චායා පසුදිනම විහඟි සමඟින් විශ්ව විද්‍යාල නවාතැන බවා පිටත් වූවාය.
” ලොකු බබා මඟින් මඟට කිව්වා චූටි බබයි , විහඟි බබයි දෙන්නාව මෙහෙ ඉදන් කැම්පස් එක්ක යන්න කියලා…”
යන අතරමඟදී නිවසේ රියැදුරු රංජි එලෙස කීවේ දෙදෙනා දෙසම ඉදිරි කණ්ණාඩියෙන් බලමිනි. චායා උන්නේ පියවි සිහියෙන් ඔබ්බට එලැඹෙමිනි. විහඟි ඇය දෙස යන්තමින් බලා රංජි හා දොඬමළු වූයේ චායාගේ වෙනසක් ඔහුට නොදැනෙන්නටය.
” අපිට එහෙ පහසුයි….අපි ආයේ එහෙ අපහසුවක් දැනුනොත් අනිවාර්යයෙන් මෙහෙ ඉදන් යන්නේ අංකල් හොඳේ.. “
” යසට කාලා බීලා මෙහෙට වෙලා වැඩ කරගන්න පුළුවන් නේ බබා…”
“එහෙත් එහෙමට ලොකු ප්‍රශ්න නෑ අංකල්… අනෙක අපට වැඩ ඉදර වෙනකොට රෑ වෙනවානේ.. එහෙම වුනාම දෙගොල්ලන්ටම කරදරේ නේ..”
චායා උන්නේ කතාබහ අසාගෙනය. චායා සුසුමක් හෙලුවාය. විහඟිගේ අතින් අල්ලාගෙන ඉතා තදින් අත මිරිකුවාය.
විහඟි ඇය දෙස බලා ඉවසා සිටින්නට කීවාය. චායා දෑස් පියාගත්තාය.
සස්මිතගේ අතුරුදන් වීම තවම සිදු නොවූවක් ලෙස සිතන්නට චායාට අවැසිය. තමා විශ්ව විද්‍යාලය ට යන විට සස්මිත එහි සිටීවියැයි යන දැනීම චායාට විශ්වාස කරන්නට අවැසිය. වෙනදාට නිවසට ගොස් පැමිණෙන විට අම්මා සාදා දෙන බත් එකෙන් වැඩි පංගුවක් සස්මිතට කන්නට දී බලා සිටින්නට චායාට අවැසිය. දේශන අවසන් වී යලි නවාතැනට යන විට මොනවා හෝ කඩචෝරුවක් වෙනුවෙන් සස්මිත හා රණ්ඩු කරගන්නට චායාට අවැසිය.
එහෙත්…,
දෙදෙනා දේශන වලට සහභාවී වූයේ එකිනෙකා කෙරෙහි සඟවාගත් වේදනා සමඟය. විහඟි උන්නේ කියාගන්නට හෝ පෙර අහිමි වූ ප්‍රේමයේ විරහව පපුව තුළ පටලවාගනිමිනි. එය කිසිවෙකුට හෝ පවසන්නටවත් නොහැකිවීමේ හැඟීමෙන් එය ආවරණය කරගනිමිනි.
චායා උන්නේ සිතෙහි වන වේදනාව විහඟි හා බෙදාගන්නට අකමැත්තෙනි.
” ඔය මිනිහා උඹව දාලා, සල්ලි තියෙන අත්තක එල්ලිලා රට ගියා… ඌ උගෙයි, උගේ පවුලේ අයගෙයි ජීවිත ගැන හිතුවා… උඹ ආයේ ඌ ගැන හූල්ලන්න තියාගන්න එපා චායා… ඌ මහ අවස්ථාවාදී බල්ලෙක් … මට වෙන කියන්න වචනයක් නෑ සමාවෙන්න මට…. “
විහඟි එලෙසින් පවසාවියැයි චායාගේ සිතෙහි වූයේ බියකි. සස්මිතට කිසිවෙකු හෝ එලෙසින් ආමන්ත්‍රණය කිරීම දරාගන්නට චායාට හැකි වූයේ නැත
සවස සස්මිතගේ කාමර සගයන් චායා ගේ ඉල්ලීමට ඇය හමු වූහ. මුලදි සාමාන්‍ය ලෙසින් ඇරඹුණු කතා බහ පසුව, චායා හඬා වැටෙන්නට ගත්තාය. විහඟි උන්නා වුවද, ඇයට හෝ චායාව පාලනය කරගන්නට හැකි වූයේ නැත.
සස්මිතගේ කාමර සගයන් තිදෙනාද උන්නේ අවස්ථාව හසුරුවා ගන්නට නොහැකිවය.
” මට ඇත්ත කියන්නකො.. අනේ ප්ලීස්…ඔයාලා සස්මිතට උනේ මොකක්ද කියලා නොදැන නෙවෙයිනේ ඔය …. ඔයාලාට නොකියා එයා මෙච්චර ලොකු තීරණයක් ගන්නේ නෑනේ ….. මට අඩුම තරමේ කියන්න කොහෙද ඉන්නේ එයා ? ..”
“අනේ බං… කිව්වේ ඇත්ත … අපි දන්නේත් ඔච්චරයි… උඹට කිව්වේ ඒ දන්න ටික… අපි ඉන් එහා දන්නවානම්, උඹට ඔය ටික විතරක් පෙරලා කියන්නේ නැහැනේ බං.. ඒක තේරුම් ගනින්කෝ දෙය්යන්නේ නාමෙට….”
” බොරු . බොරු …. ඕගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මොකක් හරි ප්ලෑන් එකක් ගහලා… ඕගොල්ලෝ කොහොමත් මම් සස්මිත එක්ක ඉන්නවාට කැමති උනේ නෑ.. මම දන්නවා ඒක..”
චායා කොහෙන්දෝ ආ හිතලුවක්ද පටලා ගත්තාය. විහඟි එවර ඇය අස්වසන්නට ඉදිරුපත් වූයේ අනෙක් මිතුරන්ගේ කෝපාග්නි මුහුණු ද දකිමිනි.
” අනේ මේ මේකිව අරගෙන පලයං බං… අපිත් මේ ඉන්නේ අරූට එක පාරට වැහිච්ච යකා මොකාද කියලා හිතාගන්න බැරුව… අක්කා සනීප කරගන්න කියලා ඌට එච්චරට සල්ලියක් දෙන්න ඉදිරිපත් වුනේ කවුද , කොහොමද , කොහෙන්ද කියලා හිතාගන්න බැරුව.. ඇරත් සල්ලි දෙන එක විතරක් නෙවි නේ.. උන් ගේ පවුලම රටත් ඇරන් ගිහුන් නේ…”
” ඒක තමයි මම අහන්නේ.. ඒක තමයි මම අහන්නේ.. ඕගොල්ලෝ එයාට වෙන කෙල්ලෙක්ව සෙට් කරලා… ඕගොල්ලෝ එහෙම කරලා…අන්තිම දවස් වලදි මම අපේ තාත්තාගෙන් අක්කගේ ඔපරේෂන් එකට සල්ලි ඉල්ලලා දෙන්න කොච්චරක් උත්සාහ කලත්, මට ඉඩ දුන්නේ නෑ සස්මිත… මට දැන් තේරෙනවා.. මට තේරෙනවා… මට .. මට .. ඒක කරන්න ඉඩ නොදුන්නට, එයාට ඒක කරන්න කෙනෙක් ඉදලා.. මට ඉඩ නොදුන්නට එයා ඒ කෙනාට ඉඩ දීලා..”
” අපි යමු මැණිකේ.. චායා..එන්නකෝ.. මේ මිනිස්සුත් බලනවානේ…”
කතා බහ ඇදෙන්නේ තේරුමක්ම නොමැති ලෙසින් බව වටහා ගත් විහඟි චායා නැගිටුවා ගන්නට උත්සාහ කලාය.
එහෙත් චායා ඇයව පසෙකට කලාය.
” කියන්නේ නැද්ද එතකොට මට ?..”
“යකෝ..දන්න ටික තමයි කිව්වේ.. ඒ කෝල් එකෙන් පස්සේ ආයේ ඌ ගත්තේ නෑ.. ගත්තොත් අනිවාර්යයෙන් උඹට කියනවා .. මොකද්ද ඌට වෙලා තියෙන්නේ කියලා උඹත් දැනගන්න ඕනි බව අපි දන්නවා පැංචි.”
“බොරුකාරයො.. මතක තියාගන්නවා… මම ගිය පාර්ලිමන්ට් එකේ හිටපු ඇමති කෙනෙක්ගේ දුවක්….. මගේ අයියා සමහරවිට ඊළඟ පාර්ලිමන්ට් එකේ ඉඳී… මගේ බාප්පා නුවර නගරාධිපති … මං එකෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ..”
චායා කෙදිනකවත් නොවූ ලෙසින්, කිසිදිනෙක නොවු ලෙසින් ආරූඪව උන්නාය. ඇගේ දෑස් පුරවා දමා තිබුණේ ඉවසන්නට සූදානම් නැති කෝපයකිනි. විහඟි හැරුණකොට ඒ පිළිබඳ කිසිත් නොදැන උන් මිතුරෝ, චායා දෙස බලා උන්නේ විමතියෙනි. විහඟි වහා චායා බලෙන්ම නැගිටුවා ගත්තාය.
“මේකිට පිස්සු බං… චරක අය්යා පොලිටික්ස් වලට එන්නෙ නෑ…කීයටවත්…. “
විහඟි එලෙසින් පවසමින් චායා බලෙන්ම එතැනින් ඉවතට ඇදගෙන ගියේ, යන මඟ දිගටම චායාට බැණ වදිමිනි.
” පිස්සු හැදිලාද ඇත්තටම.. ඈ.. පිස්සුද ? මාමා කියලා නේද තිබ්බේ, ඔය පොලිටික්ස් කතා ගාවගන්න එපා කියලා… කිව්වානේද ? අනෙක අය්යගේ කතා ආයේ ආයේ කියවන්නේ මොන එකකටද ? ඒ මනුස්සයා කැමතිම නෑ නේද ඔය පොලිටික්ස් වලට… උඹ නම් පිස්සු වැටිලා චායා… පොඩිවත් ඉවසීමක් නැද්ද ඇත්තටම.. අර යකා උඹට එක පොඩ්ඩක්වත් ආදරේ කරන්න ඇති කියලා මට හිතෙන්නේ නම් නෑ… ඌ එහෙම ආදරේ කරානම්, උඹට මෙහෙම වෙන බව දැන දැනම , උගේ අක්කගේ ඔපරේෂන් එක තෝරගෙන උඹව මෙහෙම දාලායන්නේ නෑ..
අනේ තරහ වෙන්නෙපා චායා මම මෙහෙම කිව්වට… ඇත්තටම සස්මිතයා මහ බල්ලෙක් … මහම බලු වැඩ කරන එකෙක්…. උන් උඹ වගේ කෙල්ලන්ගේ ජීව්ත වලින් හොයන එකම දේ සල්ලි… සල්ලිම විතරයි.. ආයේ වෙන කිසිම දෙයක් නැහැ…. “
චායා ත්‍රී රෝද රථය තුළදීද මහ හඬින් හඬා වැටුනාය
නවාතැනේදී විහඟි කලේම සස්මිතට බැණ වැදීමය.
චායා ඉකිලමින් සියල්ල අසා උන්නාය. චරකගෙ ඇමතුමක් ආවේ ඒ අතරය. එය පැය භාගයක් ඉක්මවමින් ඇදී ගියේය.
චරකගේ වීඩියෝ ඇමතුමට පසු චායා මදක් නිසොල්මනේ කල්පනා කරමින් උන්නාය.
පසුව නා ගත්තාය.
” අසයිමන්ට් දෙකක් තියෙනවා නේ ?..”
විහඟි ගෙන් ඇසුවාය. විහඟි චායා දෙස බල උන්නෙ පුදුමයෙනි.


