අංගාර – 09

0
951

විහඟි උන්නේ වඩා දැඩි බව පෙන්වමිනි. ඕ ඒ දැඩි බව උහකා ගත්තේ වසර දහතුනක් තිස්සේ තම මිතුරිය  වූ චායා දෙස බලා හිඳය. සස්මිතගේ  අතුරුදන් වීමෙන් පසු. චායා ගේ කඳුලු ඇය තුළම ගල් වූ ආකාරය විහඟි දුටුවාය. සස්මිත ගැන සෙවීම යම් කාලයකට පසු අත් හැර දමා  මෙන් චායා තම සිත ගල් කරගත් අයුරු විහඟි දුටුවාය.

චායා ඇයගේ ඉලක්ක එක් අරමුනක් වෙනුවෙන් පමණක් කේන්ද්‍රගත වූ අයුරු විහඟි දුටුවාය. ඇය දැන් උත්සාහ කරන්නේ ඒ ඉලක්කය වෙනුවෙන් සූදානම් වෙන්නටය.

පවුලක් කියා වගකීමක් දරන්නට තමා සූදානම් විය යුතු බව විහඟි වටහා ගනිමින් උන්නාය. පසුගිය වසර ගනනාව පුරාවටම පවුල වූයේ චායාගේ පවුලය. චරකය. එහෙත්, ඒ සියල්ලන්ගෙන්ම මිදෙන්නට සිදුවේ.

විහඟි අඟුණකොලපැලැස්සට පැමිණියේ තාත්තාගේ අම්මාගේ සහෝදරියකගේ නිවසටය. ඒ නිවසේ උන්නේ විහඟිට නෑදෑ කමට නැන්දා සහ මාමා වන දෙදෙනෙකි. ඔවුන්ගේ එකම දියණිය උන්නේ විවාහ වී විදෙස්ගතවය. ඒ නිසාමදෝ, පසුගිය වසර කිහිපය පුරාම විහඟි  ඔවුන් පිළිබඳව සොයා බැලුවාය. අවසානයේ විහඟිගේ පිළිසරණ වෙනුවෙන් ඔවුන් දෙදෙනා දෙවරක් නොසිතාම ඉදිරිපත් වූහ.

” පුතේ… නුපන් දරු පැටියෙක්ගේ පණ නහන්න ඕනි නෑ .. අපි දෙන්නට හයිය තියෙනවා ඔය දෙන්නා බලාගන්න .. ආයේ වෙන මොකවත් හිතන්න එපා.. පුතා මෙහෙට වෙලා හිතේ නිදහසෙන් ඉන්න .. ආයේ කිසි කෙනෙක් පුතා ගැන හොයන්න එන්නේ නෑ මෙහෙ .. නංගි කිව්වා දරුවා ඩිංගක් ලොකු වුනාම එහෙට එන්න කියලා… එතකොට පුතාට ඔයා කොයි කවුරු නැතුවත් ජීවත් වෙන්න පුලුවන් ….”

විහඟි පසලොස් වසරක ප්‍රේමය ඔහේ මියැදෙන්නට දෙන්නට හිත  හදා ගත්තේ ඒ වචන වල හයිය එක්කය.  විවාහයක් ගැන පොරොන්දු ඉල්ලන්නට තරම් චරක කෙරෙහි වූ ප්‍රේමය සිල්ලර නොවූ බව විහඟි දැන උන්නාය. සිතුවේ ඔහු දරන්නේද එවන්ම ප්‍රේමයක් බවය. එවන්ම දරාගැනීමක් බවය. එහෙත්, ඔහුට එය එලෙසින්ම නොවන්නට ඇත. කාලය සමඟ ඔහු ඇමති චරක විතාරණය. තමා නිකම්ම නිකන් විහඟිය. නෑදෑ පරම්පරාවක් විත් චරකගේ දෑත් මත තැබිය හැකි කෙල්ලක නොවේය. ඔහුගේ දේශපාලන දිවියට තමා නිසා ඇති විය හැක්කේ පැල්ලම් මිසෙක අන් යමක් නොවේය. අවිවාහක කතක කුස දරුවෙකුගෙන් පුරවා දමා පසෙකට වූ පිරිමියෙකුගේ නම ඔහුගේ ප්‍රේමයේ කොහෙවත් ලියවිය යුතු නැත. යලි චරක මුණ නොගැසෙමියි විහඟි තීරණය කලේ  ඕ දැරූ ප්‍රේමය එක්කය.

 චරකගේ ජීවිතයෙන් ඉවත් වීමේ ප්‍රමාණය චායාව තම ජීවිතයෙන් පසෙකට  කර තැබීමේ ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික කර ගත යුතු බවද, ඕ තීරණය කලාය.

රාත්‍රී එකට පමණ චායාගේ නමින් ජංගම දුරකතනය නාද වෙද්දී, විහඟිට එයට පිළිතුරු නොදී සිටිය හැකි වූයේ නැත.

” චායා …”

” අපි තව චුට්ටකින් අඟුණකොලපැලැස්සෙන් එක්සිට් වෙනවා….  ලොකේෂන් එවන්න …”

 විහඟි නින්දෙන් සම්පූර්ණයෙන්ම මිදුණාය. වේලාව කීයදැයි බලා සිහි එලවා ගන්නට උත්සාහ කලාය.

” මොකක්ද කියන්නේ ?…”

” ලොකේෂන් එවන්න ඔය ඉන්න දිහාවක …”

” චායා .. මේ .. මේ වෙලාවේ?… එකයි දහයයි …”

” හරි වදේ හරි … වෙලාව පේනවා… ලොකේෂන් එවහං  ..”

” ඒත් …”

” ස්පෝර්ට්ස් මිනිස්ටර්, අඟුණකොලපැලැස්සේ ඕ අයි සීව ඇහැරවගෙන ,  ඒ මාර්ගෙන් උඹව හොයාගෙන එන එක උඹට ඕකේ නම්, ඒත් මේත් ගගා ඉන්නවා …  ආයේ මම ඕවට මුකුත්ම කියන්නේ නෑ ….  දෙන්නා එක්ක ඕනි එකක් …”

විහඟි වහා වට්සැප් ගිණුමට පිවිස තම පිහිටුම යැව්වාය. විනාඩි විස්සක් ඉක්මෙන්නට පෙර, නිවස ඉදිරියෙන්  වාහනයක  හෝන් නාදය ඇසුනේය. විදුලි පහන් දැල්වෙනු ද, මාමා සහ නැන්දාගේ හඬද ඇසෙද්දී , විහඟිද කාමරයෙන් පිටතට ආවාය.

” චායයි, අයියයි නැන්දේ .. මම බලන්නම් …”

” මේ වෙලාවේ ?…”

” ඒක තමයි…..  හිතාගන්න බෑ.. ටිකකට කලින්, චායා කතා කලා .. එනවා කියලා කිව්වා…”

” එකත් එකටම මෙව්වා විසඳලා ඉවරකරන්න අයියා නඟෝ එනවා ඇත්තේ..පුතා කාමරේට වෙලා ඉන්න .. අපි බලන්නම් …”

නැන්දා පැවසුවාය. මාමා නිහඬව එය පිළිගෙන ගේට්ටුව විවෘත කරන්නට ඉදිරියට ගියාය. විහඟි කාමරය තුළට නොගොසින් බලා උන්නාය. විනාඩි කිහිපයකින් චායා නිවසට ඇතුලු වූවාය. විහඟි කුස මත තබා උන් සුරතේ ස්පර්ශය මදක් දැඩි කලාය.

චායා පසුපසින් චරකගේ රුව පෙනෙද්දී විහඟි බිත්තියට වාරු වූවාය. චරක අනෙක් කිසිවෙකු නොතකා විහඟි වෙත ඇවිද ආවේය. ඇගේ අතකින් අල්ලාගෙන කාමරය තුලට ගියේ කිසිවෙකු නොතකමිනි. නැන්දා එයට විරුද්ධ වීමට උත්සාහ කලද, චායා ඇය නැවැත්වූවාය.

” ඒ දෙන්නට ටිකක් කතා කරන්න දෙන්න ආන්ටි …ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. මම පොරොන්දු වෙනවා…”

එහෙත් නිවැසියන් කාමරය වෙතම දෑස් සහ සවන් රඳවා උන් හ. චායා උන්නේ  අසුනක හිඳගෙනය.

අඟුණකොලපැලැස්ස සීමාවට පිවිසි මොහොතේ පටන්ම හදවත සීරෙන හැඟීමක් මතුව ඇති බව දැනේ. මේ කොහේ හෝ තැනක සස්මිත ගැන සැබෑ තොරතුරක් දන්නා කවුරුන්ම හෝ සිටිනවා විය හැකි නොවේදැ්‍ි යන සිතුවිල්ල ඕ පුරා පැතිරේ.

වසර දොළහකට පසුවද, ඔහුම සොයමින් වෙහෙසෙන ඇස් වලට  යම් අස්වැසිල්ලක් මේ පුරවරය තුලදී ලැබිය හැකිය යන බලාපොරොත්තුවේ සේයා ඇයට දැනේ.

චරක විහඟිව යහනේ හිඳුවා,ඇගේ පසෙකින් හිඳ ගත්තේය. කතාවට පිවිසෙන්නේ කොතැනකින්දැයි ඔහුට වැටහෙන්නේ නැත.  ඇය තමා කෙරෙහි බිඳී ගොස් ඇතිවාට සැක නැත. ඕ මුලු ලෝකයක් පසෙකින් තබා , තමා එක් පසෙක තබාගෙන විශ්වාස කල බව, ප්‍රේම කල බව චරක දනී. සිංගප්පූරුවේ සිට පැමිණ  සිදු කල ව්‍යාපාර අසාර්තක වෙද්දි, ඕ ඒවා සාර්තක කරගන්නට වෙහෙසීමේ පටන්, දේශපාලන ජීවිතය තුල වඩාම නිවැරදි ඉම කරා යන්නට තමා දරා උන් අයුරු ඔහුට අමතක නැත. ඕ කිසිවක් ඉල්ලුවේ නැත. ඕ පොරොන්දු වෙනුවෙන් හඬා වැටුණේ නැත.

” මට ලොකු බලාපොරොත්තු නෑ අයියේ .. මේ ගෙවිච්ච කාලේ ඔයා එක්ක ගෙවපු හැම තත්පරයක්ම , මට ඉස්සරහදි තනියෙන් ජීවත් වෙන්න වෙන දවස් වෙනුවෙන් ආයෝජන .. මං දන්නවා.. සමහරවිට ඔයාට අපි කියලා කෙනෙක්ව නඩත්තු කරන්න බැරි වෙයි අයියේ .. කමක් නෑ..  ඔයා ඔයාගේ ගමන යන්න ඕනි .. මම මගේ ගමන යන පාරක් හොයාගන්නම් …”

විහඟි දිනක් එලෙස පැවසූ බව චරකට ඒ සැනින් සිහි විය.
” නංගි .. මා එක්ක තරහින්ද ?..”

චරක අවසානයේ එලෙසින් විමසුවේ, ඕ කිසිදිනෙක තමා හා අමනාප නොවන බව දැනගෙනමය.  විහඟි පිළිතුරු නොදී උන්නාය. ඔහු දන්නා පිළිතුර යලි යලි ඔහුට පවසන්නේ කුමකටදැයි සිතුවාය.

“නංගී ……. “
විහඟි ඉවතක් බලාගෙනම උන්නාය.

” මට මූණ හරවගෙන ඉන්න එපා නංගී .. මෙච්චර දුරක් ගෙවාගෙන, මෙ මහ රෑ මම ආව කාරණාව අහන්නේ නැද්ද ?..”

විහඟි නෙත් අඟට වන් කඳුලු ඇස් පිය වෙතින්ම සඟවා ගත්තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here