” ඔයාට මතකද අයියේ, ඔයා මම කැම්පස් යන කාලේ මන්තරේ වගේ ජප කලේ මොකක්ද කියලා… එක එකා එක්ක පැටලෙන්න නම් හිතන්නවත් එපා… ඉස්සෙල්ලම මරන්නේ ඌව කියලා….”
විහඟි ගත් හුස්ම පහතට දා ගන්නට නොහැකිව බලා උන්නාය. චායා එය නොදැක්කා සේ කතා කරන්නට පටන් ගත්තාය. විහඟි සන්සුන් වන සේ කතාව ඇයට ඇඟවීමට තීරණය කලාය.
” ඒ වුනාට, මං සෙකන්ඩ් ඉයර් වෙද්දී එහෙම කෙනෙක් එක්ක පැටලිලා උන්නේ අයියේ .. “
චරක විහඟි දෙස බැලුවේ, ඇය පුළුස්සා දමන තරමේ කෝපයකිනි.
” එයාට ඔරවන්නෙපා අයියේ .. එයා මේ දේවල් දන්නේ මීට මාස තුන හතරකට කලින් .. ඒ කිව්වෙත්, ඔයාට මේ කතා කිව්වොත්, අපේ යාලුකම් ඉවරයි කියලා තර්ජනය කරලා.. එයා ඔයාට නොකියා හංගගෙන උන්නේ, මට විශ්වාස කරන්න පුලුවන් යාලුවෙක් ඉන්න ඕනි නිසා…”
චායා එලෙස පවසද්දී සස්මිත චරක වෙත ඇවිද ආවේය.
” සර් … සර්ගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ කියලා අසේල ළඟ ඉන්න මහත්තයෙක් ගන්නවා…”
” ආහ් හරි හරි බං .. මම ගන්නම් …”
චරක දෙදෙනාට මොහොතකට සිටින සේ පවසා, පසෙකට ඇවිද ගියේය. චරක උන්නේ චායා සහ විහඟිට අත පොවන දුරිනි.
” සස්මිත ?…”
විහඟි ඉස්සර වූවාය. ඕ උන්නේ චරකගේ පියවර කිනම් දෙසට වේදැයිද අවධානයෙනි.
” ඔව් මැඩම් …”
සස්මිත කිසිඳු වෙනස්කට ඉඩ නොදී විහඟි දෙසම පමණක් බලා එලෙසින් විමසුවේය.
” මොකක්ද වෙලා තියෙන්නේ සස්මිත ?.. ඔයාට අපිව අඳුනන්න බැරිද ?..”
චායාගේ හදවත රිදුම් දෙමින් ඉරි තලා යද්දී විහඟි එලෙසින් විමසුවාය. විහඟි උන්නේ සස්මිත වෙතින් දෑස් ඉවතට නොගෙන ඍජු ලෙසින් බලාගෙනය. එහෙත් චායා එතරමින් සවිමත් වූයේ නැත. ඇගේ දෙතොල් වෙවුලමින් තිබුණි. ඇඟිලි අග්ගිසි වලින් පටන් සීතල පැතිරෙන්නට ගෙන තිබුණි. හදවතෙහි රිදුම පැහැදිලි කරන්නට චායාට කෙලෙසකින්වත් හැකි වූයේ නැත.
” මට තේරුනේ නෑ මැඩම් ..”
සස්මිත දන්නා හැකි උපරිමයෙන්ම යටහත් පහත් බව පෙන්වූයේ චරක ගැන සැලකිල්ලක්වත් නැතිවය. විහඟි සහ චායාගේ සිත්වල වූ නොසන්සුන්සහගත බව සස්මිතට යන්තමින්වත් ගෑවී තිබුනේ නැත.
” පිස්සු කියවන්නෙපා මිනිහෝ .. මේ කෙල්ලව පේන්නේ නැද්ද ?..”
” මට තේරෙන්නේ නෑ මැඩම් මොනවා කියනවාද කියලා … ඔහොම කතා සර්ට ඇහුනොත් එහෙම මගේ ජොබ් එක මෙතනම ඉවර වෙයි …”
සස්මිත තව තවත් යටහත් බවම පෙන්වූයේය. විහඟි ගේ කෝපය නැගී ආවේය. එහෙත් ඕ කිසිවක් නොකියා ගිලගත්තාය.
” මොකෝ මගේ නෝනයි, නෝනාගේ නෑනායි කියන්නේ සස්මිත ?.. සස්මිත නේ අපි කිව්වේ නම නේ ?…”
සස්මිත සිනාසුනේ හිස සලමිනි. චරක අසුනේ හිඳගෙන විහඟි සහ චායා දෙසත්, සස්මිත දෙසත් එතරම් අවධානාත්මක නොමැති බැල්මක් හෙලුවේය.
” මොකෝ නෝනාලා කියන්නේ ?…”
” ඉතාලියේ ඉඳල ඇවිල්ලා ඩ්‍රයිවින් ජොබ් එකකට ආවේ ඇයි කියලා මැඩම් ඇහුවේ සර් ….”
විහඟි ගත් හුස්ම යලි හෙලා ගන්නට නොහැකිව බලා උන්නාය. චායා යමක් තහවුරු කරගත්තාය. චරක සිනාසෙමින් තරුණියන් දෙදෙනා දෙස බැලුවේය.
” මේගොල්ලන්ට ඉතින් ඔව්වාත් ප්‍රශ්න බං … ඉතාලි ඉඳලා ආවට පස්සේ, ආයේ යන්නබැරි නම්, ඩ්‍රයිවින් නැත්නම් මොකක් හරි කරන එක තමා කොල්ලන්ගේ විදිය .. බැරි වෙලාවත් ඔය වැඩේ මේගොල්ලන්ට වුනා නම් එහෙම, ඉතාලි යන්න බැරි නම් මෙහෙ ජොබ් කරනෙක ඊගෝ එකට ඩැමේජ් කියලා, කවුරු හරි අහිංසකයෙක්ගේ කරේ එල්ලිලා ඉඳී .. ලේසිනේ වැඩේ…”
සස්මිත අඩ සිනහවක් පා , චරකගෙන් අවසරගෙන ඉවතට ඇවිද ගියේය.
” සස්මිතට ඕනි නම් රූම් එකක් රිසර්ව් ..”
” නෑ සර් .. මෙහෙම හොඳයි …”
සස්මිත ආපසු හැරී උස් හඬින් පවසා, යලි මද දුරක් ඇවිද ගියේය. වෙනදාට නම් චරක එවැන්නක් පැවසූ විට චායා එල්ලි එල්ලි පැටලෙන්නීය. එහෙත් අද ඕ උන්නේ නිහඬවමය. එයට සැබෑ හේතුව කුමක් වුවද, චරක එය වටහා ගත්තේ නැත.
” මොකාද ඌ ?…”
චරක එක්වරම ස්වභාවය සහමුලින්ම වෙනස් කරගත්තේය. විහඟි චායා දෙස බැලුවේ, හදවත ඉතා වේගයෙන් ගැසෙද්දීය.
එහෙත්, චායා ඒ බව ගනනක් හෝ නොගෙන චරක දෙසම බලා උන්නාය.
” කෝ ඌ ?…”
” එයා මැරුණා …”
චායා එක්වරම එලෙස පවසා දෑතින්ම මුහුන වසාගෙන හඬන්නට ගත්තාය. විහඟි පත් වූයේ උහතෝකෝටිකයකටය. චායා හඬන්නීය. තමා කතාව දන්නා බවද ඕ කීවාය. චරක මින් මත්තට කතාව විමසන්නේ තමාගෙනි. විහඟි වහා චායා වෙතට ඇවිද ගොස් හිඳගත්තාය.
” අනේ අඬන්න එපා රත්තරන් …”
ඕ ඇය ගේ හිස පිරිමැද්දාය.
” හරියටම ඔයා සින්ගප්පෝර් ගිය දවසට දවස් දෙකකට කලින් එයා මැරුණා අයියේ .. එයා මැරුණා … මාව දාලා සදහටම ගන්න ගියා .. එයා කිසිම වගක් ණැතිව, මාව අමතකම කරලා යන්න ගියා .. මම .. මම තවම හිතාගෙන එයා ඒවි කියලා අයියේ .. එයා ඒවි කියලා….”
චායා උස් හඬින් කෑ ගසමින් හැඬුවාය. ඒ හඬට සස්මිතද හැරී බලා උන්නේය. විහඟි චායා අස්වසන්නට උත්සාහ කරමින් උන්නාය.
” එයාව හම්බුනේ යූනියන් වැඩ වලදි .. ශ්‍රීපාලියේ කෙනෙක් … හදිසියේම එයා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා තිබ්බා අයියේ .. එයා .. එයාව දැක්කේ නෑ මම .. මම ගියේ නෑ එයාව බලන්න .. මේගොල්ලෝ කවුරුවත් දන්නේත් නෑනේ … ඉතින් .. ඉතින් … මම .. මම හිතාගත්තා එයා මැරුණේ නෑ කියල.. ඒ ඇක්සිඩන්ට් එක වුනේ නෑ කියලා.. ඒත්, ඒත් , එයා මැරිලා …”
චරක අසා උන්නේ ඇය වසර දොලහක් තිස්සේ ජීවත් කරමින් සැරි සැරුවේ එවැනි මායාවක් නම්, ඕ එය දරා උන්නේ කෙලෙසකදැයි සිතා ගන්නට නොහැකිවය. මියැදුණු ප්‍රේමයක් , යළි පැමිණේයැයි බලා සිටීම කෙලෙසකින්වත් පහසු නොවන්නට ඇත.
විහඟිට චායාගේ රඟපෑම කිසිලෙසකින්වත් වැටහුනේ නැත. එහෙත් ඇගේ කඳුලු ව්‍යාජයක් නොවන බව ඕ දැන උන්නාය. ඒ නිසාම විහඟි යලි යලි චායාව අස්වසන්නට උත්සාහ කරමින් උන්නාය.
” අයියේ .. මට සමාවෙන්න .. ආයේ .. ආයේ එයා එනකල් බලන් ඉන්නේ නෑ මම … දැන් .. දැන් .. එයා මැරිලානේ …”
චායා චරක දෙසට හැරී දෑත් එක් කරවැන්දාය. චරක වහා නැගිට චායා අසලට ඇවිද ගියේය.


