” ඇයි ක්‍රිශාන් ඕක නෝට් එකේ ලිව්වේ ? තමන්ගේ හිතේ මොකක් හරි දෙයක් ගැන පසුතැවීමක් තියනවනං , ඒක තමන්ගෙ ජීවිතේ නැති කර ගන්න වෙන තරමටම මානසික වදයක් නං , ඒ හේතුව එළියට ආවොත් තමන්ගෙ ආත්ම ගරුත්වයට හානියක් වෙනවනං ඒක ගැන මොකුත්ම නොකරම මැරිලා යන්න තිබ්බා. ඇයි අන්තිම මොහොතේ මෙහෙම දෙයක් කිව්වේ ? ඒකෙන් කොහොමත් ක්‍රිශාන්ගේ වයිෆ් වගේම පවුලේ අනිත් අයත් එයා ගැන මැරුණට පස්සෙ උනත් වැරදි වැටහීමක් ඇති කර ගන්නවනේ. ? “
පොලිස් අධිකාරීවරයා මේසයට බර වී බොහෝ කල්පනාකාරීව මනුහස් හට සවන් දෙමින් සිටියේය.
” දැන් එතකොට පොලිස් රිපෝට් වල තියෙන්නෙ මොනවද ? මිනිහා අන්තිම මොහොතෙ හරි ඒ වගේ ලියුමක අර කෙල්ල ගැන ලියලා තිබ්බනං පොලීසියෙන් ඒ ගැන හොයන්න ඇතිනේ ? “
” එතන පොඩි ප්‍රශ්නයක් තියනවා සර්. පොලිස් රිපෝට් එකේ තියෙන්නේ ඒ ගර්ල් මැරිලා තියෙන්නෙ කොරෝනා නිසා කියලා. ඒ සම්බන්ධව වැඩ කරපු හොස්පිට්ල් එකෙන් පවා ඒක ස්ථීර කරලා තියනවා. ගෙස්ට් හවුස් එකේ ඒ කාලේ වැඩ කරපු කීපදෙනෙක්ගෙන්ම ප්‍රශ්න කරලා තියනවා ඒ මිනිස්සු කියලා තියෙන්නෙත් ඒ ගර්ල් ඒ වෙද්දි කොවිඩ් හැදිලා අසනීපෙන් හිටියේ කියලා. මිනිස්සුන්ගේ මානසික පීඩා එක එක විදිහට එනවනේ සර්. ක්‍රිශාන්ට තිබ්බ ඩිප්‍රෙශන් එක එක්ක මේ ගර්ල්ගේ මරණේ ගැනත් ක්‍රිශාන් කියන දේවල් ඒ මානසික පීඩනය නිසා එයා විසින්ම මවා ගත්තු දේවල් වෙන්නැති කියලා පොලීසියෙන් ඒ ගර්ල් ගැන හොයන එක නතර කරලා “
” හ්ම්ම්ම්…”
පොලිස් අධිකාරීවරයා හිස දෙපසට සලමින් මනුහස්ගේ කතාවට එකඟ වෙමින් සිටියේය.
තුන්වෙනි මරණේ අසංග සුදේශ් .මීට මාස දෙකකට කලින් මාර්තු විසි අට වෙනිදා විශක් ශරීර ගත වෙලා තමන්ගෙම වාහනේ ඇතුළේ සුයිසයිඩ් කරන් තිබ්බා. ඒ කියන්නේ වාහනේ ඇතුළේ ඉඳන් තනියම ඩ්‍රින්ක් එකක් දාලා, ඒකත් එක්ක විසක් බීලා. සුදේශ්ගේ සුයිසයිඩ් ලෙටර් එක අනුව සුදේශ්ට ඒ වෙද්දි අනියම් සම්බන්ධයක් තිබිලා තියනවා. ඒ අදාල කාන්තාව විසින් සුදේශ්ව දිගින් දිගටම බ්ලැක් මේල් කළා කියලත් , ඒ ප්‍රෙශර් එක තව දුරටත් දරාගන්න බැරුව තමන් සුයිසයිඩ් කරගන්නවා කියලත් ලියපු ලියුමක් සුදෙශ් ලඟ තිබිලා හොයාගෙන තියනවා. “
” ඒ කාරණේ ගැන මොනාද පොලිස් රිපෝට් වල තියෙන්නේ ?”
පොලිස් අධිකාරීවරයා නැවතත් මනුහස්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
” ඒ සම්බන්ධ කිසිම දෙයක් පොලිස් රිපෝට්ස් වල නෑ සර්. ඒ කියන්නේ සුදේශ්ට අනියම් සම්බන්ධයක් තිබ්බද ?, ඒ කාත් එක්කද ? සුදේශ් ඒ කාන්තාව අතින් බ්ලැක් මේල් එකකට ලක් වුණාද ? ඒ කිසිම තොරතුරක් නෑ. පොලිස් රිපෝට්ස් වල තියනවා සුදේශ් කියලා තිබ්බ ඒ කාරණය සම්බන්ධයෙන් සුදේශ්ගේ දුරකතන වාර්තා පවා පරීක්ෂා කරලා ඒ ගැන සොයා බැලීම් කළා කියලා. ඒත් … එහෙම කිසිම දෙයක් හොයාගෙන නෑ. “
” ඒකත් ටිකක් අමුතුයි නේද ?”
පොලිස් අධිකාරීවරයා තම දකුණතින් නිකට අත ගාමින් ඇසුවේය.
” ඔව් සර් , අර ක්‍රිශාන්ගේ සිද්ධියයි , සුදේශ්ගේ සිද්ධියයි දෙකම එකට අරන් බැලුවම ඒ දෙන්නම තමන් සුයිසයිඩ් කරගන්නේ මොන හේතුවක් උඩද කියලා සඳහන් කරලා තියන හේතු වලට කිසිම සාක්ශියක් නෑ. ක්‍රිශාන්ගේ සිද්ධියේ ලඟින් යන හේතුවක් හරි තිබ්බට සුදේශ්ගේ සිද්ධියේ එහෙමවත් එකක් නෑ. තව කාරණයක් තියනවා සර් , මේ දෙන්නම ලියුම් වල සඳහන් කරලා තියනවා ලැජ්ජාවට , කාටවත් මූණ දෙන්න බැරුව තමන් දිවි නහ ගන්නේ කියලා. ක්‍රිශාන්ගේ සිද්ධියෙදි වගේම සුදේශ්ගේ සිද්ධියෙදිත් මට එන ප්‍රශ්නයක් තියනවා. මේ දෙන්නම සඳහන් කරලා තියනවා තමන් සියදිවි නහගන්නේ දරාගන්න බැරි ලැජ්ජාවත් , ලඟම හිතවතුන්ට මූණ දෙන්න බැරි වීමත් නිසා කියලා. එහෙනං ඇයි ඒ දෙන්නා ඒ හේතු තමන්ගේ සුයිසයිඩ් නෝට් වල ලිව්වේ ? ජීවත් වෙලා ඉද්දි තමන්ගේ නමට චෝදනාවක් , ලැජ්ජාවක් එන එකට බය උනු අය ඇයි මැරුණට පස්සේ ඒ ගැන නොහිතුවේ ? ජීවත් වෙලා ඉද්දි තමන්ගෙ නම ඩැමේජ් නොවුණට මැරුණට පස්සේ ඒක වෙන එක ගැන හිතුවෙ නැත්තේ ඇයි ?
තමන්ගේ බිරිඳ , දරුවෝ , අම්මා තාත්තා , සහෝදරයෝ තමන් මැරුණට පස්සේ ජීවත් වෙලා ඉද්දි ගෞරවයෙන් තමන් දිහා බලපු විදිහට මේ සුයිසයිඩ් නෝට්ස් දැක්කම මැරුණට පස්සේ තමන් දිහා නොබලන බව හොඳටම දැනගෙනත් ? ජීවත් වෙලා ඉන්න කාලේ මගේ හස්බන්ඩ් , මගෙ තාත්තා , මගේ පුතා කියලා ගෞරවයෙන් තමන් දිහා බලපු මිනිස්සු මැරුණට පස්සේ මේ සුයිසයිඩ් නෝට්ස් කියවලා අනේ ඕකා මැරුණ එකමයි හොඳ කියලා කියයි කියලා දැනගෙනම ඇයි එහෙම නරක මතකයක් තමන්ගේ ලඟම මිනිස්සුන්ට ඉතිරි කරලා ගියේ ?”
පොලිස් අධිකාරීවරයා මනුහස් නඟන සියළු කාරණාවලට එකඟ වෙමින් නිහඬවම හිස සැලුවේය.
” අනික සර් තව කාරණයක් තියනවා. මනුස්සයෙක් සුයිසයිඩ් එකක් කරගන්නේ දරාගන්න බැරි මානසික පීඩනය නිසා. තමන්ට තමන්ගේ ජීවිතේ නැති කරගන්න තරමටම තමන්ගේ ජීවිතේ පහලට ඇදලා දාන්න තවත් මනුස්සයෙක් හරි ගෑනියෙක් හරි සම්බන්ධ උනා නං කොයිතරම් මානසික පීඩනේක හිටියත් ඒ අනිත් පාර්ශවය ගැන තමන්ට ඇති වෙන්නේ අධික තරහක්. එතකොට ඒ මනුස්සයට ඉබේම හිතෙනවා ඇයි මං විතරක් මැරෙන්නේ ? මං මැරිලා උඹලා හොඳින් හිටියම ඇතිද ? මං විතරක් ජීවිතෙන් වන්දි ගෙව්වම ඇතිද ? මට මගෙ හැමදේම නැති කරලා උඹලා ජීවත් වෙලා හිටියොත් ඇතිද වගේ දේවල්. අන්න එහෙම උනාම මැරෙන්න තීරණේ කරන මනුස්සයා මැරෙන්නේ නිකන් නෙමෙයි තමන්ට මැරෙන තරමටම ජීවිතේ එපා කරපු මිනිස්සුන්වත් මරාගෙන. ඒ හැමදේම ලෝකෙට කියලා. හැබැයි ඔය සුදේශ්ගේ සිද්ධියේ එහෙම එකක් නෑ. අවුරුදු ගාණක් මේ වගේ සිද්ධි එක්ක වැඩ කරලා තියන අත්දැකීම් එක්ක මට අනුව ඒක වෙන්න ගොඩක් අමාරු දෙයක් සර්. මං හිතන්නේ ඒක සර්ටත් තේරෙනවා ඇති … “
මනුහස්ගේ කතාව නැවත ස්ථීර කරමින් පොලිස් අධිකාරීවරයා හිස සැලුවේය.
” එතකොට සුදේශ්ව බ්ලැක් මේල් කළා කියන කාන්තාවව සුදේශ් හැංගුවා වගේ වැඩක් මෙතන කරලා තියනවා. ඒ ඇයි ? එහෙම කිරීමේ කිසිම තේරුමක් නෑ. කවුරු වෙනුවෙන්ද සුදේශ් ඒ කෙනාව හැංගුවේ ? පොලිස් රිපෝට් වලට අනුව සුදේශ්ට එහෙම සම්බන්ධයක් තිබුණද නැද්ද කියලවත් හොයා ගන්න විදිහක් නෑ. එහෙනං ඒකත් ක්‍රිශාන් වගේම මවාගත් සිද්ධියක් වෙන්න ඕනේ ? එහෙමත් නැත්තන් තමන්ගේ සියදිවි නසා ගැනීම සාධාරණය කරන්න තමන් විසින්ම හිතා මතා නිර්මාණය කරපු සිද්ධියක් වෙන්න ඕනේ ?”
” හ්ම්ම්.. එහෙම බැලුවොත් ඒකත් හරි . “
පොලිස් අධිකාරීවරයා බොහෝ වේලාවකට පසු කටහඬ අවදි කළේය.
” හතරවෙනියා මයන් මල්දෙණිය. තමන් නැවතිලා හිටපු හොටෙල් එකේ රූම් එක ඇතුළෙදිම අතුරුදහන් වුණා කියපු මයන් මල්දෙණියගේ බොඩි එක මහවැලි ගඟේ ඉවුරක තිබිලා හම්බෙනවා. මයන්ගේ සෙකට්‍රිගේ දැනුම්දීමක් මත පොලීසිය විසින් මල්දෙණිය ගෲප් එකේ හෙඩ් ඔෆිස් එකේ තිබ්බ ලැප් එකක මයන් විසින් ලිව්වා කියලා සැක කරන්න පුලුවන් විදිහේ නෝට් එකක් හොයාගන්නවා. මයන් විසින් ලිව්වා කියලා සැක කරන්න පුලුවන් කියන එක මං කිව්වේ සර් , මේක මයන්ම ලිව්ව එකක්ද කියලා මට ශුවර් නැති නිසා. මොකද දැනගත්තු විදිහට මයන්ගේ ඔෆිස් එකේ කම්පියුටර්ස් , ලැප් ටොප්ස් එකසිය ගාණක් තියනවා සහ ඒවට ඒ ඔෆිස් එකේ ඉන්න ගොඩක් අයට ඇතුළු වෙන්න ඇක්සස් තියනවා. අනික මේක මයන් මල්දෙණිය පාවිච්චි කරපු පර්සනල් ලැප් ටොප් එකකුත් නෙමෙයි.
හරි අපි මෙතන පොයින්ට් එකට ආවොත් මයන් මල්දෙණියගේ සටහනට අනුව තමන්ට ජීවිතේ එපා වෙලා , ජීවිතේ කළ කිරිලා කියලා සඳහන් කරලා තිබුණට මයන්ට කලින් මැරුණු තුන් දෙනා සහ මයන්‍ට පස්සේ මැරුණු ඇමැන්ඩ්‍රා වගේ තමන් දිවි නහ ගන්නවාමයි කියන එක කොහෙවත් ලියලා නෑ. තමන්ට ජීවිතේ කළකිරිලා තියෙන්නේ කොච්චර සැප සම්පත් තිබ්බත් දරුවෙක් නැති නිසා බවත් , ඒකට තමන්ගෙ බිරිඳගෙන් කිසිම උදව්වක් , සහයෝගයක් ලැබුණෙ නැති බවත් , හදිසියෙවත් තමන් මිය ගියොත් ඒකට වග කියන්න ඕනේ තමන්ගේ බිරිඳ බවත් ඒ සටහනේ තියනවා.
හොඳම විහිලුව පටන් ගන්නේ අන්න එතන ඉඳන් සර්…”
මනුහස් එසේ පවසා කට කොනකින් සිනහා වූයේය.


