BE SILENT – 19

0
35

” ඒක ප්‍රශ්නයක් කරගන්න එපා බං. අපි දවසකට දෙකකට රාදිව ෂියාගෙ ගෙදර නතර කරමු . ඊට පස්සේ රෙන්ට් එකට ගෙයක් බලමු “

” ෂියෝනා මැඩම් කැමති වෙයිද සර් ? අනික මැඩම්ගේ ගෙදර ඉඩ තියෙයිද ? “

” එයා මොන එහෙකටද අකමැතිද වෙන්නේ ? මම ම කී දවසක් නං ඒ ගෙදර නැවතිලා ඉඳලා තියනවද ?”

නෙත්‍යාගේ වටකුරු දෑස සිහින් වී ගියේය. එක්වරම කටින් පිටවූ වචනය අනවශ්‍ය දෙයක් වුවත් එහි අරුත පිළිබඳව වැටහුණු මනුහස් යටි සිතෙන් සිනාසුණේය. 

” ගනින් කෝල් එකක් ..”

සචින්ද්‍ර නිහඬවම ජංගම දුරකතනය අතට ගෙන ෂියෝනා හා සම්බන්ධ වීමට උත්සාහ දැරුවේය. 

” ආන්සර් කරන්නෑ සර්..”

දෙතුන් වතාවක්ම ෂියෝනාව සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය නිෂ්ඵල වූ සචින්ද්‍ර නැවතත් මනුහස් දෙස බලා කීවේය. ඒ අනුව මනුහස්ද ඔහුගේ ජංගම දුරකතනයෙන් ෂියෝනා හට ඇමතුම් කිහිපයක්ම ලබා ගත්තද ඒ එකකට හෝ ඈ ප්‍රතිචාර දැක්වූයේ නැත. 

” ශිට්..!” 

නෙත්‍යාගේ සිහින් වූ වටකුරු දෑසේ සමච්චලයක් පැතිරෙන්නට පටන් ගත්තේය. මුව කොනකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට නොපෙනෙන්නට සරදම් සිනාවක් පෑ ඇය අත් බෑගය තුළ තිබූ තම ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමක් ලබා ගත්තාය .

” අමරතිලක .., 

———————

ඔව්.. මං කතා කරන්නේ . , 

——————–

අමරතිලකලගෙ ඇනෙක්ස් එකක් තිබුණා නේද රෙන්‍ට් එකට දෙන ? ඒක දැන් හිස් ද ?” 

—————-

” හරි පොඩ්ඩක් ඉන්න …, “

නෙත්‍යා සචින්ද්‍ර දෙසට හැරුණේය. 

” සචින්ද්‍ර ..!” 

” මැඩම් ..?” 

” සචින්ද්‍රට හෝමාගම දුරද ? හෝමාගම කිව්වට ඊට ගොඩක් මෙහා. කොට්ටාවට කිට්ටුව. හයිවේ එක්සිට් එක හරියේ. “

” මාකුඹුර හරියෙද  මැඩම් ?” 

” ආ. ඔව්. ඒ හරිය තමා..”

” නෑ මැඩම් දුරක් නෑ.. මං දැන් ඉන්නෙත් කොට්ටාවේ තමා. “

” හරි විනාඩියක් ඉන්න. “

නෙත්‍යා නැවත දුරකතනය කනේ තබා ගත්තේය. 

” අමරතිලක.. , ඔව් . අපි තව පැය දෙකක් වගේ යද්දි එනවා. “

——————

” හරි. දුවට කියලා තියන්න. “

නෙත්‍යා නැවත සචින්ද්‍ර දෙසට හැරුණාය.

” සචින්ද්‍ර .., මං දන්න කෙනෙක්ගේ ඇනෙක්ස් එකක් තියනවා. ඇනෙක්ස් එකක් කිව්වට වෙනම හදපු පොඩි ගෙයක්. බෙඩ් රූම්ස් 2යි , සාලෙයි , කිචන් එකයි ,බාතෲම් එකයි. මුළු ගෙදරම ෆර්නිචර්ස් එක්ක දෙන්නේ. හයිවේ එක්සිට් එක පහු කරපු ගමන්ම වගේ. සචින්ද්‍රට කැමති කාලයක් එහෙ ඉන්න පුලුවන් . ඔයාලා මැරි කරනවනං අදම ඒක කරන්න. ඊට පස්සේ දෙන්නත් එක්කම එහෙ යං. තැන් තැන් වල ඉන්න එපා. “

සචින්ද්‍ර හට එවර සැනසුම් සුසුමක් හෙළුණේය . ඔහු හිස හරවා රාදී දෙස බැලූ අතර ඇය ඒ වනවිටත් කඳුළු පිසමින් සිටියාය. 

” ඒයි .. කසාද බඳිමුද එහෙනං ?”

පසුපසට අත දිගු කොට රාදීගේ අතින් අල්ලා ගත් සචින්ද්‍ර එසේ ඇසූ අතර ඈ කිසිවක් නොපවසා හිස සැළුවාය. නෙත්‍යාගේ මුව සැනසිලිදායක සිනහවක් පැතිර ගිය අතර අවුරුදු ගණනාවකට පසු මනුහස් කණ්ණාඩිය තුළින් ඇගේ මුව මත පිරි සිනහව දුටුවේය. නිහඬවම දුරකතනය අතට ගත් ඔහු ඇමතුමකට සම්බන්ධ වූයේය.

” හෙලෝ… සෙනවිරත්න , ගෙදර ඉන්නවද ? “

———————

” හරි අපි විනාඩි පහළවෙන් ඔතන “

මනුහස් දුරකතනය තබා සචින්ද්‍ර දෙසට හැරුණේය. 

” හරිනේ එහෙනං , යං .”

******************************************

” අත්සන් කරන්න සාක්කිකාරයෝ දෙන්නෙක් ඕනේ මහත්තයා “

සචින්ද්‍රගේත් , රාදීගේත් ඉදිරියේ තිබූ කාර්‍යාල මේසය අසලින් හිඳගත් විවාහ රෙජිස්ට්‍රාර්  සෙනෙවිරත්න එසේ පවසා මනුහස් දෙස බැලුවේය .

” එක්කෙනෙක්ට මං අත්සන් කරන්නං. සෙනෙවිරත්න ගාව හදිස්සියට ගන්න සාක්කිකාරයෝ ඇතිනේ ?”

මනුහස් පෙරළා සෙනෙවිරත්නගෙන් ප්‍රශ්න කළේය . සෙනෙවිරත්න මඳ සිනහවක් පෑවේය. 

” එහෙම ඕන්නෑ. රාදීගේ පැත්තට මං අත්සන් කරන්නං “

පසෙකට වී එතෙක් වේලා නිහඬව සිටි නෙත්‍යා එසේ පවසා ඉදිරියට විත් රාදී අසලින් සිට ගත්තේය .

” එහෙනං හරිනේ ? හතරදෙනාගෙම අයිඩින්ටි කාඩ් ගත්තනං “

සෙනෙවිරත්න රෙජිස්ට්‍රාර්වරයා ඉතා ඉක්මනින් සියලු කටයුතු නිම කළේය . 

සියල්ල නිමවූවාට පසු රාදීව වැළඳගත් නෙත්‍යා ඇගේ දෑතින් අල්ලා ගත්තාය .

” ඔයා හරි වාසනාවන්ත ගෑනු ළමයෙක්. “

නෙත්‍යාට අවසානයේ ඉකි ගැසුණාය. තවත් ඈ දෙස බලා සිටිය නොහැකි වූ මනුහස් වහා ගොස් ජීප් රථයට නැංගේය. හදවත කොනකින් මතුවූ දරුණු වේදනාවක් උගුර සිර කරමින් එළියට ඒමට දඟලන ආකාරයක් ඔහුට දැනුණේය .

” මාකුඹුරටද මැඩම් ?” 

රෙජිස්ට්‍රාර් නිවසින් පිටත් වූ ජීප් රථය 138 මාර්ගයට හරවමින් සචින්ද්‍ර ඇසුවේය.

” ඔව් සචින්ද්‍ර , එහෙට යං. “

ජීප් රථය වේගයෙන් මාකුඹුර දක්වා ගමනාරම්භ කළේය. රාදී හා සෙමින් සෙමින් කතාවට වැටී සිටි නෙත්‍යා මහරගමට ළං වූ වහා නැවතත් සචින්ද්‍ර ඇමතුවාය. 

” සචින්ද්‍ර .. ! ඔය ශොප් එකේ කා පාක් එකට පොඩ්ඩක් දාන්න “

” එන්න.. , “

සචින්ද්‍ර ජීප් රථය නතර කර වහා ඉන් බැස ගත් නෙත්‍යා රාදීද කැටුව නිමි ඇඳුම් වෙළඳ සැළක් තුළට අඩි තැබුවාය. 

” ඈ බං ?”

” ආ ..සර්.. !” 

” උඹ මීට කලින් ගෑනු එක්ක ශොපින් ඇවිල්ලා තියනවද ? “

” නෑ සර්. ඇයි ?” 

” බලහන්කො , දැන් පැය දෙක තුනක් මෙතන කට්ට කන්න වෙනවා. “

” සර් කොහොමද දන්නේ ? “

” එක පාරක් මං ෂියා එක්ක ආවනේ. අම්මෝහ්… ඕන මඟුලක් කරගනින් කියලා මං දාලා ගියා අන්තිමට. “

සචින්ද්‍රගේ මුව එවර සිනහවෙන් පිරී ගියේය. 

” දැනට හිනාවෙයන් , බලහන්කො ඉස්සරහට “

මනුහස් එසේ පැවසුවද ඔහුගේ කියමන සාවද්‍ය කරමින් නෙත්‍යා හා රාදී පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළදී අතින් කටින් එල්ලා ගත් බඩු මළු කිහිපයක්ද සමඟ ජීප් රථයට ගොඩ වූහ. එතැන් සිට සුපිරි වෙළඳ සැලකත් , අවන්හලකත් වරින් වර ජීප් රථය නතර කරන්නට යැයි දැනුම් දුන් නෙත්‍යා ඒවාටද ගොඩ වී බඩු මළු රැසක් ගෙනවිත් ජීප් රථයට දැමුවාය. 

” අපිට මිසිස් මල්දෙණිය කිව්වේ පුතාගේ කේස් එක විසඳන්නද ? එහෙමත් නැත්තන් ලේලිට කඩේ යන්න කියලද බං ? ” 

නෙත්‍යාගේ ක්‍රියා බලමින් එතෙක් නිහඬව සිටි මනුහස් කොඳුරමින් සචින්ද්‍රගෙන් ඇසුවේය. ඔහුට දීමට පිළිතුරු කිසිවක් නොමැති වූ සචින්ද්‍ර තොල් පට තද කරමින් හිස දෙපසට සැළුවේය . 

මං සලකුණු අසමින් සචින්ද්‍රටත් , රාදීටත් නෙත්‍යා විසින් සපයා දුන් කුලී නිවස වෙත යන විටත් එහි ඉදිරිපසට වී තරුණ යුවතියක් පෙර මං බලා සිටියාය. 

” මැඩම්ලා එනකන් බලං හිටියේ “

ඈ එසේ පවසමින් කුඩා නිවසේ ගේට්ටුව විවර කළාය. අලංකාරවත් ලෙස පිළිවෙළකට නඩත්තු කොට තිබූ කුඩා එළිමහනක්ද , සුවපහසු නිදන කාමර දෙකක්ද , කුඩා ආලින්දයක්ද , මුළුතැන්ගෙයක් හා නාන කාමරයකින්ද සමන්විත වූ කුඩා නිවස සියළුම ලී බඩු හා සියළුම විදුලි උපකරණ වලින් සමන්විත වූ  හුරුබුහුටි නිවසක් වූයේය. නිවසේ දොර යතුරු බාර දුන් තරුණ යුවතිය නිවසින් පිටව යන්නට සූදානම් වූ අතර නෙත්‍යා ඇය හා කතාබස් කොට නැවත පැමිණ සචින්ද්‍රව ඇමතුවාය. 

” සචින්ද්‍ර ..!”

” කොහොමද ගෙදර ?” 

” පුදුම ලස්සනක් මැඩම්. මැඩම්ට ගොඩක් ස්තූතියි මේ වෙලාවේ මෙහෙම දෙයක් කළාට. සර් රුයි ,මැඩමුයි නැත්තං මං මේ වෙලාවේ මොනව කරයිද කියලා හිතාගන්න බෑ. “

නෙත්‍යා සචින්ද්‍ර දෙස බලා සිනහවක් නැඟුවාය. 

” එයා කරලා තියෙන්නේ ලේසියෙන් කෙල්ලෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි සචින්ද්‍ර .., කෙල්ලෙක් උනාම පුංචි කාලේ ඉඳලම තමන් වටේ මවා ගත්තු ලෝකයක් තියනවා. ඒවා මහ ලොකු දේවල් නෙමෙයි. හරි පුංචි පුංචි දේවල් . හැබැයි ඒවයේ තියන සතුට හරි විශාලයි. 

” පුංචි ගෙයක් ,  චූටි ලස්සන මිදුලක් , ගේ ඉස්සරහා කුරුළු ලෑල්ලක් , ගේ පිටිපස්සෙන් තියන ලොකු කුඹුරක්. ගේයි , කුඹුරයි අතර මැද තියන පොඩි දොළ පාරක් , ගේ ලඟ පාත තියන පන්සලක් , හැමදාම හැන්දෑවට ළාවට ඇහෙන පිරිත් හඬක් , උදේට ගේ පුරා යන කිරිබත් සුවඳක්.  ඒ දේවල් එක්ක තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන මනුස්සයා එක්ක ලස්සනට ජීවත් වෙන්න තියනවනං  ගෑනු දිව්‍යලෝකේ යන්න වෙනම පින් කරන්න ඕනෙ නෑ . තමන්ගෙම පුංචි ලෝක ඇතුළේ තමන්ටම දිව්‍යලෝකයක් හදාගන්න පුලුවන් . පුංචි පුංචි දේවල් ඇතුළෙ මහා ගොඩක් සතුට හොයාගන්න ගෑනුන්ට පුලුවන් . හිමින් සැරේ හැමදේම අලුතින් පටන් ගන්න සචින්ද්‍ර .., ඔය දෙන්නට පුලුවන් ..”

” අනේ.. ඔයාට ගොඩාක් පින් අක්කා. හිතන්නෙ බලන්නේ නැතුව ගෙදරින් ආවා වගේම මෙහෙට ආවට පස්සේ අයියා කියපු ඒවත් එක්ක ඇත්තටම මං බයෙන් හිටියේ මොනා වෙයිද කියලා. දවසකට දෙකකට ඉන්න තැනක් හොයලා දෙන්න කිව්වට ඊට පස්සේ කරන්නේ මොකද්ද කියලා මට තේරුණෙත් නෑ. ඇගේ තිබ්බ ඇඳුම විතරයි ඇඳුමකට තිබ්බේ. මට බය හිතුණා අක්කේ.. ඇත්තටම බය හිතුණා.. ආදරයක් තියා කිසිම හැඟීමක් නැති මිනිහෙක්ව කසාද බඳින්න උනොත් ඊට පස්සේ මට මොනා වෙයිද කියලා හිතන්නවත් මට බය හිතුණා. එහෙම මිනිහෙක් එක්ක පවුල් කනවට වඩා හොඳයි ගඟක මූදක පැනලා දිවි නහ ගන්නවා. මං ඒකමයි ගෙදරින් එන්න ආවේ..”

නෙත්‍යාගේ අතින් අල්ලාගත් රාදී එසේ පවසමින් හඬා වැටුණාය. 

” දැන් ඉතිං අඬන්න එපා රාදී. ඔයා දැන් ඉන්නේ ඔයාට ආරක්ශිතම කෙනා ලඟනේ. බලන්නකෝ ටික දවසක් යද්දි ගෙවල් වලිනුත් තියන ප්‍රශ්න ඔක්කොම අකා මකා යයි. “

නෙත්‍යා එසේ පවසා විසල් හුස්මක් අතෑරියාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here