අංගාර – 11

0
883

විහඟි අවසානයේ චරක පවසන්නක් අසා සිටින්නට එකඟ වූවාය.

” මේ හදිසියේ එහෙම මුකුත් කරන්න ඕනි නෑ .. අයියා ගිහිල්ලා එන්න … මම ඉන්නම් මෙහෙම …. මෙහෙ මට පරෙස්සම් …”

ඕ අවසානයේ එලෙස කීවේ චරකගේ දෑතින්ම අල්ලා ගනිමිනි. එහෙත් චරකට ඇය හා එකඟ වන්නට හිත හදාගන්නට හැකි වූයේ නැත. ඇගේ හිතුවක්කාරකම් ගැන වඩා හොඳින් දන්නේ චරකය.

” නෑ .. හෙටම … මොකක්ම හරි විදියකින් .. මේක කරන්න ඕනි …”

” ඇයි මේ කලබල … තවම මුකුත්ම හදිසි නෑ …”

” ලෑස්ති වෙන්න .. මහන්සි නෑනේ.. මෙහෙමම ගෙදර යමු … ම්ම්ම් . හෙට එහෙන් මම රෙජිස්ටාර් කෙනෙක් සෙට් කරගන්නම් .. මට ඒක වඩා ලේසියි … අනෙක වැඩේ ශුවර් ….”

” ඒත් අයියේ ……”

චරක විහඟිගේ දෙතොල හුරු උණුහුමෙන්ම නතු කරගත්තේය. ඇයට සෙලවෙන්නට ඉඩක් හෝ නොදීම උන්නේය. විහඟි හුරු පුරුද්දෙන්ම ඔහුට නතුව උන්නේය. ඕ පියවි  සිහියට පිවිසියේ සවන් අග දැවටුණු ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රේමාන්විත හඬිනි.  

” ම්ම් .. යමින් ගමන් තව දෙන්නම් …මේක තමයි අවුරුදු දහතුනක් තිස්සේ වෙනස් නොවෙච්ච වැඩේ….  ලෑස්ති වෙන්න .. නැන්දයි මාමයිත් එක්කං යමු .. මෙහෙන් වාහනයක් දාගන්නම් මම …. “

විහඟි උන්නෙ අවනතවය. අවනතව උන්නාය කියනවාටත් වඩා , චරකගේ හාදුව ඇයව අවනත කරවා තිබුණි.

චරක විහඟිව නැගිටුවාගත්තේය. තමා ඉදිරියෙන් වනසේ සිටුවා ගත්තේය. හදවත වේගයෙන් ගැහෙන බව දැනෙන්නේය.  තමා විසින් සැකසූ යමක් ඈ තුල වැඩෙන හැඟීම කෙලෙසදැයි වෙන් කර කියාගන්නට නොදැනේ. එහෙත්, ඇය කෙරෙහි දැන් දැනෙන වගකීමේ බර හදවත වාන් දමන බව දැනේ.

චායා මිදුලට වී නිවසට ඉහලින් පෙනෙන අධිවේගී මාර්ගයේ දැල්වෙන විදුලි පහන් දෙසද, ඊට ඉහලින් පෙනෙන අහස දෙසද  බලා උන්නාය. අයියා සහ විහඟිගේ කතාව දෙමාපියන්ගෙන් ගල් නොමැතිව මල් සමඟ අවසන් වීමේ සැහැල්ලුව ඇය දිගු සුසුමක් සමඟ  ඒ අහසට මුදා හැරියාය.  හදිසියේම අඟුණකොලපැලැස්සේ යන බව පවසන්නට, අම්මා සහ තාත්තා සමඟ සියල්ල පහදන්නට ඉදිරිපත් වූයේ චායාය.

” එතකොට දැන් මේ බූරුවා, අර කෙල්ලට දරුවා නැති කරමු කිව්වාද ?..”

” ඔව් අම්මා .. මේ බූරුවා එහෙම කියලා … මමවත් මුලින් මුකුත්ම දන්නේ නෑ.. විහඟි ගිහිල්ලා කියනකල් මම මුකුත්ම දන්නේත් නෑ .. මම ඒක මේකාගෙන් ඇහුවම මටත් සද්දේ දැම්මා….”

” යං .. තාත්තයි මායි එන්නම් … කෙල්ලව එක්කගෙන එමූ .. දෙයියනේ, මෙතන වැටීගෙන , පුලුවන් තරමට මූටම කර කර හිටපු කෙල්ලට යසයි දීලා තියෙන තෑග්ග … ගින්දරයි පුලුනුය් ලං කරන්න එපා කිය කියා ලොකු බාප්පලා කියද්දී කියද්දී, අපේ එකා අපිට විස්වාසයි කිය කියා ඔන්න මම කියපුවගේ රඟේ …”

” දැන් කෑ ගහලා වැඩක් නෑනේ අම්මේ .. අයියා දැන් කූල් වෙලානේ ඉන්නේ.. එවෙලේ මෙයා පිස්සු හැදිලා වගේ ඉඳලා තියෙන්නේ.. අපි මෙහෙමම ගිහින්, විහඟිව එක්ක එන්නම් .. ආවම බලමු…”

” හොඳ කූල් එක.. එවෙලේ ඒ කෙල්ල ඒ ගමන නොගිහින් වෙන දෙයක් කරගත්තා නම්, අපි සැනසීමෙන් එක හුස්මක් ගන්නේ කොහොමද ?..”

” එහෙම මුකුත් වුනේ නෑනේ අම්මේ..”

චායා යලි සුසුමක් හෙලුවාය. අම්මා සහ තාත්තා විහඟිව දියණියක සමව පිළිගැනීමේ සැහැල්ලුව එහි තිබුණි. තමා අහිමි කරගෙන තවම විඳවන යමක්, අයියා සහ විහඟි දිනා ගැනීමේ සැහැල්ලුව එහි තිබුණි.

චායා බිම වැටී තිබූ සේපාලික මල් කිහිපයක් නිරුවත් පයට පෑඟෙන්නට හැරියාය. තිස් තුන් හැවිරිදි යුවතියක, ජීවිතයේ වඩා උත්කර්ශවත්ව ගෙවා දමන්නට තිබූ වසර දොළහක්ම , සැලැස්මකවත් නොතිබූ මාවතක ගොස් අවසන්‍ ය. අයියාගේ දේශපාලන ගමන පසුපස සිටිමින්, අයියාට මෙතටම් දුර එන්නට සහය වීම ගැණ පසුතැවීමක් නැතිවා වුවද, ඉන් තම ජීවිතයේ වූ සියලු සිහින වල දමන්නට සිදු වූ බව චායා නිතරම කල්පනා කරන්නීය. එහෙත්, සස්මිතගෙන් හිස් වූ ජීවිතය කිසිඳු හීනයක් නැති බවද ඕ දන්නීය.

” මෙච්චර කල් ගිහිල්ලත්, මට එකම එක පණිවිඩයක්වත් තියන්න  බැරි තරමට ඔයා මාව අමතක කරාද දෙයියනේ … මාව එච්චරට වටින්නේ නැති කෙනෙක් වුනාද ?.. අපේ අයියා ස්පෝර්ට්ස් මිනිස්ටර් කියලා දැනගත්තමවත්, මාව හොයන්න හිතුනේ නැද්ද ? .. අයියාගේ මීඩියා යුනිට් එකේ මාව පෙනෙද්දී, ඔයාට මට කතා කරන්නවත් හිතෙන්නේ නැද්ද ? … ඔක්කොම හරි , මගේ හිත හැදෙන්න කියලාවත්, කොහොමද ඔයා  හොඳින් කියලාවත් මට නොකියා ඉන්නේ ?…”

චායා තිගැස්සුණේ චරකගේ හඬිනි. ඕ වහා කඳුලු සඟවාගනිමින් ආපසු හැරුණාය.

” පිස්සුද ඕයි .. මේ මහ රෑ එලියට වෙලා ඉන්නේ?..”

චායා අසීරුවෙන් සිනාසුනාය. චරකට පිටුපසින් සිටින විහඟි දෙස බැලුවාය.

” හරිද දැන් ?..”

ඇය දෙදෙනාගෙන්ම විමසුවේ, ඇගේ දුක්ඛ දෝමනස්සයන් පුරුදු සෙය්යාවෙන්ම පසෙකට කර දමමිනි. චරක ආපස්සට හැරී විහඟිව තමා වෙතට ලං කරගත්තේය.

” මෙහෙමම ගෙදර යමු … සේලගෙන් අහන්න ඩ්‍රයිව් කරන්න පුලුවන්ද කියලා …”

” ඒත් අයියේ ?…”

” අසේල….”

චරක විහඟිව අත් නොහැරම රියැදුරු ඇමතුවේය.

චරක සතු  බලතල සමඟම දෙදෙනාගේ විවාහය ලියාපදිංචු කෙරුණි.  විහඟි යලි යලිත් චරකගෙන් විමසා උන්නේ එකම දෙයය.

” අයියේ .. මේ ගන්න තීරණෙන් ඔයාගේ ජීවිතේට නපුරක් අවැඩක් වෙනවා නම්, අපි  මේ ගැන ආයෙම හිතමු අයියේ .. මේක ඔයාගේ විතරක් දෙයක් නෙවෙයිනේ.. මමත් මේකේ වගකීම දරන්න ඕනි .. ඉතින් එහෙම එකේ… ඔයා විතරක් ඔයාගේ ජීවිතේ ආපස්සට  යවාගෙන මේ දේවල් කරන්න උවමනා නැහැ..”

” ආයේ ඔය කතාව කියලා බලන්න නංගී මොකක්ද මම කරන්නේ කියලා ..” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here