BE SILENT – 23

0
597

පොලිස් නිලධාරීන් හා සමඟ එක් වුණු අධිකරණ වෛද්‍ය කණ්ඩායම ඇමැන්ඩ්‍රා පෙරේරාගේ නිවස සම්පූර්ණ පරීක්ෂණයකට ලක් කරමින් සිටියේය . එසේම ගත වූ දින කිහිපය පුරා ඇමැන්ඩ්‍රා පෙරේරා ආ ගිය ස්ථාන , කතා බහ කළ , ගණුදෙනු කළ පුද්ගලයින් , ඈ සේවා ලබාගත් ස්ථාන , අසල්වැසි පුද්ගලයින් සියළු දෙනාගෙන්ම ප්‍රශ්න කිරීම් කටයුතු දිගින් දිගටම සිදු කළේය. 

මරණ පරීක්ෂණ වාර්ථා , දුරකතන වාර්ථා සියල්ල නිවැරදිව ලැබෙන තුරු කාලය ගත් මනුහස් රෝයල් නයිට්ස් පෞද්ගලික විද්‍යාලයයේ මීට අවුරුදු විසි පහකට පෙර එකම පන්තියේ එකට ඉගෙනගත් සිසුන් විසි හත් දෙනා සහ ඒ අතරින් දැනට මිය ගොස් සිටින පිරිස පිළිබඳව තොරතුරු රැස් කළේය. ඒ අනුව සියළු විස්තර සචින්ද්‍ර සමඟ දිගින් දිගටම ගොනු කරමින් සිටි ඔහු එකින් එක , එක පෙළට සිදු වූ සියළුම සියදිවි නසා ගැනීම් පෙළ ගස්වා ගත්තේය .

මීට අවුරුදු විසි පහකට පෙර එනම් දෙදහා වර්ෂයේදී රෝයල් නයිට්ස් පෞද්ගලික විද්‍යාලයෙන් ඉගෙනුම් කටයුතු අවසන් කර පිටව ගිය එකම පන්තියක සිට දැනට මිය ගොස් සිටි පස් දෙනෙක් පිළිබඳව ඔහු ක්‍රමානුකූලව තොරතුරු පිළිවෙළකට සකස් කර ගත්තේය. 

පළමුව – ටෙහාන් මෙන්ඩිස් මීට මාස දහසයකට පෙර එනම් දෙදහස් විසි හතරේ පෙබරවාරි දහ වන දා තමා පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ උඩු මහළින් බිමට පැන සියදිවි නසා ගෙන තිබුණේය . 

දෙවනුව – ක්‍රිශාන් පීරිස්  මීට මාස දොළහකට එනම් අවුරුද්දකට පෙර දෙදහස් විසි හතරේ ජුනි විසි එක් වෙනිදා අනුරාධපුර නව නගරයේ තමන් පවත්වාගෙන යමින් සිටි සංචාරක නවාතැන්පළක් තුළ ගෙලවැළ ලා ගෙන මිය ගොස් තිබුණේය. 

තෙවනුව – අසංග සුදේශ් මීට මාස දෙකකට පෙර එනම් මාර්තු විසි අට වනදා විශ වර්ගයක් පානය කර ඔහුගේ මෝටර් රථය තුළ මිය ගොස් සිටියේය.

සිව්වනුව – මයන් මල්දෙණිය මීට සති තුනකට පෙර ජුනි තුන් වනදා මහවැලි ගඟට පැන සියදිවි හානි කරගෙන ඇත. 

පස්වනවරට – ඇමැන්ඩ්‍රා නටාලි පෙරේරා මීට දින දෙකකට පෙර එනම් ජුනි විසි හතර වනදා තම නිදන කාමරය තුළ ගෙල වැළලා ගෙන මිය ගොස් තිබුණාය.

එකම පාසලක , එකම පන්තියක , එකට ඉගෙන ගත් මොවුන් එකම රටාවකට මිය ගොස් තිබීම මනුහස්ගේ කුතුහලය වැඩි කරවන්නට සමත් වූයේය. දිවි නසා ගැනීම් වලට වඩා බොහෝ දුර ගිය බරපතල කාරණයක් මේ මරණ සියල්ලටම හේතුව වන බව ඔහුට වැටහී ගියේය. 

තව දුරටත් පරීක්ෂා කිරීම් වලදී එකින් එකට සිදු වූ මෙම සියදිවි නසා ගැනීම් සියල්ලටම පෙර මොවුන් පස්දෙනාම විසින් ඔවුන් විසින් ලියා තැබූ ලියුමක් හෝ සටහනක් තමාට සමීපම තැනක ලියා තිබුණේය. එසේ ලියා තැබූ සටහන් වලට අනුව ,

පළමුව මිය ගොස් සිටි ටෙහාන් මෙන්ඩිස් තම විවාහ ජීවිතය දෙදරා යෑම සහ බිරිඳ තම එකම දරුවාද රැගෙන පිට රටක පදිංචියට යෑම දරාගනු නොහැකිව කලක පටන් මානසිකව පීඩා විඳ අවසානයේ විශාදයේ උග්‍රම තත්වයට පැමිණ තමා මිය යන්නේ තමාගේම වැරදි නිසා බවත් ඒ කිසිවකට කිසිවෙකුත් සම්බන්ධ නොමැති බවත් මිය යෑමට පෙර කෙටි පණිවිඩයක් මාර්ගයෙන් තම එකම සොහොයුරාට යවා තිබුණේය. 

දෙවනුව මිය ගොස් සිටි ක්‍රිශාන් පීරිස් ඔහුගේ මරණයට කලකට පෙර තමාගේ සංචාරක නවාතැන්පළෙහි සිදු වූවා යැයි කියන සුදු ජාතික තරුණියකගේ මිය යාමේ සිදුවීමක් තමන්ට වරින් වර වරින් වර මානසික පීඩා දුන් ආකාරයක් ගැන සඳහන් කරමින් , ඔහුට තව දුරටත් එය දරාගත නොහැකි බව පවසමින් තම කාර්‍යාල කාමරය තුළ ලිපියක් ලියා තබා සියදිවි නසාගෙන ඇත . 

තෙවනුව මිය ගොස් සිටි අසංග සුදේශ් තමන් හට අනියම් ඇසුරක් තිබූ බවත් එකී කාන්තාව තමාව කලක පටන් බිය ගන්වමින් තමාගෙන් බොහෝ මුදල් ලබා ගත් බවත් තව දුරටත් මෙය විඳ දරා ගත නොහැකි බවත් පවසමින් මෝටර් රථය තුළදී මත්පැන් සමඟ මිශ්‍ර කෙරූ වස වර්ගයක් පානය කොට දිවි නසා ගෙන ඇත. ඒ පිළිබඳව ලියා තැබූ කුඩා ලිපියක් ඔහුගේ කමිස සාක්කුවේ තිබී හමුව තිබුණේය. 

සිව්වන වරට මිය ගිය ගොස් සිටි මයන් මල්දෙණිය තමාට දරුවන් නොමැති වීමෙන් හටගත් දැඩි කනස්සල්ල හේතුවෙන් දිවිය කළකිරී ඇති බව පැවසූ ඔහු ලියූ සටහනක් ඔහුගේ කාර්‍යාල පරිගණකයෙන් සොයාගෙන ඇත. 

පස්වන වරට මිය ගිය ඇමැන්ඩ්‍රා පෙරේරාගේ සියදිවි නසා ගැනීමේ සටහනත් ලිපි ගොනුව මතින් තැබූ මනුහස් තමා ඉදිරියේ හිඳ සිටින පොලිස් අධිකාරීවරයාගේ මේසය මතින් තැබුවේය. 

” කියහන්කෝ බලන්න එහෙනං “

වරක් දෙවරක් තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුව ඒ මේ අත පෙරළමින් කුතුහලාත්මක දෑසින් මනුහස් දෙසට හැරුණු පොලිස් අධිකාරීවරයා මනුහස්ගේ විස්තර කිරීම දැනගැනීමට නොඉවසිලිමත්වී සිටියේය. 

” දෙදහා අවුරුද්දේ රෝයල් නයිට්ස් ඉන්ටනැශනල් ස්කූල් එකෙන් එකම ක්ලාස් එකේ ළමයි විසි හත් දෙනෙක් පිට වෙලා ගිහින් තියනවා. අවුරුදු එකහාමාරක් වගේ ඇතුළත මේ වෙනකන් ඒ පිට වෙලා ගිය විසි හත් දෙනාගෙන් පස් දෙනෙක්ම සුයිසයිඩ් කරගෙන ජීවිතේ නැති කරගෙන තියනවා සර්. ඒකෙන් හතර දෙනෙක් පිරිමි අය. පස් වෙනියා ගෑනු කෙනෙක්. 

” මෙතනින් මුලින්ම සුයිසයිඩ් කරගෙන තියෙන්නේ දෙදාස් විසි හතරේ පෙබරවාරි දහ වෙනිදා  ටෙහාන් මෙන්ඩිස් කියලා ඉංජිනියර් කෙනෙක්. මැරේජ් ලයිෆ් එකේ ගොඩාක් ප්‍රශ්න තිබුණා සහ වයිෆ් තමන්ගේ දරුවාත් එක්ක තමන්ව දාලා ගිය එක දරාගන්න බෑ කියලා තමන්ගේ අයියට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තියනවා. ඒ මැසේජ් එකේ අන්තිමේ තමන් මේ දේ කරගන්නේ සම්පූර්ණම තමන් අතින් සිද්ධ වෙච්ච වැරදි නිසා කියලත් ඒවට වෙන කිසිම කෙනෙක් සම්බන්ධ නෑ කියලත් ඒ මැසේජ් එකේ තියනවා. සුයිසයිඩ් කරගෙන තියෙන්නේ ඒ වෙද්දි ටෙහාන් මෙන්ඩිස් ජීවත් වෙලා හිටපු බත්තරමුල්ලේ මිරකල් ගාර්ඩ්න් කියන අපාර්ට්මන්ට් එකේ හත් වෙනි තට්ටුවේ ඉඳන් බිමට පැනලා. “

මනුහස් ලිපි ගොනුවේ තිබූ එකට ඇමිණූ ලිපි ගොනු කිහිපයක්,  ජායාරූප කිහිපයක් සහ ටෙහාන් මෙන්ඩිස්ගේ මරණය පිළිබඳව ඒ කාලය තුළ පුවත් පත් වල සඳහන් වූ ලිපි කිහිපයක් පොලිස් අධිකාරීවරයාට පෙන්වා සිටියේය. 

” දෙවෙනියට  සුයිසයිඩ් කරගෙන තියෙන්නේ ක්‍රිශාන් පීරිස් කියලා අනුරාධපුරයේ ගෙස්‍ට් හවුස් එකක් කරගෙන ගිය කෙනෙක්. දෙදාස් විසි හතරේ ජුනි විසි එක ගෙස්ට් හවුස් එකේ තමන්ගෙ ගරාජ් එකේ බෙල්ලේ වැල දා ගෙන ඉඳලා තියනවා. එතන මරණෙට හේතුව විදිහට සඳහන් කරලා තියන කාරණේ ටිකක් දිගයි සර්. ඊට අවුරුදු හතරකට කලින් ඒ කියන්නේ කොරෝනා වලට රට ලොක් ඩවුන් වෙන්න පොඩි කාලෙකට කලින් ලංකාවේ මාස ගාණක් රිසර්ච් එකක් කර කර හිටපු ජර්මන් වලින් ආපු හැනා මුලර් කියලා ගර්ල් කෙනෙක් මේ ක්‍රිශාන් පීරීස්ගේ ගෙස්ට් හවුස් එකේ නැවතිලා ඉඳලා තියනවා. හදිස්සියෙම ඒ ගර්ල්ට කොරෝනා හැදිලා කියලා ගෙස්ට් හවුස් එකේ ඒ ගර්ල් හිටපු රූම් එකම නිරෝධායනය කරලා තියනවා සහ දවස් කීපෙකට පස්සේ ඒ ගර්ල් නැති වෙලා තියනවා. ඒ දවස්වල මෙහෙ තිබ්බ කලබලේ එක්ක කොරෝනා මිනියක් පුච්චලා අවසන් කරනව වගේ ඒ බොඩි එකත් පුච්චලා තියනවා. ඒක එතනින් ඉවරයි. 

හැබැයි ක්‍රිශාන් පීරිස්ගේ සුයිසයිඩ් එක වෙලාවේ එයා ලියලා තියන ලියුමේ කියලා තියනවා ඒ ගර්ල්ට නිතර නිතර කරදර උනා කියලා. හැබැයි ඒ කාගෙන්ද කියලා සඳහනක් නෑ. කරදර උනා කිව්වට ඒ මොනවද කියලා නෑ. ඒ කියන්නේ මොන විදිහට වෙච්ච කරදරද කියලා සඳහනක් නෑ. හැබැයි බොහෝ දුරට ඒ ලිංගික හිරිහැර වෙන්න පුලුවන් . මොකද ක්‍රිශාන්ගෙ ලියුමෙ තියෙන්නේ එයා සෑහෙන්න කාලයක් මේක හංගන් හිටියත් කවදහරි ඒක එළියට ආවොත් එයාට තමන්ගෙ වයිෆ්ටත් , දුවල දෙන්නටත් මූණ දෙන්න බැරි වෙනවා. ඒ නිසා එයා සුයිසයිඩ් කරගන්නවා කියලා. 

හැබැයි ඔතනදි මට තව ප්‍රශ්නයක් තියනවා සර්…

කිසිම තොරතුරක් නැතුව යට ගිහිල්ලා තිබ්බ ඒ ගර්ල්ගෙ මරණෙ ගැන ක්‍රිශාන් ඇයි සුයිසයිඩ් නෝට් එකේ කිව්වේ ? එයාට ඒක මානසික වදයක් උනා නං , එයාට තමන්ගෙ ගරුත්වේ තියාගෙනම නෝට් එකේ එහෙම දෙයක් සඳහන් නොකරම මැරෙන්න තිබුණා…?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here