හෝටල් පරිශ්‍රයේ එළිමහන තරමක සීතලකින් යුක්තය. විටින් විට හමා එන කඳුකර සුළඟ එකී සීතල තව තවත් වැඩි කළේය. තරුණ පොලිස් නිලධාරීන් දෙදෙනා ඉදිරියේ වූ මේසය මත තිබූ මත්පැන් බෝතල් හා පිරුණු වීදුරු කිහිපය සිරුරු වල සීත දුරු කරමින් සිටියේය.
ඉස්සර ආදි කාලේ වයලා වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිලා රාග කීව යාළුවේ
මේ වගේ සතුටු සාදයේ
හා.. කැපර්මිඤ්ඤා මායි බනාජී
අර බැගර් ,මැලේ , දවුන ජිවාජී
කපිරිඤ්ඤා , බයිලා ගයා , වයාලා
ලලයි ලාල කියමු නටාලා…
හැඩ වැඩ සාය , හැට්ටෙ , බොස්තැරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් , ඩොරින් , දෝන , මේරි , සුසානා
දකින්න ආස හිතෙනවා…
එළිමහනේ පසෙකින් සිටි කපිරිඤ්ඤා සංගීත කණ්ඩායම ඉතා අලංකාර ගීතයකින් පැමිණ සිටි සියළුම අමුත්තන් පින වමින් සිටි අතර මනුහස්ගේ අවවාදය අනුව සිදු කරන පරීක්ශණයෙහි කිසිදු තොරතුරක් පිළිබඳව කතා බහ කිරීම අමතක කොට දැමූ සචින්ද්‍ර තෙවෙනි වරටත් මත් පැන් පිරවූ වීදුරුවක් මනුහස් වෙත දිගු කොට සිටියේය.
” සර් ෂියෝනා මැඩම්ව දන්නේ ගොඩක් කල් ඉඳන්ද ?”
” ෂියායි මායි ට්‍රේනින් උනේ එකට. “
” ශාහ්.. ඒ කියන්නේ අවුරුදු ගාණක යාලුකමක් ?”
” ම්ම්ම්…”
” ස්ටේශන් එකේ ගොඩාක් උන් කියන්නේ සර්යි , මැඩම් ෂියෝනා අතරෙයි මොකක් හරි එෆෙයාර් එකක් ඇති කියලා “
මනුහස් කට කොනකින් සිනහ වූයේය.
” සර්ලාත් එක්ක එකටම ආපු අයනේ දසනායක සර්ලා , සංකල්ප සර්ලා , ආයේ අර උස මැඩම් කවුද… ආ.. මේ සොහානා මැඩම්. හැමෝගෙම රෑන්ක්ස් එකම උනාට සර් වැඩියෙන් කතා බහ කරන්නේ මැඩම් ෂියෝනා එක්ක විතරනේ. සමහරවිට ඒ නිසා වෙන්නැති. “
” ෂියායි , මායි යාලුවො විතරයි සචින්ද්‍ර . ඊට එහා දෙයක් නෑ. “
” ඒ උනාට මැඩමුයි , සර්රුයි මැචිං නේ. නරකද ට්‍රයි එකක් දීලා බැලුවොත් ? මට නං හිතෙන්නෙම ට්‍රයි කලා නොකලා මැඩම්ගෙ හිතේ සර් ගැන මොනාහරිම තියනවා. “
මනුහස් පෙරට වඩා වැඩි සිනහවක් පෑවේය.
” ෂියා මගෙ ටයිප් එකට සෙට් වෙන්නෑ බං “
” ඒ උනාට අද උදේ මළ ගෙදර යන ගමන් ඉද්දි අර සිගරට් එක උදුරගත්තු තැනදි මට නං නිකන්ම ඒක හිතුණා. “
” පිස්සු නැතුව හිටහන් බං “
සචින්ද්‍රද මහ හඬින් සිනාසුණේය .
” උඹට කෙල්ලෙක් ඉන්නවද ?”
සචින්ද්‍රගේ මුව මත මඳ සිනහවක් ඇඳී ගියේය.
” හ්ම්ම්.. ඉස්කෝලේ කාලේ ලව් එක. දැන් එයා ටීචර් කෙනෙක්. මුලින් මුලින් මං පොලීසියට බැඳුණම ගෙවල් වලින් බර බරේ දැම්මා. දැන් නං අවුලක් නෑ. ශේප්… සර්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?”
” පිස්සුද බං ..?”
සචින්ද්‍රගේ පැනය විහිළුවකට ගත්තද තම මුවින් සිනහවක් පිට වුණාදෝ යැයි මනුහස්ට නොතේරුණේය. ඒ වෙනුවට මනුහස්ගේ හදවත පුරා පැරණි රිදුමක් යළි යළිත් රිදුම් දෙන්නට පටන් ගත්තේය . ඔහු අසල තිබූ මත්පැන් වීදුරුව ගෙන එක වර මුවට හළා ගත්තේය.
” අපරාදෙනේ සර් , සර් එළියට බැස්සම ගෑනු ඇස් කීයක්නං සර් වටේ කැරකෙනවද ? බොරුනං බලන්න අර තුන්වෙනි ටේබල් එකේ ඉන්න ලේඩි දිහා. හස්බන්ඩ් අනිත් පැත්තෙ ඉඳලත් ඇහැ තියෙන්නේ මෙහෙ.”
” බිව්වනං පාඩුවෙ හිටහං යකෝ. හෙට යද්දි ගුටි කාලා යන්න බෑ..”
සචින්ද්‍ර නැවතත් මනුහස්ගේ කතාවට සිනහසුණේය .
” ඇත්තටම සර් කෙල්ලෙක් ඉඳලම නැද්ද ?”
” උඹට මොකටද දැන් ඒක ..?”
” නෑ ඉතිං .. ස්ටේශන් එකේ එහෙම සර් ගැන අහන කෙල්ලො ඉන්නවනේ. හැම එකාම සර් ගැන මොනා හරි අහන්නේ මගෙන් . ඉතිං උන් අහන ඒවට මං උත්තර දෙන්න දැනගෙන ඉන්න එපැයි.. අනික දැන් සර්ලගෙ ගෙදර එහෙම ගියාම අම්මාත්…”
” ආ.. ආ.. ආ.. පොඩ්ඩක් හිටහන්. මට දැනුයි වැඩේ තේරුණේ. කවදාවත් නැතුව උඹ මගෙන් ගෑනු ගැන අහන්නෙ මොකද කියලා. උඹ මේ අපේ අම්මගෙ කන්ට්‍රැක් එකක්ද කරන්නේ ? කියහන් අපේ අම්මට මට කසාද බඳින්න ගෑනු නැතුවට මගෙ අපාර්ට්මන්ට් එකටනං නිතරම ගෑනු එනව යනව කියලා. “
” ඒ උනාට සර් , ගෙදර මිනිස්සුත් පව්නේ. ඒ මිනිස්සුත් ආස ඇති මුණුපුරෙක් , මිණිපිරියක් හුරතල් කරන්න. ?”
” ළමයෙක් නං හදල දෙන්න බැරියෑ කාටහරි කියලා . ඕකට කසාද බඳින්නම ඕන කියල එකක් නෑනේ. අහපන් කාටහරි කියලා මුණුපුරෙක් හදල දෙන්නද කියලා ? උඹ හිටහන් මංම අහන්න …”
එසේ පැවසූ මනුහස් පසෙක තිබූ ජංගම දුරකතනය අතට ගත්තේය.
” අනේ.. අම්මෝ සර්.. මේ..පාඩුවෙ ඉන්න..”
සචින්ද්‍ර වහා මනුහස්ගේ අතේ තිබූ දුරකතනය ගෙන පැත්තකින් තැබුවේය.
” ඒ උනාට සර් , මල්දෙණියගේ වයිෆ් ගැන නං මට පව් කියලා හිතුණා. හා නැද්ද ? ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් වගේ තාම. ශුවර් එකට මල්දෙණිය කාරයා ඒ මනුස්සයට වඩා අවුරුදු දහයක් , පහළවක් වැඩිමල් “
මනුහස්ගේ හදවත යළිත් වේදනාවෙන් පිරෙන්නට පටන් ගත්තේය. දින , සති , මාස , අවුරුදු හරහා කාලය කෙතරම් දුර පියඹා ගොස් තිබුණද එදා මුල් වරට හදවතෙහි ඇති වූ වේදනාව අදටද ප්‍රේමයක් ගැන ඇසෙන , පවසන සෑම මොහොතකම එලෙසම හටගන්නේය. ජීවිතයේ මේ තාක් කාලයක් විටින් විට තමා ඉදිරියේ දිග හැරුණු සියළු අභියෝග වලට ඉතා සාර්ථකව මුහුණ දුන්නද , තමා ඉදිරියේ හට ගත්තා වූ සියළු ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු සොයා ගත්තද වසර ගණනකට පෙර තම ස්නේහවන්තිය හදවත තුළ පැළ කර ගිය වේදනාව නිවන මඟක් ඔහුට මේ වනතුරුත් හමුවී නොමැත.
විසල් මත්පැන් බෝතල් ගණනාවක , නොයෙක් වර්ගයේ මත්ද්‍රව්‍ය , මත් පෙති , මත් කුඩු වර්ග ගණනාවක , සරාගී කාන්තා සිරුරු රාශියක තමා සෙවූ වේදනාව නිවීමේ මඟ කිසිවිටකත් ඔහුට හමු නොවුණේය. දැනුදු හදවත තුළින් නැඟ එන්නාවූ එකී වේදනාව දරාගත නොහැකි වූ ඔහු යළිත් පිරවූ මත්පැන් වීදුරුවක් එක හුස්මට මුවට හළා ගත්තේය.
” සර්.. මුකුත් අඩුපාඩුවක් නෑ නේද ?”
රණබාහුගේ ආගමනයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ කතාවට තිත වැටුණු අතර මනුහස් සිතට නැඟුණු අලුත් අදහසක් සහිතව රණබාහු දෙස බැලුවේය. රණබාහු හට මඳක් පහත් වන ලෙසට සන් කළ මනුහස් ඔහුගේ සවනට කර කුමක් හෝ මිමිණුවේය . රණබාහු විහිදාගත් සිනහවෙන් මනුහස් දෙස බැලුවේය.
” ඕන ජාතියක් සප්ලයි කරන මිනිහෙක් ඉන්නවා. මං සර් ලඟට එවන්නං “
” මට ඔය පොඩි පොඩි ඒවානං හරියන්නෑ. “
මනුහස් යළිත් වතාවක් මත් පැන් වීදුරුවක් අතට ගත්තේය.
” අපේ වීඅයිපී ගෙස්ට්ලට ඕන ඒවා සප්ලයි කරන්නේ මිනිහා තමා. විනාඩි දෙකක් දෙන්නකො සර්. මං මෙතනට එවන්නං “
එසේ පැවසූ රණබාහු වේගයෙන් ආපසු හැරී හෝටල් පරිශ්‍රය තුළට ගියේය. මනුහස් හා රණබාහු අතර වූ කතා බහ තේරුම් ගත නොහැකි වූ සචින්ද්‍ර ප්‍රශ්නකාරී බැල්මෙන් මනුහස් දෙස බලා සිටියද ඔහු සචින්ද්‍රගේ බැල්ම මායිම් නොකොට අතට ගත් මත්පැන් වීදුරුවට මුවට හළා ගත්‍තේය.
” එක්ස්කියුස් මී සර්.. මං ලොයිඩ්. රණබාහු සර් මැසේජ් එක දුන්නේ සර්ට පොඩි උවමනාවක් කියලා. “
ඉතා කුඩා සරීර ප්‍රමාණයකින් සමන්විත වූ අවුරුදු හතළිහක , හතළිස් පහක පමණ මිනිසෙක් මනුහස් අසලට පැමිණ ඔහුව හඳුන්වා දුන්නේය. මනුහස් ඔහුට අසල තිබූ පුටුවකින් හිඳ ගන්නා ලෙස සන් කළේය.
” කමක් නෑ සර් , මෙහෙම හොඳයි. “
” වාඩි වෙනවා අයිසේ.. “
මනුහස්ගේ විදානයෙන් පසු ඔහු පැකිළෙමින් මනුහස් අසලින් වාඩි වූයේය.
” මට පොඩි පොඩි ඒවා සෙට් වෙන්නෑ “
මනුහස් මත්පැන් වීදුරුවක් ඔහු දෙසට ලං කරමින් පැවසුවේය.
” කමක් නෑ සර් , “
මත්පැන් වීදුරුව දෙස කෑදර බැල්මක් හෙලුවද ඔහු එය පළමුවර ප්‍රතික්ශේප කළේය.
” ගන්නවා අයිසේ..”
මනුහස්ගේ මුවින් දෙවන විධානය පිට වූ සැණින් ඔහු මත්පැන් වීදුරුව මුවට හළා ගත්තේය.
” මං ලඟ ඕන ජාතියක් තියනවා සර්. මෙහෙට එන එක එක ජාතියෙ ගෙස්ට්ලට ඕන ඕන ජාතියෙන් මං ලඟ බඩු තියනවා. එක පාරක් ආවම ඊලඟ පාර කන්ටැක් කරන්නෙත් මාවම තමා. ලොක්කා උනත් එන හැම සැරේම වැඩේ භාර දෙන්නේ මට “
සචින්ද්‍ර තවමත් මනුහස් හා ආගන්තුක මිනිසා කතා බහ කරන දෑ තේරුම් ගත නොහැකිව බලා සිටියේය.
” ලොක්කා කිව්වේ මල්දෙණිය ?”
” ඔව් සර්..”
මනුහස් දෙසට ළං වුණු ලොයිඩ් මඳක් සෙමින් පිළිතුරු බැන්ඳේය. මුවඟින් සිනහවක් නැඟූ මනුහස් ලොයිඩ් අත තිබූ හිස් වීදුරුව යළිත් වරක් පිරෙව්වේය. මෙවරද පැකිළෙමින් වුවද ලොයිඩ් කෑදර බැල්මකින් ඒ දෙස බැලුවේය.
” එහෙනං ලොයිඩ් ලඟ සෑහෙන්න කොලිටි බඩු ඇති නේද ?”
” කොලිටි බඩු නං ඕන තරම් තියනවා සර්. ඒ උනාට ලොක්කට දෙන ජාතියෙ ඒවා සර්ලට හරියන්නෑ. “
එසේ පැවසූ ලොයිඩ් අතේ තිබූ වීදුරුව නැවතත් මුවට හළා ගත්තේය.
” ඒ මොකෝ ..?”
” චැහ්.. ලොක්කා ලඟට එක පාරක් ගිය කෙල්ලෙක් ආයේ දෙවෙනි පාරට යන්නෑ සර්. “
මෙතෙක් වේලා මුල සිටම කතා බහ අසා සිටියද මෙහි මාතෘකාව කුමක්ද කියා සචින්ද්‍ර නිවැරදිව වටහා ගත්තේ එම මොහොතේය.
” ඒ මොකෝ .? “
මනුහස්ගේ හදවතේ ගැස්ම මඳක් වැඩි වන බව ඔහුටම තේරුම් ගියේය.
ලොයිඩ් පිළිතුරු දීමට පෙර වටපිට බැලුවේය.
” ටයි කෝට් දාලා හිටියට ලොක්කා එතනදි අමු සතා. එක පාරක් ගිය කෙල්ලෙක්ට ආයේ නැඟිට ගන්න දවස් තුනක් වත් යනවා. එක පාරක් මෙහෙ ආපු වෙලාවක මං ලොක්කගෙ වයිෆ්ව දැක්කා. රෝස මලක් වගේ පොඩි කෙල්ලෙක් සර්. ලොක්කට වඩා අවුරුදු ගාණක් බාල ඇති. මොන දුකක් උහුලනවද දන්නෑ. මටම දුක හිතුණා කියන්නකෝ. “
කෝපයෙනුත් , වේදනාවෙනුත් නළියන දෙකම්මුලත් , දෙතොළත් තද කර ගත් මනුහස් ලොයිඩ්ගෙන් දෑස මුදවා ගෙන ඈත පේන ගන අන්ධකාරය දෙස එක එල්ලේ බලා සිටියේය.


