” කාටවත් නෝණ්ඩි නොකරන්න ඕන නිසා තමා ඔච්චර ඇක්ටින් එකක් දැම්මේ. අරූ විසි හත රෑ ලොක් එක ඇරන් රූම් එක ඇතුළට එද්දි මල්දෙණිය කාරයා ශේප් එකේ ඉමර්ජන්සි එක්සිට් එකෙන් පැනලා ගියා. ඕනෙම තැනක කලබලයක් උනාම මිනිස්සු පිරෙනවා . ඒක යූස් කරලා රූම් එක ඇතුළට ගිය එකාව එළියට ගත්තා. හෑන්ඩ්‍රේල් එකේ කේස් එක නිසා මං සෑහෙන්න කල්පනා කරලා කරලා තමා ආයේ ආයේ රිවයින් කර කර මේ වීඩියෝ එක බැලුවේ. එතකොට තමා මටත් වැඩේ නෝට් උනේ. මල්දෙණිය රූම් එක ඇතුළට යන රෙකෝඩින් එකයි , එතන ඉඳලා විනාඩියක් නෑර අර රමිත කියන එකා රූම් එකට ඇවිල්ලා මල්දෙණියව හොයන තැනයි වෙනකන් බැලුවත් කිසි කෙනෙක් ඊට පස්සෙ සීසීටීවී බලන්න යන්නෑ. සැකයක් හිතට ආපු නිසාම මම බැලුවා ඇරෙන්න නැත්තන් මාත් ඕක බලන්නෑනේ බං. “
” ඌට ඕන උනේ මැරෙන්න නං මොකටද සර් මේ වගේ දෙයක් කරන්නේ ? ඌට නිකන්ම මැරෙන්න තිබ්බනේ. මෙච්චර මඟුලක් කරලා , දවස් දෙකක් අතුරුදහන් වෙලා ඉඳලා ඌ ඇයි සුයිසයිඩ් කරගත්තේ ?”
මනුහස් නැවත වතාවක් කට කොනකින් සිනහ වෙමින් සචින්ද්‍ර දෙස බැලුවේය.
” ඌ මැරුන්නෑ බං “
” ඒ කිව්වේ සර් ? “
” ඌ තාම පණපිටින් ඉන්නවා. මෙච්චර ගේමක් ගහලා අතුරුදහන් වෙච්ච එකා දවස් දෙකකින් සුයිසයිඩ් කරගන්නෑ ලොවෙත් . “
” ඉතිං සර් , ඩෙඩ් බොඩි එක උගෙ කියලා පවුලෙ අය පිළිඅරන් තියනවනේ ?”
” ඒක පිළිගත්තේ පවුලෙ උන් විතරනේ බං. ඩෙඩ් බොඩි එකේ ඩීඑන්ඒ එකක් කළේ නෑනේ ? අතේ තිබ්බ මුද්දයි , උගෙ ලඟ හැමදාම තියන අනං මනං ටික දැකලා අඳුරගන්න බැරි වෙච්ච ඩෙඩ් බොඩි එකකට උගෙ නම දුන්නා. එච්චරයි. “
” දැන් එතකොට අපි මොකද්ද සර් කරන්නේ ? ඉමර්ජන්සි එක්සිට් එකේ හෑන්ඩ්‍රේල් එකේ ෆින්ගර් ප්‍රින්ට්ස් ගත්තොත් මොකද ? අනික අපිට දැන් මේ වීඩියෝ එක උනත් පෙන්නන්න පුලුවන් නේ ? “
” දැන් ඉතිං තියෙන්නේ ලොක්කගෙ වැඩ තමයි. මේ ඔක්කොම පැහැදිලි කරලා පොරට කිව්වම අපිට ඔය දේවල් දෙකම කරන්න පුලුවන් . “
අවන්හලෙන් පිටව කොළඹ බලා එන ගමනේදීද තරුණ පොලිස් නිලධාරීන් දෙදෙනාගේම කතාබහට ලක් වූයේ මල්දෙණියගේ දක්ෂ සැලැස්ම පිළිබඳවය.
” සර් මොකද්ද හිතන්නේ ? මෙච්චර රටේම නම ගිය බිස්නස්මන් කෙනෙක් වෙලා මල්දෙණිය කාරයා තමන් මැරුණා කියලා අඟවලා හැංගිලා ඉන්නේ ඇයි ?”
” ඒක නං මටත් හිතාගන්න බෑ බං. සාමාන්‍යයෙන් බිස්නස් කරන උන් ඔහොම හැංගෙන්නේ උන්ට ගෙවාගන්න බැරි ණය සෙට් උනාම , බිස්නස් ලොස්ට් උනාම වගේ දේවල් වලදි . මල්දෙණියලගෙ බිස්නස් වල කිසිම ලොස්ට් එකක් නෑ. සුයිසයිඩ් එකකට යන්න තරම් කිසිම හේතුවක් ඌට නෑ. “
” මේ ගැන මල්දෙණිය පවුලේ අනිත් මිනිස්සුත් දැනගෙන හිටියා වෙන්න බැරිද සර් ? මං කියන්නේ මල්දෙණියගේ අම්මා , වයිෆ් එහෙම ?”
මනුහස්ගේ හදවතෙහි නැවතත් හුරු පුරුදු වේදනාව පැතිර යන්නට පටන් ගත්තේය .
” ඒකත් හරියටම කියන්න බෑ බං “
මනුහස්ගේ කටහඬ පෙරට වඩා බිඳුණු ස්වරූපයක් ගත්තේය.
” මල්දෙණියගේ ෆෝන් ඩීටේල්ස් චෙක් කළා නං හොඳයි නේද සර් ? මං හිතන්නේ මල්දෙණියගේ විතරක් නෙමෙයි පවුලේ අනිත් අයගෙ ඒවත් චෙක් උනානං හොඳයි “
” තේරුමක් නෑ බං “
සචින්ද්‍ර මාර්ගයෙන් දෑස ගලවා මනුහස් දෙසට හැරවූයේය.
” මෙච්චර ප්ලෑනක් ගහපු ඌ මොකක්ම හරි එවිඩන්ස් එකක් ෆෝන් එකේ ඉතිරි කරා කියන එක වෙන්න බෑ. මල්දෙණිය කියන්නේ සුපිරි මොළයක් තියන මිනිහෙක්. අන්න ඒ නිසයි මං හොටෙල් එක ඇතුළෙදි උඹටත් මේ කේස් එක ගැන දේවල් කතා කරන්න එපා කියලා කිව්වේ “
මනුහස් කතාව මොහොතකට නතර කොට තම කලිසම් සාක්කුවේ ඇති නාදවන ජංගම දුරකතනය අතට ගත්තේය. ඇමතුම ලැබෙන්නේ පොලිස් අධිකාරීවරයාගෙන්ය.
” ලොක්කානං ලේසියෙන් මැරෙන්නෑ…”
මනුහස් එසේ පවසමින් දුරකතනය කනෙහි තබා ගත්තේය .
” මනුහස් තමුසෙ කොහෙද ඉන්නේ ?”
ඉහල නිලධාරියාගේ හඬ පෙර මෙන් නොවීය. එහි කිසියම් කැළඹිලි සහගත ස්වරූපයක් ඇති බව මනුහස් හට තේරුම් ගියේය.
” කැන්ඩි වල ඉඳන් එන ගමන් සර්. තව විනාඩි හතලිහක් වගේ යද්දි කොළඹ. “
” තමුසෙ තාම එන ගමන් නං කවුද මිසිස් මල්දෙණියව ස්ටේශන් එකට අරන් ගියේ ? “
මනුහස්ගේ මුහුණ වික්ශිප්ත හැඟීමකින් පිරී ගියේය .
” මිසිස් මල්දෙණිය ? ස්ටේශන් එකට ? මට තේරුන්නෑ සර් ?”
” අද මිස්ටර් මල්දෙණියගෙ බොඩි එකේ අවසන් වැඩ කරන දවස. සෙමෙට්‍රි එකේ ඉඳන් ආපු ගමන් පොලීසියෙන් මිසිස් මල්දෙණියව පොලීසියට එක්කන් ගිහින් කට උත්තරක් ගන්න තියනවා කියලා . මං මේ ඉන්වෙස්ටිගේශන් එක බාර දුන්නේ උඹට. මං හිතුවා මේක කළේ උඹ කියලා ?”
මනුහස් වේගයෙන් හුස්ම ඉහළ පහළ දැම්මේය.
” මං මෙහෙම දෙයක් දන්නෑ සර්. මං පුලුවන් තරං ඉක්මන්ට ස්ටේශන් එකට යනවා “
පොලිස් අධිකාරීවරයාගේ ඇමතුම විසන්ධි කළ මනුහස් නැවතත් ඇමතුමක් ගෙන ජංගම දුරකතනය කනේ තබා ගත්තේය. අනෙක් පසින් කිසිදු ප්‍රතිචාරයක් නැත. දෙතුන් වරක්ම උත්සාහ ගත්තද ඉන් ප්‍රතිචාරයක් නොලැබුණේය.
” යමන්.., විනාඩි දහයක් ඇතුළට ස්ටේශන් එකට යන්න ඕනේ..”
මනුහස් කෝපාවිශ්ටව සුසුම් ළමින් සචින්ද්‍ර දෙස බලා පැවසුවේය.
ඔහු නැවත නැවතත් පෙර ඇමතුම ගෙන සම්බන්ධ වීමට උත්සාහ ගත්තද පෙර සේම ඉන් පිළිතුරක් නොලැබුණේය. තව දුරටත් හදවතේ බුර බුරා නැඟෙන කෝපය හමුවේ ඔහු පොලිස් නිලධාරියෙක් හට ඇමතුමක් ලබා ගත්‍තේය .
” ජයමහ , තමුසෙ කොහෙද ඉන්නේ ? ස්ටේශන් එකේද ? “
” නෑ සර් , මං අද දවසම ස්ටේශන් එකෙන් පිට ඉන්නේ “
මනුහස් අමතර කිසිවක් නොපවසා එකී ඇමතුම විසන්ධි කොට පොලිස් ස්ථානය වෙත ඇමතුම් රැසක් ලබා ගන්නට උත්සාහ කළද ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ත කරමින් පොලිස් ස්ථානයේ කිසිදු දුරකතනයක් ක්‍රියා කළේ නොමැත.
“මොන හු#$& ක්ද යකෝ.. ස්ටේශන් එකේ එක නම්බර් එකක් වැඩ නෑ. “
” මොකද්ද සර් ප්‍රශ්නේ ? මොකද්ද වෙලා තියෙන්නේ ?”
මනුහස් සචින්ද්‍රගේ පැනයට පිළිතුරු නොදී ඔහුට දිගටම ජීප් රථය ධාවනය කරන ලෙසට අතින් සන් කර , නැවතත් දුරකතනය පීරමින් ඇමතුමක් ලබා ගත්තේය.
” සර්…!”
” මොන හු#$&&ක්ද යකෝ ? තොපේ එක ලෑන්ඩ් ලයින් එකක්වත් වැඩ කරන්නැත්තේ ?”
මනුහස් මහ හඬින් අනෙක් පසින් ඇමතුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියාට කෑගැසුවේය.
” සර්.. ෂියෝනා මැඩම් කිව්වේ මේ වෙලාවේ ලෑන්ඩ් ලයින් එකට එන කිසිම කෝල් එකක් ගන්නෙපා කියලා. “
” අනේ ඒකිගේ… කියපන් මට කවුද දැන් ස්ටේශන් එකට ගෙනාවේ..?”
” සර්.. සර් .. මේ..?”
අනෙක් පසින් පිළිතුරු ලබා දෙන නිලධාරියා මනුහස්ගේ කෝපය හමුවේ ගොත ගසමින් සිටියේය .
” ගොත ගහන්නැතුව කියපන් බල්ලෝ . මගෙ යකා අවුස්සනැතුව “
” සර්.. මිසිස් මල්දෙණියව ප්‍රශ්න කිරීමකට එක්කන් ආවා “
” මොන හු#$ ටද යකෝ ඒ ගෑනිව ස්ටේශන් එකට ගෙනාවේ ? මගෙන් අහන්නැතුව තොපිට කවුද එහෙම එකක් කරන්න කිව්වේ ?”
” සර්.. සර්.. ෂියෝනා මැඩම් තමා සර්.. දැනටමත් ප්‍රශ්න කිරීම් කරනවා සර්..”
මනුහස් කෝපයෙන් රතු වෙමින් දුරකතන ඇමතුම විසන්ධි කොට දැමුවේය. දෙතුන් වරක් ගමන ඉක්මන් කරන ලෙසට සචින්ද්‍රටද බැන වැදුණු ඔහු පොලිස් ස්ථානයට ලඟා වන තුරු ඉවසිල්ලක් නොමැතිව සිටියේය .
පොලිස් ස්ථානයට ළං වූ ජීප් රථය නිසි පරිදි නතර කිරීමටත් පෙරම ඉන් පිටතට බැස ගත් මනුහස් විජේවර්ධන දරාගත නොහැකි කෝපයකින් එයට ඇතුළු වූ අතර පොලිස් ස්ථානය අසල නතර කර තිබූ බොහෝ මෝටර් රථ හා රැස්ව සිටි පිරිස මල්දෙණිය සමූහ ව්‍යාපාරයේ අයවලුන් බව ඔහු දෑස් කොනින් දුටුවේය.
” මිස්ටර් විජේවර්ධන ..! මිස්ටර් විජේවර්ධන !”
නීතිඥවරුන් යැයි කිවහැකි පිරිසක්ම ඔහුගේ ගමන් මඟ හරස් කරමින් ඔහු නතර කර ගනිද්දී මනුහස්ගේ කෝපය තව දුරටත් වර්ධනය වූයේය .
” අපි ආවේ මිසිස් මල්දෙණිය වෙනුවෙන්. ඔයාලට බෑ මෙහෙම කිසිම වොරෙන්ට් එකක් නැතුව ප්‍රභූ පවුලක කාන්තාවක් මෙහෙම ප්‍රශ්න කිරීමකට කියලා පොලීසියට අරන් එන්න ?”
” අනික පොඩ්ඩක් මේ ගැන මානුශික වෙන්න තිබ්බා. තමන්ගේ හස්බන්ඩ්ගෙ මිනිය භූමදානේ කරලා ගෙදර ආපු හැටියේ ගෑනු කෙනෙක්ට මෙහෙම කරන්නේ කොහොමද ඕගොල්ලෝ ? “
” මිසිස් මල්දෙණියව මෙහෙම එක්කන් ආවේ මොන පදනමකින්ද කියලා අපිට කියන්න පුලුවන්ද ? “
රැස්ව සිටි පිරිස එකිනෙකා බොහෝ දෑ කියමින් මනුහස් හට චෝදනා එල්ල කරද්දී ඒ කිසිවෙකු නොතකමින් වේගයෙන් ඉදිරියට ආ ඔහු පොලිස් ස්ථානයේ ඉදිරිපස පුටුවක වාඩි වී සිටි තරුණියක් දැක එතැනම නතර විය. අවුරුදු ගණනකට පසු දෑස ඉදිරියේ සිටිනා මිතුරිය දැක එක් වරම තිගැස්සී ගිය ඔහු ප්‍රශ්නාර්ථ බැල්මකින් ඈ දෙසට ළං වූයේය.
” ජාන්වී… ? මෙහෙ මොකද ?”
” මගෙ හොඳම යාළුවාගෙ හස්බන්ඩ් නැති උනා. ඒ ගැන ප්‍රශ්න කරන්න කියලා මගේ යාලුවාව පොලීසියට ගෙනල්ලා මිස්ටර් විජේවර්ධන . කේස් එක බාර අයිපී කැන්ඩි ගිහින් නිසා එයා එනකන් මගෙ යාළුවාව රිලීස් කරන්නත් බෑ කිව්වා..”
ජාන්වීගේ වචනයක් වචනයක් පාසා තිබුණේ නෝක්කාඩුවක්ය. දෝෂාරෝපණයක්ය. අවුරුදු ගණනකට පසුව හමු වූ කල්‍යාණ මිතුරියගේ වචන මනුහස්ගේ හදවත පසාරු කරමින් රිදවා දැමුවේය .
” මිනිස්සුන්ගේ අතින් වැරදි වෙන්න පුලුවන් මිස්ටර් විජේවර්ධන . හැබැයි ඒවාට පළි ගන්න කියලා මේ වගේ සිටුවේශන් වල මේ විදිහට හැසිරෙන එක හරි චීප් වැඩක් “
ජාන්වීගේ හදවතේ තමා තුළ ඉපිද ඇත්තේ කුමනාකාරයේ වැටහීමක්ද යන්න හොඳින් වටහා ගත් මනුහස් ඇයට පිළිතුරු දෙනු වෙනුවට කිසිවක්ම නොපවසා ඈ පසු කරමින් නැවතත් පොලිස් ස්ථානය තුළට වේගයෙන් ගමන් කළේය .
කෝපයෙන් රතු වී කලබලයෙන් පොලිස් ස්ථානය තුළට පිවිසෙන තම ඉහළ නිලධාරියා දුටු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම මුහුණට මුහුණ බලා ගත්හ.


