

” මොකක්ද ?…”

” අර …තෙලා .. රට ගිහින් කියන්නේ?…”

” හ්ම්ම් …”

චායා ජංගම දුරකතනය තවත් තදින් අල්ලා ගත්තාය. විහඟි චායාගේ අතකින් අල්ලා ගත්තාය.

” මටත් හිතාගන්න බෑ බං … එයාර් පෝර්ට් යන ගමනේ කියලා මට කතා කලෙත් … ඩිග්‍රී අනන් මනන් ඔක්කොම දාලා යන්නේ කිව්වා… අක්කාව ගොඩ ගන්න ලැබෙන කිසිම අවස්තාවක් මඟ ඇරගන්න බෑ කතාවක් කිව්වා… ගිහිල්ලා දේවල් පිලිවෙලක් කරගෙන මට කතා කරන්නම් කියලත් කිව්වා…   මේ ගැන පැංචිට කියලා ඒකිව බලා කියාගන්න කියනෙක තමා ආයේ කිව්වේ.. හෙමින් තාලේ උඹටත් මේක පහදලා පැංචි ළඟින් ඉන්න කියන්න කියලත් කිව්වා… මම මේක ඩෝං ගාලා පැංචිට කියලා දැම්මේ උඹ ඉන්නේ ඒකි එක්ක කියලා අපේ උන්  කිව්ව නිසා… මේක ඒකිට හංගන්න හංගන්න , ඒකි තව අවුල් වෙනවානේ බං ..”

විහඟි කිසිත් නොපවසා ඇමතුම විසන්ධි කලාය. සිදුවන්නේ කුමක්දැයි විශ්වාස කරගන්නට හෝ නොහැක. දැනෙන්නේ සියල්ල පැටලී ගොස් ඇති බවය. චායා සස්මිතට කෙතරමින් ප්‍රේම කලාදැයි විහඟි දනී. ඔහුගේ ජීවිතයේ හැම තැනක්ම වෙනුවෙන් ඇය කෙතරමින් නම් වග වූවාදැයි විහඟි දනී. එහෙව් ඇයට මේ කිසිවක් දරා ගැනීම පහසු වන්නේ නැත.

චායා නොසිතූ ලෙසින් කඳුලු පිසගෙන නැගිටීම විහඟිට වටහා ගන්නට හැකි වූයේ නැත. ඇය කිසිවක් සිදු නොවූ ලෙසින් චරකගේ ගමන් මලු සැකසීමේ කටයුතු වෙනුවෙන් දායක වූවාය. විහඟි උන්නේ චායා වෙතින් දෑස් ඉවතට නොගෙනය.  චරකට හෝ මේ  කිසිවක් පවසන්නට නොහැකි විම විහඟිව පීඩනයකට ලක් නොකලා නොවේය. එහෙත්, චරක දෑස් මානයෙන්ම වෙන්වී ඉතා හදිසියෙන් විදෙස්ගත වීමේ පීඩනය ඉන් එහා පීඩනයකට ඇය ඇද දාඅ තිබුණි.

අවසානයේ චරක විදෙස් ගත වූයේය. චායා ඔහු වැලඳගෙන හඬා වැටුණේ ජීවිතයේ වඩා බරින් ප්‍රේම කල මිනිසුන් දෙදෙනාම  දින කිහ්පයක වෙනසින් සයුරෙන් එතෙරට දුරස් වීමේ වේදනාව දරාගන්නට නොහැකිවය. අයියාගේ තීරණය යම් තරමින් හෝ විශ්වාස කරගන්නට හැකි වූවද, සස්මිත තමා මෙවන් ගින්නක් මැද තනි කලේ කෙලෙසින්දැයි චායා තමාගෙන්ම සිය දහස් වතාවක් විමසුවාය. චරක චායාගේ හිස පිරිමදිමින් ඇය අස්වසන තත්පරයක් ගානේ චායාගේ හදවත තුළ වේදනාව සිය දහස් ගුණයකින් නැඟුණාය. ඕ ඒ වේදනාව සස්මිත නමට බැර වෙන්නට ඉඩ නොදීම ඉන්නට උත්සාහ කලාය. ඒ අයියාට යම් වෙනසක් දැනේවියැයි බිය නිසාමය.

” අයියේ .. එදා මම ගෙදර ආවේ කොහොමම හරි අයියාට සස්මිත ගැන කියලා.. එයාව හොයාගන්න ඕනි කියලා ඔයාට කියන්න .. එයාව හොයලා දෙන්න කියලා ඔයාගෙන් ඉල්ලන්න .. කකුල් දෙක අල්ලලා වැඳලා හරි, ඔයාගෙන් ගුටි කාලා හරි, සස්මිතව හොයලා දෙන්න කියන්න .. ඒත් මම එනකොට , ඔයා වෙන ගමනක් වෙනුවෙන් තීරණය කරලත් ඉවරනේ අයියේ.. ඉතින් මම  කොහොමද මොකුත්ම කරන්නේ අයියේ.. කොහොමද ඔයාට කියන්නේ.. කොහොමද ඔයාට පැහැදිලි කරන්නේ.. ?”

චායා සිතුවා පමණි.  අවසානයේ චරක ගුවන් ගත වූයේය. නිවසට පැමිනෙන තුරුම චායා හඬා වැටුණාය. මුලදී චායගේ අම්මා එය ඉවසීමෙන් දරාගත්තද පසුව ඇය චායාට බැණ වැදුනාය.

” මොකද්ද දරුවෝ ඔය … අයියා නේන ගමනක් ගියා නෙවෙයිනේ .. අනෙක අයියා සති ගනන් වැඩ වලට එලියට ගිහින් ඇවිල්ලා නැතුවද ?..  ඔයාට ඔය තරම් පාලු නම් ස්ටඩි ලීව් එකේ ගිහින් එන්නකෝ අයියා ලගට .. ඉවරනේ … ඔහොම අඬනකොට දරුවෝ අයියාගේ හිතටත් හරි නැහැනේ… “

” නැන්දා කියන එක හරිනේ චායා … හොඳ කෙල්ල වගේ නාඬා ඉන්නකෝ .. අනෙක එහෙ උන්නා, මෙහෙ උන්නා කියලා නෑ… චරක අයියා ඔයාගේ ඕනි දේකට ඉන්නවානේ… අනෙක, හිතුවා ගියා දුරකටනේ එයා යන්නේ.. නැන්දා කිව්වත් වගේ, සතියකට විතර ගිහින් එන්නත් පුලුවන්නෙ….”

විහඟි ඇගේ හදවත ඉතා අසීරුවෙන් සඟවා ගනිමින් චායා අස්වැසීම වෙනුවෙන් පේවුනාය. චරක තමාගේ හිස මත අත තැබූ බර , යබරුවක් සේ තම හදවත තුළීන් දැනෙන බව විහඟි දරාගත්තේ අපහසුවෙනි. ඒ චරක ශ්‍රී ලංකාව අතැර සිංගප්පූරුවට ගියා නොව, තමා අතැර අන් හදවතකට ඉඩ දෙන ඉමකට  ගියා වග විහඟිගේ හිත කියමින් උන්නේය

චායාද , විහඟිද එකිනෙකා හා සමපාත වන අදහස් සිත් හී සඟවා ගනිමින් දරා ගන්නට මාවතක් සොයමින් නිවසට ඇතුලු වූහ. විහඟිට වූයේ ඇගේ වේදනාව ඇයටවත් නොපෙනෙන ලෙසින් සඟවාගෙන චායා අස්වසන්නටය. ඕ සහෝදරියක වන් මිතුරිය වෙනුවෙන්ද, ප්‍රාණ සම මිනිසාගේ සොයුරිය වෙනුවෙන්ද වගකීම් උරහිසට ගෙන උන්නාය. විහඟි චායාට කැව්වාය. ගත දොවා ගන්නට බල කලාය. චායා හා සමඟම යහනට ගොඩ වූවාය.

” ඔහොම හුල්ලන්නේපා මගේ කෙල්ල … මගේ පපුවත් හීරිලා යනවා චායා … තෙලා එහෙම කරන්න ඌට මොකක්ම හරි හේතුවක් ඇති දෙය්යෝ .. අපි ඒක හොයාගමු … ඊට පස්සේ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කරලා බලමු … ඒ මොක කරන්නත් උඹ කෙලින් කටින් ඉන්නෙපැයි .. චරක අයියා මඟින් මඟට කිව්වානේ නැන්දාලාව බලාගන්න කියලා… උඹ ඒක කරන්නෙපැයි …”

” මට තේරෙන්නේ නෑ දෙයියනේ .. මොන ප්‍රශ්නේ තිබුනත්, කොහෙ යන්න උවමනා වුනත් , ඇයි එයාට ඒක මට කියන්න බැරි ..  කොහොමද මට  එකම එක ඉඟියක්වත් නොදී අතුරුදන් වෙන්නේ  එයා… එයාට මාව එච්චරට නොවටින කෙනෙක්ද විහඟි ?…  යනවා කියන්නේවත් නැතුව යන්න තරම්?.. ගිහින් එනකල් ඉන්න කියන්නෙවත් නැතුව යන්න තරම් …  මට කොහේද වැරදුනේ ?.. කොතනද මම පටලවාගත්තේ ?.. මම කොහොමද හෙට ඉඳන් කිසිම දෙයක් වුනේ නෑ වගේ ජීවත් වෙන්නේ ?…”

චායා හඬා වැටෙද්දී විහඟිට පවසන්නට කිසිවක් තිබුනේ නැත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here