BE SILENT – 22

0
730

” සර්..!” 

” තේරුමක් නෑ බං. ඩිප්‍රෙශන් වැඩි වෙලා වගේ තමයි. “

” මිනිස්සුන්ට තියන ප්‍රශ්න … “

මනුහස් හිස හරවා සචින්ද්‍ර දෙස බැලුවේය. 

” උඹට නං ඉතිං දැන් ප්‍රශ්න කියලා දෙයක් නෑනේ ?” 

සචින්ද්‍රගේ මුහුණ ලැජ්ජාවෙන් පිරී ගියේය. 

” මොකෝ උඹ නිකන් ? කියද්දිත් ලැජ්ජයිනේ ?” 

සචින්ද්‍ර නැවතත් මනුහස් දෙස බලා සිනාසුණේය. 

දැන් කෙලින්ම ස්ටේශන් එකටද සර් ?”

“හ්ම්ම්..”

ඇමැන්ඩ්‍රා නටාලි පෙරේරාගේ මළ සිරුර රෝහල වෙත ගෙන ගිය පසුව පොලිස් නිලධාරීන් කිහිප දෙනාද මළ සිරුර තිබූ නිවසේ ස්ථානීය පරීක්ශණ අවසන් කොට නිවසින් නික්ම යෑමට සූදානම් වූයේය. ඒ අතර ඇමැන්ඩ්‍රා වෙත ලැබී තිබූ ලිපියක් තැපැල් පෙට්ටියෙන් ගත් සේවිකාව යළි නිවස වෙත පැමිණ එහි සිටි ඇමැන්ඩ්‍රාගේ සහෝදරයා කොලින් පෙරේරා අසලට ගොස් එය දිගු කළාය.

” ගිය ටිකේම මෙහෙම ලියුම් ආවා මහත්තයා. කවුරුහරි යාලුවෙක් නෝනෙට පොටෝ එවනවා. ඒ ආපු පළවෙනි දවසෙ නෝනේ ඒක දැකලා කෑගැහුවා . ඊට පස්සේ බය වෙලා වගේ බලන් හිටියා. මට කිව්වා ආයේ මේවා ආවොත් ගෙටවත් ගන්නෙපා පුච්චලා දාන්න කියලා.  මහත්තයා ආපු වෙලාවක මේ ලියුං කතන්දරේ කියන්න හිටියේ . ඒත් .. වෙලාවක් නැති උනා “

සේවිකාව දුන් ලිපිය කඩා බැලූ කොලින් පෙරේරා ඈ පැවසූ ආකාරයටම ඉන් ජායාරූපයක් පිටතට ගත්තේය . මඳ වේලාවක් ඒ දෙස බලා සිටි ඔහු හිස ඔසවා පිටව යෑමට සැරසී සිටි මනුහස් දෙස බැලුවේය. 

” සර්…!”

” දෙන්න බලන්න “

මනුහස්  කොලින් අත තිබූ සුදු පැහැ ලිපි කවරය අතට ගත්තේය. මුද්‍රිත අකුරු මඟින් ඇමන්ඩ්‍රාගේ නමත් , ලිපිනයත් සඳහන් කර තිබූ ලිපි කවරය ඔහු ප්‍රථමව පරීක්ෂා කළේය .  . ජායාරූපය දෙස බැලූ පමණින්  මනුහස්ගේ දෑස විසල් වී ගිය ආකාරය දුටු සචින්ද්‍රද වහා එබී ඔහුගේ අතෙහි තිබූ ජායාරූපය දෙස බැලුවේය . 

” සර් මේ අර …”

පෙරදින උදෑසන ජීප් රථයට ගොඩ වී නෙත්‍යා මල්දෙණිය විසින් තමාගේ නමට සති කිහිපයකට පෙර ලැබුණු ලිපි කවරයක් තුළ තිබී හමුවූවායැයි පවසමින් තමන් හට ලබා දුන්නේද මෙකී ජායාරූපය හා සමානම පිටපතක් බව දුටු සැණින් වටහා ගත් මනුහස් කල්පනාකාරීව සචින්ද්‍ර දෙස බැලුවේය.  වික්ශිප්ත වූ දෑසින් මනුහස් දෙස බලා සිටි සචින්ද්‍ර දෑඟිලි මගින් තම නිකට පිරිමදින්නට පටන් ගත්තේය. 

මනුහස් නැවත කොලින් පෙරේරා දෙසට හැරුණේය. 

” මේකේ ඉන්නේ කවුද කියලා මිස්ටර් පෙරේරා දන්නවද ?” 

” ඔය මගෙ නංගිගේ ඉස්කෝලේ කාලේ ෆොටෝ එකක් සර්. මේ ඉන්නේ නංගි “

ඔහු ජායාරූපයේ සිටි සිසුන් අතරින් අවුරුදු දහසයක ,දහ හතක පමණ පෙනුමක් ඇති යොවුන් තරුණියක් වෙත ඇඟිල්ලක් දිගු කර පෙන්වූයේය.

” නංගි කොහෙද ඉස්කෝලේ ගියේ ?” 

” රෝයල් නයිට්ස් එකට සර් . මං ගියෙත් ඒකටමයි. “

” මීට කලින් ආවා කිව්ව ෆොටෝස් කෝ ?” 

මනුහස් නැවතත් හැරුණේ සේවිකාව දෙසටය. 

” පොටෝ ආවේ දෙකයි මහත්තයා. පළවෙනි එක දැකපු ගමන් අපේ නෝනා ඒක ඉරලා දැම්මා. පස්සේ මං අතු ගාලා කුණු එකට දැම්මා.  ආ… මහත්තයා ඒ ආපු පොටෝ එකත් එක්ක ලියුමකුත් තිබ්බා. ඒක දැකල තමා නෝනා බය වෙලා කෑගැහුවේ. දෙකම එකටමයි ඉරුවේ. අන්තිමට මටත් කෑගැහුවා ඒ ඉරපු කොළ ටික වීසි කරන්නැතුව බලන් හිටියා කියලා. දෙවෙනියට ආපු පොටෝ එකත් එවෙලෙම නෝනා ගෑස් එකට අල්ලලා එවෙලෙම  පිච්චුවා. මේ තුන් වෙනි එක. “

සචින්ද්‍ර තිගැස්සුණු දෑසින් මනුහස් දෙස බලා සිටි අතර කිසිවක් හරියාකාරව නොවැටහුණු කොලින් පෙරේරා ජායාරූපය දෙසත් , මනුහස් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.

” හොඳටම විශ්වාසද ලියුම් ආවේ තුනයි කියලා ?” 

මනුහස් පෙරළා තවත් පැනයක් සේවිකාවගෙන් ඇසුවේය. 

” ඔව් මහත්තයා , ලියුම් තුනම පෙට්ටියෙන් ගත්තේ මං. මේ ලියුම් විතරක් නෙමෙයි ඔය එන බිල් අරවා මේවා ඔක්කොම පෙට්ටියෙන් ගන්නේ මං.  කොච්චර හදිසි ලියුමක් උනත් අපේ නෝනා කවදාවත් පෙට්ටියෙ ලියුම් තියනවද බලන්නෑ මංම බැලුවොත් මිසක්.” 

” එතකොට නෝනාව මුණ ගැහෙන්න ගෙදරට ආව ගිය අය අතරෙ කවුරුහරි සැක හිතුණු අය හිටියද ?”

” මං ඉන්නේ උදේට විතරනේ මහත්තයා. වැඩිම උනොත් ඉන්නේ දවල් දොළහ වගේ වෙනකන් තමා. උදේ ඇවිල්ලා උයලා , කරලා , ගේ අස් පස් කරලා දාලා යනවා. උදේ වරුවෙනං කවුරුවත් එන්නෑ. ගොඩක් වෙලාවට නෝනා උනත් උදේ වරුවෙම කරන්නේ නිදාගන්න එක. සමහර දාට… මේ…

සේවිකාව කතාව මඟ නතර කොට කොලින් පෙරේරා දෙස බලා මුහුණ බිමට බර කරගත්තාය. 

” උදේට නාවට රෑට රෑට කවුරුහරි ආපු ඒවා තියෙන්න ඇති. එක්කො රෑ ආපු එවුන් ආපහු යන්නේ උදේට වෙන්නැති. එහෙ හිටියට මට ඕවා ආරංචි වෙනවා. “

සේවිකාව ගිල ගත් කාරණය හොඳින් වටහාගත් කොලින් පෙරේරා ඉවත බලාගෙනම කනස්සලෙන් පැවසුවේය.

” මිස්ටර් පෙරේරා මේ ෆොටෝ එකේ අඳුරන අය ඉන්නවද ?” 

මනුහස්ගේ පැනයට හිස බිමට බර කරමින් උන් කොලින් පෙරේරා නැවත හිස ඔසවා බැලුවේය. 

” අඳුරන අය කියන්නේ සර් , ඕකේ ඉන්න ඔක්කොම මං අඳුරනවා. ඔය ෆොටෝ එකේ  ඉන්නේ නංගි එක්ක එකට ක්ලාස් එකේ ඉගෙනගත්තු අය. අර මේ මෑතකදි නැති උනේ මයන් මල්දෙණිය. මිනිහත් ඔතන ඉන්නවා. ඔතන ඉන්නවා තව ටෙහාන් කියලා කෙනෙක්. මේ ඉන්නේ මෙන්න මෙතන. “

ඔහු නැවතත් ජායාරූපය මත ඇඟිල්ලක් තබා නව යොවුන් තරුණයෙකු පෙන්නූවේය. 

” මිනිහත් දැන් නෑ. මීට අවුරුද්දකට වගේ උඩදි මිනිහත් නැති උනා. “

” ඒකත් සුයිසයිඩ් එකක්…?”

මනුහස් කොලින් පෙරේරාගේ වාක්‍යය සම්පූර්ණ කෙරූ අතර කොලින් පුදුමව ඔහු දෙස බැලුවේය. 

” ඔව් සර්.. ඒකත් සුයිසයිඩ් එකක් තමා.  මිනිහා මැරුණේ ඒ වෙනකොට හිටපු අපාර්ට්මන්ට් එකෙන් බිමට පැනලා. ඒ දවස්වල නිවුස් පේපර්ස් වලත් ඒ විස්තරේ ගියා.  ටෙහාන්ගේ අයියා මගේ ක්ලාස් මේට්. ඒ නිසා ටෙහාන්ගේ ෆියුනරල් එකටත් මං ගියා. සර්.. මේ එතකොට මයන් නැති උනෙත් සුයිසයිඩ් එකකින් නේද ?  එතකොට මේ අපේ නංගි… ?” 

කොලින් පෙරේරා ප්‍රශ්න රැසකට  එකවර මුහුණ දුන් ආකාරයක් ඔහුගේ මුහුණින් පෙනෙන්නට තිබුණේය. 

මනුහස් විසල් කල්පනාවක ගිලී සිටියේය .  මොහොතකට පසු ඔහු නැවත  ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමක් ලබා ගත්තේය. 

” බණ්ඩාර..! ඔව්.. දැන් ඔය අරන් ගිය ඩෙඩ් බොඩි එක බලන්න කියලා මිස් සාරාට කතා කරන්න. මං කිව්වා කියන්න. “

ඇමතුම විසන්ධි කර දැමූ ඔහු නැවත කොලින් පෙරේරා දෙසට හැරුණේය. 

” මිස්ටර් පෙරේරා .. , මට පොඩි සැකයක් තියනවා , මිස්ටර් පෙරේරාගේ නංගිගේ මරණේ ගැන. අපි මේක සැක සහිත මරණයක් කියලා ඉන්වෙස්ටිගේශන් පටන් ගන්නවා. මිස්ටර් පෙරේරා ඒකට අපිට සපෝට් එක දෙන්න. “

” ප්‍රශ්නයක් නෑ සර්.. සර්ලා කැමති විදිහක් කරන්න. “

” සචින්ද්‍ර ..!” 

” සර්.. ! “

” ෆොරෙන්සික් එකට කියන්න ආපහු ඇවිල්ලා මුළු ගෙදරම සර්ච් කරන්න කියලා.  අයිටී ඩිපාර්ට්මන්ට් එකට මිසිස් පෙරේරාගේ ෆෝන් එක දෙන්න. සම්පූර්ණ දුරකතනය වාර්තාවක් මට ඕනේ කියන්න. කෝල්ස් , මැසේජ් , සෝෂල් මීඩියා  හැමදේකම. අඩුම මාස තුනක ඒවා වත් එක දිගට ඕනේ. “

” ඕකේ සර්..!” 

එසේ පැවසූ මනුහස් නැවත දුරකතනය මත දෑඟිලි එහා මෙහා කොට ඉන් ඇමතුමක් ගෙන දුරකතනය කනේ තබා ගත්‍තේය. 

” සර්…! මනුහස් හියර්..

“කියන්න මනුහස් ” 

” සර් .., අරලියා මාවතේ සුයිසයිඩ් එකක්. ලේඩි කෙනෙක්. මං එතනට ඇවිත් ඉන්නේ . මට මේකේ ඩවුට් එකක් තියනවා සර්. “

” තමුසෙට ඩවුට් එකක් ආවානං ඉතිං ආයේ අහන්න දෙයක් නැතුව ඇති. දැන් මොකද්ද මගෙන් වෙන්න ඕනේ ?” 

මනුහස් දුරකතනය කනේ තබාගෙනම කිසිවක් නොපවසා කට කොනකින් සිනහවක් නැඟුවේය. 

” අපි එහෙනං හැංගිමුත්තන් කරලා බලමු මිස්ටර් මල්දෙණිය…”

අතේ තිබූ ජායාරූපයේ සිටින තරුණ මයන් මල්දෙණිය දෙස බලා මනුහස් තනිවම සිතුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here