අංගාර – 08

0
1105

 වසර දොලහකට පසු

චරක නෙත්රුවන් විතාරණ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙසින් ස්වකීය අමාත්‍යාංශය තුළ, විසල් මෙහෙවරක යෙදෙමින් උන්නේය. ඔහු බලාපොරොත්තු නොවූ මාවතකට පිවිසියා වුව,  චරක එම මාවත එළි පෙහෙලි කරගනිමින්  ගමන් කරමින් උන්නේකිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසිනි. චරකගේ වැඩ කටයුතු පසුපස උන් විසල් සවිය වූයේ චායා නෙත්රුවනි විතාරණය. ඕ වයස ඉක්මවා යන සමාජ සේවා කටයුතු සමුදායක බරද, ස්වකීය සහෝදරයා වෙනුවෙන් වන දේශපාලනමය බරක්ද දරමින් උන්නාය. උපාධිය අවසන් කිරීමෙන් පසු ඍජු දේශපාලන ක්‍රියාදාමය තුළ ගැටෙන්නට පටන් ගත් චායා දෙමාපියන්ගේ අකමැත්ත  හා ගැටෙමින් එම ක්ෂේත්‍රය තුල ඇගේ පැවැත්ම තහවුරු කරගත්තාය. චරකගේ දේශපාලන ආගමනය වූයේ ඒ අතරවාරයේය. චරක  චායා අන් දේශපාලන මාවත් තුල පාවෙනවාය යන හැඟීමට වඩා තම දේශපාලන ප්‍රවාහය තුළම පාවීම වඩා  ආරක්ෂාකාරී බව සිතමින්, චායාට තම පෞද්ගලික ලේකම් තනතුරේ ඉඩ සකසා දුන්නේය.

” නංගී … විහඟිට කියනවා මට කෝල් එකක් ගන්න කියලා….”

 චායා චරක හා දැඩි අමනාපයෙන් උන් දවසක චරක බලෙන්ම චායාගේ කාමරය තුළට ඇතුලු වී කීවේය. චායා ඒ බව නෑසුණා සේ, ඇගේ කැමරා චිපයේ වූ, පින්තූර ලැප්ටොප් පරිඝනකයට කොපි කරමින් උන්නාය. චරක කෝපයෙන් චායා ගේ අවධානය බින්දේය.

” මොන විකාරයක්ද අයියේ ?.. මම වැඩක් …”

” විහඟිට කියනවා මට කෝල් එකක් ගන්න කියලා..  නැත්නම් මට ෆෝන් එක දෙනවා ..මම කතා කරන්නම් ..”

” මට බෑ….”

චායා දෙවරක් නොසිතාම කියා දැම්මාය. චරක ඉන් මදක් පසුබැස්සේය. එහෙත්, පරාජය බාරගන්නට ඔහුට අවැසි වූයේ නැත.

” නංගී .. වැරැද්දක් වුනා … “

” ඉතින් …”

” ඕයි …ඒක එහෙම ප්ලෑන් කරලා කරන්න ගිය  දෙයක් නෙවෙයි ඕයි …  “

” අයියේ මේ … ප්ලීස් මාව කෑ ගස්සවලා අම්මලා ඔයාගේ නාඩගම් ගැන දැනගන්න කලින්, ප්ලීස් .. ලීව් … මං ආයේ ආයේ ඔයාට කියන්නේ නෑ …”

” නංගී .. මගේ ඔලුව කන්න එපා ඕයි … අනිද්දා මම පිලිපීන් යන්න ඕනි .. විහඟි මෙහෙම ඉද්දි මම කොහොමද නංගී යන්නේ ?.. එවෙලේ මම මාර කන්ෆියුස් වුනා නංගී .. මට හිතාගන්න  බැරි වුනා.. ඒකයි මම කිව්වේ ඇබෝට් කරමු කියලා… සිරාවටම ඕයි .. මේක මටැනේජ් කරගන්න පුලුවන් සීමාවේ කියලා හිතුනේ නෑ නංගී .. ඒත් , දැන් කිසිම අවුලක් නෑ.. මට මේක විසඳගන්න පුලුවන් .. මැනේජ් කරගන්න පුලුවන් නංගී .. මම වරදක් කිව්වේ.. මෝඩයි … මට සමාවෙනවා ඕයි .. කෝල් එකක් අරන් ඉන්න දිහාවක් අහනවා නංගී ..”

චායා කරමින් උන්  වැඩය නවතා දමා අසුන පසෙකට කර නැගිට්ටාය.  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා , ස්වකීය නැගණිය ඉදිරියේ කෙන්හක් තරම් කුඩාවට පෙනුනේය. ඔහු කන්දක්ව නැගෙන්නට උත්සාහ නොකරමින්ම උන්නේය. චායා  එවෙලෙහි උන්නේ වසර දොළහක් ඉක්මවා ගිය කාලයක් තිස්සේ තම  සොහොයුරා නමින් පමණක්ම ජීවිතය වෙන් කල තම මිතුරිය වෙනුවෙනි.

” ඉතින්….”

” නංගී … මට මෙවෙලේ  අම්මලා එක්ක මැරේජ් එකක් ගැන කියාගන්න විදියක් නෑ කියලා හිතුනේ ඕයි .. එවෙලේ, එකපාරටම විහගි එහෙම කිව්වම මට එහෙම හිතුනේ.. දැන් නිස්කාසුවේ හිතනකොට, මට මේක විසඳගන්න පුලුවන් බව පේනවා නංගී .. මට දැන් තිස් ගතක් නේ ඕයි … දැන් , අම්මලා මොක කිව්වත් මම බඳින වයසේ නේ …”

” මට ඕවා කියන්න එපා… ඔයාගේ  විකාර නොදැන නෙවෙයි මම ඔය දෙන්නාගේ අෆෙයාර් එක නොදැක්කා ,  නෑහුණා වගේ හිටියේ අයියේ …  අරකි පිස්සියෙක් වගේ, ඔයාට ආදරේ කල නිසයි, ඔයා මත්තෙම නැහුණ නිසයි මම පාඩුවේ හිටියේ … ඔයා මොක කලත්, විහඟිට නරකක් අවැඩක් නොකලාවි කියන විශ්වාසේ නිසයි උන්නේ…ඒත්, අන්තිමේදි. අන්තිමේදි ඔයා මොකද කලේ අයියේ … අවැඩ විදියට ඒ කෙල්ලට දරුවෙක් දීලා, අන්තිමේදි  ඒ දරුවාව ඇබෝට් කරන්න කතා කලා…  ඔයාට ඔයා කවුද කියලාත් අමතකයි අයියේ .. ඔයාට අමතකයි …  ඔයා කතා කරන්නේ සමාජ සාධාරණය ගැන නේද ?.. ඔය බලහත්කාරකම්, ඇබෝෂන් කියන ටොපික් එක ඔයා ස්ටේජ් වල  පතුරු ගැහුවා .. ඔයා .. ඔයා ඒ නිසාද අයියේ මේ ?..>”

” විකාරද ඕයි ?. විකාරද ?… “

” හරි  දැන් ඒවාගෙන් වැඩක් නෑ..  ආයේ විහඟි ඔයාව මීට් වෙන්න එන එකක් නෑ..  එයා කිව්වා, ඔයාට එයාගෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ කියලා…   දරුවා ගැන ඔයාට කිසිම වගකීමක් නැති බව කියන්න කියලාත් කිව්වා.. ඒ නිසා ආයේ ආයෙම ෆලෝ කරන්න එපා අයියේ … තේරුනානේ ?..”

 චරක, චායා පැවසූව පිළිගන්නට එකඟ නොවන බව පෙන්වමින් අසුනට වැටුනේය. එවැන්නක්  කෙලෙසකින්වත් සිදුවන්නට ඉඩ නොදෙන බව තමාටම  තහවුරු කරගනිමින් සන්සුන් වන්නට උත්සාහ කලේය.

” ඇහුනනේ .. යනවාද දැන් ?… ටුවර් එකට රෙඩි වෙන්න .. මට මේ ෆොටෝස් හෙන ගොඩක් තියේ එඩිට් කරගන්න…”

” ඇහුණා .. ඒත් යන්නේ නෑ ..”

” අයියේ මොන විකාරයක්ද ඕයි ?…”

” විහඟිට කියනවා .. එයා එන්නේ නැත්නම් , මේක මම මගේ විදියට විසඳගන්න පටන් ගන්නවා කියලා… තමුසේට ඒකෙන් වැඩ වැඩි වෙයි ..”

” මොකක් ?…”

” මං අනිවාර්‍යෙන්ම ගොසිප් එකක් ගහනවා චායා ….. ස්පෝර්ට්ස් මිනිස්ටර්ට අනියම් සම්බන්ධතාවයකින් දරුවෙක් ඉන්නවා කියලා… ඒ දරුවාව ඇබෝට් කරන්න කියලා ඒ ගෑණු ළමයාට ත්‍රෙට් කරලා කියලා… ඒ වගේම  ඒ ගෑණු ළමයා ඒකට එකඟ නොවුන නිසා, ඒ ලමයාව මරලා දාන්න සූදානම් කරලා කියලා…”

චරක ඉලන්දාරි වයසේ කොල්ලෙකු වෙමින් උන්නේය. චායා අයියාගේ හිතුවක්කාරකම් හොඳින්ම දැන උන් නිසාදෝ, ඔහුගේ ඊලඟ වචනය කුමක් වන්නේදැයි අසා උන්නාය.

” ඔව්.. මට ගෑණු උන්නා… විහඟි මං පස්සෙන් ඉන්න බව මම දැනගෙන  ඉන්නකොටත් උන්නා .. ඒත් එදා විහඟිගේ උපන්දිනේ දවසේ, ඒකි මට ආදරෙයි කියලා, මාව දාලා යන්න ලෑස්ති වෙච්ච දවසේ ඉඳන්, ඒ ඔක්කොම ඉවර කලා නංගී …  ඒක තමුසේ විශ්වාස කලත් නැතත් ඒක ඇත්ත …”

” අයියේ … “

” මං දන්නවා තමුසේ මාත් එක්ක ඉන්නේ ඇරියස් පිට කියලා… “

චායා එයට කිසිත් නොපවසා උන්නාය.

” නංගි .. “

” මම විහඟිට කියන්නම් … එන්න බෑම කිව්වොත් හෙට උදෙන්ම යමු  බලන්න..”

” කොහේද එයා ගියේ  එතකොට  ?…”

” අඟුණකොලපැලැස්සේ කියලා කිව්වේ … “


” ඒ මොන එකකටද ?…”

” මං දන්නේ කොහොමද අයියේ ?.. ඒකිට හිත හදාගන්න ඕනි කිව්වා… තනියෙන් ඉන්න ඕනි කිව්වා… එහෙම කියලා ගිහින් මතු වුනේ එහෙන් … එහෙ කොහෙද මන්දන්නෑ ආච්චි කෙනෙක් ඉන්නවා කියලා එහෙ ඉන්නේ කිව්වා..”

” ඉන්න දිහාව කිව්වාද  එහෙ  ?…”

” හ්ම්ම්…”:

” දැන් යමු ඉතින් එහෙනම් .. මෙහෙන් හයිවේ දැම්මම පැය තුනක් යාවි ..”

” දැන් ?…”

” යමුකෝ නංගී …. පරක්කු වෙන හැම තත්පරයක්ම මහ විනාසයක් වුනත් වෙන්න පුලුවන්නේ.. දන්නවානේ ඒකිගේ හිතුවක්කාරකම . උස්සන් හරි එන්නම් මම … ඉන්න  තැනකට මාව එක්ක යනවා … .”

චායා සුසුමක් හෙලුවාය. හිස සැලුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here