අංගාර – 10

0
2137

” අයියේ … මට පාඩුවේ ඉන්න දෙන්න … ඔයාට මාව විශ්වාසයිනේ ?… පොරොන්දු වෙනවා මම, මගෙන්වත් .. මේ දරුවාගෙන්වත්, ඔයාටවත්, ඔයාගේ පවුලේ අයටවත් කිසිම හානියක් වරදක් වෙන්නේ නෑ කියලා අයියේ … ඔයා මේ හැමදේම අමතක කරන්න ….  චායාටත් කියන්න මාව අමතක කරලා දාන්න කියලා… නැන්දයි , මාමයි මාවයි, දරුවාවයි  බලාගන්නවා.. මෙහේ නංගී ටික කාලෙකින් මාව ඩුබායි ගන්නම් කියලා … එතකොට, කිසිම ප්‍රශ්නයක් නෑ … ආයේ ආයේ ඇවිල්ලා, පවු පුරවගන්න කතා කියන්නෙපා ..පින්සිද්ද වෙයි …. මං .. මං පසුතැද්වෙන්නේ නෑ කිසිම දෙයක් ගැන.. මේ හැමදේම මම කලේ හොඳම අවබෝධෙන් … මගේ කැමැත්තෙන් .. ඒ හින්දා ඔයා ඒ  ගැන වරදකාරී  හැඟීමක් හදාගන්න ඕනි නෑ .. පොඩ්ඩක්වත් …”

චරක කෝපය ඉවසා ගත්තේ අපහසුවෙනි. ගැහැණුන්ට මදක් ඉවසන්නට නොහැකි මන්ද?.  ඔවුන් සියල්ල තීරණය කර අවසානයේ මෙලෙසින් පැවසීම සාධාරණ බව ඔවුන් සිතන්නේද ?

” ඔයා ආයේ මෙහෙ එන්න එපා .. ඒක මෙහෙ අයටත් කරදරයි .. අනෙක මේ ගම්වල මිනිස්සු .. ලොකු වාහන වලින් එනකොට යනකොට සැලකිල්ලෙන් බලනවා …  අනෙක.. අනෙක ..ඔයා .. ඔයා එහෙම නොදන්න කෙනෙක් නෙවිනේ අයියේ මේ මිනිස්සුන්ගේ ඇස් වලට …”

” කියවලා ඉවර නම් .. මම කතා කරන්නද ?…”

චරක විහඟි දෙස බලමින් විමසද්දී, විහඟිද හැරී බැලුවාය. චරකගේ ඇස් වල වූ පැහැදිළි හැඟීම විහඟිව තිගැස්මකට ඇද දැම්මාය.

” මාව පේන්නේ කොහොමද ?…”

විහඟි එය වටහා ගන්නටද නොහැකිව, එනිසාම පිළිතුරු ගලපා ගන්නටද නොහැකිව දෑස් විසල් කරගෙනම බලා උන්නාය.

” සෑහෙන්නම කතා ටිකක් කිව්වනේ ?..  ඇයි දැන් සයිලන්ට් ..?.. මාව පේන්නේ මොකෙක් වගේද ?..”

චරක එවර දැඩි ස්වරයකින් විමසුවේ විහඟිගේ බාහුවෙන් අල්ලා ඇය තමා වෙත නතු කරගනිමිනි. විහඟි යම් නොසන්සුන්කමක් ආරූඩ කරගන්නට උත්සාහ කලාය.  එහෙත් ඇගේ සිත අයදිමින් තිබුනේ අනෙකකි.

” නංගී කතා කරනවා ….”

” ඔයාට කරදර කරන්නේ නෑ අපි .. මංවත්, මගේ දරුවාවත් ..”

එවර චරකගේ ඉවසීම ඉක්මවා ගියේය. ඔහු විහඟිගේ දෑසට එබුනේ ඇයට රිදෙන්නටම ස්පර්ශය තවත් දැඩි කරමිනි.

” උඹට මාව මොකෙක් වගේද පේන්නේ ? …  මනුස්සයෙක් … මනුස්සයෙක් වගේ පේන්නේ නැද්ද මාව.. එහෙම බලන්න බැරිද ?.”

චරක උස් හඬින් කෑ ගැසුවේය. විහඟි වහා චරකගෙන් මිදී ඔහුගේ මුව දෑතින්ම වැසුවාය. චරක ඒ ඉරියව්වෙන්ම ඇයව ඔහු වෙත නතු කරගත්තේය. ඇගේ උරිස්සත්, ගෙලත් අතරේ ඉඩ සොයා ගත්තේය.

” හෙට බඳිමු …  මෙහෙන් රෙජිස්ටාර් කෙනෙක් බලන්න කියන්න .. අනිද්දා මම පිලිපීන් යන්න ඕනි … ඊට කලින් බඳින්න ඕනි මට … “

විහඟි ඇසුණේ කුමක්දැයි විශ්වාස නොමැතිව මෙන්, චරකගේ දෑ වෙතින් ඒ පැවසූවේ ලියවිල්ල කියවාගන්නට උත්සාහ කලාය. එහෙත්, චරක උන්නේ ඇයව ඉතා තදින් අල්ලා ගනිමිනි.

” ඔහොම ඉන්නවා .. දඟලන්නෙපා..”

“අයියේ ….”

” මම එවෙලේ එහෙම  නොකියා ඉන්නයි තිබුනේ නංගී ..  මම .. මම … කවදාවත් ඒ විනාඩි ගානට මට සමාව දෙන්නේ නැහැ … තව මාස හත අටකින්, මේ බබාව මගේ අත් දෙකට ගන්න දවසට, සමහරවිට මට මැරෙන්න හිතේවි .. සමහරවිට මට මෙයාව අතට ගන්න හයියක් නැතුව යාවි … මට .. මට මං ගැන මහ කලකිරීමක් දැනේවි …තාත්තා කෙනෙක් කියන්නේ, දරුවන්ව රකින මිනිහෙක් මිසක්කා, නසන මිනිහෙක් නෙවිනේ නංගී ..”

චරකගේ කඳුලු විහඟිගේ උරිස්ස්සෙන් පහලට වැටෙන සීතල දරා සිටින්නට විහඟිට හැකි වූයේ නැත. ඔහු මෙලෙසින් හඩා වැටුණු දිනයක් නොවන බව විහඟි හොඳින්ම දන්නීය. ඔහු දුර්වල වෙමින් උන්නේය. විහඟි චරකව පසෙකට කලාය. ඔහුගේ වත දෑතින්ම ගත්තාය.

” මොනවද අයියේ මේ කියන්නේ ?.. මගේ ජීවිතේ මම දන්න, මං ආදරේ කරන එකම පිරිමියා ඔයා ..ඔයා එදා දරුවාව නැති කරන්න කිව්වේ ඇයි කියලා මට තේරෙනවා.. ඔයාට මේ බර දරන්න බෑ .. එතකොට ඔයා ඒ බර අඩු කරන්න ඕනි .. ඒත් මගේ අයියේ, මට මේ බර දරාගන්න පුලුවන් .. මම ශක්තිමත් …”

විහඟිද හඬන්නට පටන් ගත්තාය. ඕ දෑතින්ම චරකගේ කඳුලු පිස දැමුවාය. චරක උන්නේ විහඟිගේ වචන පිහි තුඩු සේ ගෙන ඒවාගෙන් තම හදවතට ඇණ ගනිමිනි.

” ඔයා ආයේ එන්න එපා …”

විහඟි හැඬුම් අතරින් , එලෙසින් කීවාය. චරක සිනාසුනේය.  ජීවිතය යනු කුමක්දැයි  චරකට වැටහුනේ, විහඟි සියල්ල අතැර අතුරුදන් වූවාට පසුවය. ඇය තම ජීවිතය තුල කිනම් ඉඩක් අත් පත් කරගෙන හිද ඇතිදැයි වැටහෙද්දී, අන් සියල්ල කෙතරමකින් නම්,  නිස්සාරදැයි චරක සැබැවින්ම වටහා ගත්තේය.

වයස තිහේ අන්තිම  භාගයේ සිටින තමා, ජීවිතයේ එතරමින් වන වගකීමක් නොගන්නා අයෙකු වන්නේ කෙලෙසදැයි චරක යලි යලි සිතා තිබුණි.

” එන්න එපා කියලා කියන්න ආයේ එහෙනම් .. මම නේන්නම යන්නම් ..”

චරක එතැන් පටන් විහඟිගේ දැඩි බව දිය කරවීම ඇරඹුවේය. විහඟි කිසිත් නොපවසා, චරකගේ ලය මතට කඩා වැටුණාය.

” නෑවිත් ඉන්නෙපා අයියේ .. මෙහෙම .. රෑට හරි … හොරෙන් .. මෙහෙම ඇවිල්ලා.. මාව බඳාගෙන ඉඳලා… යන්න .. හැමදාම ඒ ඇති … ඔයා.. ඔයාට ගැලපෙන  හොඳ පවුලක කෙල්ලෙක් බැන්දට පස්සෙත් .. මම .. හොරෙන් .. මෙහෙම ඉන්නම් .. කවදාවත්, ඔයාට නපුරක් නොකර… මාව අතාරින්නෙපා අයියේ …. මම .. මම ඔයාට කොච්චරක් ආදරේ කරනවාද කියලා, මට ඔයාට කියන්න තේරෙන්නෙ නෑ … ඒක .. ඒක “

විහඟිගේ හැඬීම් උස් හඬින්  නැඟෙමින් තිබුණි. චරක, සැනසුම් සුසුම් හෙලුවේය. ඇය ට රිදෙන්නට ඇත. එය යළි ආප්පසට හැරවිය නොහැක. එහෙත්  මින් මත්තට ඇයට නොරිදවා සිටිය හැක.

” කෝ … නැගිටින්න … අපි කොහේ හරි එලියට ගිහිල්ලා කාලා එමූ ..  දෙකයි …”

චරක සැනින් අවස්තාව වෙනතකට හරවන්නට උත්සාහ කලේය. එහෙත් විහඟි උන්නේ අවබෝධයෙනි. ඔහු පවසන පරිදි මේ කිසිවක් සිදු නොවන්නටද හැක.

” හුල්ලන්න එපා… චායා හැමදේම අම්මලට කියලා තියෙන්නේ.. ඒගොල්ලෝ මාව දරුකමින් අයින් කරලා, ඔයාව දුවෙක් ගානට බාරගන්න හදන්නේ … ඔක්කොම හරි නංගි .. ඔයාගේ හිතේ මං ගැන ඇතිවුණ පිලිකුල, තරහ නැති කරගන්න විතරයි ඕනි ..”

” ශ් ශ් .. ශ් .. එහෙම නෑ .. එහෙම නෑ …”

විහඟි චරකව නවතා ගන්නට  උත්සාක කලාය.

” නැත්තේ නෑ .. අවුරුදු  දොලහක්, දහ තුනක්   මං පස්සේ වැටීගෙන මගේ ජීවිතේ බර ඇද්ද ඔයාව නේද මම ඒ අතෑරලා දැම්මේ කියලා , මතක් වෙනකොට මට පිළිකුල් නංගී .. මේ ක්‍රීඩා ඇමතිකම්, මේ දේශපාලන ප්‍රතිපත්ති, මේ සැලසුම්, ප්‍රොජෙක්ට්, .. ඔක්කොම බොරු නේද ?… මං .. මං මහ ව්‍යාජ මිනිහෙක් කියලා මට දැනෙන්නේ ..”

” ආයේ ආයෙම එපා ඔහොම කියන්න මගේ අයියේ … මොකක්ද ඔය ?..”
” නොකියා කොහොමද ?.. අම්මා, නංගි, තාත්තා ඔක්කොමලා මට මතක් කරලා දුන්නා .. මං .. කොයි තරම් වගකීම් විරහිත මිනිහෙක්ද කියලා..”

” ඕක නවත්තන්න අයියේ.. කාට කොහොම මොක කියන්න ඉඩ හැදිලා තිබුනත්, මම වෙනසක් නෑ .. මට ඔයාව තේරෙනවා… දැනෙනවා…” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here