” ගුඩ් මෝනින් සර්..!”
පොලිස් ස්ථානයට ගොඩ වූ සැණින් තම නිල කාමරය වෙත යනතුරුම වෙනදා නොමැති තරමේ උණුසුම් පිළිගැනීමක් තමන්ට ඇති බව මනුහස්ගේ සිතට දැනුණේය . එයිනුත් බොහෝ ප්‍රතිචාර කාන්තා පාර්ශවයේ වීම ඔහුගේ හදවත තුළ සමච්චල් සිනහවක් නිර්මාණය කර තිබුණේය.
” ගුඩ් මෝනින් සර්..!”
” ගුඩ් මෝනින්.. ! වාඩි වෙනවකෝ…”
” අද මුළු ස්ටේශන් එකේම කතාව සර් ගැන. “
සචින්ද්‍ර එසේ පවසමින් මනුහස් ඉදිරියේ තිබූ පුටුව ඇද වාඩි වූයේය.
” ඒක නං පට්‍ට ෆොටෝ එකක් සර්. අපරාදේ සර්ට රඟපාන්න යන්න තිබුණේ “
මනුහස් කට කොනකින් සිනහවක් පෑවේය. ඉන්පසුව ජංගම දුරකතනය ගෙන ඒ මත දෑඟිලි එහා මෙහා යවා දුරකතනය සචින්ද්‍ර දෙසට දිගු කළේය.
” නර්මදා කැකුණවෙල . මේ අර මිසිස් මල්දෙණියගේ සෙකට්‍රි නේද සර් ?”
” හ්ම්ම්… ගෑනි ඊයේ මට රික්වෙස්ට් එකක් දාලා තිබ්බා “
” සර්ව කොහොමද දන්නෑ හොයාගත්තේ ?”
” මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා සචින්ද්‍ර , අපිට එයාලව අඳුරගන්න ඕනේ නං , කනෙක්ශන් එකක් හදාගන්න ඕනේ නං එයාලාගෙ පස්සෙන් ගිහින් අපිම බලෙන් අපිව අඳුන්නලා දෙන්න ඕනේ. තවත් සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට අපි කියලා ජාතියක් ඉන්නවා කියලා පේන්න සැලස්සුවම ඇති. එයාලම අපිව හොයන් එනවා. මේකත් ඒ වගේම තමා. දැන් තියෙන්නේ පොඩි ඇමක් දාලා බලන්න. සමහර හාම්පුත්තුවත් තමන්ගෙ ගේ ඇතුළේ නොදන්න දේවල් ඔය සෙකට්‍රිලා කියන අය දන්නවා. “
සචින්ද්‍ර සිනහවක් නැඟුවේය .
” එහෙනං මේ ඊයේ ෆොටෝ එකේ කන්ටැක් එකක් “
සචින්ද්‍ර එසේ පවසා නිමවනවාත් සමඟම ෂියෝනා මනුහස්ගේ නිල කාමරය තුළට කඩා වැදුණාය.
” හරි ශෝක්… සෝෂල් මීඩියා වල කාලේ කනවා කිය කිය අපිට බැන බැන හිටපු එක්කෙනා අද මුළු බුකියෙම ගෑනු ටික අවුස්සලා. අන්න මං දැක්කා ගෑනු පොර කකා කමෙන්ට්ස් දාලා තියනවා දැන් නං හිරේ ගියත් සැපයි කියලා. “
ෂියෝනා එසේ පවසමින් අනාරාධිතවම මනුහස් ඉදිරියේ තිබූ පුටුවෙන් හිඳ ගත්තාය.
” ඔයා ආපු එක හොඳයි. දෙයක් අහන්නත් එක්ක හිටියේ. “
” මොකද්ද ?”
” අර එදා මල්දෙණියගේ වයිෆ්ව ප්‍රශ්න කරන්න ගෙනාවේ මේල් එකක් දැකලා. ඒ මේල් එක කොහොමද ඔයාට හම්බුණේ ?”
” ආ.. මේ.. අර කවුද මේ… මල්දෙණියගෙ සෙකට්‍රි .. මොකද්ද මිනිහගේ නම ….? ආ.. සේනාධීර. රමිත සේනාධීර. ඌ මට කතා කරලා කිව්වා මල්දෙණිය ඔෆිස් එකේ යූස් කරපු ලැප් එකේ නෝට් එකක් තියනවා කියලා. ඉතිං මං ඒක ගිහින් බැලුවා. එච්චරයි. “
” හ්ම්ම්….”
මනුහස් යටි තොළ සපමින් ෂියෝනා දෙස බැලුවේය.
” ඇයි මොකද්ද අවුල ? ඒ කේස් එක දැන් ඉවරනේ ?”
” නෑ.. නෑ.. අවුලක් නෑ.. මං මේ නිකන් මතක් වෙලා ඇහුවේ. “
මනුහස් ලබා දුන් පිළිතුරෙන් සෑහීමකට පත් වන වගක් ෂියෝනාගේ මුහුණින් නොපෙණුනේය. ඈ තවත් කිසිවක් මනුහස්ගෙන් විමසීමට උත්සාහ කළද කාමරයේ දොරට තට්ටු කරමින් පැමිණි කාන්තා පොලිස් නිලධාරිනියක් හේතුවෙන් එය මඟ හැරී ගියේය .
” මිස් ෂියෝනා. ජීප් එක රෙඩී.. “
” ආ.. හරි යං . මං එන්නං “
” කොහේ යන්නද අද ? “
” අර කාන්තා සමුළුව අදනේ. අද දවසම එතන. හෙල්ලෙන්න වෙන්නෑ. මං ගිහින් එන්නං “
” ඕකේ බායි..”
ෂියෝනා පිටව යන තුරු බලා සිටි මනුහස් හිඳ සිටි පුටුවෙන් ඉදිරියට ඇදී සචින්ද්‍ර දෙස බැලුවේය.
” මේකේ කොනක අර රමිත කියන එකා ඉන්නවා. ඌ මේල් එක හිතාමතාමයි ෂියෝනාට පෙන්නලා තියෙන්නේ. “
” හේතුව සර් ..?”
” එකක් , මයන් මල්දෙණියව ඝාතනය වුණේ නෑ වුණේ සියදිවි නසා ගැනීමක් කියලා පෙන්නන්න . නැත්තන් කැන්ඩි වල හිටපු අපිව ඉක්මන්ටම මෙහෙට ගෙන්නගන්න. රණබාහුගෙන් මුං දැනගන්න ඇතිනේ අපි ඉමර්ජන්සි ඩෝ එක යූස් කළා කියලා. අපි තවත් හොටෙල් එකේ ඉන්න ඉන්න උන්ගෙ ප්ලෑන අහු වෙයි කියලා හිතුණ නිසා අපිව ගෙන්නගන්න මෙහෙම දෙයක් කළා වෙන්න පුලුවන් . “
” ඒකත් ඇත්ත. අපිට ලීගල් පර්මිශන් තිබ්බනං ඌව ගෙනල්ලා දෙකක් අනින්න තිබ්බා සර් “
” ටිකක් කල්පනා කරලා බලමු. කොහෙන්හරි පොටක් පෑදෙයි. “
” ආ.. සර්. මිසිස් මල්දෙණියගෙන් මැසේජ් එකක් තිබ්බා. “
” ඒ මොකද්ද ? “
” දහයට විතර රොස්මේඩ් ප්ලේස් වලට එන්න පුලුවන්ද කියලා අහලා ? සර්ට දෙන්න දෙයක් තියනවා කිව්වා. “
” එහෙමද ? කමක් නෑ. එන්නං කියලා රිප්ලයි එකක් දානවකෝ .”
” ඕකේ සර්. “
*****************************************
” ලොකේශන් එක තියෙන්නේ කොහෙද බං ? “
මනුහස් ජීප් රථයට ගොඩ වන අතරතුර සචින්ද්‍රගෙන් ඇසුවේය .
” රොස්මේඩ් ප්ලේස් වල පෙට් ක්ලිනික් එකක් ඉස්සරහා සර්. ආපහු මැසේජ් එකක් ඇවිත් තිබ්බා. අපිට එතනින් බහින්න අවශ්‍ය නෑ , මිසිස් මල්දෙණිය එතනින් අපේ වාහනේට නඟින්නං කියලා. ගෙදරට උනත් නිතරම යන එක හරි නෑ කියලා හිතෙන්න ඇති සර් “
” හ්ම්ම්ම්…”
” සර් අර ප්‍රයිමර් ස්කූල් එකක ප්‍රින්සිපල් කෙනෙක්ගෙයි , රයිටර් කෙනෙක්ගෙයි නඩුවක් තිබ්බේ. ඒකේ තීන්දුව දීලා. අරූ අවුරුදු දහතුනකට හිරේ “
” මං හිතුවා ඌට එහෙම වෙයි කියලා. “
” අපේ බණ්ඩාර එක්ක අර රයිටර්ගේ පවුලේ කට්ටිය සර්ට නොසෑහෙන්න පින් දුන්නා කියලා බණ්ඩාර උදේ කිව්වා. … ලොකේශන් එක නං කිට්ටුව වගේ සර්… “
” ඉස්සරහින් දකුණට දාපු ගමන් පෙට් ක්ලින්ක් එකක් තියනවා තමා. “
මනුහස් දකුණු පසට දෑස විහිදා යළිත් සචින්ද්‍ර දෙසට හැරුණේය.
” මිසිස් මල්දෙණිය කිව්වේ මයන් මල්දෙණියගේ අම්මා නෙමෙයිද ? “
ක්‍රීම් පැහැයක් ගත් දිගු සායකට අත් දිග අයිවරි ක්‍රීම් පැහැ ගත් බ්ලවුසයක් හැඳ කඩා හැළෙන කොණ්ඩය ගෙඩියක් සේ උඩට බැඳ ඉක්මන් ගමනින් සචින්ද්‍ර නතර කළ ජීප් රථය දෙසට ඇවිද එන නෙත්‍යා මල්දෙණිය දුටු වනම මනුහස්ගේ හදවතේ තිබූ සැනසිලිදායක බව අතුරුදහන් වී නොසන්සුන්බවකින් පිරී ගියේය. ඔහු වහා ජීප් රථයේ ඉදිරියේ තිබූ තම අව් කණ්ණාඩි යුගළය රැගෙන දෑසේ පළඳවා ගත්තේය.
” මිසිස් මල්දෙණිය කියලා කිව්වේ සර්. නැන්දම්මටයි , ලේලිටයි දෙන්නටම කියන්නේ ඉතිං එහෙමනේ. මට නං හිතුණා එන්නේ මයන් මල්දෙණියගේ වයිෆ් වෙන්නැති කියලා. මොකෝ අර වයසක මනුස්සයා රෝද පුටුවත් කරකව කරකව මේ පාරවල් වල ඉඳී යෑ ?”
මනුහස්ගේ හදවත සියුම් ලැජ්ජාවකින් පිරී ගියේය. ඒ අතර වහා ජීප් රථය අසලට පැමිණ ඉදිරිපස අසුන් දෙපළේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා දෙස ඇස් කොනින් බලා පසුපස ආසනයට ගොඩ වූ නෙත්‍යා මල්දෙණිය දෑසේ පැළඳසිටි අව් කණ්ණාඩිය ගලවා දැමුවාය.
” අපිට පුලුවන්ද යන ගමන් කතා කරන්න ?”
ඈ සෙමින් නමුත් පැහැදිලිව ඇසුවාය.
” කොහෙටද මැඩම් යන්න ඕනේ ? “
” කොහෙට හරි කමක් නෑ. එක තැනක නතර වෙලා කතා කරනවට වඩා මෙහෙම වාහනේ ඇතුළේ ඉඳන් කතා කරන එක හොඳයි කියලා හිතුවා. “
සචින්ද්‍ර ජීප් රථය පණ ගන්වමින් මනුහස් දෙස බැලුවේය. නෙත්‍යා පැවසූ ආකාරයට අනුව ජීප් රථය ධාවනය කරමින් ඉදිරියට යන ලෙසට සචින්ද්‍ර දෙස බලා හිසින් සන් කරා විනා මනුහස් මුවින් කිසිවක් නොපැවසුවේය.
ජීප් රථය මිනිත්තු දෙක තුනක්ම ඉදිරියට ඇදී ගිය අතර අවසානයේ එහි නිහඬ බව බිඳිමින් නෙත්‍යා මල්දෙණිය කට හඬ අවදි කළාය.
” මිස්ටර් විජේවර්ධන…!”
ඇගේ කටහඬ පෙරටත් වඩා ශබ්දයෙන් අඩු වූ අතර එහි දැඩි කනස්සලු ස්වරයක් ගැබ් වී තිබුණේය. කිසිදා නොඇසූ ආකාරයකට නෙත්‍යාගේ මුවින් තම නාමය ඇසුණු මනුහස් තිගැස්සී ගියද ඔහු ඒ බව නොපෙන්නා ඉදිරිය දෙස බලා සිටියේය.
නෙත්‍යා වහා තම උකුළ මත තිබූ අත් බෑගය විවර කොට ඉන් සුදු පැහැ ලිපි කවරයක් අතට ගෙන එය මනුහස් වෙත දිගු කළාය. යන්තමින් පසුපස හැරී ලිපිය අතට ගත් මනුහස් කුමක්ද කියා නොවිමසාම එය විවර කළේය.
සුදු පැහැ ලිපි කවරය තුළ තිබුණේ ජායාරූපයකි. එකී ජායාරූපය අවුරුදු ගණනාවකට පෙර ලබා ගත් එකක් වූ අතර එහි සිටියේ පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසුන් පිරිසකි.
” ම්ම්.. මේ.. ඔය මයන්ගේ ඉස්කෝලේ කාලේ ෆොටෝ එකක්. මීට අවුරුදු විසි පහකට කලින් ගත්තු එකක්. මයන් නැති වෙන්න සති දෙකකට විතර කලින් ඕක මගේ නමට පෝස්ට් එකේ ඇවිත් තිබ්බා. “
සැර පරුෂ ගුරුවරයෙක් ඉදිරියේ දෝෂදර්ශනයට ලක් ව තම නිර්දෝෂීභාවය අපහසුවෙන් උවත් මවාගත් ධෛර්‍යයකින් ඉදිරිපත් කරන කුඩා පාසල් සිසුවියක සේ නෙත්‍යා මල්දෙණිය ඔහු දෙසට බැල්මක් හෝ විතැන් නොකොට ඉදිරිපස අසුනේ හිඳ සිටිනා තරුණ පොලිස් නිලධාරියා වෙත කරුණු පැහැදිලි කරමින් සිටියාය.
” ඕක ආවේ ගෙදරට. සාමාන්‍යයෙන් එයාට එන ලියුම් මමවත් , අම්මාවත් බලන්නෑ. ඒත් ඕක ඇවිත් තිබ්බේ මගෙ නමට. මගෙ නමට ආපු නිසා මං ඕක කඩලා බැලුවා. ඒත් තිබුණේ මයන්ගේ ඉස්කෝලේ ෆොටෝ එකක් නිසා එයා ගෙදර ආවම මං ඕක එයාට පෙන්නුවා. “
තරුණ නෙත්‍යා මල්දෙණිය තමා පවසන දෑ ඉදිරි අසුනේ සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇසෙනවාද නැතිද යන්න හෝ නොදැන දිගටම ධාවනය වන ජීප් රථයේ තනිවම මෙන් කතා කරමින් උන්නාය .
” ඕක දැකලා එයා එක පාරට කලබල උනා. පස්සේ මේක මගෙ ඉස්කෝලේ කාලේ එකක්නේ කියලා කිව්වා. ඒකත් එක්කම මං කිව්වම ඔය ලියුම ආවේ මගෙ නමට කියලා එයා තවත් කලබල උනා. හැබැයි එයා බොහොම අමාරුවෙන් මගෙ ඉස්සරහා කලබල නොවී ඉන්න ට්‍රයි කරනවා කියල මට එවෙලේ හිතුණා. “
නෙත්‍යාට එක් වරම ඉකි ගැසුණාය. ඒ මියගිය සැමියා මතක් වීමට වඩා තමන් පවසන කිසිවකට වචනයකින් හෝ පිළිතුරක් නොදී තමා වැන්නියක් ජීප් රථය තුළ සිටින බව හෝ මායිම් නොකර ඉදිරිපස අසුනේ හිඳ සිටින පොලිස් නිලධාරියාගේ උඬඟු බව හේතුවෙන් සහ ඔහු උවමනාවෙන්ම තමාව ප්‍රතික්ශේප කරන බව වැටහීමෙන් හදවතට දැනුණු අසරණ බව නිසාමය.


